ධර්මපාල තුමාට පහරදුන් අසත්පුරුෂයින්ට සමුද්‍ර වෙත්තසිංහ මහතාගෙන් පිළිතුරු ලිපි පෙළක්..! (අවසාන ලිපිය – 12)

Dadurukala Siyapatha 12

අනගාරික ධර්මපාලතුමාට එරෙහිව ස්වදේශික ප්‍රභූන්ගේ කෙනෙහිලිකම් ..!

අනගාරික ධර්මපාලතුමාගේ ජීවිතයේ ඉතාමත් සාර්ථක ස්වර්ණමය යුගය ලෙස ගුණදාස අමරසේකර පෙන්වා දෙන්නේ 1912-1914 දක්වා කාලපරිච්ඡේදයයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහි ඔහුගේ අරගලය ප්‍රබලව, සංවිධානාත්මකව ඇවිළ ගියේ මේ අවධියේය. එසේම ධර්මපාලතුමාගේ ව්‍යාපාරය වටා විශාල ජන කණ්ඩායම් එක්රැස්ව සිටියේත්, එතුමා අද්විතීය නායකයෙකු ලෙස ජනතාව අතර ගෞරවාදරයට පාත්‍රව සිටියේත් මේ අවධියේ බව පෙනේ.

මෙරට දේශපාන ක්ෂේත්‍රයේ ප්‍රබලයන් බවට පත් බොහෝ දෙනෙකු සමාජ ක්‍රියාකාරිකයන් ලෙස ඉස්මතු වන්නේ ධර්මපාලතුමාගේ අමද්‍යප ව්‍යාපාරය හරහාය. ස්පේටර් සේනානායකගේ දරුවන් තිදෙනාම (එෆ්. ආර්. සේනානායක, ඩී. සී. සේනානායක, ඩී. ඇස්. සේනානායක) මේ අමද්‍යප ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයෝ වූහ. එසේම ඩී. බී. ජයතිලක, ආතර් වී. දියෙස්, දොස්තර මාකස් ප්‍රනාන්දු, ජේම්ස් පීරිස්, ඩබ්ලිව්. ඒ. ද සිල්වා, ජෝන් කොතලාවල, හෙන්රි අමරසූරිය අමද්‍යප ව්‍යාපාරය හරහා සමාජ ක්‍රියකාරීත්වයට එක්වූහ.

වික්ටර් අයිවන් පෙන්වා දෙන පරිදි මේ අමද්‍යප ව්‍යාපාරයට නායකත්වය දුන් වැඩි පිරිසක් අරක්කු රේන්ද ව්‍යාපාරවලට සම්බන්ධ අයද වූහ. ස්පේටර් සේනානායක අරක්කු රේන්ද හිමිකරුවකු වූ අතර, ඔහුගේ වැඩිමහල් පුත් එෆ්. ආර්. සේනානායක විවාහ වූයේ අරක්කු රේන්ද ව්‍යපාරවලින් ධනවතෙකු බවට පත් වූ ඩී. සී. ජී. ආටිගලගේ දියණියක සමඟය. අක්කර 3,027ක ඉඩම් ඔහුට දෑවැද්දට ලැබුණු බව කියැවේ. ජෝන් කොතලාවලද විවාහ වී සිටියේ එම පවුලේම වැඩිමහල් දියණිය සමඟය.

අමද්‍යප ව්‍යාපාරයේ තවත් නායකයෙකු වූ ආතර් වී. දියෙස්ගේ පවුලද ධනවතුන් බවට පත් වූයේ අරක්කු රේන්ද ව්‍යාපාරය නිසාය. ඔහුගේ මවට ගැලුම් 60,000ක ධාරිතාවකින් යුත් අරක්කු ගුදමක් තිබූ බව කියැවේ. ධර්මපාලතුමා ආරම්භ කළ අමද්‍යප ව්‍යාපාරය හරහා සමාජ ක්‍රියාකාරීන් ලෙස ඉස්මතු වුවද මේ නවීන ප්‍රභූ පන්තිය එතුමා නොතකා හළ බව පෙනේ. ඊට හේතුව ඔවුන් තුළ දේශපාලන බලය ලබාගැනීමේ අපේක්ෂාවක්ද පැවතීමයි. මේ නව ප්‍රභූ පන්තියද ඔවුන්ගේ ඇතැම් ක්‍රියාකාරකම්ද ධර්මපාලතුමාගේ පෞද්ගලික ලිපිවලදී නිර්දය විවේචනයට ලක්විය. එසේ විවේචනයට ලක්වූවන් අතර එෆ්. ආර්. හා ඩී. එස්. සේනානායකද, ඩී. බී. ජයතිලකද වේ. මේ අය ජනතාව පක්ෂ දේශපාලනයට පොලඹවා ගනිමින් සිටින බවත්, එමගින් සිංහල බෞද්ධ ජනතාව භේදභින්න වන බවත්, ඔවුන්ට ආගම දහම පවා එපා වන බවත් එතුමා කල් ඇතිව දුටුවේය. අද පක්ෂ දේශපාලනය නිසා මෙරටට සිද්ධ වී ඇති හානිය සුළුපටු නොවේ. ධර්මපාලතුමා එය එකල පැහැදිලිව කියා සිටියේය.

