දැනගත යුතු කරුණු දැනගනිමු..! – 01 –

Dana Gatha Uthu Karunu_1

____________________________________________________

(ශ්‍රී බුද්ධ වර්ෂ 2455ට පැමිණි ඇසළ මස අව එකොළොස්වක නම් තිථිය ලත් ශනි දින හෙවත් වර්ෂ 1911ට පැමිණි ජූලි මස 22 වෙනි සෙනසුරාදා ‘සිංහල බෞද්ධයා’ පත්‍රයේ පළ වූ ධර්මපාලතුමාගේ ලිපිය යි.)
____________________________________________________

– බෞද්ධයන් ගෙන් මිථ්‍යා දෘෂ්ටීන්ට ලැබෙන මුදල් –

බෞද්ධ ශිෂ්‍ය සමූහයා මගින් මිථ්‍යා දෘෂ්ටීන්ගේ පාඨශාලා දියුණු වීමට අවුරුද්දකට වරක් මහාජනයාගෙන් ක්‍රිස්තියානීන්ට ලැබෙන මුදල එක ශිෂ්‍යයාගෙන් රුපියල් තුන බැගින් රුපියල් 1,58,904 කි. බෞද්ධ දෙමව්පියන් විසින් පෙන්වනු ලබන ගේහසිත උපේක්ෂාව නිසා බෞද්ධ දරුවන් මඟින් මිථ්‍යාදෘෂ්ටීන්ට මේ මහා මුදල අවුරුදු පතා ලැබේ. මේ මුදල ආණ්ඩුවට ලැබෙන ආදායමෙන් ගෙවනු ලැබේ. ලංකාවේ වැඩි කොටස සිංහල බෞද්ධයන් බැවින් බෞද්ධ දෙමව්පියන් විසින් කරනු ලබන මේ ශාසන හානිය අහෝ කවර අන්දමකින් නැවැත්විය හැකි ද?

– මේ රටේ බුද්ධාගම නැති කිරීමට කටයුතු කරන සමාගම් –

එංගලන්ත සභාව, චර්ච් මිෂනාරි සභාව, රෝමානු ජෙසුයිට් සභාව, වැස්ලියන් සභාව, බැප්ටිස්ට් සභාව, සැල්වේෂන් සභාව, ෆ්‍රෙන්ඩ්ස් සභාව. මේ හැර ඉංග්‍රීසි ජාතික මහා නිල දරන මහත් තැන් විසින් ක්‍රිස්තියානි පාඨශාලාවල තෑගි බෙදාදීම්වලට පැමිණ මේ පාඨශාලාවලට යන බෞද්ධ ශීෂ්‍යයන් ගේ හිත් මුලා වීමට ප්‍රසිද්ධ කථා කරනු ලැබේ. මේ කථාව දී ක්‍රිස්තියානිය ඇදහීමේ තිබෙන ප්‍රයෝජන කියාදී බෞද්ධ දරුවන්ගේ හිත් මුලා කරවනු ලැබේ.

– රටවල ජන සංඛ්‍යාව –

එංගලන්තයේ ඉංග්‍රීසි ජනතාව ගේ ගණන හතර කෝටියක් පමණ වේ. ඇමෙරිකාවේ ජනතාව ගේ ගණන නව කෝටියකි. ප්‍රංසය, ජර්මනිය, බැල්ජියම, ඉතාලිය, ඕලන්දය, ඩෙන්මාර්කය යන මේ රටවල ජනතාව ගේ ප්‍රමාණය දහඅට කෝටියක් පමණ වේ. මේ සියලුම රටවලින් ක්‍රිස්තියානි යුරෝපීය පාදිලිවරු සහ ඉංග්‍රීසි නිලධරයෝ ද අප දිවයිනට පැමිණ හස්තීන් විස්සක් එක් පාර්ශවයක් ව එක මනුෂ්‍යයකු මරන්ට තැත් කරන්නාක් මෙන් බලහීන ඥාන ශක්තියක් නැති දුප්පත් සිංහල ජනතාව අදහන බුද්ධාගම නැති කර දමන්ට උත්සාහ කෙරෙත්. බෞද්ධ පක්ෂයට හිතැතිව ක්‍රියා කිරීමට ශක්තිමත් සිංහලයන් පස් දෙනෙක් පමණ වත් නැති බැවින් ඔවුන්ගේ ඒ උත්සාහය බුද්ධාගම නැති කිරීමට හේතු විය හැකිය. යථාභූත ඥානය හෙවත් මෙය මෙසේ වුණොත් මෙවැනි දෙයක් වෙයි. මෙසේ නූනොත් මෙවැනි දෙයක් නොවෙයි යන හේතුප්‍රත්‍යය සම්බන්ධ ඥානයක් ඇති බෞද්ධ පක්ෂයට කටයුතු කරන්ට භික්ෂූන් වහන්සේලා පස් නමක් සමඟියෙන් කටයුතු කරන්ට නැති බැවින් ‘පාලුගෙදර වළන් බිඳින්ට අවසර කුමට ද?’ යන කතාව මෙන් ලංකාවට පැමිණෙන මිත්‍යා දෘෂ්ටි ගුරුවරයන්ට හිතූ දේ කිරීමට ඉඩ ලැබී තිබේ.

