“අභිධර්මය උගැන්මට පෙර….” (4 කොටස)

Padama 4
(අභිධර්ම පිටකයෙහි පළමුවන ප්‍රකරණය වූ “ධම්මසංගණී ප්‍රකරණය“ හෙවත් බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 41 වන ග්‍රන්ථයෙහි එන, අතිපූජනීය පණ්ඩිත කරගම්පිටිගොඩ සුමනසාර නාහිමිපාණන් වහන්සේ විසින්, කාලාන්තරයක් තිස්සේ විතණ්ඩවාදීන් අභිධර්ම පිටකයට ඉදිරිපත් කරන ලද දුර්මත නිරාකරණය කරමින්, සම්පාදනය කරන ලද සංඥාපනය ඇසුරින් මෙම ලිපි මාලාව සකස් කර ඇත.)
___________________________________________________

– විරුද්ධවාද –

ධර්ම විනයෙහි නිපුන විශාරද පඬිවරුන්ගේ මහත් බුහුමනට පාත්‍ර වූවද අභිධර්ම පිටකය තරම් විවේචකයන්ගේ මතභේදයට ලක්වූ අන් පිටකයක් නැත. තෙවන සංගායනාවටත් පෙර ඇරඹුනු විවේචනයන් මෙතෙක් නැවතී නැත. නිකායන්තරිකයන් හෙවත් ථේරවාදී නොවන බෞද්ධයන්ගේත්, අන්‍යාගමික යුරෝපීය පඬිවරුන්ගෙත් විවේචනයට ලක්වීම පුදුමයක් නොවෙතත්, ඔවුන් අනුකරණය කරන මෙරට ථේරවාදී තෙරවරුන්ගේත් ගිහි පඬිවරුන්ගේත් ප්‍රහාරයට මේ වනවිට අභිධර්ම පිටකය ලක්වී තිබීම කනගාටුවකි.

මහාසාංඝිකයෝ

අභිධර්මයට විරුද්ධව පළමුව නැගී සිටියවුන් වන්නේ මහාසාංඝික නිකාය වාසීන් ය. දඹදිව කාලාසෝක මහරජු (බු.ව. 90-118) දවස දස අකැප වස්තු මතුකරමින් ශාසන අර්බුදයක් ඇතිකරමින් ද්විතීය සංඝායනාවේදී ස්ථවිර වාදයෙන් නෙරපන ලද වජ්ජිපුත්තක භික්ෂූහු අධර්මවාදීන්ගේ බලය ලබා දසදහසක් දෙනා එක්ව කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහිදී ‘මහාසාංඝික’ නමින් වෙනම නිකායක් පිහිටුවා ගත්තේය. ඔවුන් විසින් පරිවාර පාලිය, අභිධර්මප්‍රකරණ සය, පටිසම්භිදාමග්ගය, නිද්දේස, ජාතක එක දේශයක් යන ධර්ම කොටස් අත්හැරිය බව දීපවංසයෙහි දැක්වේ.

ශාසනය නවීකෘත වී ද?

දඹදිව ධර්මාශෝක මහරජු දවස තෙවන සංඝායනා සමය වන විට නිකායාන්තර බෞද්ධයින් අතරින් සර්වාස්තිවාදීන් හැර සෙසු සියලුදෙනාම අභිධර්මය බුද්ධභාෂිතයක් සේ පිලිනොගත්තේය. ‘ශාසනය නවීකෘත යැ’ (ශාසනං නවං කතං) යි කියන්නෝ ද වූහ. මධුර සූත්‍රය, ඝෝටමුඛ සූත්‍රය, මුණ්ඩරාජ සූත්‍රය, සත්තසතිකක්ඛන්ධකය වැනි ප්‍රථම සංගායනාවෙන් පසුව පෙළට එක්වූ කොටස් නිසා ඔවුන් එසේ කීවා විය හැක. කථාවත්ථුපකරණයේදී එම මතය සහේතුකව ඛණ්ඩනය කොට ඇත. ‘ශාසනය නවීකෘත යැ’යි කීම ඇතැම් උත්තරාපථකයන්ගේ බස් වැන්නැයි අට්ඨකථාචාර්යයෝ දක්වති. උත්තරාපථකයන් යනු අටුවා පාළියට නගන අවධියෙහි විසූ සෞත්‍රාන්තික නිකායවාසී බෞද්ධයෝ විය යුත්තේය. කාශ්මීර ගන්ධාර දෙරටෙහි බලවත්ව සිටි සර්වාස්තිවාදීන්ගෙන් බිඳී ගිය, සූත්‍ර දේශනා පමණක් බුද්ධ භාෂිත සේ පිළිගත් පිරිස සෞත්‍රාන්තික නම් විය. මෙයින් පෙනෙනුයේ ‘ශාසනය නවීකෘත යැ’ යන මතය කථාත්ථුපකරණයෙන් ඛණ්ඩනය කොට තිබයදීත් එම අධර්ම මතයේ තදින් එල්බගත් පිරිසක් අටුවා පාලියට නගන අවධියේත් භාරතයේ සිටි බවයි.