එසේම සිංහල බෞද්ධ නායකයන් ලෙස බලවත්ව සිටි සේනානායකවරු සිය ව්‍යාපාරයට ආධාර නොකිරීමද, ඊට අකුල් හෙළිමද ධර්මපාලතුමාගේ කෝපයට හේතු වී තිබේ. මේ බව දැක්වෙන්නෙ එතුමාගේ පෞද්ගලික ලිපි ලේඛනවල පමණි. ඔහු ප්‍රසිද්ධියේ සේනානායකවරුන්ට දොස් නොකී අතර, එෆ්. ආර්. සේනානායක හදිසියේ දඹදිව වන්දනා ගමනකදී මරණයට පත්වීම පිළිබඳව කම්පා වූයේය. මේ උදාහරණ කීපයකි.

‘එෆ්. ආර්. සේනානායකගේ මරණය (1926) දුක්ඛදායකයි. මහා පරිනිබ්බාන සූත්‍රයේ කියා තිබෙන අන්දමට ඔහුට දිව්‍ය ලෝකය අයිතියි. අවුරුදු 30ක් ම අප සමාගමට කිසි පිහිටක් ලැබුණේ නැත. බෝ මැඩ ලබා ගැනීමට අප විසින් කළ වීර්යය ගැනත් බොහෝම විරුද්ධයි. ඔහුගේ පියා ජීවත්ව සිටිය කාලේ මහා බෝධි සමාගමට තදින්ම විරුද්ධව ක්‍රියා කළා. ධන සම්භ කර ගත් කල ඇතැම් අයට බුද්ධාගමට තිබෙන ශ්‍රද්ධාව නැතිවේ.’

එසේම ආටිගල මුදලි වැනි ධනවතුන් සිය රටත්, පොදු ජනයාත් වෙනුවෙන් කිසිවක් නොකිරීමද ධර්මපාලතුමාගේ කලකිරීමට හේතු වී තිබේ.

‘ආටිගල මුදලිතුමා බොහෝ ධන රැස් කළ කෙනෙකි. උන්නැහේට සිටි එකම පුත්‍රයා කෝ? ඒ වස්තුව කෝ? දැනට ඒ පවුලේ එකම බෞද්ධයෙක් වත් නැති වීම ඛේදජනකයි. මිහිරන්වලින් ලැබූ මහා ධනය මිථ්‍යාදෘෂ්ටින්ට අයත් විය. විපරිණාම ධර්මයක හැටි, ‘අනිච්චාවත සංඛාරා.’ දුප්පත් සිංහලයන් සිය ගණනක් විසින් මහා දුක් විඳිමින් පොළොව හාරා ආකර තන තනා මිහිරන් සොයාගෙන ඒ ගොඩට ගෙනත් දමා දවසට සත 50 බැගින් වැටුප් ලබාගෙන ජීවිකාව කරගනු ලැබේ. කිසි මහන්සියක් නැතිව මිහිරන් අයිතිකාර බාස් ටික කලකින් මහා ධනවතෙක් වන්නේය. ඒ මුදල රටට, ජාතියට, ආගමට ප්‍රයෝජනයක් වන කිසිත් නොකොට යුරෝපීය පාදිලිවරුන්ටද, ඉංග්‍රීසි වස්ත්‍රාභරණවලටද වියදම් කරනු ලැබේ. අහෝ ස්වජාතික සිංහලයන්ගේ දියුණුවට ශිල්ප ශාලාවක්වත් ආටිගල උන්නැහේ පිහිටෙව්වා නම් කොපමණ ප්‍රයෝජනද?’

