මේ උතුම් යුග පුරුෂයාණන් වත්මන් බොදු පුනරුදය උදෙසා යළිත් ඉපදී සිටින බව ඔබ දන්නවාද?

Kudahapola himi

(පහත උපුටා ගැනීම : – ආර්. ජේ. ද සිල්වා මහතාගේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල චරිතාපදානයෙනි )

දෙස් විදෙස් කීර්තියට පත් කොටහේනේ දීපදුත්තාරාමාධිපති ව වැඩ විසූ වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්ථවිරයන් වහන්සේ අවුරුදු 67 ක් ආයු වළඳා 1890 ක් වූ සැප්තැම්බර් මස 21 වෙනි ඉරු දින දහවල් 11 ට පමණ ස්මෘති සම්ප්‍රජනන්‍යයෙන් යුක්තව ධර්මශ්‍රවණය කරමින් සිට අපවත් වී වදාළහ…

*********************
මුන්වහන්සේගේ අපවත්වීමෙන් පසු මට දැනුණේ තනිකමකි. බුදු දහම වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කළ මුන්වහන්සේ ලංකාවේ සිටි එකම නිර්භීත යතිවරයාණන් වේ. මුන්වහන්සේ ගැන මතක් වී මා නිදිවරා සිටි දින ගණන අප්‍රමාණ ය. මුන්වහන්සේ මා හැඳින්වූයේ බුදු දහම රැකීමට නැවත ඉපැදුන කඩහපොල උන්නාන්සේ කියා ය. මට නින්දක් නැත. මා ඇඳේ ඒ මේ අත පෙරළෙමින් සිටින අතර උන්වහන්සේ මා ඉදිරියේ පෙනී සිටියේ ය.

“ඩේවිඩ් පුතා? ඇයි නින්ද යන්නෙ නැද්ද? පුතාට මතක ද 1884 ජනවාරි 17 දා පුතා මා හමු වූ විට මගෙන් කඩහපොල හාමුදුරුවො ගැන විපරම් කළා. එතකොට පුතාගෙ වයස කීයද? අවුරුදු 19 යි මාස 08 යි. මතකද? කඩහපොල හාමුදුරුවන්ගෙ චරිත කථාව?”

“ඔව්, ස්වාමීනි! මට මතකයි? දැන් මට මතකයි.” මගේ මතකය අතීතයට දිවයයි. අපේ කථාව ඇරඹුණේ මෙසේ යි.

“දැනට අවුරුදු 20 ට පෙර පුතා ඉපදුන වෙලාවෙත්, ඊට දින කීපයකට පසුත්, ඔබේ පියා පැමිණ පුතාගෙ කේන්ද්‍ර කොපිය ගෙනැත් මට පෙන්නපු වෙලාවෙ මම තාත්තාට කිව්වෙ, මේ ඉපදිලා ඉන්නේ කඩහපොල හාමුදුරුවො ම යි කියලා, පුතාගෙයි උන්නාන්සේගෙයි කේන්දර දෙක එකම විදිය යි. ග්‍රහ පිහිටීම, ලබා ඇති දශා ආදිය ඒ ලෙසම යි. කිසිම වෙනසක් නැහැ.”

“අනේ ස්වාමීනි, මට ඔබ වහන්සේගෙයි හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවන්ගෙයි අතීත විස්තර ශ්‍රීමත් ඕල්කොට්තුමා සමඟ පැවැති පිළිසඳරේ දී අසා දැන මහත් සේ ප්‍රීතියට පත් වුණා. නමුත් මම කුඩහපොල හාමුදුරුවෝ ගැන අහල නැහැ. මට ඒ ගැන විස්තරයක් කිය්නන ඔබ වහන්සේට අපහසුතාවක් නැත්නම්” යයි මා කී විට ගුණානන්ද තෙරණුවෝ එම කතාව මෙසේ දිග හරින්නට වූහ.

