ධර්මපාල තුමාට පහරදුන් අසත්පුරුෂයින්ට සමුද්‍ර වෙත්තසිංහ මහතාගෙන් පිළිතුරු ලිපි පෙළක්..! – 10 වන ලිපිය –

Dadurukala Siyapatha 10

ධර්මපාලතුමාට එරෙහිව ඩබ්ලිව්. ජයසිරි..!

විශිෂ්ටයන් බොහෝ දෙනෙකුගේ ක්‍රියාකාරකම් මර්දනය කළ නොහැකි තැන අගතිගාමී විවේචකයන් කරන කාර්යය නම් ඒ පුද්ගලයාගේ චරිතය ඝාතනය කිරීමයි. අනගාරික ධර්මපාල චරිතය ද මෙසේ ඝාතනය කිරීමට ඇතැම්හු උත්සාහ කරති. ධර්මපාලතුමන්ට එල්ල කරන මේ චෝදනාවලට සප්‍රමාණවත් හා සහේතුක පිළිතුරක් දිය යුතු යැයි කල්පනා කරමි.

සමලිංගිකත්වය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් ධර්මපාලතුමාට එරෙහිව කොළඹ තරුපහේ හෝටලයක ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තිබේ. එදින ඔවුන්ගේ ප්‍රධාන අරමුණක් වී ඇත්තේ අනගාරික ධර්මපාල චරිතයට නිගරු කිරීමයි. මේ කණ්ඩායමට සහාය දෙමින් ප්‍රවෘත්ති සාකච්ඡාව මෙහෙයවා ඇත්තේ ප්‍රකට නළු ඩබ්. ජයසිරි ය.
ජයසිරි ‘අමුතු ඉලන්දාරියා’ කෘතියේ දොරට වඩින දිනයේ සුගතපාල ද සිල්වාත් ‘කොලුකාරයෙකු’ ලෙස හැඳින්වීය. ජයසිරිගේ ‘සිරිසේන හා තෙපානිස්’ කෙටිකතා සංග්‍රහයේ එක්තරා චරිතයක් පලතුරු වාරයට පලතුරුත්, අවාරයට තමන්ගේ අධෝමාර්ගයත් විකුණයි!
අනගාරික ධර්මපාලට මෙබඳු චෝදනාවක් එල්ල කිරීමට මොවුන් පෙලඹී ඇත්තේ ධර්මපාලතුමාත්, වලිසිංහ හරිශ්චන්ද්‍රත් අතර තිබූ අසාමාන්‍ය හිතවත්කමයි.
වලිසිංහ හරිශ්චන්ද්‍ර වයස 34 දී අකල්හි අභාවයට පත් වූ බව ඇසූ විට ධර්මපාලතුමා හඬා වැලපුණු බව කියැවේ. එය ධර්මපාල අපදාන රචනා කළ සියලු කර්තෘන් වාර්තාගත කොට ඇති සත්‍ය සංසිද්ධියකි. 1913 දී දරුණු පිළිකා රෝගයකින් අසාධ්‍ය වූ බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර ප්‍රතිකාර සඳහා රැගෙන යන ලද්දේද කොල්ලුපිටියේ ඇලෝයි ඇවනියු හි පිහිටි ධර්මපාලතුමාගේ නිවස වූ හේවාවිතාරණ වලව්ව වෙතය. එතුමා එවක විදේශ සංචාරයක නිරතව සිටි බැවින් වලිසිංහ හරිස්චන්ද්‍ර රැකබලා ගන්නා ලද්දේ ධර්මපාලතුමන්ගේ සොහොයුරු දොස්තර සී. ඒ. හේවාවිතාරණ විසිනි. හරිශ්චන්ද්‍රගේ අභාවය සිද්ධ වූයේද මේ නිවසේදීමය.
නිර්භය, අකම්පිත හද ඇත්තේ වුවද සිය සමීපතමයන්ගේ අභාවයන්හිදී ධර්මපාලතුමන් ඉමහත් වියෝදුක් ඉසිලූ බව පෙනී යයි. සහෝදර දොස්තර සී. ඒ. හේවාවිතාරණ අභාවයට පත් වූ මොහොතද එවැන්නකි. ඔහුගේ දේහය කොල්ලුපිටිය හේවාවිතාරණ වලව්වට ගෙන ආ මොහොතේ ධර්මපාලතුමන් ‘දොස්තර අනේ දොස්තර’ යැයි කියා හඬා වැලපෙමින් පුටුවක් මත ඇද වැටුණු බව සඳහන් වේ.
වලිසිංහ හරිශ්චන්ද්‍ර සමඟ පමණක් නොව පසුකාලීනව සිය ජාතික ව්‍යාපාරයට එක්වූ දේවප්‍රිය වලිසිංහ සමඟද ධර්මපාලතුමන්ට වූයේ ඉමහත් ආදරවන්ත බැඳීමකි. එබඳු අසිරිමත් මානව සබඳතා ලොව බොහෝ ශ්‍රේෂ්ඨ මිනිසුන් අතර පැවතී තිබේ. ඒවා සිතින් සිතා ගැනීමටත් අසීරු සුවිශේෂ මිතුරු දහම්ය.
කාල් මාක්ස් – ෆෙඩ්රික් එංගල්ස් අතර, ටෝල්ටෝයි – චෙර්ත්කොව් අතර, පිදෙල් ක්‍රස්තෝ – අර්නස්ටෝ චේ ගුවේරා අතර තිබුණේ එබඳු අසාමාන්‍ය හිතවත්කම් නොවේද?