අභිධර්මයට විරුද්ධව විතණ්ඩවාදීන් නගන නොයෙක් චෝදනා ඇත. ඒ අතර,

1. අභිධර්මය බුද්ධ භාෂිත නොවෙයි.

2. ප්‍රථම සංගායනාවට පෙර අභිධර්මය නොවීය.

3. අභිධර්මය ප්‍රථම සංගීතියේදී සංගායනා නොවීය.

යන චෝදනා ප්‍රමුඛ වෙති. මේ එකක් හෝ අලුත් ඒවා නොවන අතර අටුවා පාලි බසට නගන්නටත් පෙර සිටම නිකායාන්තර බෞද්ධයින් විසිනු ථේරවාදයට විරුද්ධව නගන ලද, අට්ඨකථා වලද ඛණ්ඩනය කොට ඇති මේ චෝදනා අපිද විමසා බලමු.

– වාදනිරාස –

අභිධර්මය බුද්ධ භාෂිත නොවේද?

මෙසේ ප්‍රශ්න කරන අය විසින් අභිධර්මයට නිදානයක් නැති හෙයින් එය බුද්ධ භාෂිතයක් නොවේ යැයි දක්වති. සූත්‍ර දේශනාවල ‘ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ’ යනාදී වශයෙන් නිදාන දැක්වීමක්, බුද්ධ භාෂිතයක් වන්නේ නම් අභිධර්මයට ද තිබිය යුතු බව ඔවුන් කියයි. එම තර්කයම දෝෂ සහිතය. බුද්ධ භාෂිතයක් වීමට නම් නිදානයක් තිබීම ඒකාන්ත හේතුවක් නොවේ. ‘යමක් බුද්ධ භාෂිත නම් එය සනිදාන විය යුතු යැ’යි නියමයක් නැත. නිදාන නැති දේශනාවන් සූත්‍ර පිටකයේද ඇත. ජාතක, සුත්තනිපාත, ධම්මපද ආදියෙහි නිදාන නැත. බුද්ධභාෂිතයට නිදාන තිබිය යුතුය යන්න අනිවාර්යය නම් ඒ හැම බුද්ධ භාෂිත නොවේ යැයි ඉවත්කළ යුතු වෙයි.

මහාකාත්‍යායන තෙරුණුවන්ගේ අතවැසි සෝණ තෙරණුවෝ සුත්ත නිපාතය ඉගෙන එහි එන අට්ඨකවග්ග ගාථා බුදුරදුන් වදාළ පරිදිම උන්වහන්සේ හමුවේ මධුරස්වරයෙන් සජ්ඣායනා කොට කල්‍යාණ වාග්කරණ ඇති ශ්‍රාවක මහණුන් අතුරෙහි අගතැන් ලද්දේය. අංගුත්තර නිකායේ ඒතදග්ගපාලියෙහි උන්වහන්සේගේ නම සඳහන්ව ඇති අතර අට්ඨකථාවේ පුවත විස්තර වශයෙන් එයි. මෑතකදී දඹදිව සාංචි ස්තූපයේ පුරාවස්තු අතර තිබී ‘සත්පුරුෂ මහාකාත්‍යායනගේ අතවැසි සෝණගේ’ යන අරුත් ඇති ‘සපුරිසස මහකචනය අතවසිනො සොනස’ යන ලිපිය සහිත ධාතු කරඬුවක් සොයා ගෙන ඇත. මහාකාත්‍යායන තෙරණුවෝ පැවිද්දට පෙර අවන්ති ජනපදයෙහි චණ්ඩපජ්ජෝත රජුගේ පුරෝහිත බ්‍රාහ්මණ වූහ. සෝණ තෙරණුවෝ ප්‍රථම සෝවාන් උවැසි වූ කුරරඝරයෙහි කාළී උවැසියගේ පුතණුවෝ යි. සාංචි සුතූපයෙහි උන්වහන්සේගේ නම ගෞරවයෙන් අනුස්මරණය කිරීමට හේතුව ජන්මභූමියෙහි සම්බන්ධය විය යුතුය. එයින් පෙළ අටුවාවෙහි ආ පුවත ඓතිහාසික සත්‍යභාවයෙන් තහවුරු වෙයි. මේ අනුව අන් කුමක් අතහැරියද සුත්තනිපාතයෙහි අට්ඨකවග්ගය බුද්ධභාෂිත සේ ගත යුතුය. එයට ද නිදානයක් නැත. මෙසේ හෙයින් බුද්ධභාෂිත වීමට නම් නිදාන අනිවාර්යය වේ යන හේතුවම දෝෂ සහිත බැවින් බිඳ වැටෙයි.

