අභිධර්මය සැක කරන්නන්ට කතරගම දෙවියන්ගෙන් පිළිතුරු..!

Katharagama deviyo
– වජිරාරාමයේ නාරද හිමියන් කතරගම දෙවියන් සමඟ පැවැත්වූ සාකච්ඡාව –

මා දවසක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ දේශනයක් පවත්වමින් සිටියා යැයි බම්බලපිටියේ වජිරාරාමාධිපති නාරද නාහිමියෝ නාඩි වාක්‍ය පිළිබඳව සාකච්ඡාව ආරම්භ කරමින් පැවැසූහ.

මේ සාකච්ඡාව දැනට වසර හතළිස් පහකට පමණ පෙරදී පැවැත්වූවක් බව කරුණාවෙන් සලකත්වා.

“ඒ අවස්ථාවට රටේ ප්‍රභූන් විශාල පිරිසක් සහභාගි වී සිටි බව පැහැදිලිව පෙනුණා. ප්‍රභූන් වශයෙන් ඒ පිරිස හඳුන්වා දෙනවාට වඩා බුද්ධිමත් උගතුන් යැයි කීම වඩාත් උචිතයි.

දෙසුම අවසානයේ සෑහෙන පිරිසක් යම් යම් ප්‍රශ්න ඇසුවා. ඒ මහත්වරුන් ඇසූ ප්‍රශ්නවලින් ඔවුන් ඉතාම බුද්ධිමත් විචාරශීලී මෙන්ම මධ්‍යස්ථ මතධාරීන් බවද මට අවබෝධ වුණා.

ඔවුන් ප්‍රශ්න ඇසුවේ මා වෙහෙසට පත් කිරීමට නොව ඔවුන්ට තිබූ ගැටලු තැන් නිරාකරණය කර ගැනීමට බව ඔවුන්ට ගෞරවයක් වශයෙන් කිව යුතුයි.”
මම උන්වහන්සේ වදාරන කරුණු ඉතා ගෞරවයෙන් අසා සිටියෙමි.
“ඉතින් ඒ ප්‍රශ්න විමසූ අය අතුරෙන් මැදිවියේ සිටි එක් මහත්මයකු ඇසූ ප්‍රශ්නය විශේෂ එකක් නිසා එය අදත් මට හොඳට මතකයි.

ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ දේශනය පවත්වන විට ඔබ වහන්සේ පසුපසින් රක්ත වර්ණ මුහුණක් ඇති කෙනකු සිටියා. ඔහුගේ හිසේ තලප්පාවක් වැනි යමක් බැඳගෙන සිටියා. මම ඔබ කවුරුන්දැයි ඇසූ විට “කුවේර” යැයි කීවා. ඒ තැනැත්තා ඔබ සමඟ පැමිණි කෙනෙක්ද නැත්නම් ඔබ ඔහු අඳුනනවා දැයි ඇසුවා.
ඒ කියන තැනැත්තා මා සමඟ නොපැමිණි අයකු බවත් මා ඔහු නොහඳුනන බවත් ප්‍රශ්න ඇසූ මහත්මයාට මම කීවා.

එහෙත් මේ කියන තැනැත්තා ගැන සොයා බැලීමේ අදහසක් ඇති වූ නිසා ඒ කවරකුදැයි මා කිසියම් ක්‍රමයකින් සොයා දැන ගත්තා. ඔහු “කුවේර” නමැති මගේ ආරක්ෂක දේවතාවා බව මා සොයා දැන ගත්තා.

හැබැයි මම කියන දේ විශ්වාස කරන්න කියල කියන්නේ නෑ. එහෙත් මාව වරදවා තේරුම් ගන්නත් එපා. මා ගැන නාඩි වාක්‍යවල සඳහන් විස්තරවල මට ආධ්‍යාත්මික ශක්තියක් ඇති බවත් නොපෙනෙන ලෝකය සමඟ සම්බන්ධකම් පැවැත්වීමට එමඟින් හැකි බවත් සඳහන් වුණා. නාඩි වාක්‍ය විස්තරයේ සඳහන් වූ තොරතුරුවල සත්‍යතාව ගැන කියන්නයි මේ ටික විස්තර කරන්න පටන් ගත්තේ.”
එහෙයි හාමුදුරුවනේ යැයි කී මම විස්තර අසා සටහන් කර ගතිමි.
“අපට අවබෝධ නොවන නොපෙනෙන දේ ගැන (දේව, භූත) යම් යම් මාධ්‍ය මඟින් කතා කළ හැකි බව නම් කිව යුතුයි.