“ඩේවිඩ් පුතා දන්නවනේ, බුදුන් වහන්සේගේ පූර්ව චරිත පන්සිය පනහක් ජාතක කථා නමින් ප්‍රකාශ කළේ සමාජයට පාඩම් පන්සිය පනහක් ඉගැන්වීමට බව, එපමණක් නොවෙයි, රහත් මහණුන් වහන්සේගේ හා රහත් මෙහෙණින් වහන්සේගේ ද අපදාන හෙවත් චරිත කථා පන්සිය අනූවක් උන් වහන්සේලා ම ප්‍රකාශ කොට තියෙනව. මේ ජාතක කථාවලින් හා අපදානවලින් ලංකාවෙහි සමාජ සංවර්ධනයට ලැබුණු උපකාර අසීමිත යි. පුරාණ කාලයෙහි පන්සල්වල ජාතක කථාවලින් හා අපදානවලින් ලංකාවෙහි සමාජ සංවර්ධනයට ලැබුණු උපකාර අසීමිත යි. පුරාණ කාලයෙහි පන්සල්වල ජාතක කථා කියැවීම සිරිතක් වැ පැවැතුණා. එයින් සමාජයේ අභ්‍යන්තර හා බාහිර දියුණුවට ලැබුණ ආදර්ශ බොහොම යි. ලංකාව හැදුවේ, දියුණු කළේ ජාතක පොත් වහන්සේ යයි කතාවක් ද ඇති වුණා. එයින් ලංකාවේ ඇති වූ අභ්‍යන්තර හා බාහිර දියුණුව නිසා ධර්මද්වීපය සහ පෙරදිග ධාන්‍යාගාරය යන ගෞරව නාම දෙක ද ලැබුණා.

සමහර රටවල ද විශේෂ පුද්ගලයන්ගේ විස්තර කථා අතරමග කැඩී ගොස් තියෙනව. යේසුස් වහන්සේගේ චරිත කථාවෙහි කිසිම සඳහනක් නැති අවුරුදු දහතුනක කාල පරිච්ඡේදයක් තියෙනව. ලංකා ඉතිහාසයෙහි එබන්දක් නැති නිසා විලහැම් ගෛගර්තුමා වැනි ඉතිහාස විශාරදයන් මහාවංශය වැනි පොත් ඉහළින් වර්ණනා කොට ඇත. මේ විශිෂ්ට ගුණය අපේ වීරෝදාර පුරුෂයන්ගේ චරිත කතාවල මුල පටන් අග දක්වා ම හොඳින් ප්‍රකාශ වී ඇත. එහෙත් විදේශීය පාලන යුගයෙහි දී අපේ වීරෝදාර පුරුෂයන්ගේ චරිත අපේ ළමයිනට දැන ගන්නට ලැබුණේ ම නැහැ. මෑත යුගයෙහි අධ්‍යාපනය සඳහා පොත් ලියූවෝ, සිංහල බෞද්ධයෝ නො වූහ. ඔවුනට සිංහල බෞද්ධයන්ගේ වීරෝදාර ක්‍රියා රුචි වූයේ නැත. එහෙයින් ලංකා ඉතිහාසය විකෘති කොට පොත් ලියූහ. ඔවුනට දුටුගැමුණු මහරජතුමා ආදී වීරපුරුෂයන් පෙනුණේ නයාට අඳුකොළ මෙනි.

ලංකාවේ වීරෝදාර පුරුෂයෝ සඟවරු, රජවරු, පඬිවරු හා සමාජ සේවකවරු යැයි කොටස් සතරකට බෙදෙත්. මේ සතර ගණයට අයත් වීරෝදාර පුරුෂයන්ගේ සංඛ්‍යාව අති විශාල ය. ඔවුන් සියලු දෙනා ම අපේ ජනතාවට විශේෂයෙන් අනාගත පරපුරට හඳුන්වා දීම අවශ්‍ය යි.

