ධර්මපාල තුමාට පහරදුන් අසත්පුරුෂයින්ට සමුද්‍ර වෙත්තසිංහ මහතාගෙන් පිළිතුරු ලිපි පෙළක්..! – 7 වන ලිපිය –

Dadurukala Siyapatha 7

අනගාරික ධර්මපාලට එරෙහිව සුචරිත ගම්ලත්..!

අනගාරික ධර්මපාල චරිතය නිර්දය ලෙස විවේචනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රකට මාක්ස්වාදි විචාරකයෙක් වන්නේ මහාචාර්ය සුචරිත ගම්ලත් ය. මීට ඉහත ලිපියෙන් සුචරිත ගම්ලත් ධර්මපාලතුමා පිළිබඳ කළ විවේචනයක් උද්ධරණය කොට දැක්වීමි. මේ විවේචනයෙන් ඔහු කියා සිටින්නේ ධර්මපාල ජාතිභේදයත්, ජාතීන් අතර වෛරයත් ඇවිළ වූ බවයි.

ධර්මපාල, මුස්ලිමුන් පෙති ගසා ගඟේ පා කර යැවීමට යෝජනා කළේ යැයි ද සුචරිත ගම්ලත් වරෙක කීවේය. ඒ සා අපරාධ කතාවක් ධර්මපාලතුමා කියා ඇත්තේ කොතැනදී දැයි, කොයි පොතේදී දැයි සොයමින් සිටිමි. එහෙත් ධර්මපාලතුමාගේ දේශන හා ලිපි ලේඛනවල අද අපට ‘ජාතිවාදී’, ‘වර්ගවාදී’, ‘ආගම්වාදී’, ‘අන්තවාදී’, ආදී ලේබල්වලට දැමිය හැකි වගවාසගම් අනන්තවත් හමුවේ. ඒවා එකී අන්ධකාර සමය හා නොසැසඳීමෙන්, වර්තමානය සමඟ ගැළපීමෙන් සිදුවන්නේ කරුණු විකෘතියකි. අප අද අල්ලා ගත යුත්තේ එදා ධර්මපාලතුමාගේ වචනවලට පිටුපසින් තිබූ අභිලාෂයයි. විජාතිකත්වයට එරෙහිව ජාතිකත්වය – පරාධීනත්වයට එරෙහිව ස්වාධීනත්වය – දීන බවට එරෙහිව අදීනත්වය – බය පක්ෂපාතීත්වයට එරෙහිව නිර්භයත්වය – දේශද්‍රෝහීත්වයට එරෙහිව දේශප්‍රේමය, පරගැති චින්තනයට එරෙහිව දේශීය චින්තනය, බටහිරගැති ආර්ථිකය වෙනුවට සංවිධිත දේශීය ආර්ථිකය යන සංකල්ප ධර්මපාල චින්තනයේ සාරයයි.

නන්දා මාලිනී ගැයූ ‘මේ සිංහල අපගෙ රටයි’ ගීතය ස්වකීය මාක්ස්වාදී ආස්ථානයේ සිට විවරණය කළ සුචරිත ගම්ලත්හු එබඳු රටක් නැති බව කියූහ. එය ඉතිහාසය තුළ ප්‍රතිගාමී කාර්යභාරයක් ඉටු කළ අපරාධකාර ගීතයක් බවද කියූහ. නිර්ධන පන්තියට පිතෘ භූමිය කියා දෙයක් නැති බවත්, එය ව්‍යාජ උද්යෝග පාඨයක් බවත්, එය දඩමීමා කර ගනිමින් ධනපතීන් විලෝපාකාරී යුද්ධ ඇති කරන බවත් කාල් මාක්ස් කියා ඇත. එහෙයින් මාක්ස්වාදී ආස්ථානය ගත්තෙකුට අනගාරික ධර්මපාලගේ දේශප්‍රේමය උද්යෝග පාඨයක් ලෙස පෙනී යෑම අරුමයක් නොවේ.

