“අභිධර්මය උගැන්මට පෙර….” (5 කොටස)

1779726_710064279037770_1220440319_n
– ප්‍රථම සංගීතියට පෙර අභිධර්මය නොවී ද? –

මෙයද අට්ඨ කථාවලදී නිරාකරණය කරන ලද පැණයකි. එහෙත් ‘අභිධර්මය ප්‍රථම සංගායනාවට පෙර නොවී’යැයි කියන්නෝ අදත් සිටී. ඔවුන් අභිධර්මය පසුකාලීන යැයි කීමට බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේ ‘අභිධම්ම’ ශබ්දයට දැක්වූ නිරුක්ති අර්ථය ද යොදාගන්නා බව පෙනේ. බුද්ධඝෝෂ හිමියන් විසින් අත්ථසාලිනී නම් ධම්මසංගණීපකරණ අටුවාවේ: “තත්ථ අභිධම්මෝති කෙනට්ඨේන අභිධම්මො, ධම්මාතිරේක ධම්මවිසේසට්ඨේන. අතිරේක විසේසත්ථදීපකො හි එත්ථ අභිසද්දො” යනුවෙන් “එහි අභිධම්ම යනු කවර අරුතෙකින් අභිධර්ම වෙයි යත් : ධර්මාතිරේක ධර්ම විශේෂාර්ථයෙනි: මෙහි ‘අභි’ ශබ්දය අතිරේක විශේෂාර්ථදීපක හෙයිනි”යි කියන ලදී. ටීකාවේ ‘අභිධම්ම’ යනු ‘සුත්තන්තාධිකා පාළි – සූත්‍රාන්තයට අධික වූ පාළි’ යයි කියන ලදී. අභිධර්මය සූත්‍රපිටකයට පසුව ඇතිවී යයි කියන්නන් අතිරේක විශේෂ ශබ්දයනට අලුත්, පසුව ඇතිවූ යන අරුත් ගන්නා බව පෙනේ. ඒ අනුව ‘අභිධම්ම’ යනු ‘අලුත් දහම’ ‘පසුව ඇතිවූ දහම’ නම් වෙයි. එහෙත් අතිරේක විශේෂ ශබ්දයන්හි ඒ අරුත නොලැබේ.

‘අභිධම්ම’ ශබ්දයට බුද්ධඝෝෂ හිමියන් විසින් ඉහත දැක්වූ නිරුක්තිය හා වාච්‍යාර්ථ නොගෙන තමන්ට හැගෙන පරිදි අර්ථදැක්වීමට යෑම සුදුසුනොවේ. නිරුක්ති අර්ථයට වඩා වාච්‍යාර්ථය බලවත්ය. අභිධර්මය, ධර්මාතිරේක හා ධර්මවිශේෂ වන අයුරු ද බුද්ධඝෝෂ හිමියන් විසින් පැහැදිලිව දක්වා ඇති බව ඉහතින් පෙන්වා දී ඇත.

