දැනගත යුතු කරුණු දැනගනිමු..! – 02 –

10174904_741004005943797_3675806871520604266_n
– ඉතාම බරපතළ පාප කර්මය –

“නාහං භික්ඛවේ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නවා අකුසලාධම්මා උප්පජ්ජන්ති, උප්පන්නනාවා අකුසලා ධම්මා භීය්‍යො භාවාය වෙපුල්ලාය සංවත්තන්ති, යථයිදං භික්ඛවෙ මිච්ඡාදිට්ඨි” (අංගුත්තර නිකාය – ඒකක නිපාතය)

මහණෙනි, නූපන්නා වූ අකුසල ධර්ම ඉපදීමටත් උපන්නා වූ අකුසල ධර්ම බොහෝ බැව් පිණිස විපුල බැව් පිණිස පැවතීමටත් මේ මිත්‍යාදාෂ්ටිය හැර මෙයින් අන්‍ය වූ එකම කාරණයකුත් මම නුවණින් නොදක්නෙමි යි බුදුරජාණන් වහන්සේ මිත්‍යාදෘෂ්ටිය අතිශයින්ම දරුණු අකුසලයක් බව මෙයින් වදාළ සේක.

එහෙත් දැනට බෞද්ධ ජනතාව ඝෝර වූ මිථ්‍යා ප්‍රපාතයේ වැටී සිටිත්. තථාගතයන් වහන්සේ දක්වා වදාළ මාර්ගය ආර්ය මාර්ගය යි. ඒ උතුම් මාර්ගය අත්හැර දමා ‘සංයුත්ත නිකායේ කස්සප ඔපම්ම සංයුත්තක’ වල වදාළ පරිදි භික්ෂු උපාසක දෙපිරිසම ආර්ය මාර්ග සංඛ්‍යාත මධ්‍යම ප්‍රතිපදාවෙහි ගමන් නොකොට අයථා මාර්ගයෙහි ගමන් කරන බැව් පෙනේ.

“යස්මිං සමයෙ පාප භික්ඛු බලවන්තො හොන්ති, පෙසලා භක්ඛු තස්මිං සමයෙ දුබබලා හොන්ති.”

යම් කලෙක්හි පාප භික්ෂූහු බලවත් වෙද්ද ඒ සමයෙහි ප්‍රියශීලි භික්ෂූහු දුර්වල වෙත්. මහණෙනි, එය බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට අසැප පිණිස බොහෝ දෙනාට අනර්ථය පිණිස දෙව් මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේ යයි වදාළ සේක.

– සද්ධර්මය අන්තර්ධාන වීමට හේතු –

පඤ්චඛො මෙ කස්සප ඔක්කමනියා ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති කතමෙපඤ්ච “ඉධ කස්සප භික්ඛුභික්ඛුනියො උපාසක උපාසිකායො සත්ථරි අගාරවා විහරන්ති අප්පතිස්සා, ධම්මෙ අගාරවා විහරන්ති අප්පතිස්සා, සංඝෙ අගාරවා විහරන්ති අප්පතිස්සා, සික්ඛාය අගාරවා විහරන්ති අප්පතිස්සා, සමාධිස්මිං අගාරවා විහරන්ති අප්පතිස්සා, ඉමෙ ඛො කස්සප පඤ්චඔක්කමනියා ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති (සංයුක්ත නිකාය – කස්සප සංයුත්තකය)

භූතපුබ්බං භික්ඛවෙ දසභාතිකානං ආණකොනාම මුදිංගො අහොසි තස්ස දසභාතිකා ආණකෙ එලිතෙ අඤ්ඤං ආණිං ඔදහිංසු, අහු ඛො සො භික්ඛවෙ සමයොයං ආණ කස්ස මුදිංගස්ස පොරාණං පොක්ඛරං ඵලකං අන්තරධායී, ආණී සංඝාටොව අවසිස්සි, එව මෙව ඛො භික්ඛවෙ භවිස්සන්ති භික්ඛු අනාගත මද්ධානං යෙතෙ සුත්තන්තා තථාගතභාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලොකුන්තරාසුඤ්ඤතපටිසංයුත්තා තෙසු භඤ්ඤමානෙසු න සුස්සුසන්ති, න අඤ්ඤාචිත්තං උපට්ඨපෙස්සන්ති නචතෙධම්මෙ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤිස්සන්ති. යෙපන තෙ සුන්තන්තා කවිකතා කාවෙය්‍යා චිත්තක්ඛරා චිත්තබ්‍යඤ්ජනා බාහිරකා සාවකභාසිතා තෙසු බඤ්ඤ මානෙසු සුස්සූසන්ති සොතං ඔදහිස්සන්ති, අඤ්ඤාචිත්තං උපට්ඨපෙස්සන්ති තෙ ච ධම්මෙ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤිස්සන්ති, එව මෙ තෙසං භික්ඛවෙ සුත්තන්තානං තථාතගාසිතානං ගම්භීරානං ගම්භිරත්ථානං ලොකුත්තරානං සුඤ්ඤතපටිසංයුත්තානං අන්තරධානං භවිස්සති” (සංයුත්ත නිකාය – ඔපම්ම සංයුත්තකය)

අංගුත්තර නිකායේ දුක නිපාතයෙහි පඨමපණ්ණාසකයෙහි ද මේ සම්බන්ධ පාඨයක් දක්නා ලැබේ.

