ජාතික සංවිධාන ජාතික ෆැන්ටසියෙන් සූර්වීම හෙවත් ජාතික විමුක්‌ති අරගලයේ ඛේදවාචකය..!

1897900_714157221961809_1245829390_n
http://www.divaina.com/2014/03/11/feature01.html

සිංහලයේ ජාතික විමුක්‌ති සටන් ඉතිහාසය පුරාවට භික්‌ෂුවගේ කාර්යභාරය පිළිබඳ ඇතැම් ජාතික සංවිධාන නායකකාරකාදී හිමිවරුන්ට කිසිදු අවබෝධයක්‌ නැති බව උන්වහන්සේලා විසින් මෙහෙයවන ඇතැම් සටන් ස්‌ඵුට කරයි. සිංහලයේ විමුක්‌ති සටන් ඇරඹෙන්නේ පරංගි ආගමනයෙන් පසුව නොවේ. එළාර පරාජය කරන්නට ගාමිණී අභය පෙරට යද්දී, සටන් පෙරමුණේ දෘෂ්‍යමානව භික්‌ෂුන් වහන්සේද, අදෘෂ්‍යමානව රහතන් වහන්සේද වැඩියේ, එය, එම සටනේ උන්වහන්සේලාවෙත පැවරුණු කාර්යය වූ නිසාය. එළාරගේ දරුණුතම සෙනවියන් වූ ඡත්‍ර හා තිත්ථම්භ ගේ කඳවුරු ඉදිරිපිටට උන් වහන්සේලා වැඩියේ, සතුරා යටත් නොවුනහොත් ගිණි තියාගන්නට නොවේ. බැමිණිතියාසාය පැමිණි කල මහවැලි ගං ඉවුරේ උදරයට වැලි කොට්‌ට තද කරගනිමින් ත්‍රිපිටකය රැකගැනීම තවත් සටන් ක්‍රමයකි. අනුරාධපුර, පොළොන්නරු යුගවලදී සිංහල සාහිත්‍යය හා අධ්‍යාපනය ක්‍රමෝපායිකව භික්‌ෂුන් වහන්සේ සතු කරගැනීම වෙනමම සටනකි. බෞද්ධ සාහිත්‍යය හා අභිචාර හින්දු ආක්‍රමණයට ලක්‌වෙද්දී වීදාගම හිමියන් බුදුගුණඅලංකාරය ලිවීම තවත් සටන් පැතිකඩකි. වාරියපොළ සුමංගල හිමියන් සුද්දාගේ කොඩිය පාගා දමන්නට එඩිතරවීම තවත් සම්ප්‍රදායකි. “නායක හාමුදුරුවනේ අපි පිං බත් ගිල ගිල පඩික්‌කං පුරෝ පුරෝ ඉඳල හරියන්නේ නෑ” කියමින් සඟ සමුළුවෙන් නැගිට එන කුඩාපොළ රාහුල හිමියන් මහතලා හටනට පණුපෙවීම වෙනමම ක්‍රමවේදයකි. එස්‌. මහින්ද හිමියන්ගේ කවිය තවත් අවියකි. නිදහස්‌ අධ්‍යාපන පනත සම්බන්ධයෙන් රටම කතා කරන්නේ කන්නංගර මහතා ගැන වුවද, එතුමන් එතැනට මෙහෙය වීමේදී මෙරට භික්‌ෂුන් වහන්සේ වෙනමම සටන් උපක්‍රමයක්‌ අනුගමනය කළහ. සෝම හිමියන්ගේ භාවිතාව වෙනමම ක්‍රමයකි. ඉන්දරතන හිමියන්ගේ ජීවිත පූජාව මේ සියල්ලට වෙනස්‌ වූ එහෙත් අසීරු සටන් ප්‍රවේශයකි. මේ යුගයට අවශ්‍ය කවර සටන් සම්ප්‍රදායක්‌ද, මේ සියල්ලගේම එකමුතුවද යන්න ප්‍රවේශමෙන් විමසා නොබලා දියත්කර අසාර්ථක වන සටන්, නැවතීමේ තිත තබන්නේ ඒ අවිදූරදෘෂ්ටික සටන්කරුවන්ගේ ජීවිත වලට පමණක්‌ නොවේ. සිංහලයාගේ සටන්කාමීත්වය ද එම පරාජයන් විසින් සදහටම මොට කරයි.