නාඩි වාක්‍ය ඔය වාගෙ අපට නොපෙනෙන දෙවියන් සෘෂිවරුන් වැනි බලවේග සමඟ සම්බන්ධයි. ඒ සඳහා අප්‍රමාණ සාධක තියෙනවා.
නාඩි වාක්‍ය ගැන මට පුදුමය ඇති වූ තවත් කරුණක් නම් අවුරුදු පනස්පහෙන් පස්සේ මට රෝගයක් හැදෙන බවත් අවුරුදු හැටේදී බඩේ අමාරුවක් හැදෙන බවත් සඳහන් කර තිබීම.

ඒ වගේම මට අවුරුදු හැටේදි තදබල බඩේ අමාරුවක් හැදුණු බව ඇත්ත. වෛද්‍යවරුන්ගේ නියමය අනුව ඒ අසනීපය සුව වීමට සැත්කමක්ද කිරීමට සිද්ධ වුණා.

ඔය අන්දමේ සිද්ධීන් බොහොමයක් මා ගැන නාඩි වාක්‍යවල සඳහන් වී තිබුණා. කිසියම් අවුරුද්දක දෙසැම්බර් මාසයේ ඉරු දිනක මා අපවත් වන බව සඳහන් කර තිබුණා. ඒ පිළිබඳව වෙනත් නාඩි ග්‍රන්ථයක ඊට වඩා සුළු කලක් මම ජීවත් වෙන බවත් සඳහන් වී තිබුණා. මගේ අපවත්වීම ගැන මගේ ජන්ම භූමියේදී නොකියන ලෙසට නාඩි වාක්‍යවල සඳහන් වීම මට ප්‍රහේලිකාවක් වුවත් ඒ ගැන මට වැඩිපුර හාරා අවුස්සන්නට අවශ්‍යතාවක් තිබුණේ නෑ.

මරණය කුමක්දැයි යන්න තරම් අවබෝධයක් නොවූ වයස අවුරුදු හතර හමාරක් තරම් කාලයේදී මගේ පියා මියගොස් තිබුණා. යම්තම් බහ තෝරන්නට හැකි වූ කල අම්මේ කෝ තාත්තා යැයි වචන ගැටගසමින් ඇසූ කල අම්මා මට කීවේ තාත්තා සිරිපාදේ ගිහින් එන්න ගියා යන පිළිතුර.

එන්නේ කවදාදැයි වදෙන් පොරෙන් තතන තතනා ඇසූ කල වැඳ පුදාගෙන අවසන් වූ හැටියේම එතැයි අම්මා දුන් පිළිතුර මට අද වගේ මතකයි. තාත්තා වැඳ පුදාගෙන එන තුරු මං බොහෝ කාලයක් බලා සිටි බවද නොකියාම බැරි දෙයක්. මගේ වයස අවුරුදු හතරහමාරේදී මගේ පියා මිය යන බව නාඩි වාක්‍ය මඟින් මම දැන ගත්තා.

මා මගේ රට ගැන කලකිරෙන බව නාඩි වාක්‍යවල සඳහන් වී තිබුණා. සෑම ධර්ම දේශනයකදීම මා සැදැහැවතුන්ට අනුශාසනා කළේ සුරා සූදුවෙන් තොරව ධාර්මික ජීවිතයක් ගෙවන්නටත් මින් මතු උපදින හැම වාරයකදීම නිවන් දකිනා ජාති දක්වා මේ පින් බිමේම ඉපදීමට ප්‍රාර්ථනා කරන ලෙසට.
එහෙත් නාඩි වාක්‍යවල මා ලංකාව ගැන කලකිරෙන බව සඳහන් වුවත් පසු කලෙක එය සනාථ වුණා.