– නිදාන නොදැක්වීමට හේතු –

අභිධර්මයට නිදාන එකක් නොව දෙකක්ම ඇති බව අට්ඨකථාවේ දක්වා ඇත. එසේ නම් ඇති නිදානය නොදැක්වූවේ කවර හෙයින්ද? නිරර්ථක හෙයිනි. නිදාන දක්වනුයේ අර්ථයක් සඳහායි. ස්ථාන, පුද්ගල, වස්තු ආදීන් නානාත්වයක් ඇති තැනක නිදාන දැක්වීම ධාරණය කරගැනීමේ හා ග්‍රහණය කරගැනීමේ පහසුව පිණිස පවතී. එයද අවශ්‍යයෙන්ම දැක්විය යුතුය කියා නියමයක් නැත. ප්‍රථම සංගීතියෙහිදී ධර්ම සංග්‍රාහක තෙරුන්ට රිසි සේ නිදාන තබන ලදී. අභිධර්මයෙහි සූත්‍රාන්තයේ මෙන් ස්ථානපුද්ගලාදි නානාභාවයක් නැති හෙයින් නිදාන අවශ්‍ය නොවේ.

තවත් කරුණක් ඇත : සූත්‍රාන්ත ධර්ම සංග්‍රහ කරන ලද්දේ බුදුරදුන් පිරිනිවී තුන්මසකට පසුවය. ධර්මය ශාස්තෘන් වහන්සේ ප්‍රභව කොට පවතිනා හෙයින් හා උන්වහන්සේ ඉදිරිපිට නොමැතිව සංගායනාවේදී සංග්‍රහ කළයුතුවූ බැවින් නිදාන දැක්වීම අවශ්‍ය විය. එසේ නමුත් අභිධර්ම පිටකය වාචනා මාර්ගයට නගන ලද්දේ සම්බුදුරජුන් හමුවේදී මය. ප්‍රථම සංගායනාවේදී එහි සංග්‍රහ කිරීමට කිසිවක් නොවූ අතර සිදුකරන ලද්දේ අභිධර්මය සංගායනා කිරීමක් පමණි. ඒ හෙයින්ද අභිධර්මයට නිදාන දැක්වීම අවශ්‍ය නොවීය.

මෙහිදී බෞද්ධ විශ්ව කෝෂයෙහි එන ‘අභිධර්මයේ ප්‍රභවය’ නම් වූ ලිපිය ද විමසා බැලීම වටී. ‘බුදුරජහු අභිධර්මය නො දෙසූහ යනු මණ්ඩලාරාමවාසී තිස්සභූති තෙරුන්ගේ මතය විය. උන්වහන්සේ ස්වමතය සනාථ කිරීමට පදෙසවිහාර සූත්‍රය නිදසුන් කොට ගත්හ. සුමනදේව නම් තෙර කෙනකුන් විසින් ‘අභිධර්මයෙහි කතෘ බුදුරජාණන් වහන්සේ මැ යැ’යි පිළිගන්නා ලෙස ස්වකීය අනුගාමිකයෝ පොළොඹවන ලදහ’යි ලියුම්කරු කියයි. දැන් අප මෙයට සම්බන්ධ අටුවා පාඨ විමසා බලමු.

අත්ථසාලිනී අටුවාවේ එන විස්තරයක් ඇසුරින් බෞද්ධ විශ්වකෝෂ ලියුම්කරු ගත් අර්ථය හාස්‍යජනකය. එහි එනුයේ, ‘අභිධර්මයට නිදානයෙන් වැඩක් නැතැයි කරුණු තේරුම්ගන්වනු නොහැකි, එහි නිදානයම සොයා වෙහෙසන විරුද්ධවාදීන්ට මණ්ඩලාරාමවාසී තිස්සභුති තෙරුන් විසින් පදෙසවිහාර සූත්‍රාන්තය ඉදිරිපත් කර මහාබෝධි නිදානය අභිධර්මයට නිදානයක් සේ දැක්වූ බවයි. එසේම ග්‍රාමවාසී සුමනදේව තෙරණුවන් විසින් ලෝවාමහ ප්‍රාසාදයෙහි යටිමහලේදී අභිධර්මයට තාවතිංසනිදානය ඉදිරිපත් කළ බවයි. මෙතරම් සරළ පාළිපාඨ ද වරදවාගෙන අභිධර්මය වැනි ගැඹුරු විෂයක් විවේචනය කෙරෙමින් ආධුනිකයන් අතරමං කිරීම බලවත් අපරාධයකි.