සටන අරඹන්නටත් පෙර ජයපානෝත්සවයේදී ජයග්‍රහණයේ කීර්තියෙන් ඔද වැඩීමේ ආශාවෙන් ඕනෑවටත් වඩා ඇතැම් ජාතික සංවිධාන පෙළෙන බව පෙනීම දුකට කරුණකි. සටන් සංවිධානයේදී, ජහග්‍රහණ පිළිබද දකින ඒ සුන්දර සිහින නිසා, “ජයග්‍රහණය බෙදී යාවී”යි ඇති වන අස්‌ථාන බිය නිසා වෙනත් සහෝදර සංවිධාන, සමාජ ව්‍යාපාර වලට කතා නොකරනවා විය හැක. සෙසු සංවිධාන හෝ සටන් සගයන්ට ආරාධනා කළ යුත්තේ සටනක්‌ සැළසුම් කරද්දීම මිස අන්තිම මොහොතේදී නොවේ. එක්‌ එක්‌ විෂයයන්, සමාජ ගැටළු, ඒවාට ඇති විසඳුම් පිළිබඳව ඒ ඒ සංවිධානවල විවිධ මතිමතාන්තර තිබිය හැක. එහෙයින් ඒ සියල්ල ප්‍රවේශමෙන් පිරික්‌සා සංවිධාන ගතවනු වෙනුවට, වැඩ වැරදීගෙන එද්දී, තමන් අසාර්ථක වෙද්දී අන්‍යයන්ට අඬගසා නොපැමිනෙන්නේ නම් ආඩපාලි කීම තුළ පෙනෙන්නේ දරුණු ඉච්ඡාභංගත්වයක්‌ මිස අන් කිසිවක්‌ නොවේ.

එවැනි විටෙක සෙසු ජාතික බලවේගවලට පහර ගැසීමට, තවත් සංවිධානයක්‌ දරන්නාවූ උත්සාහය අයුක්‌ති සහගත මෙන්ම අපහැදිළිය. එතුළ අපට ඇතිවන්නේ බරපතළ සැකයකි. සිංහල ජාතික විමුක්‌ති සටන අඩාල කිරීමේ කොන්ත්‍රාත්තුවට දැන හෝ නොදැන ඇතැම් සංවිධාන සම්බන්ධද යන සැකය සාමාන්‍ය බුද්ධියක්‌ හෝ ඇති රටට ජාතියට ආදරය කරන ජාතික බලවේග වලට ලැදි අයකුගේ සිතෙහි ඇතිවීම වැළැක්‌විය නොහැක. අනිත් අතට ඉතා ඕලාරික ලෙස “කෝ අනිත් ජාතික සංවිධාන… බුදිද..” යි ප්‍රශ්න කරද්දී අපට පෙනෙන්නේ, තම සටනට තවත් සටන් සගයින් එක්‌කර ගැනීමට ඇති අවංක අව්‍යාජ වුවමනාවට වඩා, දෙනෝදාහක්‌ ඉදිරිපිට, මාධ්‍ය කවුලු ඔස්‌සේ එසේ අසා, “අපි තමා වීරයෝ” යි යන්න ආත්මාර්ථකාමීව ප්‍රදර්ශනය කිරීමේ නොමේරූ ආශාව පමණි. එතැනදී ඇතැම් සංවිධාන වල භාවිතාව, මේ රටේ මනාප බෙදාගන්නට රට ජාතිය නොව, අම්මා අප්පා වුව අමතක කර පොරයට බසින තුන්වන පන්තියේ දේශපාලනඥයන්ගේ ක්‍රියා කලාපයටද අන්තය.

