ධර්මපාල තුමාට පහරදුන් අසත්පුරුෂයින්ට සමුද්‍ර වෙත්තසිංහ මහතාගෙන් පිළිතුරු ලිපි පෙළක්..! – දෙවන වන ලිපිය –

Dadurukala Siyapatha 2

ධර්මපාලතුමාට එරෙහි වූ බලවේග

මෙරට ජාතික ව්‍යාපාරයේ පුරෝගාමියා වන අනගාරික ධර්මපාල විවාදාත්මක පුද්ගලයෙකි. ඔහුගේ කාර්ය සාධනය විචාරකයන් අතින් වර්ණනයට මෙන්ම නිගරුවටද ලක්ව තිබේ. අපි අනගාරික ධර්මපාල දෙස භක්තියෙන් බැලිය යුතු වෙමුද? ඔහු විවේචනාත්මකව වටහා ගනිමුද? ධර්මපාල චරිතය අයුක් සහගත විවේචන වලින් අගතියට පත්වීමට ඉඩ හරිමුද?

අනගාරික ධර්මපාල කාලයක් තිස්සේ අවප්‍රමාණ කරන විවිධ පාර්ශවයෝ වෙත්. ගුණදාස අමරසේකරගේ ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?’ කෘතියෙන් හෙළිදරව් කෙරෙන එබඳු පාර්ශව කීපයක් මෙසේ වේ.

1. අධිරාජ්‍යගැති පන්තිය (කොම්ප්‍රදෝරු) – කාලයක් තිස්සේ මෙරට දේශපාලන බිමෙහි අධිපතීත්වය දැරූ මේ පන්තිය ධර්මපාලතුමා සලකන ලද්දේ මහත් හිරිහැරයක්, හිසරදයක් ලෙසිනි.

2. අනුකරාක ඉතිහාසඥයන් – නූතන ඉතිහාසයෙහි අද්විතීය චරිතයක් වන අනගාරික ධර්මපාලතුමා පිළිබඳ නූතන ලංකා ඉතිහාසය ලියූ ඇතැම් ඉතිහාසඥයන් විසින් නොතකා හැර තිබේ. ඉතිහාස විශේෂඥයෙකු යැයි පැවසෙන ජී. සී. මෙන්ඩිස් මහතා ඔහුගේ එකද ඓතිහාසික ලේඛනයකවත් ධර්මපාලතුමා පිළිබඳ සඳහන් නොකරයි.

3. අනුකාරක සමාජ විද්‍යාඥයන් – බොහෝ අනුකාරක සමාජ විද්‍යාඥයන් අනගාරික ධර්මපාලතුමා දකින්නේ පුද්ගල ආත්ම විමුක්තිය මුල් කර ගත්, බොදු දහම නවීකරණයට භාජනය කිරීමට තැත් කළ සිහින අතීතයක් – ස්වර්ණ යුගයක් වෙත ජනතාව ගෙන යෑමට තැත් කළ නිස්සාර පුනරුත්ථාපකයෙකු ලෙසය.

4. මාක්ස්වාදීන් – මාක්ස්වාදී චින්තනය අනුව ධර්මපාලතුමා ඔවුන් විසින් හඳුන්වනු ලබන්නේ මෙරට දේශීය ධනපති පන්තියක් ගොඩනැඟීමට සිය සේවය කැප කළ ඒ පන්තියේ ඒජන්ත කෙනෙකු වශයෙනි.

අනගාරික ධර්මපාලතුමා මෙරට ජාතික ව්‍යාපාරයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වන්නේ 1890 පමණ සිටය. ඊට පෙර ඔහු ස්වාධීන අදහස් පළ කළ පුද්ගලයෙකු නොවූ අතර, ඔහු ප්‍රකටව සිටියේ ඕල්කට්තුමාගේ කතා පරිවර්තකයෙකු ලෙසය. පසුකාලීනව අතිදක්ෂ කථිකයෙකු ලෙස ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලත් ධර්මපාලතුමා ඊට අවශ්‍ය ශික්ෂණය ලැබුයේ ඕල්කට්තුමාගෙන් බව පෙනේ.

‘දේශනා කරන්ට වාග් පටුත්වය ඕනෑ. හිත බය ඇති අයට ප්‍රසිද්ධියේ දේශනා කිරීමට ශක්තිය නැත. සිංහලෙන් මට දේශනා කරන්ට ඉගැන්නුවේ ඔල්කොට්තුමා ය. ඉංග්‍රීසියෙන් මගේ පළමු දේශනය කළේ ජපන් රටේදීය. ඒ දේශනාවට ඕල්කොට්තුමා සතුටු වූණේ නැත.’