අභිධර්මය පිළිබඳ ථේරවාද මතයට විරුද්ධව බෞද්ධ විශ්ව කෝෂයෙහි අභිධර්ම ලිපියෙහි දක්වන තවත් අදහස් කිහිපයක් මෙසේය :

“අභිධර්මය වැඩීගියේ සූත්‍රාන්තයෙහි දේශනා කොට ඇති ධර්මය පැහැදිලි කිරීමට ගන්නා ලද උත්සාහයෙහි ප්‍රතිඵලයක් වශයෙනි”

“නිද්දේසයත් පටිසම්භිදාමග්ගයත් පාළි අභිධර්ම ග්‍රන්ථ සත පහළ වීමට පළමු යුගයකට අයත් වෙයි”

“මේ ග්‍රන්ථ දෙකෙහිම දේශනාව සම්පූර්ණයෙන් ආකූල යැ”

“නිද්දේසය බුදුදහමෙහි ඉපැරණි කොටසට අයත් වන අට්ඨක පාරායණ වැනි ධර්ම කොට්ඨාශයනට අභිධර්ම අර්ථ විවරණ සපයන ග්‍රන්ථයෝ යි” යනු යි.

අභිධර්ම පිටකය පසුකලෙක දී සූත්‍රාන්ත පිටකයට කරන ලද අර්ථ විවරණයක් සේ ලියුම්කරු සලකන බව මෙයින් පෙනේ. ඔහුට අනුව ඛුද්දක නිකායට අයත් චුල්ල නිද්දේස, මහා නිද්දේස, පටිසම්භිදාමග්ග යන කොටස් ඉපැරණි අභිධර්ම අර්ථ විවරණයන් ය. අභිධර්ම පිටකය සැකසීමට මුල්වී ඇත්තේද එම ග්‍රන්ථයන් ය. අවාසනාවකට නිද්දේසයම ඒ මහතාගේ මත දැක්වීමට හරස් වෙයි. ධම්මසංගණි ප්‍රකරණයෙන් උද්ධෘත පාඨ විස්සකට නොඅඩු ගණනක් ද විභංග ප්‍රකරණයෙන් උධෘතපාඨ දාහතකට නොඅඩු ගණනක් ද නිද්දේසයෙහි දක්නට දක්නට ලැබේ. ඒ හැම බුද්ධජයන්ති ත්‍රිපිටක මුද්‍රණගත නිද්දේසයෙහි පෙන්වා ඇත. මේ පාඨයන් නිද්දේසයට ඇතුළු වූ ආකාරය නීර්ණය කිරීමට නම් පළමු නිගමනය වෙනස් කොට අට්ඨකථාවේ පිහිට සොයන්නට සිදුවනු ඇත.

‘අභිධර්මය සූත්‍රාන්තයට කළ අර්ථ විවරණයෙකි’ යන සැකය බොහෝ දෙනා තුළ පහළව ඇත්තේ නිද්දේසයත් පටිසම්භිදාමග්ගයත් අභිධර්ම ග්‍රන්ථ සේ වරදවා ගැනීමෙන් විය යුතුය. නිද්දේසයත් පටිසම්භිදාමග්ගයත් තේරුම්ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් මහා අවුලක වැටී ඇති බව නම් පැහැදිලිය. ‘මේ දෙකෙහි දේශනාව සම්පූර්ණයෙන් ආකූල යැ’යි කියන්නේද ඒ නිසාය. දහම් නය දත් අයට නම් එහි කිසි පැටළිලි සහගත බවක් නැත.

නිද්දේසයෙහි හෝ පටිසම්භිදාමග්ගයෙහි හෝ අභිධර්ම ලක්ෂණයක් ඒවා පහළ වූ තැන් පටන් මෙතෙක් එකදු ආභිධර්මිකයෙක් දැක්කේ නැත. ධර්ම වශයෙන් ගත්විට සූත්‍රාන්තයත් අභිධර්මයත් අතර කිසි වෙනසක් නැත. වෙනස ඇත්තේ විභාග නය ක්‍රමයන්ගේ පමණි. සූත්‍රාන්ත සප්‍රදේශ කොටද අභිධර්ම නිෂ්ප්‍රදේශ කොට ද බෙදා දක්වා ඇත. ඒ නිසා අභිධර්මය ධර්මාතිරේක ද ධර්ම විශේෂ ද විය. සූත්‍රාන්තය ව්‍යවහාර දේශනා ය. අභිධර්ම පරමාර්ථ දේශනාය. මේ වෙනස නොහැඳින හෝ නොතකා හෝ අභිධර්මය විවේචනයට බැසීම අඳුරෙහි අතපත ගෑමකි. නිද්දේසයෙහිත් පටිසම්භිදාමග්ගයෙහිත් එනුයේ සප්‍රදේශ නය මිස නිෂ්ප්‍රදේශ නය නොවේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s