‘අභිධර්මපිටකය සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශතවර්ෂ කිහිපයක් තුළ අනුක්‍රමයෙන් වැඩීගියේ යැ’ යි කියන්නෝ ද වෙති. ආචාර්ය කොගන් මිශුනෝ (KOGEN MIZUNO) ‘ක්‍රි.පූ 3 වැනි සියවස්හි මධ්‍යභාගය පටන් ක්‍රිස්තු වර්ෂාරම්භය දක්වා අභිධර්මයෙහි මූලග්‍රන්ථ සම්පාදනය වූ කාලය’ සේ කියයි. මේ මතය සනාථ කිරීමට කිසිදු සාධකයක් නැත. කථාවස්තුප්‍රකරණය මිස ත්‍රිපිටකයෙහි ඇතුලත් අන් එකදු ග්‍රන්ථයක් සම්බන්ධව හෝ ඔවුන්ගේ මතයට අදාලව සාධක දැක්වීමට ඔවුහු සමත්වී නැත. කථාවත්ථුපකරණය පිළිබඳ පුවත අටුවාවෙහි පැහැදිලිවම දක්වා ඇත. සෙසු ත්‍රිපිටක ධර්මය සැකසුනු අයුරු මෙන්ම ‘කථාවත්ථුප්පකරණය බුදුරදුන් තැබූ මාතිකානය ගෙන මොග්ගලීපුත්තතිස්ස තෙරණුවන් විසින් දඹදිව දම්සෝ මහනිරිඳු දවස දේශිත යැ’යි දක්වා ඇත. විරුද්ධවාදීන් කියන පරිදි ත්‍රිපිටකයෙහි නිකාය, පකරණ ග්‍රන්ථ ඒ ඒ යුගවල වෙන් වෙන් කතුවරුන් විසින් කරන ලද නම් ඔවුන්ගේ නම්ගොත් ආදී විස්තර කථාවත්ථුපකරණය සම්බන්ධයෙන් දැක්වූ පරිදි අටුවාචාරීන් වහන්සේලා විසින් නොදක්වා සැඟවීමට හේතුව කුමක්ද? එසේ සැඟවූ බවට සත්‍ය සාධක දැක්විය හැකිද? පාලි භාෂාවත්, ධර්මයත් නොදැන හෝ වරදවා ගෙන හෝ දක්වන මනකල්පිත සාධක මත ‘අර දහම් පැරැණියැ, මේ දහම් කොටස් අළුත් යැ’යි කියනු මිස මෙතෙක් කිසි විවේචකයෙක් සත්‍ය සාධක පෙන්වාලීමට තරම් සමත් වී නැත.

“නිකාය ග්‍රන්ථ අතුරෙහි මජ්ඣිම, අංගුත්තර දෙනිකාය පසු කලකට අයත් වේ යයි ද අභිධර්මය ගැන සඳහන් වන්නේ ඒ දෙක්හි පමණෙකැ”යි ද ආචාර්ය කෝගන් මිශුනෝ මහතා බෞද්ධ විශ්වකෝෂයෙහි කියයි. ඒවා පසුකාලීනව කව්රුන් විසින් කවර කලෙක එක් කරන ලද්දේදැයි නොකියයි. දෙවන සංගායනාවේදී පෙළට ඇතුලු කරන ලද ඝෝටමුඛ, මධුර, මුණ්ඩරාජ සූත්‍ර නිසා ආචාර්ය මිශුනෝට එවන් සැකයක් පහළ වූවා විය හැක. එහෙත් ඒ එකදු සූත්‍රයක් හෝ බුද්ධභාෂිත සේ දැක්වීමට සංගීතිකාරක තෙරවරුන් හෝ අටුවා ඇදුරන් හෝ කිසි උත්සාහයක් ගෙන නැත. එම සූත්‍රයන්හි බුදුදහමින් බැහැර කිසිවක්ද නැත.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව දේශිත වුවද ඉහත සූත්‍රයන් පෙළට ඇතුලත් කිරීමට කිසිදු බාධාවක් නොතිබිණි. එහෙත් ශ්‍රාවක භාෂිතයක් බුද්ධභාෂිත සේ දැක්වූ තැනක් නැත. ඒ හැම අටුවා ඇඳුරෝ පැහැදිලිව දක්වා ඇත. උත්තර මාතු පේතවත්ථුව මෙයට හොඳ නිදසුනෙකි. අට්ඨකථාවේ නොකියන ලද නම් ඒ කථාව ප්‍රථම සංගායනාවේදී සංගායනා නොවී යැයි කිසිලෙසකින්වත් දැනගත නොහැකිය. එහෙත් එහි එන පුවත සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සිදුවූ බවත් ද්විතීය සංගීතියෙහි සංගායනාවේදී පෙළට ඇතුළු කරන ලද බවත් අටුවා ඇදුරෝ හෙළි කරති. විතණ්ඩවාදීන් සිතන කියන පරිදි පසුකාලීන රචනා බුදුරදුන් කෙරෙහි හෝ උන්වහන්සේගේ සමීපශ්‍රාවකයන් කෙරෙහි හෝ ආරෝපණය කිරීමට උත්සාහයක් වී නම් ප්‍රථම සංගායනාවට ඇතුලත්විය හැකිව තිබූ උත්තර මාතු පේතවත්ථුව දෙවන සංගායනාවෙහිදී එක්වී යැයි සඳහන් කරනු ඇද්ද?