මාක්ස්වාදයේ මිතුරෙක් වන මේ ලේඛකයා ජාතිය සම්බන්ධයෙන් මාක්ස් පවසා ඇති දෑ පිළිනොගනී. ජාතිකත්වය අරබයා කාල් මාක්ස්ගේ මේ සංකල්පය උපන්ගෙයි දෝෂයෙන් යුක්ත වූවක් බව අද ප්‍රතිමාක්ස්වාදීහු පෙන්වා දෙති. මාක්ස්වාදීන්ට තවමත් සිය කොමියුනිස්ට් සමාජයක් පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඔවුන් දේශප්‍රේමීන් වන්නට පෙර ජාත්‍යන්තර ප්‍රේමීන් වීම නිසා නොවේද? තමා උපන් දේශය පිළිබඳ කැක්කුමක් නැත්තෙකුට විප්ලවයක් මෙහෙයවිය හැකිද? මාක්ස්වාදයෙන් ආවේශිතව ලෙනින් සහ මාවෝ සේතුං ගොඩනැඟූ සමාජ ව්‍යාපාරවල දේශප්‍රේමයට ඉඩක් නොතිබිණිද? ඊට හේතුව මේ ශ්‍රේෂ්ඨ මිනිසුන් මාක්ස්වාදය ස්වකීය ජන සමාජයට ගළපා ගැනීමට සමත් ප්‍රතිභාව ඇති ධීමතුන් වීම නොවේද?

වැඩ කරන ජනතාවට දේශයක් නැතැයි මාක්ස් ප්‍රකාශ කළද ජාතිකත්වය යන සංකල්පය පහසුවෙන් අහෝසි කර දැමිය නොහැකි බව ‘ජාත්‍යනුරාගය; සමාජ ශාස්ත්‍රීය විමර්ශනයක්’ නම් අගනා කෘතිය ලියූ මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාසයෝ පවසති. එනිසාම මාක්ස්වාදීන්ම ජාතිය පිළිබඳ කාල් මාක්ස්ගේ චින්තනය නැවත සලකා බැලීමට යොමු වෙමින් තිබේ.

ඔස්ට්‍රියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඔටෝ බෝවර් The Nationalities Question and Social Democracy නමැති කෘතිය ලියමින් ප්‍රකාශ කළේ සමාජවාදි රාජ්‍යයක් යටතේ ජාතියට, දේශයට ඉඩ සලසා දිය යුතු බවය. පෝලන්තයේ සමාජවාදි නායිකා රෝසා ලක්සම්බර්ග් The National Question and Autonomy යන කෘතිය ලියමින් ජාතිකත්වයේ අවශ්‍යතා සඳහා සමාජවාදී ව්‍යාපාරය ඉඩ සලසා දීම නිෂ්ඵල බව කියා සිටියාය. එහෙත් පෝලන්තයේ යුක්ති සහගත ජාත්‍යනුරාගය ගැනද ඇය නොකියා සිටියේ නැත.

මාක්ස්වාදීන් විසින් ව්‍යාජ විඥානයක් ලෙස බැහැර කරන ලද නමුත් සමාජවාදී රාජ්‍යය බිඳ වැටීමට සෝවියට් දේශය – චෙකොස්ලෝවැකියාව – යුගෝස්ලාවියාව – නැගෙනහිර ජර්මනිය යන රාජ්‍යයන්හි ජාතිකත්වය ඉස්මතු වූ බව මහාචාර්ය ධර්මදාස තර්ක කරයි. ආර්ථික තාර්කිකත්වයේ ඇසින් බලන කල්හි අතාර්කික ලෙස පෙනුණු ජාතිකවාදය මාක්ස්වාදීන් ව්‍යාජවිඥානයක් ලෙස බැහැර කළේ සමාජ සංසිද්ධියක් ලෙස ජාතිකත්වය විධිමත්ව විග්‍රහ කොට එය හඳුනා ගැන්මට පවා අනවශ්‍ය යැයි නොසිතමිනි. එහෙත් දේශපාලන ප්‍රශ්නයක් ලෙස ජාතිකවාදය දිගින් දිගටම පැවතිණැයි මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස තර්ක කරයි.