රෙපරමාදු ක්‍රිස්තියානි පාදිලිවරු වැඩි කොටසක් සිටින්නේ එංගලන්තය, ජර්මනිය, ඕලන්දය, ඇමරිකාව, ස්වීඩනය, ඩැන්මාර්කය යන රටවල ය. මේ රටවල පවතින රෙපරමාදු ක්‍රිස්තියානි නැති කර දමන්ට රෝමානු කතෝලිකවරු උත්සාහ ගන්න නුමුත් රෙපරමාදු පාදිලිවරුන්ගේ වීර්යය බලවත් බැවින් රෝමානුකාරයන් ගේ උත්සාහය සඵල වන්නේ නැත.

ලංකාවේ වසන 7000 ක් පමණ භික්ෂූන් වහන්සේලා ගෙන් සිය නමක් වත් සමඟියෙන් ක්‍රියා කරත් නම් පිටරට පාදිලිවරුන්ට මේ දිවයිනේ බල ලබාගන්ට කිසිසේත් පුළුවන් කමක් නැත. වීර්යවන්තයා ජයගනී. මෙය ලෝක සම්මත ධර්මයකි. සඵල වීර්යය, නිෂ්ඵල වීර්යය යයි වීර්යය දෙවිධියකි. මෝඩයා කරන වීර්යය නිෂ්ඵල යි. ප්‍රඥාවන්තයා කරන වීර්යය සඵල යි. මෝඩයා විසින් කරනු ලබන වීර්යය ඵල නොදරන බව මැදුම් සඟියේ උපරි පණ්ණාසකයෙහි පළමු වැනි සූත්‍රය වන ‘දේවදහ’ සූත්‍රයෙන් පෙනේ. සාමග්‍රි වර්ධනය කරමින් වාදාදියෙන් තොරව සම්මෝදමාන හිතින් අපේ භික්ෂූන් වහන්සේලා ලාංකික සිංහල ජනතාව ගැන අනුකම්පා උපදවා අප තථාගත සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් ප්‍රකාශ කොට වදාරන ලද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් මනා කොට බෞද්ධ ජනතාවට උගන්වමින් සමඟියෙන් වාසය කරමින් අකුසල ධර්මයන් නැති කිරීමට වීර්යය කළහොත් බුද්ධ ශාසනය විරාජමාන වන්නේ ය.

අනික් රටවල සිටින බොහෝ දෙනා නානා ශාස්ත්‍ර නානා භාෂා ඉගෙනගෙන පණ්ඩිතයන් වී ක්‍රියා කරති. ලංකාවේ භික්ෂූන් වහන්සේලා පිටරට භාෂාදිය ඉගෙන ගැනීමට කිසි උත්සාහයක් නොදරත්. පිටරට සිට මෙරටට එන පාදිලිවරු මේ රටේ පවතින දෙමළ සහ සිංහල භාෂා ඉගෙන ගනිති. එසේ ඉගෙනගෙන ක්‍රිස්තියානිය දියුණු කරති. එංගලන්තයේ වසන දහස් ගණන් පාදිලිවරු ලෝකයේ නානා භාෂා ඉගෙන ගනිති. එනම් ජපන්, සියම්, කොරියන්, මැන්චූරියන්, බුරුම, උර්දු, පාර්සි, බංගාලි, ආන්ද්‍ර, උරියා, ගුජරාති සහ තිබැට්, මහරාටි, අප්‍රිකාවේ භාෂා, සංස්කෘත, අරාබි, තුර්කි, ඉතාලි, ප්‍රංස, ජර්මන්, රුසියන් යනාදිය යි. මේ අන්දමින් නොයෙක් භාෂ ඉගෙනගෙන තමන් විශ්වාස කරන භක්තිය ප්‍රකාශ කිරීමට වීර්යය කරති. මේ වීර්යය නිසා ඒ අයට ඵල ලැබේ.

– සිංහල ජනතාව ගේ ගම්වල තිබෙන පන්සල්වල වැඩවසන භික්ෂූන්වහන්සේලා විසින් කටයුතු වැඩ –

මිථ්‍යාදෘෂ්ටීන් සම්‍යක් දෘෂ්ටිකයන් කරවීම, අකුසල් කරන අය කුසලයෙහි යෙදවීම, නානා ජනපදවලට පැමිණ ධර්මය ප්‍රකාශ කිරීම, අනික් රටවලට පැමිණ සර්වඥ ධජය එසවීම, මිථ්‍ය දෘෂ්ටීන් ගන්නා වීර්යය මෙන් වීර්යය කොට ඔවුන් කරන නිග්‍රහ වලින් මිදීම යනාදිය කරන්ට අපේ භික්ෂූන් වහන්සේලා විසින් සිත්වලට ගත යුතුයි.