විටෙක රැස්‌වීමකට, මහා රැළියකට, පෙළපාලියකට විසිපහක්‌ තිහක්‌ රැස්‌කරගනු නොහැකිව, “හිමිවරු මහපාරේ ඉඳිද්දී 71% වූ බෞද්ධයා සටනට නොඑන්නේ මන්ද”යි යන ගැටළුවට ප්‍රායෝගික පිළිතුරක්‌ සපයා ගන්නට වෙර දරනු වෙනුවට ද්වේශ සහගතව කරනු ලබන බැණවැදීම් තව දුරටත් සිංහලයා එම සටන් වලින් ඈත් කරයි. සිංහලයාට දැනෙන්නට සැරට කතාකළ යුතුය. එහෙත් අප සැරට කතා කළ යුත්තේ ද්වේශ සහගතව නොවේ. පෞද්ගලික කාරණා රාශියක්‌ නිසා සෙසු ජාතික සංවිධාන වලට ද්වේශ කරන පිරිස්‌ ෙµaස්‌බුක්‌ අවකාශය දිග්විජය කරගෙන, ජාතික සංවිධාන වලට උදව් කරන මුවාවෙන් මේ කරන්නේ ජාතිය බෙදා දැමීම බව වටහා ගත යුතුය. ජාතික සටන යනු පොලු මුගුරු අතට ගෙන පාරට බැසීමට සූදානම් පිරිසකගේ වැඩකිඬයි යන පූර්වාදර්ශය ඉතා අනර්ථකාරීය. මෙමගින් සිංහලයේ ඓතිහාසික විමුක්‌ති සටනේ ඉතිහාසයටත්, වර්තමානයටත්, අනාගතයටත් ලඝූ අර්ථකතනයක්‌ සපයා බරපතළ පහරක්‌ එල්ලකරනු ලබයි.

ජාතික සටන් යෑයි කියාගනිමින් දැන් දැන් කරළියට ගෙන එන ඇතැම් ජවනිකා දකිද්දී අපට පෙනී යන කරුණ නම් එම සංවිධාන වල පරමාර්ථ හා ක්‍රමවේද, සටනක, අරගලයක හෝඩි පොතවත් නොදත් හුදු හැඟීමෙන්ම පමණක්‌ මඩනා ලද පිරිසකගේ උන්මාදය හා අපරිනත අකුටිලකම් නිසා අයාලේ යන බවය. “චියර්” එක නිසා ධාවකයෙකුගේ වේගය වැඩිවිය හැක. පිතිකරුවකුගේ පිතිහරඹය වේගවත් විය හැක. ඒ දෙකම ප්‍රශ්නයක්‌ නොවේ. එහෙත් හුරේ දමන්නන් නිසා ජාතික සටන වේගවත් කිරීමට පෙර හුරේ දමන්නේ කවුදැයි, ඔවුන් එසේ කරන්නේ ඇයි දැයි, සටන් නායකයන් විමසිල්ලෙන් බැලිය යුතුය. එසේ කළ යුත්තේ, අප වනාහී, සටනේ ඉදිරියෙන් දෑකැත්තත් මිටියත් සහිත රතු ධජයක්‌ ඔසවාගෙන යන බඩගිනි මිනිසුන් පිරිසක්‌ වෙනුවට, අරහත් ධජය අතටගත් සිංහයන් සමූහයක්‌ බැවිණි. එදාමෙදාතුර අපට වරද්දා ඇත්තේද, සතුරාගේ බත්බැල හුරේ දමන්නන් බැවිණි. කොන්දේසි විරහිතව සටන් කළ යුතුය. එහෙත් ඒ ක්‍රමෝපායික සංයමයකිනි. ඒ සංයමය තුළ අරගලකරුවාගේ සටන්කාමීත්වය බිඳ නොවැටේ. එසේ බිඳ වැටෙන්නේ යෑයි යමෙක්‌ කිවහොත් ඔවුන් සැබෑ සටන්කරුවන් නොවේ.