මජ්ඣිම අංගුත්තර දෙනිකායෙහි අභිධර්මය ගැන සඳහන් වීම දක්වමින්, අභිධර්ම පිටකය පසුකාලීන රචනාවක් බව දැක්වීමට බෞද්ධ විශ්වකෝෂයෙහි ආචාර්ය මිශුනෝ උත්සහා දරා ඇත. එහෙත් අභිධර්මය ගැන සඳහන් සූත්‍ර ජීවමාන බුදුරදුන්ගේ කාලයට අයත්වීමෙන් ඒ මහතා අනාථ වෙයි. එමෙන්ම, අභිධර්ම පිටකයට ද ගුරු වූයේ යැයි ඔවුන් අදහන මහානිද්දේසයෙහි අංගුත්තර නිකායේ අන්තර්ගත සූත්‍රයන්ගෙන් උධෘත පාඨ 11ක් පමණ ද, මජ්ඣිම නිකායෙන් උධෘත පාඨ 13ක් පමණ ද දක්නට ඇත. ප්‍රථම සංගායනාව අවසානයෙහි මජ්ඣිම නිකාය සැරියුත් තෙරණුවන්ගේ අතවැසියන්ටත් අංගුත්තර නිකාය අනුරුද්ධ තෙරණුවන්ටත් පැවරූ බව සුමංගලවිලාසිනී නම් දීඝ නිකාය අට්ඨ කථාවේ සඳහන් වේ. මිශුනෝ මහතා සිතන පරිදි අඩුම තරමින් අභිධර්ම පිටකයෙහි ධම්මසංගනීප්‍රකරණය හෝ මජ්ඣිම නිකායටත් අංගුත්තර නිකායටත් පැරණි විය යුතුය. ඔහුගේ මතයට අනුව අභිධර්මයට ගුරුවූ හෙයින් මහානිද්දේසය ඊටත් පැරණි විය යුතුය. අභාග්‍යයට මෙන් මජ්ඣිම නිකායේ හා අංගුත්තර නිකායේ සූත්‍රපාඨ ද ධම්මසංගනී පාඨ ද නිද්දේසයෙහි ඇතුලත් වෙයි. මේ අවුලේදී මිශුනෝ මහතාට සිදුවනුයේ විනයෙහි අභිධර්ම සඳහන් තැන් ඕල්ඩන්බර්ග් මහතා කී පරිදි ‘පසුකලෙක ඇතුළුත් කරන ලදැ’යි කියා ලිස්සා යෑමටය. මේ පැහැදිලි කිරීමට අනුව මජ්ඣිම, අංගුත්තර දෙනිකායෙහි අභිධර්මය ගැන සඳහන සලකා අභිධර්මය පශ්චාත්කාලීන යැයි සනාථ කරන්නට යන්නෝ අනාථව ඇද වැටෙති.

ත්‍රිපිටකයෙහි යුග බෙදීම

ත්‍රිපිටක බුද්ධවචනය යුග වශයෙන් බෙදන්නට යෑමෙන් විවේචකයෝ මහත් අවුලකට පත්ව සිටිති. පාළි, නිකාය, පකරණ වශයෙන් හෝ ගෙන අහවල් පාළිය, නිකාය, පකරණය අනෙකට වඩා අළුත් හෝ පැරණි යැයි කිව හැකි කිසිදු සාධකයක් නැත. ශික්ෂා වශයෙන් හෝ සූත්‍ර වශයෙන් හෝ විභාග කරතහොත් ආයාසයක් දරා පෙර පසු භේද වෙන්කොට ගත හැකි වෙයි. තෙවළා බුදු වදන් පිටක වශයෙන් සංග්‍රහ කරන ලද්දේ දේශිත පිලිවෙල අනුව නොව මතකතබාගෙන ග්‍රහණය කරගැනීමේ පහසුව පිණිස ස්වරූපසාම්‍යය අනුවයි. දේශනා අනුපිළිවෙළ ගන්නා ලද්දේ නම් ‘ධම්මචක්කපවත්තන’ සූත්‍රය සංග්‍රහ කළ යුතු වන්නේ සච්ච සංයුක්තයෙහි නොව දීඝනිකායේ ප්‍රථම සූත්‍රය වශයෙනි. මේ බව නොසිතන ත්‍රිපිටක විවේචකයන් ප්‍රථම සංඝායනාවෙන් පසුව දේශිත මුණ්ඩරාජ, ඝෝටමුඛ, මධුර වැනි සූත්‍රයන් අඩංගු නිසා අංගුත්තර, මජ්ඣිම නිකායන් ‘පශ්චාත්කාලීන රචනා’ යයි සිතනු විය හැකිය. එහෙත් ඉහත සූත්‍ර එකක් හෝ ප්‍රථම සංගායනාවට පෙර දේශිත වූ බව දැක්වීමට කිසි වෑයමක් ස්ථවිරවාදීහු කර නැත. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු දේශිත කිසි දහමක් බුද්ධකාලය හා සම්බන්ධ කොට දක්වා ඇති බවක් සහේතුකව කීමට මෙතෙක් කිසිදු විවේචකයක් සමත්වී නැත.