ගමේ දුශ්චරිත නැති කිරීමට රාත්‍රියක් පාසා ධර්ම දේශනා කිරීම, අරුණෝදයට පළමු නැඟිට අද මම කාට අනුකම්පා කෙරෙම් ද, කවරකු හට ධර්මය කියාදෙම් ද, කොයි විධියකින් ශාසන සංග්‍රහයක් කෙරෙම් ද, ගත වූ දිනට වඩා අද දින ඥානය කෙසේ වර්ධනය කෙරෙම් ද, මිථ්‍යා දෘෂ්ටිය කෙසේ නැති කෙරෙම් ද, ගමේ දරුවන්ට බාල කාලයේ සිට ධර්මය කියා දී ඔවුන්ට කෙසේ ආදර්ශ දක්වම් ද යනාදිය භික්ෂූන් වහන්සේලා යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරමින් අධිෂ්ඨාන කරනවා නම් වැඩවල ඉෂ්ට විපාක ඉබේම ලැබේවි. භික්ෂූන් වහන්සේලාගෙන් වැඩි කොටස ආලස්‍යයෙන් කාලය ගතකරන බව පෙනේ. ආරාමය පවිත්‍ර කොට තබාගැනීම, පන්සලේ මකුළුදැල් කැඩවීම, පහන් පඩික්කම් පවිත්‍ර කරවීම, සේනාසන පවිත්‍ර කරවීම යනාදිය පන්සලේ නැවතී හිඳින ශිෂ්‍යයන් ලවා හෝ කුඩා සාමණේරයන් වහන්සේලා ලවා හෝ කරවාගත යුතුයි.

– රටක ජාතියක් සාදාගැනීමට මාර්ග තනන්නෝ ඒ රටේ ශාස්ත්‍ර දත් ගුරුවරු විය යුතු යි –

යුරෝපීය රටවල ශාස්ත්‍රාචාර්යකම් පාදිලි කොටසට අයත් අය විසින් කරනු ලැබේ. රෙපරමාදු ක්‍රිස්තියානිය විශ්වාස කරන රටවල රෙපරමාදු පාදිලිවරුන් විසින් ද රෝමානුව විශ්වාස කරන රටවල රෝමානු පාදිලිවරුන් විසින් ද ශාස්ත්‍ර ඉගැන්වීම කරනු ලැබේ. මේ පාදිලිවරුන් මෙසේ රටවල වීර්යය කරන නිසා පූජකයන්ට බලය ලැබුණු විට ඒ රටේ මන්ත්‍රී මණ්ඩලය යටත් කරගැනීමට උපක්‍රම යෙදීම රෝමානු පූජකයන් ගේ ධර්මතාවකි. ඒනිසා මේ රෝමානු පූජකයන්ට විරුද්ධව ඉතාලි, ප්‍රංස, පෘතුගාල් රටවල මන්ත්‍රීන් විසින් කටයුතු කරනු ලැබේ. පෘතුගාල් රටේ පසුගිය වර්ෂයේ කෙරුණු කෝලාහල සියල්ලම රෝමානු පූජකයන් නිසා හටගත් බව පෙනේ. මහා ජනතාව අන්ධකාරයේ තබාගැනීම ඒ පූජකවරුන්ට ප්‍රයෝජන බැවින් රෝමානු කතෝලික දෘෂ්ටිය පවතින කිසිම රටක දියුණුවක් දකින්ට නැත. ඉතාලියත් ප්‍රංසයත් පූජකවරුන් ගේ හස්තවලින් බේරුනායින් පසු ඒ රටවල් දියුණු විය. මේ රෝමානු පූජකවරුන්ට විරුද්ධව කටයුතු කරන්ට මේ රටේ මන්ත්‍රීන්ට ඕනෑ නැත්තේ සිංහල ජනතාව ගැන ඉංග්‍රීසි මන්ත්‍රීන් ගේහසිත උපේක්ෂාවෙන් වසන බැවිනි. ඒ නිසා රෝමානු පූජකවරුන්ට විරුද්ධව කටයුතු කරන්ට හැම අතින්ම සුදුසු කොටස මහාවිහාර පරම්පාරාවට අයිති මහා සංඝ සභාවයි.

– ක්‍රිස්තියානිය දියුණු කිරීමට නොබෝදා පවුම් දස ලක්ෂයක් පරිත්‍යාග කළ මහතා පාදිලිවරුන්ට දී තිබෙන අවවාද –

1. මහමත් භක්තිකයන් ඇති මහමත් ආඥාචක්‍රය පවත්වන රටකට ක්‍රිස්තියානිය ප්‍රකාශ කරන්ට යෑම නොකට යුතුයි.