අප තථාගතයන් වහන්සේ විසින් දේශනා කර වදාරණ ලද අසප්පුරිස සූත්‍රයේ අසත්පුරුෂයා ගේ ගති දක්වා තිබේ. තමා උසස් යයි සිතාගෙන අනික් අය තමාට පහළ ය, ධනය ඇත්තේ ය. චීවර පිණ්ඩපාත සේනාසන අන්‍යයන්ට වඩා තමා ලබන්නේ ය. තමා ධර්මය දන්නේ ය, තමා විනයධර ය, ධූතාංගයන් රක්ෂා කරන්නෙ ය, ධ්‍යානලාභී ය, යනාදිය සිතන අහංකාර මමංකාරයෙන් යුක්ත තණ්හාව වැඩි කරන්නා වූ බික්ෂු තෙමේ අසත්පුරුෂයා යයි මේ සූත්‍රයෙන් උගන්වයි.

සූර්ය වංශයේ ශාක්‍ය කුලයෙහි උපන් අප මහා බෝසතාණන් වහන්සේ බුදු වී තමන් වහන්සේ ගේ අන්තිම ජාතිය බව දැනගෙන ලෝකානුකම්පාවෙන් බොහෝ ජනයාට වැඩ පිණිස ධර්මදානය දීම උතුම් බව සලකා ගෝල පිරිස සාදාගෙන පුරයෙන් පුරයට ගමින් ගමට භික්ෂූන් සමඟ වඩිමින් ගිහි පිරිසට මනුෂ්‍ය ධර්මය ද භික්ෂු පිරිසට උත්තරී මනුෂ්‍ය ධර්මය ද දේශනා කරමින් හතලිස්පස් වර්ෂයක් ලොවට වැඩ සාදා දුන් සේක. මහා කාරුණික තථාගතයන් වහන්සේ ස්වයම්භූඥානයෙන් දැන වදාළ ධර්මය දේශනා කළොත් අප්‍රමාණ සත්වයා මේ ධර්මය ශ්‍රවණය කොට පවින් වැළක කුසලයෙහි යෙදී ක්‍රෝධ ලෝභාදි ක්ලේශයන් ගෙන් හිත පවිත්‍ර කොට සැප විඳින්නෝ ය. ඒ නිසා හීන, මධ්‍යම, ශ්‍රේෂ්ඨ වශයෙන් දැනගැනීමක් ඇති සියලු සත්වයන්ට මේ නෛර්යාණික ධර්මය දේශනා කොට ඔවුන්ට සැප ලබාදීම ආරම්භ කළ සේක.

එක් දිනක් එක්තරා බ්‍රාහ්මණයෙක් අප බුදුරජාණන් වහන්සේ කරා පැමිණ භවත් ගෞතමය, භවතුන් විසින් ලෝකයාට ප්‍රකාශ කරන ලද මේ ධර්මය එක වචනයකින් මට උගන්වන්නට පුළුවන් දැයි ප්‍රශ්න කෙළේ ය. බ්‍රාහ්මණය, එසේය. මා විසින් උගන්වන ලද ශ්‍රී සද්ධර්මය එක වචනයකින් ම කියාදීමට පුළුවන. එනම්, ‘අප්‍රමාද’ ධර්ම යයි වදාළ සේක.

තමන් වහන්සේ විසින් භික්ෂූන්ට ප්‍රතිපත්තියෙහි යෙදීමට නියම කොට දිව්‍යා ලෝක සැප සෙවීම තුච්ඡ ය; ඒ නිසා උතුම් මාර්ග බ්‍රහ්මචර්යය රක්ෂා කරන කිසිවෙක් දේව නිකායක ඉපදීමට ප්‍රාර්ථනා නොකට යුතු යයි වදාළ සේක.