කඩහපොල යතීශ්වරයන් වහන්සේ ජාතිය වෙනුවෙන් දිවි පිදූ කෙනෙකි. භික්ෂූන් වහන්සේලාට මෙබඳු සටන්වල යෙදීම සුදුසු දැයි ප්‍රශ්නයක් අසන්නට ඉඩ ඇත. ශාසන ඉතිහාසය අනුව බුදුරජාණන් වහන්සේ අවසාන කාලයෙහි මගේ ශාසනය බොහෝ කල් රැකෙන්නේ කොහි ද,රකින්නෝ කවරහු දැයි දිවැසින් බලා වදාළ බව සඳහන් වෙයි. උන් වහන්සේට පෙනුණේ හෙළදිව යි, සිංහල බෞද්ධයනුයි. එහෙයින් “මගේ ශාසනය රැකෙන රටත්, රකින ජනතාවත් ආරක්ෂා කර ගන්නැ”යි ශක්‍රෙද්වේන්ද්‍රයාට පැවසූ බවත් ශාසන ඉතිහාසය කියයි. මෙයින් බුදුරජාණන් වහන්සේ අප සිංහල බෞද්ධයන් කෙරෙහි කොතරම් විශ්වාසයක් තැබුවා දැයි සිතා ගත හැකි ය.

මේ ඓතිහාසික ප්‍රවෘත්තිය දැන ගත් සිංහල රහතන් වහන්සේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලාත්, රජවරුන් ප්‍රධාන ජනතාවත් බුදුරජාණන් වහන්සේ තැබූ විශ්වාසය දිවි පුදා ආරක්ෂා කළා. බැමිණිටියාසාය අවස්ථාවෙහි සිංහල භික්ෂූන් වහන්සේ කටපාඩමින් ගෙනා ත්‍රිපිටක ධර්මය දිවි පුදා ආරක්ෂා කළ සැටිත් ශාසන විරෝධී ඇතැම් රජවරුන්ගේ පාපිෂ්ට ක්‍රියාවන්ට විරුද්ධ ව දිවි පුදා ඉදිරියට ගිය සැටිත් කිසි විටෙකත් අමතක කළ යුතු නොවේ. අපේ රජවරුන් ද ශාසන විරෝධීනට හතුරන්ට විරුද්ධ ව සටන් වැදුණේ ද රජ සැප පිණිස ම නොව, ශාසනාරක්ෂාව සඳහා ය. එළාර රජතුමාගේ අනුගාමිකයන් උතුරේත්, උතුරු මැද පළාතේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන සැටි දැනගත් දුටුගැමුණු රජතුමා ඉවසලා බැරිම තැන යුද කටයුතු සූදානම් කොට යුද ප්‍රකාශ කළේ “මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොවේ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා”යි කියමිනි. මේ ප්‍රකාශය භික්ෂූන් වහන්සේගේත් බෞද්ධ ජනතාවගේත් කන වැටෙනවාත් සමඟ ම යුද හමුදාවත් සමඟ යන්නට දහස් ගණනින් භික්ෂූන් වහන්සේත්, ජනතාවත් එකුත වුණා. එදා එසේ දිවිපුදා ගිය ගමන නොවන්නට ඔය අතිපණ්ඩිතයනට තර්ක කරන්නට තබා නිවහල් ව ජීවත් වන්නට වත් අපට ඉඩක් ලැබෙන්නේ නැත. ….