2. දැඩි වීර්යයක් ඇති දවසට පස් වරක් තමන්ගේ භක්තිය ස්මරණය කරන මහමත් භක්තියන් එයට වඩා හොඳ කිරීමට දෙවරක් යාච්ඤා කරන ක්‍රිස්තියානි පූජකවරුන්ට නොහැකි ය.

3. ඒ හැර මහමත් භක්තිකයා අන්‍ය දෘෂ්ටිකයකු විසින් මරනු ලබන සතකුගේ මස් කන්නේත් නැත.

4. එසේම සුරා මත්පැන් පානය කරන්නේත් නැත.

5. ක්‍රිස්තියානි පූජකයාට වඩා මහමත් පූජකයාගේ ගුණ ප්‍රත්‍යක්ෂය යනුයි.

– රටවලට ක්‍රිස්තියානි පූජකවරුන් ගේ පැමිණීම –

බුද්ධාගම පවතින රටවලට ද හින්දු භක්තියකන් සිටින දඹදිවට ද වර්ෂයක් පාසා ක්‍රිස්තියානි පූජකයන් සිය ගණන් පැමිණෙන්නේ මන්ද? බ්‍රාහ්මණ පූජකවරුන් ද බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද අලසකමින් කුසීතව වසන කොටසක් බැවින් ඒ රටවල ක්‍රිස්තියානිය දියුණු කරන්ට පහසු යි. මහමත් භක්තිකයා මෙන් බෞද්ධයාත් අන්‍ය ජාතික මිථ්‍යා දෘෂ්ටීන් විසින් පිළියෙළ කරනු ලබන ආහාරපාන නොගෙන වසනවා නම් ලංකාව දිව්‍ය විමානයක් මෙන් දීප්තිමත්ව බබළයි. සියලු පව්වලට මුල මිත්‍යා දෘෂ්ටිය යි. ඒ මිත්‍යාදෘෂ්ටිකයා විසින් පිළියෙළ කරනු ලබන සුරා ගෝමාංසාදිය බෞද්ධයන් මිලදී නොගන්නවා නම් දැනට බෞද්ධයන් විසින් කරනු ලබන පාපකර්ම සම්පූර්ණයෙන් වගේ නවතිනවාට සැක නැත.

භික්ෂූන් වහන්සේලා කුසීතකම අතහැර මනුෂ්‍යයන්ට නිතරම ධර්මයෙන් අනුශාසනා කරනවා නම් සිංහල බෞද්ධයන් ඉක්මනින් අභිවෘද්ධියට පැමිණෙනවාට නිසැක යි. අඥානකම හේතු කොටගෙන දස අකුසල් කිරීමට මිථ්‍යා වීර්යයක් තමා තුළ හට ගනී. ඒ අඥානකම නිසා අපුණ්‍යාභිසංස්කාරයන් වැඩි කරගන්නේ ය. පුණ්‍යාභි සංස්කාරයන් ඇති කරගැනීමට මාර්ගය මැදුම් සඟියේ උපරි පණ්ණාසකයෙහි ‘සංඛාරුප්පත්ති’ සූත්‍රයේ දක්වා තිබේ. සද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා යන පඤ්ච ධර්මයන් භාවිත කිරීම සියලු සැප ලබාගැනීමට හේතු වේ.

ඒ නිසා භික්ෂූන් වහන්සේලා විසින් කටයුතුව තිබෙන්නේ අපුණ්‍යාභි සංස්කාරයන් නැති කරගැනීමට මඟ පෙන්නාදී පින් රැස් කරගැනීමට ශ්‍රද්ධාදී පඤ්චවිධ ධර්මයන් භාවිත කිරීමට බෞද්ධයන්ට අවවාදානුශාසනා කිරීම යි. හත්දාහක් පමණ සිටින භික්ෂූන් වන්සේලාට ප්‍රයෝජනවත් ධර්ම රාශියක් මැදුම් සඟියේ උපරිපණ්ණාසකයෙහි කිත්ති සූත්‍රයෙහි දක්වා තිබේ. මේ සූත්‍රය සියල්ලන් විසින්ම සජ්ඣායනා කටයුතු යි. ‘මහාපරිනිබ්බාන’ සූත්‍රයේ දක්වා තිබෙන පරිහානි ධර්මයන් ද මෙකලට භාවිත කිරීම ඉතාම ප්‍රයෝජන යි. භික්ෂූන් වහන්සේලා විසින් දැනට කට යුතුව තිබෙන්නේ බෞද්ධ රජදරුවන්ගේ කාලවල මෙන් පන්සල්වල නැවතත් ශිෂ්‍යයන්ට ධර්ම ශාස්ත්‍රාදිය ඉගැන්වීමත් ලෝකයේ පවතින ශාස්ත්‍ර දැනගැනීමත් ඒ ශාස්ත්‍ර ඉගැන්වීමට මාර්ග යෙදීමත් කුසීතකම් ආවාස ලාභ කුල මච්ඡරිය, ධම්ම මච්ඡරියාදිය අත්හැර ජනපද චාරිකාවේ හැසිරෙමින් අනුකම්පා සිත් උපදවා බෞද්ධයන්ට මිත්‍යා දෘෂ්ටි පූජකයන්ගෙන් පැමිණෙන්ට යන අන්තරාය පෙන්වමින් සුරා බීම, සත්ව ඝාතනය, කාම මිත්‍යාචාරය යාදිය නොකිරීමට එහි ආදීනව දක්වමින් ධර්ම දේශනා කිරීම යි.