ත්‍රිපිටකයෙහි යුග බෙදන්නවුන් පෙළ බසත් දහම්නයත් නොදැන මුළා වූ බව නම් පැහැදිලිය. අපදාන පාළියෙහි නව්‍යත්වය සනාථ කිරීමටත් එයින්ම ‘පශ්චාත්කාලීන රචනා බුදුරදුන් කෙරෙහි හෝ උන්වහන්සේගේ සමීපශ්‍රාවකයන් කෙරෙහි හෝ ආරෝපණය කිරීමට ස්ථවිරවාදීහු තැත් කොට ඇතැ’යි කීමටත් සාධකයක් ලෙස බොහෝ උගතුන් යොදාගන්නා අපදාන ගාථාවක් මෙහි ලා දැක්විය හැකි.

අපදානයෙහි :
“අභිධම්මනයඤ්ඤූහං කථාවත්ථුවිසුද්ධියා
සබ්බේසං විඤ්ඤාපෙත්වාන විහරාමි අනාසවො”

යන්නෙහි නිසැකයෙන්ම කථාවත්ථුපකරණය සඳහන් කරතියි ද කථාවත්ථුපකරණය සම්පාදිත වූයේ මොග්ගලීපුත්තතිස්ස තෙරුන් විසින් බැවින් අපදානය අන්තිම වරට සකස් වූයේ තුන්වන සංගායනාවෙනුත් පසු කලෙකැයි කියන්නෝද ඇත. ඉහත ගාථාවේ අර්ථය විමසා බැලූවිට එයින්, මොග්ගලීපුත්තතිස්ස තෙරණුවන් විසින් සම්පාදිත කථාවත්ථුප්‍රකරණය සඳහන් වන බවක් නිසැකයෙන් තබා සැකයෙන්ද ගත නොහැක. ඔවුන් ගාථාවේ එන ‘අභිධම්ම’ ශබ්දයෙහිත් ‘කථාවත්ථු’ ශබ්දයෙහිත් මුළා වූ බව පනේ. අට්ඨකථාවේ එන ‘කථාවත්ථුප්පකරණෙ’ යන්නෙහි වඩාත් මුළා වන්නට ඇත. ගාථාවේ අරුත විමසන ලද නම් නගාගත් මතවාදය ගැන සිනා නැගෙනු ඇත. ‘කථාවත්ථු’ යනු කථාවත්ථුප්පකරණ යයි ගත්තද, ‘විසුද්ධියා’ යන්නට කවර අර්ථයක් ගන්නද? එයින් ‘කථාවත්ථුප්පකරණයෙහි ශෝධනයක් අදහස් කෙරේ’ යයි කියන්නේද?