– චේ සහ ක්‍රස්තෝ – 

සිය යුගයේ සිටි පරිපූර්ණම මිනිසා ලෙස ජීන් පොල් සාත්‍රේ හඳුන්වා දුන් අර්නස්ටෝ චේ ගවේරාට තිබුණේ අතිශය කඩවසම් සිරුරකි. ඔහුත් පිදෙල් ක්‍රස්තෝත් 1956 දී අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ දෙදෙනා සිටියේ එක සිර කුටිය දෙකට බෙදා ගෙනය. ඒ. ලැවිරෙට්ස්කි ලියූ ‘චේ’ චරිතාපදානයේ චේ සහ ක්‍රස්තෝ ඇඳුම් මාරු කරන අවස්ථාවක ඡායාරූපයක් ඇතුළත් වේ. උඩු කය නිරුවත්ව සිටින චේ, ක්‍රස්තෝ ඉදිරියේ සිය ඇඳුම් උනා දමමින් සිටියි. එය චේ සහ ක්‍රස්තෝගේ සමලිංගික ඡායාරූපයක්ද?

– මාක්ස් සහ එංගල්ස් –

කාල් මාක්ස් සහ ෆෙඩ්රික් එංගල්ස් යන ශ්‍රෙෂ්ඨතම චින්තකයන් දෙදෙනා අතර තිබුණේද සිතින් සිතා ගැනීමට පවා අසීරු තරමේ පුදුම සම්බන්ධයකි. යෙව්ගේනියා ස්තෙපානොවා ලියූ කාල් මාක්ස් ජීවන චරිතයේ මේ අසිරිමත් මිතු දහම හඳුන්වා දෙන්නේ ‘පුරාවෘත්තයක්’ ලෙසිනි. ඇතැම් විට මේ දෙදෙනා ඇසුරු කර ඇත්තේ පෙම්වතුන් යුවළක් මෙනි. එංගල්ස් තමන් වෙතින් බැහැරව සිටි ඇතැම් කාලවලදී මාක්ස් විස්සෝප වෙමින් මෙසේද ලීවේය.
‘අපට දැන් එකට ජීවත් වීමටත්, එකට වැඩ කිරීමටත්, එකට සිනාසීමටත් නොහැකි වීම මගේ කෝපයට හේතු වෙයි.’
ලෙනින් මේ දෙදෙනාගේ අසිරිමත් මිතු දම ගැන මෙසේ කියා ඇත.
‘ළයාන්විත මිත්‍රත්වයන් ගැන ඉතිහාසයේ බොහෝ නිදසුන් ඇත. එහෙත් මාක්ස් හා එංගල්ස් අතර තිබූ ළයාන්විත මිත්‍රත්වය ඒ මිතුරු දහම් සියල්ල අභිබවා ගිය එකක් බව මට ස්ථිර වශයෙන් කිව හැක.’
මෙයින් පෙනී යන්නේ ලොව ශ්‍රේෂ්ඨ මිනිසුන් අතර තිබූ සබඳතා පුදුමාකාර බවය. සාමාන්‍ය මිනිසුන්ට සිතා ගැනීමට පවා නොහැකි තරම් අසිරිමත් බවය. අනගාරික ධර්මපාල හා වලිසිංහ හරිස්චන්ද්‍ර අතර පැවති සම්බන්ධයද එවැන්නක් බව මගේ කල්පනාවයි.