අද සිදුවන්නේ සිංහල ජනමතය ඉදිරියේ පෙනී ඉන්නට මොකක්‌ හෝ නමකින් සංවිධානයක්‌ අටවා ගැනීමය. උපක්‍රමික සැළසුමක්‌ දිශානතියක්‌ නැත. එහෙත් ජනප්‍රිය වීම සඳහා යමක්‌ කළ යුතුය. අනතුරුව එහි විවිධ ජවනිකා තමතමන්ගේ ෙµaස්‌බුක්‌ පිටු ඔස්‌සේ විසුරුවා හැර මුග්ධ ස්‌වයංවින්දනයක්‌ ලැබිය හැක. තමන්ගේම රුව, වීඩියෝව අන්තර් ජාලයේ දකිද්දී බොහෝ අය සිතන්නේ තමාද දැන් “චරිතයක්‌” වී ඇති බවය. ඕනෑම ජගතෙක්‌ මට්‌ටු කළ හැකි බවය. තමන් අසාර්ථක වෙද්දීද එම සමාජ ජාලා ඔස්‌සේම ද්වේශය මුදාහල හැක. හිතූමතයට සටන්කාමී ලාංඡන, සටන් පාඨ, නිපදවෙයි. ඇතැමුන්ගේ වෙබ් අඩවි කම්මල් බඳුය. ඒ තරමට කඩු කිණිසි වලින් ගහණය. නව බළකායන්ද මනකල්පිතව ස්‌ථාපනය කරයි. “සිංහලයේ මරාගෙන මැරෙන බළකාය” එක්‌ උදාහරණයකි. මේ අපේ ජාතික ව්‍යාපාරයේ ඛේ
දයයි. සිංහලයා මරාගෙන මැරුණු සටන්කරුවකු නොවේ. රට ජාතිය ආගම වෙනුවෙන් දිවිපිදූ අභීත මිනිසුන්ගේ ඉතිහාසයක්‌ ඇති අපේ සටන්කාමීත්වය, කොටි ත්‍රස්‌තවාදීන්ගේ “මරාගෙන මැරෙන” ගෝත්‍රික සංකල්පයේ මට්‌ටමට සෝදාපාළු වී ඇති සැටි· ලේ සහ ජීවිත, සටනක තීරණාත්මක මොහොතේදී කෙතරම් වටින්නේදැයි මේ අදිසි සංවිධාන නොදන්නේය. සටන් අරඹන්නට යන්නේ ලේ සහ ජීවිත වලිනි. ජාතියේ විමුක්‌ති සටනේ ඉතිහාසය තබා ජාතියේ ඉතිහාසයවත් නොදන්නා අයගේ කෘෂ බුද්ධියට නම් මේ ගෝත්‍රික සටන් මහා අරගල ලෙස පෙනෙන්නට පුළුවන.