විහාර දාගැම් ලක්ෂ ගණනක් තුබුණත් එක ධර්ම පදයක් කියා දෙන්ට පුළුවන් භික්ෂු නමක් නැත්නම් ඒ රටේ ශාසනය පවතිනවා යයි පිළිගන්නට නුපුළුවන. දඹදිව දැනට පුරාණ විහාර දැගැබ් තිබේ. එහෙත් භික්ෂු සංඝයා නැති බැවින් ශාසනයක් නැත. ලංකාවේ බෞද්ධයන් විහාර චෛත්‍යවලට ධනය වියදම් කරන්නා සේ භික්ෂූන් වහන්සේලාට ධර්මය ඉගැන්වීම සඳහා වියදම් කර ඒ භික්ෂූන් ලංකාවේ නානා දිශාවලට ද ලංකාවෙන් පිටරටවලට ද යවනවා නම් සියලු දානයන්ට වඩා උතුම් දානය දුන්නා වේ. දැනට පවතින ගේහසිත උපේක්ෂාව පැවතුණොත් මිථ්‍යා දෘෂ්ටිය බලවත් අන්දමින් දියුණු වෙයි. මිත්‍යාදෘෂ්ටිය දියුණු වුණොත් බුද්ධාගම නැති වෙයි. බුද්ධාගම නැති නූනොත් චෛත්‍ය රෙපරේරු කිරීම ආණ්ඩුව මගින් කරනවා ඇත. ඒ නිසා වහාම කටයුතුව තිබෙන්නේ බෞද්ධ මහා ජනයා සමඟිව විවාදාදිය අහක තබා හැදෙන පරම්පරාවේ බාල දරුවන්ට බුද්ධාගම සහ ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම යි.

සාමණේර භික්ෂූන්ට බාල කාලයේ සිටම වීර්යය වඩන ධර්ම කියාදී ඉංග්‍රීසි, ප්‍රංස, ජර්මන්, රුසියන්, හින්දි බංගාල්, ආන්ද්‍ර, දෙමළ, මහිරටි, ගුජරාති, උර්දු, චීන, ටිබැට් ආදි භාෂා එක එක සාමණේර නමට එක එක බැගින් ඉගෙන ගැනීමට බෞද්ධ උපාසකාදීන් විසින් සමාගම් සෑදී ඕනැ කරන පොත්පත් මිලදී ගෙන සාමණේරයන් වහන්සේලාට ත්‍යාග කට යුතුයි.

– ලංකාවේ සිංහල ජනතාව නැති කරදැමීමට සැරැසී සිටින යක්ෂයෝ –

විස්කි, බ්‍රැන්ඩි, අරක්කු සහ සත්ව ඝාතනය කරන්ට උගන්වන මිථ්‍යා දෘෂ්ටික ගුරුවරු ය. මේ යක්ෂයන්ට අසුනොවෙන්ට බෞද්ධ සිංහල ජනතාව වීර්යය කටයුතු යි. කුලගෝත්‍ර නිසා උපදවාගෙන තිබෙන මදමානාදි ක්ලේශයන් අත්හැර දමා චන්ඩාල අපවිත්‍ර කුලවලට අයත් මාංශ අනුභව කිරීම, මත්පැන් පානය කිරීම, අපවිත්‍ර වස්ත්‍ර ඇඳීම, ශරීරය අපවිත්‍රව තබාගැනීමාදි ගති අත්හැරදමා ආර්ය වංශයට අයිති සාදාචාර ධර්ම පවත්වාගැනීමට වීර්යය කටයුතුයි.