පරම විඥානාර්ථ සමාගම ශ්‍රී ලංකාව තුළ ආරම්භ කරන ලද්දේ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා විසිනි. එය මෙරට අධ්‍යාපනය නඟාලීමට විශිෂ්ට සේවාවක් සිදු කළ ආයතනයකි. අනගාරික ධර්මපාලතුමා පරම විඥානාර්ථ සමාගමේ බෞද්ධ අංශයේ ලේකම් වශයෙන්ද, සරසවි සඳරැස පත්‍රයේ කළමනාකරු වශයෙන්ද කටයුතු කර තිබේ. එහෙත් පසුකාලීනව ධර්මපාලතුමාත්, ඕල්කට්තුමාත් අතර විවිධ මතභේද හටගත්තේය. මේ බව ධර්මපාලතුමාගේ ලිපි ලේඛනවලද සඳහන් වේ‍.

‘1904 නොවැම්බ්‍ර මායේදී ඕලකොට්තුමා සම්භවෙන්ට අදයාර්වලට ගියෙමි. එදින උන්නැහේ තුච්ඡ අන්දමින් හැසිරුණ නිසා මගේ හිත බිඳණා. එතැන් පටන් පරම විඥානාර්ථ ධර්මය තුච්ඡ බව ලෝකයාට පෙන්වා දුනිමි.’

ධර්මපාලතුමා පරම විඥානාර්ථ ධර්මයට පහර දෙන අතර සිය සමීප හිතවතුන්ද ඒ සඳහා දායක කර ගත්තේය. එවක කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්යවරයෙක්ව සිටි බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියෝද මේ සඳහා එක්ව සිටියහ. ‘දවසක් මට ධර්මපාලතුමා කීවා තමුන්නාන්සෙ විසින් දැන් තවත් වැඩක් කර යුතුව තිබෙනවා. ඒ තියෝසොපියට (පරම විඥානාර්ථ වාදයට) පහර දෙන එක.’

ධර්මපාලතුමාත් පරම විඥානාර්ථ සමාගමත් අතර අරගලයේ ප්‍රතිඵල වූයේ එතුමාට එරෙහිව එකී සමාගම විසින් නිර්නාමික පොත් පිංචක් මුද්‍රණය කොට බෙදාහැරීමයි. එය ‘අනගාරික අර්බුදය’ නම් වූ බව ධර්මපාලතුමාගේ කනිෂ්ඨ ලේකම්වරයෙකු වූ කේ. බී. සුගතදාස කියා තිබේ. වික්ටර් අයිවන් සිය ‘පන්සලේ විප්ලවය’ කෘතියේ එහි නම දක්වා ඇත්තේ ‘අනගාරික අරමුදල’ ලෙසය. ධර්මපාලතුමාගේ ලිපි ලේඛනවල දැක්වෙන්නෙ එය ‘ධර්මපාල අරගලය’ නම් වූ බවය. මෙය ලියා තිබුණේ එවක පරම විඥානාර්ථ සමාගමේ පාසල් සාමාන්‍යාධිකාරීව සිටි ඩී. බී. ජයතිලක විසින් බව කියැවේ. එය ධර්මපාලතුමාද දැන සිටි බව මේ අප්‍රකට ලිපියෙන් හෙළිවේ.

‘මට විරුද්ධව ඩී. බී. ජයතිලක වර්ෂ 1904 දී ධර්මපාල අරගලය කියා පොතක් ලියා තියොස්පිකල් සමාගම ගණනේ පිටපත් දස දාහක් මුද්‍රණය කර බෙදාහැරියා. එයින් මට හානියක් වුණේ නැත. ඒ කාලෙදි ජයතිලක තියොස්පිකල් සමාගමෙන් වේතනය ලැබුවේය.’

ඩී. බී. ජයතිලක මේ කෘතියෙන් ප්‍රශ්න කර සිටින්නේ ශාසනික කටයුතු වෙනුවෙන් අනගාරික ධර්මපාලතුමාට ලැබෙන ආධාරවලට කුමක් සිදුවනවාද යනුයි. ඊට හේතුව නිවැරදි ගණන් හිලව් පෙන්වීමට මහාබෝධි සමාගම අසමත් වීමයි. මේ පිළිබඳ කම්පා වෙමින් ධර්මපාලතුමා දේවප්‍රිය වලිසිංහට මෙසේ ලියා තිබේ.

‘අය වැය ලේඛනයක් කල්කටා සමාගම විසින් ප්‍රසිද්ධ කටයුතුයි. ප්‍රසිද්ධ නොකිරීමෙන් මට චෝදනා ලැබේ. කොළඹ මහාබෝධි සමාගම පෝස්ටර් පොලී මුදල වියදම් කරනවා විනා ගණන් ලේඛනයක් ප්‍රසිද්ධ නොකිරීම නිසා මහජනයාගෙන් මට චෝදනා ලැබේ. මෙය බලවත් අපරාධ්‍යකි.’