රටේ අපරාධ වැඩි වී දුශ්චරිත ආදිය බහුල වී සුරාව සූදුව පැතිරෙන විට මේ දහම් දිවයිනදැයි යන සිතිවිල්ල මා තුළ ඇති වී රට ගැන කලකිරීම ඇති වුණා.”
එසේ කී උන්වහන්සේ මඳ වෙලාවක් ධ්‍යානයට සමවැදී සිටි සේ නිහඬව උන්හ. මම උන්වහන්සේ දෙස බලා සිටියෙමි.
අනතුරුව උන්වහන්සේ යළි කතා කළහ. “මා ලංකාවේ ඉපදිලා තියෙන්නේ ශාපයක් නිසා බව නාඩි වාක්‍ය ග්‍රන්ථවල කියැවෙන බව නාඩි වාක්‍යකාර ත්‍යාගරාජා නමැති මහත්මයා පැහැදිලි කළා.

ඒ කතාව නාඩි වාක්‍ය ග්‍රන්ථයේ විස්තර කර තිබුණේ මෙහෙමයි.
පෙර ආත්ම භවයක මම ඉන්දියාවේ රජකෙනකු වී සිටියාලු. මගේ පාලන කාලයේදී ස්ත්‍රී පක්ෂයට අධ්‍යාපනය නුසුදුසු දෙයක් ලෙස සලකා ස්ත්‍රීන්ට අධ්‍යාපනය තහනම් කර තිබෙනවාලු. ඒ සමයේදී ඉතා රූප සෝබාව ඇති කුමාරයෙක් නේපාලයේ සිට මා පාලනය කළ රාජ්‍යයට පැමිණ අධ්‍යාපනය ලැබුවාලු.

කෙසේ වෙතත් මේ කුමාරයාගේ ක්‍රියා කලාපය, හැසිරීම් රටාව ගැන සොයන්නට යෙදූ චරපුරුෂයන්ගෙන් ලද විස්තර අනුව ඒ කුමාරයකු නොව වෙස්වළාගත් කුමාරිකාවක් බව දැනගෙන මට වාර්තා කර තිබෙනවා. ඒ නිසා රාජ නීතිය කඩ කළ වරදට ඇය රටින් පිටුවහල් කර තිබෙනවා. ඉන් කෝපයට පත් ඇය මට රටින් පිට ඉපැදීමටත් අනුන්ගෙන් යැපීමටත් (සිඟාකෑමටත්) සිදු වෙන ලෙසට ශාප කර තියෙනවා. ඒ ශාපය අනුව මා ලංකාවේ ඉපදී තියෙනවා. අනුන්ගේ යැපීමට පැවිදි වී තිබෙනවා” යැයි උන්වහන්සේ කීහ.

“එහෙත් මම මේ පින්බිමේ ඉපදීම ශාපයක් නොව වාසනාවක් ලෙස සලකනවා. පැවිදිවීමේ ලෝක සත්ත්වයාට මෙලෝ පරලෝ ශාන්තිය උදා කර දීමට පින පෑදී තිබීම ගැන මම සතුටු වෙනවා” යැයි කීහ.

“ඔබ වහන්සේ ප්‍රකාශ කළා මෙල්බෝන් විශ්වවිද්‍යාලයේදී එක් මහත්මයකු ඔබවහන්සේගේ ළඟ තලප්පාවක් බැඳ සිටි අයකු දුටු බව. ඔබවහන්සේ දෙවිවරුන් සමඟ කිසියම් මාධ්‍යයකින් සම්බන්ධව කටයුතු කිරීමේ ආධ්‍යාත්මික ශක්තියක් අත්තකු බවට නාඩි වාක්‍යවල තිබූ බවත් කීවා. ඔබවහන්සේ කීවා ඔබවහන්සේ ආරක්ෂා කිරීමට දෙවියකු ළඟ සිටින බවත් විස්තරවෙලා තිබුණ බව.

මම කැමැතියි ඒ ගැන ටිකක් විස්තර දැන ගන්න. මගේ ජීවිතේ එහෙම දෙවියන් සමඟ කතා කරන කෙනකු හම්බවෙලා නැති නිසා.”

“ඒක පැහැදිලි කරන්න විශුද්ධි මාර්ගයේ සඳහන් කතාවක් කියන්න ඕනෑ” යැයි පැවසූ උන්වහන්සේ මෙසේ කතාව කියන්නට වූහ.