ස්වර්ගස්ථ වුණා යයි යන වචනය භික්ෂු ශීලයෙහි යෙදී බ්‍රහ්මචර්යය රක්ෂා කොට කාලක්‍රියා කරන භික්ෂූන් සම්බන්ධව ව්‍යවහාර කිරීම යෝග්‍ය ද? දඹදිව්වාසී ගෘහස්ථයන් කාලක්‍රියා කළ කල්හි ස්වර්ගස්ථ වූයේ යයි ව්‍යවහාර කෙරෙති. පරිබ්‍රාජකයන්ගේ කාලක්‍රියාවේ දී බ්‍රහ්මයා කරා ගියේ යයි ව්‍යවහාර කෙරෙති. අතිපරිශුද්ධ ශාසන බ්‍රහ්මචර්යය රක්ෂා කළ උත්තමයෙක් කාලක්‍රියා කළාම කාමභෝගීන්ට අයිති වූ ස්වර්ගයට ගියේ යයි කීම ගර්හා වචනයක් මෙන් පෙනේ. රජකම් අත්හැර රදල භාවයට පත්වීම මෙන් මෙය සැලකිය යුතුයි.

දැනට පන්සල්වල හැදෙන නවක භික්ෂු කොටසට වීර්යය වඩා ධර්මය කියාදීම යුතුයි. කාව්‍යාලංකාරදිය ගැන කාලය ගත කරන භික්ෂූන් ගේ සිත් බ්‍රහ්මචර්යය පිණිස යෙදෙන්නේ නැත. ආනාපානසති භාවනාව කරන්නට බද්ධ පර්යංකයෙන් වාඩිවීම ඕනෑ කරයි. බාල කාලයේ පටන් විහාරවල හැදෙන භික්ෂූන්ට කය සෘජු කරගෙන බද්ධපර්යංකයෙන් වාඩිවීමට ඉගැන්විය යුතුයි. කාමභෝගීන් මෙන් ජීවිතය ගත කරන භික්ෂූන් කිසිකලක ධ්‍යාන සැප අනුභව කරන්නේ නැත.

දුම්කොළ කෑල්ල දතේ පළමු කොට උලා පසුව කටේ දමා ගෙන තුඃ තුඃ යන අනුකරණ ශබ්දයෙන් කෙළ ගසන භික්ෂූන් කෙරෙහි බුද්ධි සම්පන්න ප්‍රාඥ පුද්ගලයෝ ප්‍රිය නොවෙත්. ආචාර ධර්ම බොහෝ කොට භාවිත කරන ශිෂ්ටාචාර යුරෝපීය මනුෂ්‍යයෝ අපේ භික්ෂූන් ගේ පැවැත්ම දැක අප්‍රිය භාවය පෙන්වති. මනුෂ්‍යයන් ඉදිරියේ කිසිලි පෙන්වීම, කිසිලිවල ලොම් ඇදීම බොහෝ විට භික්ෂූන් විසින් කරනු ලැබේ. මෙය බැලීම සිතට අප්‍රිය යි.

අවවාද කරන විට බොහෝ තැන්වල දී හිත වේදනා වන අන්දමට මවිසින් වචන ව්‍යවහාර කරනු ලබන්නේ යයි මට කරන චෝදනාවකි. මේ සම්බන්ධව අපේ භික්ෂූන් වහන්සේලා විසින් ගිහියන්ට කාරණා කියාදීම යුතුයි. මැදුම් සඟියේ මජ්ඣිම පණ්ණාසකයේ චාතුම සූත්‍රයේ අප තථාගතයන් වහන්සේ එක් කලෙක “චාතුමායං විහරති ආමලකීවනෙ තෙන ඛො පන සමයෙන සාරිපුත්ත මොග්ගල්ලානප්පමුඛානි පඤ්චමත්තානි භික්ඛුසතානි චාතුමං අනුප්පත්තානි හොන්ති භගවන්තං දස්සනාං” යයි දැක්වෙන භික්ෂූන් මහා ශබ්ද නඟා කථා කිරීම අප බුදුන්ට ඇසී “කෙ පනෙතෙ ආනන්ද උච්චාසද්දා මහාසද්දා කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙති” යනුවෙන් විමසූහ.

ස්වාමීනි, සැරියුත් මුගලන් දෙනම සමඟ පැමිණි භික්ෂූන් පන්සියය කථා කරන හඬ නිසා මේ ශබ්දය උපන්නේ යයි අනඳ හාමුදුරුවෝ සැළ කළෝ ය. “එහෙනම් ආනන්ද මගේ වචනයෙන් ඒ භික්ෂූන් කැඳවාගෙන එව” යි වදාළෝ ය. භික්ෂූන් පැමිණි කල කුමක් නිසා මෙසේ උස් ශබ්දයෙන් කොවුලන් මෙන් ඝෝෂා කළෝ දැයි අසා වදාරා “ගච්ඡථ භික්ඛවෙ පණාමෙමි චො න වො මම සන්තිකෙ වත්ථබ්බන්ති” සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන්ට චෝදනා වශයෙන් නොව පැවැත්ම ඉගෙනගැනීම පිණිස තමන් වහන්සේ ගේ ස්වමීපයේ නොවිසිය යුතු යයි නෙරපූ සේක.