ගුණදාස අමරසේකර ‘ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු’ කෘතියේදී ප්‍රකාශ කර සිටින්නේ මහා රුසියන් ජාතිය තුළ වූ ජාතිකත්වය නොතකා කටයුතු කළේ නම් ලෙනින්ටද සාර්ථකත්වයක් අත්පත් කරගත නොහැකි වනු ඇති බවය. එසේම අන්තර්ජාතිකත්වයට යන මඟ වැටී ඇත්තේ ජාතිකත්වය තුළින් බවය. ජාතික මනස හඳුනා නොගත් මාක්ස්වාදී ව්‍යාපාර ප්‍රතික්ෂේප වෙමින් යන්නේ මෙකී කරුණු කාරණා හේතුකොට ගෙන නොවේද? ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයට අද සිද්ධ වී ඇත්තේ කුමක්ද? 19 වන සියවසේ ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම චින්තකයා වූ කාල් මාක්ස්, අප රට තුළ කුණු කූඩයට වැටී ඇත්තේ ඔහුගේ න්‍යාය මේ රටට ගළපා ගැනීමට අපේ පොතේගුරු මාක්ස්වාදීන්ට නොහැකි වූ නිසා නොවේද?

එදා අනගාරික ධර්මපාල කටයුතු කළේද උත්තර සමාජයක් සාධනය කර ගැනීමේ මානවවාදී දෘෂ්ටියකිනි. මාක්ස්වාදී න්‍යාය නොදැක සිටි මේ ශ්‍රේෂ්ඨ මිනිසා සමාජවාදී සමාජයේ මූලික කොන්දේසි වෙනුවෙන් සටන් වැදුණෙකු බවට ගුණදාස අමරසේකර නඟන ප්‍රවාදය ප්‍රතික්ෂේප කළ හැක්කේ කෙළෙසින්ද?

අනගාරික ධර්මපාල සමඟ ඉන්දියාවට ගිය ඇතැම් භික්ෂූහු ධර්මපාලතුමා අමත කොට එරට පැවති මාක්ස්වාදී දේශපාලනය හා එක්වූහ. එසේ මාක්ස්වාදීන් බවට පත් වූ, උඩකැන්දවල සරණංකර, නාරාවිල ධම්මරතන හිමිවරු පසුකාලීනව මෙරට වාමාංශික ව්‍යාපාරයේ බලකණු බවට පත් වූහ. මුල් යුගයේදී මේ රැඩිකල් තරුණ භික්ෂූන්ට ධර්මපාලතුමා නොයෙක් වර දෝෂාරෝපණය කර තිබේ. උඩකැන්දවල සරණංකර හිමියන් සාරානාථයේ නවතා ගැනීමද ඔහු ප්‍රතික්ෂේප කර තිබේ. එහෙත් මාක්ස්වාදී පොතේ ගුරෙකු නොවූ සරණංකර හිමියන් ධර්මපාලතුමාට දක්වා ඇත්තේ අසීමිත ගෞරවයකි. උන්වහන්සේ සංස්කරණය කළ ‘නවලෝකය’ සඟරාවේ විශේෂ කලාපයක් ධර්මපාලතුමන් වෙනුවෙන් වෙන් කරන එහිමියෝ ඔහුගේ දේශප්‍රේමීත්වය අගය කිරීමට තරම් නිවහල් මනසක් ඇත්තෙක් වූහ.

මේ කරුණ ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද?’ කෘතියෙන් සාකච්ඡා කරන ගුණදාස අමරසේකර මාක්ස්වාදී තර්ක විතර්ක ඉතා අඩුවෙන් දත් එහෙත් එහි සාරාර්ථය වන මානව දයාව නොඅඩුව දත් සරණංකර හිමියන් අපගේ සමාජවාදී ඉදිරි ගමනට ධර්මපාලතුමාගෙන් ලැබිය හැකි දායකත්වය මනාව වටහා ගත් බව ප්‍රකාශ කරයි.

මෙයින් පෙනී යන්නේ ධර්මපාලතුමන්ට වර්ගවාදී, ජාතිවාදී ප්‍රහාර එල්ල කර ඇත්තේ සමාජවාදයෙහි හරය දත් ව්‍යවහාරික මාක්ස්වාදීන් නොව මාක්ස්වාදී පොතේ ගුරුන් හා මතාන්ධයන් පිරිසක් විසින් බවයි.

(සමුද්‍ර වෙත්තසිංහ මහතාගේ ‘දැදුරු කළ සියපත’ ග්‍රන්ථයෙනි)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s