මනු නීතියේ ආකාර ජාතිගෝත්‍රවලින් හීන ජාතිය ශුද්‍ර ජාතිය යි. මේ ශුද්‍ර ජාතිය පවිත්‍ර ශුද්‍ර, අපවිත්‍ර ශුද්‍ර යයි දෙයාකාර යි. පවිත්‍ර ශුද්‍රයන් විසින් බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය කුලවලට අයිති අචාර පවත්වනු ලැබේ. අපවිත්‍ර ශුද්‍ර කොට්ඨාසය මේ චාරිත්‍රාදිය නොපවත්වා ගව සූකර මාශාදි එපා කරන ලද කෑම ද, එපා කරන ලද මත්පැන් පානය ද කෙරෙයි. අපවිත්‍ර හීන කුලවලට අයිති ධර්ම සියල්ලක්ම දැනට සිංහලයන් විසින් කරනු ලැබේ. බුද්ධ භාෂිතය සෘෂි භාෂිතය යන දෙකටම විරුද්ධව සිංහලයන් ක්‍රියා කරන බව ප්‍රත්‍යක්ෂයි. මැදුම් සඟියේ උපරි පණ්ණාසකයෙහි නගර වින්ද්‍යෙය සූත්‍රයේ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ නගරවින්ද නම් බ්‍රාහ්මණ ගමට වැඩ ඒ බ්‍රාහ්මණයන්ට ධර්ම දේශනා කොට පූජා කටයුතු ශ්‍රමණ බ්‍රහ්මණයෝ කවරහු දැයි විචාරා පඤ්චකාමයන්ගෙන් වෙන්වූ රාග දෝස මෝහයන් ගෙන් අහක් වීමට වීර්යය කරන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට වැඳීම යුතු බවත් එසේ නැතිව රූප, ශබ්ද, ගන්, රසාදිය අනුභව කරන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගිහි භූමියෙහි සිටින ඇත්තන් මෙන් විශේෂයක් නොමැති බැවින් වැඳීම නොකට යුතු බවත් උගන්වා තිබේ. ගිහිව මම පඤ්චකාමයෙහි යෙදී වසමි. පූජක ගුරුවරාදිහු ද මා සේම සිටින්නෝ ය. විශේෂයකුත් නැත. කුමක් නිසා මම මේ තැනැත්තන්ට ගරු කෙරම් ද? මෙසේ කල්පනා කොට මිථ්‍යා දෘෂ්ටීන්ට ගරු සත්කාර නොකට යුතුයි. මිථ්‍යා දෘෂ්ටි පාදිලිවරු කරන උපක්‍රම වීර්ය මිථ්‍යා මාර්ගයට අයිතිය. මේ ඇත්තන්ගේ වැඩ නැවැත්වීමට භික්ෂූන් වහන්සේලා සම්‍යක් වීර්ය උපා යෙදිය යුතුයි. මෙසේ භික්ෂූන් වහන්සේලා සමගිව මෛත්‍රිය උපදවා අනුකම්පා සිතින් බෞද්ධයන් දියුණු කිරීමට ද කුල දරුවන් දස අකුසල් කර්ම පථයට වැටෙන්ටන නොදී බේරාගැනීමටද උත්සාහ කටයුතු යි.

– සිංහල ජාතිය නැති කර දමන්ට සතුරන් සැරසී සිටින බව සැලකිය යුතුයි –

යුරෝපීය ජාතීන් ද, පරවර, හම්බ, බොම්බයිකාර පරදේශිකයෝ ද යුරෝපීයයන් විසින් සාදා එවන නොයෙක් වර්ග විස්කි සුරා ද සිංහලයන් ගේ හතුරෝ යයි සැලකිය යුතුයි. මොවුන් ගෙන් අහක් වීමට වීර්යය කටයුතුයි.

ලංකා ශාසනය මෙයට වර්ෂ 2200 කට පූර්වයෙහි ශ්‍රී මහා මහින්ද මහා රහතන් වහන්සේ ප්‍රතිස්ථාපනය කර වදාළහ. එතැන් පටන් නොයෙක් වාරවල අන්තරායික ධර්මයන් සේවනය කිරීමෙන් ඇතැම් රජවරු වෛතුල්‍ය දෘෂ්ටි ගත් භික්ෂූන්ගේ අවවාද ලෙස මහා විහාරවාසී ථෙරවාදී භික්ෂූන්ට හිරිහැර කර තිබේ. සම්පූර්ණ ශාසන විනාශය කරන ලද්දේ සීතාවක විසූ පිතෘඝාතක රාජසිංහ රජ විසින් ය. මේ කාලයේ දී උපසම්පන්න භික්ෂූන් නැතිව ලංකාව හිස් වීය. ඕලන්ද මන්ත්‍රීන් විසින් ඒ කාලයේ දී කොළඹ පළාතේ ඕලන්ද රාජ්‍යයේ ආඥාචක්‍රය පවත්වන ලදි. ඕලන්ද මන්ත්‍රීන් විසින් බුද්ධාගමට කරන ලද උපකාරය කිසි කලක මතක නැති නොකට යුතුයි. සියම් රාජ්ජයේ එකලට බුද්ධාගම පවතින බව රජතුමාට කීවෝ ඕලන්ද මහත්වරුය. ලංකා සිංහල නිලමෙලා රජදැකුම් ගෙන සියමේ ධාර්මික මහ රජතුමාණන්ට සන්දේශ ලියවිල්ලක් ගෙන ගියේ ඕලන්දයන්ගේ නැවකයි. ඕලන්දයන්ගේ උපකාරයෙන් සියමෙන් මෙරටට භික්ෂු සංඝයා වැඩමවාගෙනාවෝ ය. ඕලන්ද මහතුන් විසින් මේ කරන ලද උපකාරය නිසා අද ලංකා ශාසනය පවතී.