ගුරු දෙමවුපියාදීහු දරුවන්ට රළු වචනයෙන් කථා කෙරෙති. අන්තරායකරන චේතනාවක් ඔවුන් සිත් තුළ නැති නිසා ඒ වචන ඵරුෂ වචන මෙන් නොගත යුතු යි. ඒ බව සාරාත්ථප්පකාසිනී සංයුත්ත අර්ථකථාවෙන් පෙනේ.

අවවාද කිරීම ආදර වචනයෙන් ද රළු වචනයෙන් ද දෙක මිශ්‍ර කොට ද කර තිබේ. සිංහල ජනතාවට වී තිබෙන අන්තරාය බලවත් බව පෙනේ. බාල කාලයේ කිසි අවවාදයක් නොලැබ යෞවන වයසට පැමිණෙන්නේ ය. යෞවන වයසේ දී කිසි අවවාදයක් ගැනීමට කාලය නොපැමිණෙන්නේ ය. මධ්‍යම වයසට පැමිණ කල අවවාදයක් කළාම එය පිළිගැනීමට රුචි නොවන්නේ ය. අවවාද කරන්ට අනුකම්පා හිත් ඇති ගුරුවරයන් ද සොයාගැනීම දුෂ්කර යි. අස්සුතවත් පුථුජ්ජනයා හිත් දමනය කරන ශාස්ත්‍රය දන්නේ නැත. හිත දමනය කරගැනීමට මත්තෙන් භාවිත කටයුතු ධර්ම රාශියක් තිබේ. ඒ ධර්ම පුරුදු නොකොළොත් හිත දමනය කිරීම උගහට යි.

බාල කාලයේ පටන් සිංහල දරුවන්ට ද කුඩා සාමරණ්රවරුන්ට ද පවිත්‍ර ව සිටීමට ඉගැන්වීම කටයුතු යි. අභ්‍යන්තර බාහිර වස්තු පවිත්‍ර කොට තබාගැනීමට විශේෂ වශයෙන්ම ඕනෑ කරන්නේ ය. විශුද්ධි මාර්ගයේ මේ ගැන බොහෝ විස්තර කර තිබේ.

බාල කාලයේ දී බෞද්ධ බාල දරුවන්ට පවින් වැළකී සිටීමට අවවාද කිරීම ගුරු-දෙමව්පියන් ගේ යුතුමකි. බෞද්ධ දරුවන්ට බාල කාලයේ දී ම ගුරුකම් කියාදෙන්නේ මිථ්‍යාදෘෂ්ටි පාපතරයෙකි. මොහුගෙන් ඉගෙනගන්නේ, සතුන් මැරීම පව් නැත. නැවත උප්පත්තියක් නැත, මත්පැන් පානය කළාට පව් නැත යනාදිය යි. මිථ්‍යාදෘෂ්ටීන් භජනය කරන බෞද්ධ දරුවන්ට භික්ෂූන්ගේ ආශ්‍රයයක් නැත, භික්ෂූන්ගෙන් බාල දරුවන්ට ප්‍රයෝජන නැති නිසා ඒ බාල පරම්පරාව යෞවන වයසට පැමිණුනාම භික්ෂූන්ගෙන් ඈත්ව සිටිති. ඒ පරම්පරාවෙන් පසු උපදින පරම්පරාව එයටත් වඩා දුරයි. මෙසේ පරම්පරාවෙන් පරම්පරාවට මිථ්‍යාදෘෂ්ටිය වැඩි වන්නේ ය. යුරෝපීය පාදිලිරාලලා මෙහාට පැමිණ සිංහල ළදරු කොටස ඔවුන් වසයට ගෙන ඔවුන්ගේ මිථ්‍යා ධර්ම ඒ ළදරුවන්ට උගන්වනු ලැබේ. අපේ සමහර භික්ෂූන් මෝඩ සංඛ්‍යාවෙන් උපන් ඇත්තන්ගේ දරුවන් බැවින් විශාරද ඥානයක් නැත. අලසකමින් කාලය ගත කරන මේ භික්ෂූන්ට තීක්ෂණ බුද්ධියක් කෙසේ ඇතිවන්නේ ද? වටකර සිටින්නේත් අඥාන පිරිස යි. ධාතු සංයුත්තකයේ හැටියට ඒ ඒ ධාතූන් ගේ සම්බන්ධය වන්නේ ය. මෝඩයා මෝඩයාට එකතු වේ. මෝඩ පිරිසක් පාලනය කරන්නාත් මෝඩයෙකි.