“සැරියුත් මහ රහතන් වහන්සේට කිසියම් කාලෙක රෝගයක් වැලඳිලා තිබුණා.
ඒ රෝගය සුවවීමට කිරිබත් ආහාර වශයෙන් ගත යුතුව තිබුණා. ඒ ගැන කිසි කෙනකුට අවබෝධයක් තිබුණේ නෑ. මුගලන් මහ රහතන් වහන්සේ පිඬුසිඟා වැඩීමෙන් ලැබෙන ආහාර සැරියුත් මහ රහතන් වහන්සේට වළඳවනවා.

සැරියුත් මහ රහතන් වහන්සේගේ රෝගය ගැන එක් දේවතාවකු දැන ගත්තා. එදාත් මුගලන් මහ රහතන් වහන්සේ පිඬුසිඟා වැඩියා. මේ අතරේ අර දේවතාවා මුගලන් මහරහතන් වහන්සේට දානය පිළිගන්වන උපාසකයකුට ආරූඪ වී එදා කිරිබත් පිළිගන්වන්නට අධිෂ්ඨාන කළා. ඒ අධිෂ්ඨානය ඒ විදියටම ඉෂ්ට සිද්ධ වුණා. දානෙට ලැබුණු කිරිබත් මුගලන් හාමුදුරුවන් ගිලන්ව සිටි සැරියුත් හාමුදුරුවන්ට පිළිගැන්නුවා. ඒ කිරිබත් වැළඳූ උන්වහන්සේ සුවපත් වුණා.
විශුද්ධි මාර්ගයේ සඳහන් ඔය කතාව මා ඉදිරිපත් කළේ කිසියම් බලවේගයකට තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට දේවතාවකු කිසියම් අයකු මාධ්‍යයක් කර ගන්නා බව කීමට.

මා මේ තොරතුරු දැන ගැනීම සඳහා භාවිත කළ මාධ්‍ය මඟින් මා සමඟ කතා කළේ කතරගම දෙවියන් බව පැහැදිලි කර ගත්තා.
ඔබ ඉතා හොඳ සිංහලෙන් ඉතාම සංවර ලෙසට ආචාරශීලී භාෂාවෙන් මෙන්ම ආචාරශීලී ආකාරයෙන් කතා කිරීම ගැන මා ආඩම්බර වෙනවා යැයි මා ඒ අවස්ථාවේදී කතරගම දෙවියන්ට කීවා.

ඒ අවස්ථාවේදී පින්වත් ස්වාමීන් වහන්ස යැයි මා ඇමතූ දෙවියන් අපි කවදත් ශිෂ්ට විදියටයි කටයුතු කරන්නේ යැයි පිළිතුරු දුන්නා.
බෞද්ධයන් ඉතාම ශිෂ්ට සම්පන්න බව පිළිගන්නවා. එහෙත් ඔබ හින්දු භක්තිකයකු කියන මතයක් තියෙනවා යැයි මා මගේ සැකයක් නිරාකරණය කර ගැනීමට ඇසුවා.

නැත ස්වාමීන් වහන්ස. මගේ පියා වන ඊශ්වර දෙවිඳුන් හින්දු ආගමිකයකු වුවත් මා සිල්වත් බෞද්ධයකු යැයි මට පිළිතුරු වශයෙන් කීවා” යැයි නාරද හිමියෝ කීහ.

“ඔබට ඇමතීමට නම් රාශියක් තිබුණත් බොහෝදෙනා ඔබ හඳුන්වනු ලබන්නේ කතරගම දෙවියන් ලෙස. ඔබට ඒ නම ලැබීමට හේතු කාරණා පැහැදිලි කරගන්න මා කැමැතියි. මම කීවා.

ස්වාමීන් වහන්ස යැයි මා ඇමතූ දෙවිඳුන් හොඳ නරක යන කරුණ කෙනකුට පවසා ඒ තැනැත්තා යහමඟට ගැනීම ‘කතර’ යන ලෙසින් හඳුන්වනවා. ඒ තේරුමෙන් අර්ථයෙන් කතරගම යන නම ලැබී තියෙනවා යැයි කීවා.

මට මේ අවස්ථාවේදී පැහැදිලි කර ගත යුතු වූ කරුණු කීපයක්ම දෙවියන්ගෙන් අසා දැන ගැනීමට සිත් වූයෙන් ඒවා ඉදිරිපත් කළා.