ධර්මපාලතුමා උපතින්ම ධනවත් ව්‍යාපාරික පවුලකට අයත් වූවෙකි. ඔහුගේ ජාතික ආගමික කාර්යයන් සඳහා පවුලේ ධනය විශාල වශයෙන් වැය වූ බව පෙනේ. ‘මපිය ධනයෙන් හතළිස් වර්ෂයක් ලෝකාර්ථ දායක වැඩට වියදම් කළෙමි. අමෙරිකාවට තුන්වරක් ගමන් කලේ පියාණන්ගේ වියදමෙන් ය.’ යනුවෙන් බ්‍රහ්මචාරී දේවප්‍රිය වලිසිංහට ලියා තිබේ.

ධර්මපාලතුමා ධනවතෙකු වුවද සුඛෝපභෝගී ජීවිතයක් ගතකළ බවක් නොපෙනේ. ඉන්දියාවේ ශාසන පුනර්ජීවන කටයුතුවලදී ඔහුට දැඩි දුක් විඳින්නට සිදුවී තිබේ.

‘කිසිවෙක් නොවිඳිනා දුක් වින්දෙමි. නරේෂ්ගේ පියා නරනාත් අනාපු ඉඳුල් කළ බත් තැටියෙන් පිඬක් මට කන්ට දුන්නා. මම එය කෑවා. තුට්ටු දෙකේ පාන් ගෙඩිය දෙවරකට කා දවස ගත කළා. දහහත් අවුරුද්දක් අපමණ දුක් වින්දෙමි.

මම එක්තරා මෝඩ ක්‍රියාවක් කළෙමි. ඕනෑවට වඩා මූඪ කමින් දුක් ගත්තා. එයින් මගේ ශරීරය බිඳ වැටුණා. සැප ගැනීමට කල්පනා කිරීමට හොඳයි. දුක් ගැනීමට කල්පනා කිරීම මෝඩකමකි.’

**************************************
ධර්මපාලතුමාගේ ව්‍යපාරය අඩපණ කිරීම සඳහා ඇතැම් අධිරාජ්‍යගැති ස්වදේශිකයන්ද රජයට තොරතුරු සැපයූ බව පෙනේ. 1907 ඔක්තෝම්බර් 21 වන දින සයිමන් ද සිල්වා මුදලි රජයට සැපයූ වාර්තාවකින් කියා සිටියේ ‘ධර්මපාල මහතාගේ මහාබෝධි සමාගම අන්තරාදායක එකක් බවත්, එය නිතරම ජාතික ආගමික වෛරය ඇවිස්සීමට ආශාවෙන් පසුවන බවත්ය.’

‘ලක්මිණ’ පුවත්පතේ කර්තෘ ඒ. රෙජිනෝල්ඩ් ප්‍රනාන්දුද ධර්මපාලතුමාගේ ව්‍යාපාරයට එරෙහි වූවෙකි. ඔහු යටත්විජිත භාර ලේකම්වරයාට ලියමින් කියා සිටියේ ‘ධර්මපාලගේ රාජ්‍ය විරෝධී ව්‍යාපාරයට එරෙහිව ක්‍රියාකළ යුතු බවය.’ හෙතෙම මෙසේද ලියා තිබේ.

‘සිංහල බෞද්ධ සේනාවක් සමඟ කොළඹට නුදුරු පෙදෙසක කිසියම් උදෑසනක ධර්මපාල මහතා සිටිනු දක්නට ලැබෙතොත් මම පුදුමයට පත් නොවෙන්නෙමි.’

ඇතැම් පුවත්පත්වලින්ද ධර්මපාලතුමාට ප්‍රහාර එල්ල වී තිබේ. ලේක්හවුසිය ධර්මපාලතුමා හඳුන්වා ඇත්තේ ‘මුට්ටකාසිකාරයා’ යන නමිනි. ඔහු ධර්මපාලතුමාගේ ශාසනික ව්‍යාපාර හෑල්ලුවට ලක්කරමින් සිය පුවත්පත්වල ලිපි පළ කරන ලදී.

එසේම ධර්මපාලතුමා ඉන්දියාවේ සහ යුරෝපයේ වෙහෙරවිහාර ස්ථාපනය කිරීමට ගත් වෙහෙසද, ඒ වෙනුවෙන් අරමුදල් රැස් කිරීමද ඒ ලිපිවලින් ප්‍රශ්න කිරීමට ලක්ව තිබේ. මේ නිසා ලේක්හවුස් පුවත්පත් අයිතිකරු ඩී. ආර්. විජේවර්ධන ධර්මපාලතුමාගේ පෞද්ගලික ලිපිවලදී කර්කශ ලෙස විවේචනයට ලක්වී තිබේ.