පෘතුගාලයේ රටවාසීන් අතර ශාස්ත්‍ර පුහුණු කිරීම ආරම්භ කළ තැන් පටන් රෝමානු පාදිලිරාලලාට අමාරුවෙන්ට පටන් ගත්තේ ය. රටවැස්සන් අඥානකමේ ගැලී සිටින තාක් පාදිලිරාලලාට ජය යි. ශාස්ත්‍ර දියුණුවීම නිසා රටවැස්සන්ට පාදිලිරාලලාගේ වරද පෙනී ගියාට පසු පාදිලිරාලලා රටෙන් පන්නා දැමීම කෙළේය. බෞද්ධ ජනතාව මිථ්‍යාදෘෂ්ටීන්ට යටත්ව මිථ්‍යා මාර්ගයේ යන්නෝ ය. මත්පැන් පානය කිරීමාදිය දියුණු වීමෙන් සිංහල ජනතාව කාලකණ්ණිකමින් කල් යවති. පිටරට වීර්යවන්තයෝ මෙහි පැමිණ රටේ තිබෙන ධනය පිටරටට ගෙන යති.

ගම්වල වසන මහ තෙරුන්වහන්සේලා බුලත් හපමින් කාලය ගතකරනු ලැබේ. පඩික්කම පමණක් පිරේ. ඥාන වර්ධනයක් නොවන්නේ ය. තුන් පිටකයට අයිති පොත් නැති පන්සල්වල වසන උන්නාන්සේලා කුමන ධර්මයක් ඉගෙනගන්නාහු ද?

නායක පදවි ලබාගැනීමට නොයෙක් ප්‍රයත්න කර එය ලබාගෙන කරන්නේ මොකද? විශේෂ දුම්රියකින් ගමන් කිරීම අසුන් දෙන්නෙක් බැඳපු රථයකින් ගමන් කිරීමාදිය යි. ගිහියන් ගේ ආවාහ විවාහ මංගල්‍යවලට අනුව කටයුතු කරන්ට පටන් ගෙන මේ කරගෙන යන විකාර බුදුරජාණන් වහන්සේට කරන නින්දාවකි. පාලි පාඨ කීපයක් දිනපතා ධර්ම පොතකින් කියවීම සිංහල උපාසක උපාසිකාවන් විනින් කට යුතුයි. ශුද්ධ මාගධී භාෂාවෙන් තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කර වදාළෝ ය. පාලි පාඨවල අර්ථ නොදැන බ්‍යඤ්ජන මාත්‍රය පමණක් සලකා බුද්ධ වචනය සජ්ඣායනා කළත් එයින් අර්ථයක් මිස අනර්ථයක් නොවන්නේ ම ය. සතිපට්ඨාන සූත්‍ර අර්ථකථාවේ කුරු රටවාසී උපාසිකා පිරිස පවා ගම්භීර ධර්ම භාවිත කළ බව දක්වා තිබේ. එක්තරා භික්ෂූණී ආරාමයක ඇති කළ ගිරවකු පිළිකුල් භාවනාව සජ්ඣායනා කිරීම නිතරම ඇසීමෙන් එය ඒ පක්ෂියාට ධාරණය වී යයි ඒ කථාවෙන් පෙනේ.

තථාගතයන් වහන්සේ ධරමාන කාලයේ ඇතැම් උපාසිකාවරුන් විසින් ධර්මපදයන් සජ්ඣායනා කරනු ලැබූ බව පාලියෙන් පෙනේ. සංයුත්ත නිකායේ යක්ඛ සංයුත්තකයෙහි මෙසේ දක්වා තිබේ. එනම් :

එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ තෙනඛො පන සමයෙන අඤ්ඤතරස්සා උපාසිකාය සානුනාම පුත්තො යක්ඛෙන ගහිතොහොති අථඛො උපාසිකා පරිදෙවමානා තායං වෙලායං ඉමා ගාථායො අභාසි.

චාතුද්දසිං පඤ්ච දසිං – යාව පක්ඛස්ස අට්ඨ මිං,
පාටිහාරිය පක්ඛංච – අට්ඨංගසුසමාගතං;
උපොසථං උපවන්ති – බ්‍රහ්මචරියං චරන්ති යෙ

යනාදිය දක්නා ලැබේ. ධර්ම පදයන් සජ්ඣායනා කිරීමේ දී ශබ්ද ශ්‍රවණය පවා අමනුෂ්‍යයන්ට ද ප්‍රිය යි.

ආයස්මාඅනුරුද්ධො රත්තියා පච්චූසසමයං පච්චූට්ඨාය ධම්මපදානි භාසති අථඛො පියංකරමාතා යක්ඛිනී පුත්තකං එවං තොසෙසි.