බුදුන් වහන්සේ තුන් වරක් ලංකාවට වඩම කළ බව ගැන ඇතැමුන්ගේ සැකයක් තියෙනවා. ඔබ ඒ ගැන කියන්නේ කුමක්ද කියා මම ඇහුවා.

පින්වත් ස්වාමීන් වහන්ස, ඒ ගැන කිසිම සැකයක් නෑ. බුදුන් වහන්සේ තුන් වරක්ම ලංකාවට වැඩම කළා යැයි දෙවියෝ පිළිතුරු දුන්නා.

ධර්මය පිළිබඳව මට ප්‍රශ්නයක් තිබුණා. අභිධර්මය ත්‍රිපිටකයට අයත් දැයි අසමින් මා ඒ ප්‍රශ්නය ඉදිරිපත් කළා.

එසේය ස්වාමින් වහන්ස, ත්‍රිපිටකය පමණයි තවම කිසිවක් වෙනස් නොවී තියෙන්නේ” යැයි දෙවියන් කීවා.”

ඊට අවුරුද්දකට දෙකකට පමණ පෙර පුවත්පත්වලද පළ වූ කිසියම් සිද්ධියක් ගැන කතරගම දෙවියන්ගෙන් අසා දැන ගැනීමට මට ඒ මොහොතේ සිහිපත් වුණා යැයි කී නාරද හිමියෝ ඒ කතාවට පාදක වූ සිද්ධිය මෙසේ විස්තර කළහ.

“මා වරක් කතරගම ගිනි පෑගීමේ උත්සවයක් බලන්න ගියා. මා තවත් භික්ෂුන් වහන්සේ රාශියක් සමඟ දේවාල භූමියේ ගිනිගොඩ ආසන්නයේම හිටියා. ගිනි අඟුරු හොඳටම ගොඩගැසී තිබුණා. සැදැහැවතුන් දහස් ගණනක් ගිනි පාගනවා බලන්නට වට වී සිටියා. ගිනි පෑගීමට කපු මහත්වරුන් සහ වෙනත් පිරිස් පැමිණීමට පෙර අරුම පුදුම සිද්ධියක් සිද්ධ වුණා.

දුඹුරු පාට වස්ත්‍රයක් ඒකාංශ කර පොරවාගෙන සිටි තැනැත්තකු කතරගම දේවාලයට පිටුපා ගිනිගොඩේ ගිනි අඟුරු උඩින් කිසිම වෙනසක් නැතිව මහමඟ ඇවිදින්නා වාගේ අර ගිනි අඟුරු උඩින් ඉතාම හෙමින් සන්සුන් ගමනින් දෙපස සිටි පිරිස දෙස ඉතා ඕනෑකමින් බලමින් ගොස් අතුරුදන් වුණා. ඉතිහාසයේ පළමු වතාවට සිදුවුණා යැයි කියන මේ අරුම පුදුම සිද්ධිය ගැන ඒ දිනවල පුවත්පත්වල විවිධ මතවාදත් පළ වුණා” යැයි කී නාරද හිමියෝ “මට ඔය ගැන විමසා දැන ගන්නට හිතුණා” යැයි කීහ.

“ඉතින් මම ඒ ගැන පවසා ඒ ගියේ කවුරුදැයි ඇසුවා. ඒ සිද්ධිය දුටු බැතිමතුන් ඒ අවස්ථාවේ එක හඩින්ම ‘හරෝ හරා’ යනුවෙන් කියන්නට පටන්ගත් බවත් මා සඳහන් කළා. මේ අන්දමින් අප දුටුවේ කතරගම දෙවියන් වන ඔබදැයි මා ඇසුවා.

එසේය ස්වාමින් වහන්ස යැයි කී කතරගම දෙවියන් මගේ භක්තිවන්තයන්ට, සැදැහැවතුන්ට කිසියම් හාස්කමක් පෙන්වන්නට අවශ්‍ය වී තිබුණු නිසා එසේ කළා යැයි කිව්වා”.

(2014-07-21 ඉරිදා මව්බිම පුවත්පතෙන් උපුටාගන්නා ලදී)
http://www.mawbima.lk/55-63425-news-detail.html

– චන්ද්‍රසේන මාරසිංහ –

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s