… ජාත්‍යානුරාගයෙන් ඔදවැඩී ගිය නිර්භීත හිමි නමක් එකල කහල්ල රජමහා විහාරයේ අධිපති ව වැඩ සිටියහ, කඩහපොල හාමුදුරුවෝ හෙවත් කුඩාපොල හාමුදුරුවෝ නමින් හැඳින්වෙන්නේ උන් වහන්සේ ය. උන් වහන්සේ ආරාමයට වී සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ හිමිනමක් නොවූහ. ගිරිදුර්ග හා වනදුර්ගවල සැරිසරමින් ගොවි නිවෙස්වලත්, පැල්පත්වලත් වෙසෙන සිංහල ජනතාවට ධර්මය දේශාන කරමින් සාරධර්ම කියා දෙමින් ඔවුන්ගේ ස්වදේශාලය ඇති කිරීම සඳහා උන් වහන්සේ අපමණ මහන්සි ගත්හ. ගම් නියම්ගම්වල සිටි බොහෝ තරුණ පිරිස් උන් වහන්සේ වටා රොක් ව සිටිය හ. උන් වහන්සේ සිය දබරැඟිල්ල ඔසවා එම තරුණයන් අමතා යම් අණක් දුන්නා නම් ඔවුන් අතින් එම අණ නො පිරිහෙළා ඉටු විණි. උන් වහන්සේ ඕනෑම කලබලකාරයකු වෙත ගොස් ශාන්ත ස්වරයෙන් ඇමැතූ විට ඔහු උන් වහන්සේ කෙරෙහි හටගත් ගෞරව සම්ප්‍රයුක්ත බියකින් යුක්ත ව නිසසල වූයේ කුඩා දරුවකු මෙනි. උන් වහන්සේ ගේ ජනප්‍රියත්වය ඉංග්‍රීසින්ට නුරුස්නා දෙයක් විය. එඩිතර ලීලාවෙන්, එහෙත් ශාන්ත ගමනින් වැඩම කරන උන් වහන්සේ දකින විට ඔවුන්ගේ ඇස්වලට කටු අනින්නාක් මෙන් විය. තව දුරටත් මේ දෙස බලා සිටිය නොහී වහා ම ක්‍රියාත්මක වූ ඉංග්‍රීසිහු යුතු අයුතුකම් නො බලා හොඳ නරක නො බලා උන් වහන්සේ සිර භාරයට ගැනීමට කටයුතු කළහ. … 

…1848 අගෝස්තු 26 වන දා සිංහල ජාතියට ම බලවත් ශෝක ජනක දිනයක් විය. කඩහපොල හාමුදුරුවන් වහන්සේ මහනුවර මහ මළුවට ගෙන ආ ඉංග්‍රීසීහු උන් වහන්සේගේ දෑත් පිටිකරට තබා කණුවකට අල්ලා බැන්දාහ. ඕනෑ ම අපරාධකරුවකු මරණයට පත් කරන්නේ ඔහු වෙනුවෙන් සකස් කළ ඇඳුමක් ඇන්දවීමෙන් පසුව ය. එහෙත් කඩහපොල හිමියන්ට එවැනි ඇඳුමක් පවා ඇන්දවූයේ නැත. උන් වහන්සේ චීවරය පිටින් සිටිය දී ම එදින පෙරවරු 7 ට වෙඩි තබා ජීවිතක්ෂයට පත් කළහ. …

… කඩහපොල හාමුදුරුවන්ගේ ජීවිත පූජාව නිසා ඇති වූ ප්‍රතිඵල බොහෝ ය. ටොරින්ටන් ආණ්ඩුකාරයා ගැන අප්‍රසාදය පළ කැර ඔහු එම පදවියෙන් නෙරපා හරිනු ලැබිණි. ඉමර්සන් ටෙනන්ට් නමැති ඔහුගේ මහ ලේකම්වරයා ද තනතුරින් පහ කරන ලදී. සිංහලයන්ට විරුද්ධව පනවා තුබූ අසාධාරණ බදු ක්‍රම ද ඉවත් කර ගන්නා ලදී. කොතෙක් දේ කළත් එම වීරෝදාර හිමි නම ගේ ජීවිතය නැති වීමෙන් ජාතියට සිදු වූ පාඩුව නම් මකාලන්නට නොහැකි වූයේ ම ය.

ජාතියේ විමුක්තිය වෙනුවෙන් දිවි පිදූ කඩහපොල හාමුදුරුවන්ගේ ශ්‍රේෂ්ඨ ජීවිතය හැමට ම ආදර්ශයක් වෙන්න ඕන ඩේවිඩ් පුතා ය’යි පැවසූ ගුණානන්ද හිමියෝ මෙම දුක්බර කතා පුවත අවසන් කළහ.
_________________________________________

(පහත උපුටා ගැනීම : අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන්ගේ අප්‍රකට ලිපියකිනි)