මාසද්දමකරි පියකංකර – භික්ඛු ධම්මපදානි භාසති,
අපිධම්මපදං විජානිය – පටිපජ්ජජෙම හිතාය නොසියා’ති

ස්වල්ප වශයෙන් වත් පාලි භාෂාව දැනගැනීම හේතු කොටගෙන තථාගත ධර්මය භාවිත කිරීමට මාර්ග තැනේ. පාලි භාෂාව මධුර කෝමල භාෂාවකි. සංස්කෘත මෙන් රෞද්‍රකමක් නැත. බ්‍රාහ්මණයන්ගේ රෞද්‍ර ගතිය උන්ගේ භාෂාවෙන් ද පෙනේ. බුද්ධ වචනය සංස්කෘත භාෂාවෙන් බුදුන් නොවදාළේ එය නිර්මල අන්දමට තබාගැනීම පිණිස යි. පාලි භාෂාව සිංහල ළමයින්ට පුහුණු කරවීම අප්‍රමාණ ප්‍රයෝජන යි. පන්සල්වල වැඩවසන භික්ෂූන් වහන්සේලා විසින් සිංහල දරුවන්ට හත් අවුරුදු වයස් කාලයේ සිට පාලි භාෂාව පුහුණු කරවීමට උත්සාහ කට යුතුයි. ධර්ම දේශනා කරන විට පාලි භාෂාවේ වචන සිංහල භාෂාවට ඇතුළත් වී තිබෙන තැන් භික්ෂූන් විසින් පෙන්නාදිය යුතුයි. සිංහල භාෂාව පමණක් ඉගෙන ගැනීමෙන් ඥානය ලබාගැනීම කළ නොහැකියි.

ඉංග්‍රීසි ශාස්ත්‍රශාලාවල ලතින්, ග්‍රීක්, ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංස, ගණිත, මිනිත, ඉතිහාස, භූමිශාස්ත්‍ර, ව්‍යාකරණාදිය ශිෂ්‍යයන්ට පුහුණු කරවනු ලැබෙත්. මේ කරණකොටගෙන ඥානය වර්ධනය වන්නේ ය. ඉංග්‍රීසි ශාස්ත්‍රශාලාවකට යන දස හවුරුදු වයසැති කුඩා දරුවකු දන්නා බාහිර ශාස්ත්‍ර පමණ වත් අපේ භික්ෂූන් විසින් දැන ගත යුතුයි. සංස්කෘත, ජ්‍යොතිශ්ශාස්ත්‍ර, වෛද්‍ය ශාස්ත්‍රාදිය ඉගෙන ගැනීමට වීර්ය කරන සාමණේර නවක භික්ෂූන් විසින් ඥාන ප්‍රොබෝධය වීමට ටිකක් වත් බාහිර ශාස්ත්‍ර භාවිත කට යුතුයි.

ජාවා රට, බෝර්නියෝව, කැමරුන්, උගන්ඩාව, මොසැම්බික්, නයිරෝබිය, නතාල්, පිලිපින් දූපත්, කොරියාව, ලැප්ලන්තය මේ ආදි ප්‍රදේශයන් ගේ පිහිටීම ගැන භික්ෂූන්ගෙන් විචාළොත් උත්තර ලැබේද? රටවල් ගැන දැනගැනීම ඉතා ප්‍රයෝජනයි. අපේ රටේ හැදෙන තේ, රබර්, කෝකෝ මෙරටින් ලෝකයේ හැම රටවලටම යවනු ලැබේ.

– උම්බලකඩ භාවිතය අතහැර දමනු –

හාල්, ගම්මිරිස්, මිරිස්, කිරි, සීනි, උම්බලකඩ, වස්ත්‍ර, පිඟන්, ලාම්පු, සබන් යනාදි සිංහලයන් විසින් ප්‍රයෝජන ගන්න ද්‍රව්‍ය මෙරටට ගෙනෙන්නේ කොයි රටවලින් දැයි දැනගැනීම ඉතා ප්‍රයෝජනයි. උම්බලකඩ ගෙනෙන්නේ මාලදිවයිනෙන් ය. මෙහාට ගෙනෙනු ලබන්නේ බොම්බායිකාරයන් විසින්. අප්‍රයෝජන කුණුමාලු වේලෙන්ට හැරදමා දවස් කීපයකට පසු එක තැනකට ගොඩ කර තබා අන්‍ය කිසිම ජාතියක් ප්‍රයෝජනයට නොගන්නා උම්බලකඩ අඥාන අපවිත්‍ර සිංහලයෝ මිලදී ගෙන රස ද්‍රව්‍යයක් මෙන් සලකා ව්‍යඤ්ජනවලට දමති. දඹදිව්වාසීන් වත් ලංකාවට විකිණීමට ගෙනෙන බොම්බායිකාරයන් විසින් වත් මේ ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගන්නේ නැත. උන් පිළිකුල් කරන වේලාපු කුණුමාලුවලට රුපියල් විසි ලක්ෂයක් වර්ෂයක් පාසාදී සිංහලයන් විසින් නිෂ්ප්‍රයෝජන කරනු ලැබේ.