‘1. දිනමිණ, ඩේලි නිවුස් පත්‍රය අයිතිකාරයා සේදවත්තේ විජේවර්ධනයි. සේදවත්තේ දොං පිලිප් කොන්ත්‍රාත්කාරයා බොහෝ ධන සම්භකොට මැරී ගියා. කොළඹට පැමිණියේ දස අවුරුද්දට ප්‍රථමයි. මුදල් බලය නිසා හිතූ දේ කරති.

හීනාධි මුක්තක සත්වයන්ගේ ගති බුදුරජාණන් වහන්සේ විසින් දක්වා වදාළේය. දිනමිණ අයිතිකාරයාගේ ක්‍රියාව වසලයෙකුගේ ක්‍රියාවට සමානයි. ලොන්ඩන් නුවර විහාරේ තැනීමට මේ කාලකණ්ණියා විරුද්ධයි.

2. දිනමිණ අයිතිකාර සේදවත්තේ විජේවර්ධන ක්‍රෝධ සිතින් අපට අන්තරා කරන්ට කටයුතු කරගෙන යන්නේය. පින් කරන්ට අකමැති අයට දිනමිණේ පළවෙන ලියුම් පනින රිළවුන්ට ඉනිමං බැන්දාක් මෙනි.

3. දේවදත්තයා මෙන් දිනමිණ අයිතිකාර විජේවර්ධන අපේ පවුලට විරුද්ධයි. ඒ මනුෂ්‍යයා ධර්මය කුමක් දැයි නොදනී. බෞද්ධ පිරිස බැනුම් කියවන්ට සතුටු නිසා පත්‍ර විකුණා ගැනීමට විජේවර්ධන මට පරිභව කරයි. පත්‍ර රාශියක් විකිනෙණවා. රෝමානු පාදිලිවරුන්ට විරුද්ධව Morning Leader වාක්‍යයක් ලීවාට ඒ පත්‍රය රෝමානුකාරයන් විසින් boycott කරන්ට සභාවක් මීගමුවේ පැවැත්වුවා.’

එසේම ඇතැමුන්ගේ පුවත්පත් විවේචන සම්බන්ධයෙන් එතුමා මෙසේද ප්‍රතිචාර දක්වා තිබේ.

‘ලෞකික සම්පත් ප්‍රාර්ථනා නොකරන කෙනෙකුට නිකරුණේ නිග්‍රහ කිරීම පුණ්‍ය ක්‍රියාවක් යයි නොසිතිය යුතුය. සුබසිංහ උන්නැහේ මට විරුද්ධව සඳරැස පත්‍රයට ලියන දීර්ඝ ලියවිලි කියවීමට ඒ පත්‍රයේ දායක මහතුන්ගේ බලවත් ආශාවක් ඇති බැවින් මෙසේ ඒ ලියවිලි ප්‍රසිද්ධ කරනු ලැබේ. ඒ ලියුම් කියවීමෙන් යහපතක් ලෝකයාට වේ නම් ඒ ලියුම් ප්‍රසිද්ධ කිරීම යුතුමය.’

ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරයට එරෙහි වූවන් අතර අධිරාජ්‍ය ගැති භික්ෂූන්ද සිටීම පුදුමයකි. 1924 පෙබරවාරි 04 වන දින බ්‍රහ්මචාරී දේවප්‍රිය වලිසිංහට ලිපියක් ලියමින් ධර්මපාලතුමා මෙසේ කියා තිබේ.

‘පෙරේදා සිංහල ජාතියේ කර්තෘ පියදාස සිරිසේන මා දකින්ට පැමිණ සිද්ධාර්ථ උන්නාසේ විසින් මට විරුද්ධව ඔහුට ලියුම් එවන බව කීවා. අපේ භික්ෂූන් මහණදම් පුරන්නේ නැතිව කරන විගඩම් භයානකයි.’

මෙයින් පෙනී යන්නේ ධර්මපාලතුමා සිය ව්‍යාපාරය කරගෙන යනු ලැබුවේ ස්වදේශීක ප්‍රභූන්ගේද, ධනවතුන්ගේද නොහික්මුණු භික්ෂූන්ගේද කෙනෙහිලිකම් රාශියක් මධ්‍යයේ බවයි. සිය ජීවිතයේ අවසාන භාගය ගත කිරීමට ඔහු ඉන්දියාවට යෑමට තීරණය කළේ එනිසා යැයි කිව හැකිය.

(සමුද්‍ර වෙත්තසිංහ මහතාගේ ‘දැදුරු කළ සියපත’ ග්‍රන්ථයෙනි)

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s