– දැනට බුද්ධාගම නැති කිරීමට උපක්‍රම කරන්නෝ –

රෝමානු, වැස්ලියන්, බැප්ටිස්ට්, එංගලන්ත සභා, චර්ච් මිෂනාරි, සැල්වේසන් හමුදාවේ අය ද හම්බන්කාර, මරක්කල, දෙකොටස ද ඇතැම් ඉංග්‍රීසි නිලධරයෝ ද ඇතැම් ඉංග්‍රීසි වතුකාර වෙළෙඳ මහතුන් ද ඉංග්‍රීසි ඉගෙනගෙන ක්‍රිස්තියානි වී සිටින ඇතැම් සිංහල බැරිස්ටර්වරු සහ වෛද්‍යාචාර්යවරු ද රේන්දකාරයෝ ද, ප්‍රංස, ජර්මන්, ඉංග්‍රීසි පාදිලිවරුනට එකතු වී සිටින සිංහල කතිසේරු සහ පාදිලිවරුන් යන මේ සියලුදෙනාම එකතුවී සිංහල බෞද්ධ ජනතාව අකුසල ධර්මයන්හි යෙදවීමට ක්‍රියා කරන බැවින් සිංහල බෞද්ධයන් වෙනුවෙන් ක්‍රියා කරන්ට සිටින භික්ෂූන් වහන්සේලා අප්‍රමාදව වීර්යයෙන් සිංහල ජාතිය පරෙස්සන් කරගැනීමට උත්සාහ කටයුතුයි. දැනට සිංහලයන් වටකරගෙන කොට, වලසුන් මෙන් ක්‍රියා කරන යටකී සමාගම්වල සියලු දෙනාම දස අකුසල කර්මයන්හි යෙදී සිටින පාපීන් බැවින් මොවුන් නැති කරන්ට නම් දස අකුසල කර්ම නොකොට සිටීමට සිංහල බෞද්ධයන් වීර්යය කටයුතුයි.

පරම දුර්ගන්ධ මේ පාපීන් සේවනය නොකොට ඔවුන්ගේ මංගල්‍යවලට නොගොස් ඔවුන් දෙන කෑම්බීම් නොගෙන මත්පැන් පාලනය නොකොට ඔවුන් මරා විකුණන ඌරු මස්, කුකුළු මස්, ගෝ මස් අනුභව නොකොට ක්‍රිස්තියානි චාරිත්‍රාදිය අත්හැර දමා තොප්පි, සාය, ගවුම්, ක්‍රිස්තියානි නාම ප්‍රතික්ෂේප කොට ආර්ය ධර්ම අනුව කල් යවන්ට සිතට ගත යුතුයි.

හම්බන් අතට ගොස් තිබෙන වෙළෙඳාම සිංහලයන් අතට ගැනීමට වහාම ක්‍රියා කට යුතුයි. දැනට සම්පූර්ණයෙන් බුලත් වෙළෙඳාම, පුවක් වෙළෙඳාම, දර වෙළෙඳාම එළවුළු වෙළෙඳාම, කඩ වෙළෙඳාම හම්බංකාරයන් අතට ගොස් තිබේ. වාණිජකර්ම මනු නීතියේ ඉතාම ශ්‍රේෂ්ඨ කර්මයක් මෙන් නියම කොට තිබේ. ධන සැපයීමට වෙහෙසෙන තැනැත්තාට ලක්ෂ්මී දේවි උපකාර කරන්නීය. ධන නැති තැනැත්තා ශුද්‍රයා යයි නියම කර තිබේ. වාණිජ කර්මය පටන් ගෙන ධන සම්පාදනය කිරීමට සිංහලයන් විසින් ඉගෙන ගත යුතුයි. ඉංග්‍රීසි ටිකක් ඉගෙනගත් පමණින් කලිසන් කෝට් තොප්පි දමාගත් පමනින් ඉංග්‍රීසිකාරයන් ගේ සංඛ්‍යාවට ගත නොහැකියි. ඉංග්‍රීසි ඉගෙන ගන්න තරුණ සිංහලයන්ට බාල කාලයේ දී යහපත් අවවාද දීමට සිටින්නේ භික්ෂූන් වහන්සේලා ය. එහෙත් භික්ෂූන් බාල පරම්පරාව හැදීමට කිසි උත්සාහයක් නොගන්නා බැවින් හැදෙන පරම්පරාව මිථ්‍යාදෘෂ්ටි ගුරුවරයන් සේවනය කෙරෙති. ඒ බාල පරම්පරාවේ උදවිය වයසට ගිය කල භික්ෂූන්ට සංග්‍රහ කිරීමක් ඔවුන්ගෙන් නොවන්නේ ය. ඒ නිසා බාල කාලයේ පටන් සියලුම සිංහල දරුවන්ට අවවාද කිරීම, ශාස්ත්‍ර ඉගැන්වීම, ඔවුන් දැනගෙන සිටින ශාස්ත්‍ර භික්ෂූන් විසින් ද ඉගෙන ගැනීම කටයුතු යි.