එක ගෙදරකින් දිනපතා පණම, පණම් දෙක, පණම් හතර බැගින් මේ කුණු මාලුවලට වියදම් කරනු ලැබේ. බොම්බායිකාරයෝ මේ වෙළෙඳාමෙන් ධනය රැස් කරති. මෝඩ සිංහලයන්ට උම්බලකඩ නැතිව ආහාරගැනීම අමාරුයි. උම්බලකඩවලට වර්ෂයක් පාසා දෙන මේ රුපියල් විසි ලක්ෂය ශිල්ප ශාස්ත්‍ර වර්ධනයට එකතු කරදෙනු ලැබේ නම් කොපමණ අගනේ ද? එක එක ගෙදර පින්කැටයක් තබා උම්බලකඩවලට දෙන මුදල් රැස් කළ යුතුයි.

‘අස්සාද, ආදීනව, නිස්සරණ’ යන මෙහි අදහස දැනගත යුතුයි. පඤ්චකාමයට හිත යැවීම අස්සාදය යි. පඤ්චකාමය දුක් සහිත යයි කල්පනා කිරීම ආදීනවය යි. එසේ ආදීනව සලකා ප්‍රතික්ෂේප කිරීම නිස්සරණය යි. මේ නිස්සරනසංඛ්‍යාත ප්‍රතික්ෂේප කිරීම නිවන් මඟට අාධාරයකි, ගිහි පැවිදි පිරිස ශ්‍රද්ධා වර්ධනය නොකොට වස්තුකාම ක්ලේශකාමයන් අනුව යෑමෙන් ශාසන පරිහානිය වන්නේ ය. ධන සම්භකිරීමට ඇතැම් භික්ෂූන් විසින් ගනු ලබන උත්සාහය ශීල විශුද්ධිය පිණිස ගත කරනවා නම් එය දෙවියන් සහිත ලෝකයාට සැප පිණිස වන්නේය.

පශ්චිම ජනතාව කෙරෙහි අනුකම්පා කිරීම අප ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මතාවකි. එබැවින් මතු පරම්පරාවට යහපත පෙනේවාදීම උත්ත්මයන්ගේ ගුණ ධර්මයකි. වේරඤ්ජානුවර අප බුදුන් වැඩහිඳිද්දී පැවති දුර්භික්ෂයේ දී ආහාර නැතිව දුක් වින්ද බව විනය පිටකයේ මහාවිභංගයෙහි දක්නා ලැබේ. මෙතැන දී බුදුන් පශ්චිම ජනතාව ගැන කල්පනා කළ සේක. මැදුම් සඟියේ බෝධිරාජ කුමාර සූත්‍රයෙහි අනඳ හාමුදුරුවෝ මෙසේ වදාළෝ ය.

“සංහරතුරාජකුමාර දුස්සානි නඛො භගවා චෙලපන්තිං අක්කමිස්සති පච්ඡිමංජන්තං තථාගතෙ අපලොකෙතීති”

– සිංහල ස්ත්‍රීන් අඳින හැට්ටයේ අසෝභනකම –

සිංහල ස්ත්‍රීන් අඳින හැට්ටය වියතක් පමණ පළල යි. පෙකණිය, බඩ, පයෝධර පපුව පෙන්වන අදහසින් මෙසේ කරනු ලැබේ.

මෙසේ කරන්නේ මන්ද? දිළිඳුකම නිසාය. සම්පූර්ණ ශරීරය වසාගැනීමට ඕනෑකරන ප්‍රමාණයට වස්ත්‍ර මිලදී ගැනීමට වත්කම මඳ නිසා යන්තම් පයෝධරයන් පමණක් වසාගැනීම කරනු ලැබේ. පුරුෂ කොට්ඨාසය ස්ත්‍රී කොට්ඨාසයට වඩා හිරිඔතප් දෙකින් යුක්තව වස්ත්‍ර අඳිනු ලැබේ. කොලර්, කමිස, මේස්, බැනියම්, කෝට් ඇඳ සම්පූර්ණයෙන් ශරීරය වසා ආරක්ෂා කරනු ලැබේ.

වස්ත්‍රාභාරණ ඇඳ අලංකාරව විසීම ස්ත්‍රීන් ගේ ධර්මයකි. දෙමළ, මරක්කල, ජා, ඉංග්‍රීසි, ලංසි, පරංගි යන ස්ත්‍රීහු ලංකාවේ වාසය කරන්නෝ ය. මුන් වස්ත්‍රාභරණාදිය අලංකාර ලෙස අඳින හැටි සිංහල ස්ත්‍රීන්ට පෙනේ. සිංහල ස්ත්‍රීන් ගැන අනුකම්පා කොට අලංකාර වස්ත්‍රාභරණ දීම සිංහල පුරුෂයන්ගේ පරම යුතුකමකි.