– යේසු දඩයම –

ලොව ශ්‍රෙෂ්ඨ මිනිසුන් රැසකටම මෙබඳු චෝදනා එල්ල වී ඇත. ඒවායේ ඇත්ත නැත්ත කුමක් වුවත් මේ චෝදනා පිටුපස තිබුණේ මේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ අභිලාෂයයි.
කොලට් සේනානායක සහ නාරද කරුණාතිලක ‘යේසුස්, දේවපුත්‍රයෙකු කළ බුද්ධ පුත්‍රයා’ කෘතියෙන් පෙන්වා දෙන්නේ යේසුස් වහන්සේ දඩයම් කෙරුණේද සමලිංගික චෝදනාවක් නඟමින් බවයි. යුදෙව් ව්‍යවස්ථාව අනුව සමලිංගික සේවනය මරණ දඬුවම් ලැබිය යුතු වරදක් වී තිබේ. යේසුස් වහන්සේ අල්ලා ගැනීමට මාන බලමින් සිටි රබ්බිවරුන් උන්වහන්සේ කොටු කරගෙන ඇත්තේ ලාසරස් සමඟ සමලිංගික අභිචාරයකට සහභාගී වී සිටි අවස්ථාවක බව කියැවේ.
මේ ලාසරස් යනු යේසුස් වහන්සේ මළවුන්ගෙන් නැඟිටුවා ගත් තරුණයෙකි. හණ රෙද්දකින් නිරුවත වසාගෙන සිටි තරුණයෙකු යේසුස් වහන්සේ අත්අඩංගුවට ගත් අවස්ථාවේ එතැන සිට පලාගිය බව මාක්ගේ ශුභාරංචියේ සඳහන් වේ.

– සොක්‍රටීස් දඩයම –

ක්‍රි. පූ. 339  දී ඇතන්ස් හි අධිකරණය සොක්‍රටීස්ට මරණීය දණ්ඩනය නියම කළේය. ඔහුට විරුද්ධව නැඟුණු එක් චෝදනාවක් වූයේ පැවති දෙවිවරුන් ප්‍රතික්ෂේප කර නව දෙවිවරුන් හඳුන්වා දීම හා තරුණයන් නොමඟ යැවීමයි. සොක්‍රටීස්ට එල්ල වූ මේ චෝදනාවෙහි සත්‍යාසත්‍යතාව ප්ලේටෝ විසින් රචිත සංවාදවලදී සාකච්ඡා කෙරේ.
සම්භාව්‍ය ග්‍රීක දාර්ශනිකයන් ජීවත් වූ මේ යුගය සමලිංගික ප්‍රේමය එළිපිටම පැවති යුගයකි. තරුණයන් නොමඟ යැවී යැයි සොක්‍රටීස්ට එල්ල වූ චෝදනාව පසුපස සමලිංගික චෝදනාවද නොතිබුණා නොවේ. ඊට හේතුව සොක්‍රටීස් වෙත තරුණයන් මහත් සේ ආකර්ෂණය වීමයි.
ප්ලේටෝ රචනා කළ ‘මධුසාදය’ සංවාදයේදී ඇල්සිබියාඩේස් ප්‍රකාශ කර සිටින්නේ තමා දන්නා බොහෝ තරුණයන් සොක්‍රටීස් හා පෙමින් බැඳී සිටින බවයි. සොක්‍රටීස්ගේ කටහඬ ඇසීමෙන් පවා ඔවුන්ගේ දෙනෙත් තෙත් වන බවයි. මේ ඇල්සිබියාඩේස්ද සොක්‍රටීස් හා පෙමින් බැඳීමට කැමැත්තෙන් සිටි තරුණයෙකි. ඔහු ප්‍රකාශ කර සිටින්නේ තමාගේ කඩවසම් ශරීරය සොක්‍රටීස්ට පූජා කිරීමට කැමැත්තෙන් සිටියද සොක්‍රටීස් එය ප්‍රතික්ෂේප කළ බවයි.
විශිෂ්ටයන්ට සමලිංගික චෝදනාවෙන් දමා ගැසීම් ඉතිහාසය ක්‍රි. පූ. යුගයේ ග්‍රීක දාර්ශනිකයන් දක්වා දිවයන්නක් බව මෙයින් නොපෙනේද? 19 වන සියවසේ ශ්‍රේෂ්ඨතම ලංකා පුත්‍රයාට එල්ල කළ මේ චෝදනාව තුළ ඇත්තේද ඒ පෞරාණික පුස්ගඳ ම නොවේද?
(සමුද්‍ර වෙත්තසිංහ මහතාගේ ‘දැදුරු කළ සියපත’ ග්‍රන්ථයෙනි)

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s