මේ දිනවල උණුසුම් මාතෘකාවක්‌ වී ඇති ගව ඝාතනයට එරෙහිව මෑතකදී කොළඹ සිදුවූ එක්‌ සංවිධානයක උද්ඝෝෂණය නිදසුනක්‌ සේ ගනිමු. මෙතන ඇත්තේ ගව ඝාතනය තහනම් කිරීමේ අවශ්‍යතාව පිළිබද විවාදයක්‌ නොවේ. තථාගතයන් වහන්සේට පේන තෙක්‌ මානයේ ගව ඝාතකාගාර, සූකර ඝාතකාගාර පිහිටියේ වුවද ඒවාට එරෙහිව බෞද්ධ භාරතයේ කිසිවකුත් විරෝධතා නොපෑ නමුත් ශ්‍රී ලංකාවේ ගව ඝාතනය නතර කිරීම සඳහා සිංහල බෞද්ධයා පෙරමුණ ගැනීමෙහි වරදක්‌ අපි නොදකිමු. මස්‌ පිණිස මත්ස්‍යයන්ද ඇතුළුව සෙසු සතුන්ද මැරීම නවතා දැමීමට හැකිනම් එය ඉතා අගනේය. එහෙත් මෙම වෑයම පදනම් කරගනිමින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මතුවූ තත්ත්වය ජාතික සටනක්‌ද යන පැනය අප තුළ තිබේ. එතැන සිටින පිරිස විසින් කළේ ජාතික සටනක්‌ද? විටෙක එහි පෙරමුණ ගෙන සිටින හිමිවරුන්ගේ වුවද අනුදැනුමකින් තොරව මෙය සිදුවනු ඇත්දැයි සැක සිතෙන තරමට එය එකම අවලාද ව්‍යාපාරයක්‌ පමණි. එතැනට රොක්‌වූ පිරිස හැර මේ රටේ සිටින සියලු දෙනාට ඔවුහු දෙස්‌ දෙවොල් තැබූහ. මේ කවර අන්දමේ ජාතිය එක රොදකට ගැනීමක්‌දැයි අපට නොවැටහේ. එය එක්‌ උදාහරණයක්‌ පමණි. විටෙක ඇතැම් සංවිධාන වල පිරිස්‌ රටේ වගකිවයුත්තන්ට නිර්දය ලෙස පහර දෙන්නේ තම නායකකාරකාදීන් ගමන් බිමන් වඩින්නේ හෝ යන්නේ එම වගකිවයුත්තන්ගේ අනුග්‍රහයෙන් ලත් තීරුබදු රහිත වාහනයක බව නොදැනය.

ජාතික පරමාර්ථ වෙනුවෙන් ඇපකැපවී සිටින්නේයෑයි හතර අතේ දිව්රා කියන සංවිධාන තවත් පමා නොවී කළ යුතු දෙයක්‌ ඇත. ඒ තම තමන් මෙතෙක්‌ කළ කී දෑ මදකට ප්‍රත්‍යවේක්‌ෂණය කිරීමය. එනම්, මදක්‌ විවේක ගෙන මෙතෙක්‌ තමන් කළදේ පිළිබදව සිතා බැලීමය. ඒවායේ අඩුපාඩු පිළිබද අව්‍යාජ, මැදහත් ස්‌වයං විවේචනයක්‌ කරගැනීමය. දැන් කළ යුත්තේ මේ ලිපිය ගැන උරණවීම නොවේ. එම සංවිධාන වලට තමන්ට අභිමත පරිදි ඕනෑම දෙයක්‌ කිරීමට ඇති අයිතිය අපි ප්‍රශ්න නොකරමු. එහෙත් ශාසනික, සමාජමය හා දේශපාලනික වශයෙන් පරිනත යතිවරුන්ගේ සෙවණ, උපදේශකත්වය ලබන සංවිධාන අතින් මෙරට සැබෑ දේශප්‍රේමී ජනයා අපේක්‌ෂා කරනදේ ඉටු නොවන්නේ නම් එය අපේ අවාසනාවකි. මක්‌නිසාද යත් එම ජාතික සංවිධාන වලට මේරටේ කිරීමට තවත් බොහෝ දේ ඉතිරිව ඇති බැවිනි. සමාජ කාර්යයන් සංවිධානයේදී, සම්මත අරමුණු හා සම්මත ක්‍රමද, අසම්මත අරමුණු හා අසම්මත ක්‍රමද තිබේ. සම්මත අරමුණු, අසම්මත ක්‍රම වලින් දිනා ගැනීමට වෙර දැරීමද, අසම්මත අරමුණු සම්මත ක්‍රම වලින් දිනා ගැනීමට වෙර දැරීමද නුසුදුසුය.

*විශේෂ ලියුම්කරුවකු විසිනි

 

Advertisements

One thought on “ජාතික සංවිධාන ජාතික ෆැන්ටසියෙන් සූර්වීම හෙවත් ජාතික විමුක්‌ති අරගලයේ ඛේදවාචකය..!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s