– සිංහල දරුවන් නොමඟ යන හැටි –

සිංහල දරුවන්ට බාල කාලයේ දී වත්පිළිවෙත් කියා දීමට කිසි කෙනකු නැති බැවින් ඔවුහු තරුණ වයසට පැමිණි කල ශීල විපත්ති ආචාර විපත්ති දෘෂ්ටිවිපත්ති යන මේවාට පැමිණෙත්, මරක්කල ගෑනු පිරිමි දරුවන්ට බාල කාලයේ පටන්ම ඔවුන්ගේ ආචාර්යයන් විසින් කොරන් පොතෙන් ධර්මය ද, අරාබි දෙමළ භාෂා ද ගණිතය ද උගන්වනු ලැබේ. දෙමළ වර්ගයාටත් එසේ මැ යි. යුරෝපීය වර්ගයා ඔවුන්ගේ දරුවන්ට නොයෙක් ශිල්පාදිය උගන්වනු ලැබෙත්.

සිංහල දරුවන්ට ගුරුකම් දීමට කිසි කෙනෙකු නැති බැවින් යමක් ඇති පවුල්වල දරුවන් මිථ්‍යාදෘෂ්ටි පාපතර යුරෝපීයයන්ට භාරදෙනු ලැබේ. මේ පාපීන්ගෙන් ඉගෙනගන්නේ සතුන් මැරීම, මත්පැන් පානය කිරීම, පස්කම් සුව විඳීම, මිථ්‍යා දෘෂ්ටිය ය. දුප්පත් බෞද්ධ දරුවෝ පාපීන්ගේ වසයට පැමිණ විනාශ වෙත්. පුරාණ කාලයේ සිල්වත් භික්ෂූන් වහන්සේලා අනුකම්පා සිතින් බෞද්ධ දරුවන්ට කුලදේවතාවුන් මෙන් කටයුතු කළෝ ය.

ධර්ම දේශනාවට දැන් ඇතැම් භික්ෂූන් වීර්යය ගන්නේ නැත. බුදුරජාණන් වහන්සේගේ නියමය ‘දෙසෙථ භික්ඛවෙ ධම්මං’ යනු යි. සර්වඥයන් වහන්සේ ධර්ම දේශනා කරන පිණිස පස්වග මහණුන් කෙරෙහි හටගත් කරුණාවෙන් බෝමැඬ සිට බරණැස ඉසිපතනාරාමයට වැඩි සේක.

මහා මහින්ද මහ රහතන් වහන්සේ දඹදිව සිට ලක්දිවට වැඩම කර වදාළේ සිංහලයන්ගේ ආරාධනාවක් ඇතිව දැයි, සුනාපරන්ත රටට පුණ්ණ හාමුදුරුවන් වහන්සේ වැඩියේ ආරාධනාවක් ඇතිව දැයි කල්පනා කට යුතුයි. ගිහි පක්ෂයේ බෞද්ධ ජනතාව අපගේ බුදුරජාණන් වහන්සේ විසින් හතලිස්පස් වසක් දේශනා කර වදාළ ධර්මය කුමක්දැයි දැනගැනීමට වීර්ය කිරීමක් නැත. සකල සතුන් කෙරෙහි පතළ මහා කරුණා ඇති අප බුදුපියාණන් වහන්සේ ගිහියන්ට ධර්මාවවාද කර තිබෙන අයුරු කල්පනා නොකරන්නෙ ඇයි? සංයුත්ත නිකායෙහි සොතාපත්ති සංයුත්තකයෙහි වෙළුවාර වර්ගයෙහි දක්වා තිබෙන දීර්ඝායු උපාසකයාගේ කථාව මෙසේ යි:

තෙන ඛො පන සමයෙන දීඝායුඋපාසකො ආබාධිකො හොති දුක්ඛිතො බාළහගිලානෙ අථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරමාදාය දීඝායුස්ස උපාසකස්ස නිවෙසනං තෙනුපසංකමි නිසජ්ජඛො භගවා දීඝායු උපාසකං එතද වොච ‘කච්චිතෙ දීඝායු ඛමනීයං’

අප බුදුහු උපාසක තැන කරා පැමිණ ධර්ම දේශනා කළ සේක. මේ වර්ගයේම අත්තුපනායික ධර්මපරියාය ධර්ම කාණ්ඩය උපාසක පිරිසට ඉතාම ප්‍රයෝජන යි.

(ශ්‍රී බුද්ධ වර්ෂ 2455ට පැමිණි ඇසළ මස අව එකොළොස්වක නම් තිථිය ලත් ශනි දින හෙවත් වර්ෂ 1911ට පැමිණි ජූලි මස 22 වෙනි සෙනසුරාදා ‘සිංහල බෞද්ධයා’ පත්‍රයේ පළ වූ ධර්මපාලතුමාගේ ලිපිය යි.)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s