…මීළඟට අනගාරික ධර්මපාලතුමා පිළිබඳ ප්‍රශ්නය ගැන යමක් ලියමි. කලකට පෙර නිල්වක්කේ සෝමානන්ද තෙරුන් සමඟ නාඩි අනාවැකි කරුවෙකු වෙත ගොස් අනගාරික ධර්මපාලතුමා ගැන මනෝමය ප්‍රශ්නයක් විචාළමු. එයට උත්තර වශයෙන් එවකට එතුමා හිමාලයේ බූමාටු දෙවියකු වී සිටින බවත්, 1963 වර්ෂයේ ලක්දිව රත්නපුර උපදින්නට අදහස් කර සිටින බවත්, ඒ මාපිය දෙදෙනාගේ නම් දෙකත් දැන ගතිමු. මම රත්නපුරයට ගොස් විමසා ඒ දෙදෙනා හමුව මේ ශුභ ආරංචිය දුනිමි. එහෙත් ඉතා ධනවත් වූ හෙතෙම ස්වල්ප කලෙකින් බේබදු කමට බැස, මඳ කලකින් කලුරිය කළේය. එයට පසු ඉන්දියාවට ගිය වරෙක සිදුවූ දෑ කියා තව වරක් නාඩි වාක්‍යයක් ගත්තොත් මැනැවැයි නිල්වක්කේ සෝමානන්ද තෙරුණට කීමි. 

පසුවතාවෙක උන්වහන්සේ හමුවී දෙවෙනි වර ලබාගත් නාඩි වාක්‍යයයේ තොරතුරු කීය. බූමාටු දේවතාවා රත්නපුරේ උපදින්නට සිතා සිටි නමුත් පියා වශයෙන් තෝරාගෙන තුබුණු තැනැත්තා බේබදුකමට බැස්ස බැවින් ඒ අදහස අත්හළ බවත්, තව ටික කලෙකින් ලක්දිව වෙන තැනෙක උපත ලබන අදහස ඇතිව සිටින බවත් දැනගත් බවත් කීය. එයට පසු කලෙකින් ඉන්දියාවට නොගියෙමි. උන්වහන්සේ මෑතක ලංකාවට අවුත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නොදුරෙහි වූ ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලය විහාරයේ වස් වැස සිටින බව ආරංචි වී එහි ගියෙමි. 

ධර්මපාලතුමා ගැන ඇසූ විට අනාවැකියක් ලැබුන බවත්, දැන් එතුමා ඈත ගමෙක ඉපදී සිටින බවත් දැන් නම……………… බවත් කීය. (මේ නම හෙළිදරව් කිරීමට නොහැකිය.) ඒ අනාවැකිය ලියාගත් ලියැවිල්ලේ විස්තර ඇති බවක්, වසින් පසු මදුරාසියට ගොස් එන විට ඒ සියලු ලියවිලි ගෙන එන බවත් කීය. එයින් ටික දිනකින් පසු මම එංගලන්තයට ගොස් ඇමෙරිකාවටද ගොස් ආවෙමි. උන්වහන්සේ ගැන සොයා බැලූ විට උන්වහන්සේ කෑගල්ල අසල ස්වකීය පන්සලේ දී අසනීපව අපවත් වූ බව අසන්නට ලැබිණ. උන්වහන්සේ ඇවිත් තිබෙන්නේ මදුරාසියේ පන්සලට දෙමළ මිනිසුන්ගෙන් තර්ජන හිරිහැර ඇතිවූ බැවිනි.

අද රටේ තිබෙන සියලු කලබල තව ටික දවසකින් සංසිඳේ. එහෙත් 1999 අවසන් වන විට ලෝකයේ ආණ්ඩුක්‍රම වෙනස් වේ. ලෝක යුද්ධයක් නොවුණොත් ඇමෙරිකා ආදි රටවල භූමිකම්පා, ජලගැලුම් ආදිය වෙයි. කරදර සහිත කාලයක් යුරෝපා, ඇමෙරිකා ආදී රටවලට ඇතිවේ. එය ඉන්දියාවටත්, ලංකාවටත් තරමක් බලපායි. 2010 න් පසු ඉතා ශුභ කාලයක් උදා වේ. මුළු ලෝකයටම හොඳ කාලයකි. ඒ ඒ රටවල දේශකයෝ ඇති වේ. බුද්ධාගමය මුළු ලොවටම අවශ්‍ය වෙයි. ධර්මපාලතුමා නැවත ඉදිරියට එන්නේ ඒ යුගයේදී ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s