ඉහත ගාථාවෙන් මන්තානිපුත්‍ර පුණ්ණ තෙරණුවෝ : ‘අභිධර්ම නය දන්නා මම (දශ) කථාවස්තු විශුද්ධියෙන් හැමදෙනාහට විඥාපන කොට අනාස්‍රව වැ වෙසෙමි’ යි කියති. උන්වහන්සේ දශ කථාවස්තුවෙහි ලා සප්ත විශුද්ධීන් ද, සප්ත විශුද්ධියෙහි ලා දශ කථාවස්තූන් ද දේශනා කරන ධර්මකථික තෙරනමක් වශයෙන් ප්‍රසිද්ධ වන අතර රථවිනීත සූත්‍ර අටුවේත් කථාවස්තු විශුද්ධිය පැහැදිලිව දක්වා ඇත. බුදුරදුන් හමුවේ ධර්මකථික භික්ෂූන් අතර අගතැන් ලද පුණ්ණ තෙරණුවන්ගේ අපදානයට බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236කට පසු සම්පාදිත ග්‍රන්ථයක් සම්බන්ධ කිරීම සිහි ඇතියකු විසින් කරනු ඇද්ද? මේ තරම් සුළු කරුණු පවා වරදවා ගන්නවුන්ගේ යුග බෙදීම් කථා පදනම් විරහිත ප්‍රලාප පමණක් බව පැහැදිලිය. තෙවළා බුදු දහමට ඉන් වන හානියක් නැත ද ධර්මයේ සැක උපදවන බැවින් ආධුනිකයන්ට නම් මහත් හානියක් වේ.

‘ප්‍රථම සංගීතියෙන් පෙර අභිධර්මය නොවී’ යයි කියන්නෝ තම මතය ස්ථිර කිරීමට හේතු දැක්වීමට අපොහොසත් වෙති. එමෙන්ම ඔවුන් විනය පිටකයත් සූත්‍ර පිටකයත් ප්‍රථම සංගයනාවේදී සංග්‍රහ වූ බව පිළිගනිති. එබැවින් විනය පිටකයේ මෙන්ම සූත්‍ර පිටකයේද නොයෙක් තැන්වල අභිධර්මය ගැන සඳහන් වන තැන් කිහිපයක් මෙසේ දක්වාලමු.

පාචිත්තිය පාළියෙහි : “අනාපත්ති න විවණ්ණෙතුකාමො, ඉංඝ තාව, ආවුසො සුත්තන්තං වා ගාථායො වා අභිධම්මං වා පරියාපුණස්සු, පච්ඡාපි විනයං පරියාපුණිස්සසිති භණති.” යන පාඨයෙහි අභිධර්මය සඳහන් වෙයි. ඔල්ඩන්බර්ග් මහතා සිතන පරිදි ‘අභිධම්මං’ යනු පසුකලෙක ඇතුලත් කරන ලදැයි පිලිගත නොහැක්කේ ශික්ෂා පැනවීම හෝ වෙනස් කිරීම ශ්‍රාවක විෂය නොවන හෙයිනි. ඛුද්ධානුඛුද්ධක සික්ෂා වෙනස් කිරීමට බුදුරදුන්ගෙන් ලද අවසරය ද ප්‍රථම සංගායනාවේදී ප්‍රතික්ෂේප කරන ලදී. ශ්‍රාවකයන් ශික්ෂා පැනවූ හෝ වෙනස් කළ බවට වෙනත් සාධකයක්ද නොමැත.

මහාවග්ග පාළියෙහි : “පඤ්චහි භික්ඛවෙ අංගේහි සමන්නාගතේන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං න නිස්සයො දාතබ්බො න සාමණේරො උපට්ඨාපෙතබ්බො, න පටිබලො හොති අන්තේවාසියං වා සද්ධිවිහාරිං වා ආභිසමාචාරිකාය සික්ඛාය සික්ඛාපේතුං, ආදිබ්‍රහ්මචරිය කාය සික්ඛාය විනෙතුං, අභිධම්මෙ විනෙතුං, අභිවිනයෙ විනෙතුං, උප්පන්නං දිට්ඨිගතං ධම්මතො විවෙචෙතුං.” යන පාඨයේ දැක්වෙන්නේ උපසම්පදා කරන, නිස දෙන, සාමනේරයන්ගෙන් උවටැන් ගන්නා ආචාර්ය උපාධ්‍යායන් කෙරෙහි අත්‍යාවශ්‍යයෙන් තිබිය යුතු අංග අතුරෙහි අභිධර්මය විනනය කරන්නට හැකියාවක් තිබීමද එකක් බවයි. “අභිධම්මේති නාමරූපපරිච්ඡෙදේ”යි අභිධර්ම යනු නාමරූප පරිච්ඡේද බව එහි අට්ඨකථාවෙහි එයි. නාමරූකප පරිච්ඡේදය යනු අභිධර්මයට පර්යාය නාමයකි.