ගිහි කොටස දැනගෙන සිටින ශාස්ත්‍ර භික්ෂූන් නොදන්නවා නම් භික්ෂූන්ට ඒ ගිහියන්ගෙන් ගෞරවය ලබාගැනීම අමාරුයි. කුඩා කාලයේ දී ගිහි ශිෂ්‍යයන් පාඨශාලාවලට පැමිණ ඉගෙන ගන්නා නානා ශාස්ත්‍ර විද්‍යා භික්ෂූන් නොදැන සිටීම හේතු කොටගෙන ශිෂයයන් විසින් භික්ෂූන්ට කිසි ගෞරවාදරයක් පෙන්වන්නේ නැත. මා දන්න පමණවත් මේ හාමුදුරුවෝ දන්නේ නැත යන හිත ශිෂ්‍යයන්ට උපදී. ඒ නිසා සාමණේර කාලයේ දී ඉංග්‍රීසි, ගණිත මිනිත, ලතින්, ග්‍රීක් ආදිය පාලි භාෂාවත් සමඟම ඉගැන්වීමට කටයුතු සැලැස්විය යුතුයි. සාමණේර කාලයේදී මෙසේ ඉගෙනගත් කල ථේර භාවයට පැමිණි විට ඒ ශාස්ත්‍ර සිංහල දරුවන්ට උගන්වන්ට පුළුවන.

දැනට සංස්කෘත කාව්‍යාලංකාර ශාස්ත්‍ර, වෙදකම, ජ්‍යොතිශ් ශාස්ත්‍රාදිය භික්ෂූන් විසින් ගිහි ශිෂ්‍යයන්ට උගන්වනු ලබන්නාක් මෙන් වර්තමාන ශාස්ත්‍රය ද උගන්වන්ට පුළුවන් වෙයි. එවිට මිථ්‍යා දෘෂ්ටි ගුරුවරයන් ළඟට යෑම ඕනෑ නොකරයි. සාමණේර කාලයේ දී මෙසේ බුද්ධ ධර්මය සහ වර්තමාන ශාස්ත්‍ර ඉගෙනගැනීම ඉතාම ප්‍රයෝජන යි.

බාල කාලයේ දී ම ගිහි ශිෂ්‍යයන්ට වාණිජ කර්ම ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීමට දෙමව්පියන් විසින් කල්පනා කටයුතුයි. බාල කාලයේ දී වාණිජකර්මය ඉගෙනගත් කල ධන සැපයීමට ඥානය ලැබේ. කොච්චි, දෙමළ ජාතීන්ගේ වැඩි වීම නැවැත්වීමට සිංහලයන් විසින් නැවත නැවතත් සභා පවත්වා දකුණු අප්‍රිකාවේ නාටල්, කොලොනි ප්‍රදේශවල ද බ්‍රිතාන්‍ය කොලෙම්බියාව, නිව්සවුත් වේල්සය, ක්වින්ස්ලන්තය ආදි රටවල ද සිටින යුරෝපීය ජනතාව සමඟිව ආසියාතික ජනයාට ඒ රටවලට යන්ට නොදී ක්‍රියා කරන්නාක් මෙන් සිංහලයන් එකතු වී පිටරටින් එන කොච්චි, හම්බංකාර දෙමළ ආදි ජාතීන් පැමිණ දාසකර්ම කිරීම නිසා සිංහල ජනතාවට ඉන්ට තැනක් නැති වෙන්ට යන බැවින් සියලු සිංහලයන් සමඟි කමින් සභා පවත්වා ඉංග්‍රීසි මහා මන්ත්‍රීන්ට සිංහලයන්ගේ අකමැත්ත නැවත නැවතත් ප්‍රකාශ කටයුතුයි. ජනහිතකාමීන් විසිනුත් මෙසේ කිරීමට හිතට ගත යුතුයි. සිංහල ජාතිය දෙමළ හම්බංකාරයන්ට යටවෙන්ට ඉඩ හැරීම, සිංහල ලේ ඇත්තවුන් විසින් නොකට යුතුයි. පරදේශීන්ට ඉඩම් ගියොත් සිංහලයන්ට දාසකර්ම කරන්ට වේවි.

Leave a comment