මජ්ඣිම නිකායෙහි : මහාගෝසිංග සූත්‍රයෙහි “ද්වේ භික්ඛූ අභිධම්මකථං කථෙන්ති” යනාදී වශයෙන් අභිධර්මය ගැන වූ සඳහන පෙර දක්වන ලදී. එහිම ගුලිස්සානි සූත්‍රයෙහි “ආරඤ්ඤකෙනහාවුසො භික්ඛුනා අභිධම්මෙ අභිවිනයෙ යොගො කරණීයො” යන පාඨයෙහි අභිධර්මය දැක්වෙයි. “අභිධම්මෙ අභිවිනයෙති අභිධම්මපිටකෙ චේව විනයපිටකෙ ච” යි යන්නෙහි ‘අභිධම්ම’ යනු අභිධර්ම පිටකය බව අට්ඨ කථාවෙහි පැහැදිලිව දක්වා ඇත.

අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවන්ගේ බෑනණුවන් වන මන්තානීපුත්‍ර පුණ්ණ තෙරණුවෝ සම්බුදුරදුන් හමුවෙහි ධර්මකථික භික්ෂූන් අතුරෙහි අගතැන් ලැබීය. අංගුත්තර නිකයෙහි ඒතදග්‍ර පාළියෙහි උන්වහන්සේගේ නම සඳහන් වෙයි. මෙහි ‘ධම්මකථික’ යනු ආභිධම්ම යන අර්ථයෙහි යොදන ලද්දකි. පුණ්ණ ථේරාපදානයෙහි : “අභිධම්මනයඤ්ඤුහං” යනුවෙන් තමන් අභිධර්මනයඥ (අභිධර්මනය දන්නා) බව තෙරණුවෝම පවසති. එබැවින් උන්වහන්සේ ධර්මකථික වූහ. “ආභිධම්මිකො එව ධම්මකථිකො” යන අට්ඨකථා විවරණය සමගද එය ගැලපෙයි. මජ්ජිම නිකායෙහි ‘රථවිනීත’ සූත්‍රයෙන්ද එය තහවුරු වෙයි.

මහානිද්දේසයෙහි උද්ධෘත පාඨ දක්වා ඇති ආකාරයද මෙහි දී සලකා බැලීම වටී. සුත්තනිපාතයෙහි අට්ඨක වග්ගයට අර්ථ නිර්දේශ කරන පිණිස දහම් සෙනවි සැරියුත් තෙරණුවන් විසින් සම්බුදුරදුන් ධරමාන කාලයෙහිම මහානිද්දේසය දේශිත ය. එහි තුන්පිටකයෙහි තැනින් තැන උපුටාගන්නා ලදුව නොයෙක් පාඨ දක්නට ඇත. ඒ අතරින් ධම්මසංගණීපාඨ 26කට නොඅඩු සංඛ්‍යාවක්ද විභංග පාඨ 17කට නොඅඩු සංඛ්‍යාවක්ද වෙයි. මේ ආකාරයෙන් විමසීමේදී “ප්‍රථම සංගායනාවට පෙර අභිධර්මය නොවී”ය යන මතය පදනම් රහිතව බිඳ වැටෙන බව පෙනේ.
____________________________

(අභිධර්ම පිටකයෙහි පළමුවන ප්‍රකරණය වූ “ධම්මසංගණී ප්‍රකරණය“ හෙවත් බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 41 වන ග්‍රන්ථයෙහි එන, අතිපූජනීය පණ්ඩිත කරගම්පිටිගොඩ සුමනසාර නාහිමිපාණන් වහන්සේ විසින්, කාලාන්තරයක් තිස්සේ විතණ්ඩවාදීන් අභිධර්ම පිටකයට ඉදිරිපත් කරන ලද දුර්මත නිරාකරණය කරමින්, සම්පාදනය කරන ලද සංඥාපනය ඇසුරින් මෙම ලිපි මාලාව සකස් කර ඇත.)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s