අනගාරික ධර්මපාලතුමාගේ පියා දොන් කරෝලිස් හේවාවිතාරණ පිටකොටුවේ දොන් කරෝලිස් සමාගමේ අයිතිකරු වූ අතර, අර්ධ කාර්මික කටයුතුවල යෙදුණු වෙළෙන්දෙක් වූයේය. ඔහු ගොවිගම කුලයට අයත් විය. ඔහුගේ බිරිඳ මල්ලිකා හේවාවිතාරණ කරාව කුලයට අයත් වූ අතර, ඇගේ පියා වූ අන්ද්‍රියස් පෙරේරා ධර්මගුණවර්ධන දැව ව්‍යාපාරයේ නිරත පුද්ගලයෙක් වූයේය. බ්‍රිතාන්‍යට පක්ෂපාති වූ නමුත් හේවාවිතාරණ පවුල වඩා ජාතිකවාදි ස්ථාවරයක් ගත් ප්‍රමුඛ පවුලක් වූයේය. හේවාවිතාරණ පවුල කෙතරම් ප්‍රමුඛ හා ශක්තිමත් ස්ථාවරයක සිටියේ දැයි පෙනෙන්නේ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු දෙස බලන කල්හිය.

එච්. දොන් කරෝලිස් නම් වූ ලී බඩු ව්‍යාපාරය එවක පැවති ඉතාම වැදගත් දේශීය ව්‍යාපාරය වූ බව පෙන්. 1860 දී ආරම්භ කරන ලද මේ ලී බඩු ව්‍යාපාරය වතු වැවිලිකරුවන්ට යුරෝපීය ශෛලියේ කලාත්මක ගෘහ භාණ්ඩ සැපයීමේලා පුරෝගාමී විය. ලස්සන නිවසක් සඳහා අවශ්‍ය සියල්ල දොන් කරෝලිස් සමාගමෙන් මිලදී ගත හැකි බව එවක වෙළෙඳ දැන්වීම්වල සඳහන්ව තිබේ. ඒ අතර කොට්ට, මෙට්ට, ඇතිරිලි, වේවැල් භාණ්ඩ, පොල් කෙඳි පාපිසි, ආනයනය කළ ගෘහ භාණ්ඩ, පිඟන් කෝප්ප, ඔරලෝසු හා ජපානයෙන් ගෙන්වූ කලාත්මක භාණ්ඩ දොන් කරෝලිස් ලී බඩු සාප්පුවේ විකිණූ බව කියැවේ. මෙහි විවිධ අංශවල කම්කරුවන් 750ක් පමණ සේවය කර තිබේ. ව්‍යාපාරය සමෘද්ධිමත් වීම නිසා සිය ලී බඩු පිටරට යැවීමද දොන් කරෝලිස් විසින් ආරම්භ ඇති බව පෙනේ. මෙයින් පැහැදිලි වන්නේ හේවාවිතාරණ පවුල ව්‍යාපාරික ක්ෂේත්‍ර යේ කෙතරම් බලවත් ව සිටියේද ය

දොන් කරෝලිස් හේවාවිතාරණ බ්‍රිතාන්‍ය රජයට පක්ෂපාතී වුවද ජාතික, ආගමික කාර්යයන් හි පෙරමුණේ සිටි පුද්ගලයෙකි. ඔහු විද්‍යෝදය පිරිවෙන පිහිටුවීමෙහිලා ප්‍රමුඛ කාර්යයක් කළ අයෙකි. අබෞද්ධයන්ගෙන් පිරී ගිය කොළඹ ප්‍රදේශයේ බෞද්ධ කටයුතු කරගෙන ගියේ අප්පුහාමිලා පිරිසක් විසින්. ඔවුහු නම් ඈපා අප්පුහාමි, පරණ බුලත් කඩේ පුංචි අප්පුහාමි, සිඤ්ඤප්පුහාමි, සයිමන් සිල්වා මුහන්දිරම්, ගබ්‍රියල් අප්පුහාමි, අමාරිස් අප්පුහාමි, කරොන්චි අප්පුහාමි, ජී. ඩී. පෑලිස් අප්පුහාමි, මාකොළ අප්පුහාමි ආදිහුය. මේ කාලයේ පිටකොටුවේ බුද්ධාගම පැවතුණේ මේ අප්පුහාමිලා නිසා යැයි ධර්මපාලතුමා පසුව ප්‍රකාශ කර තිබේ. දොන් කරෝලිස් හේවාවිතාරණද මේ බෞද්ධ කටයුතුවල උද්‍යෝගිමත්ව නිරත වූවෙකි. කොළඹ ප්‍රදේශයේ එවක විහාරස්ථානයක් නොතිබූ නිසා හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් කොළඹට වැඩම කරවා ගැනීමට කටයුතු කරනු ලැබ ඇත්තේ ඔවුන් විසිනි.

අනගාරික ධර්මපාලතුමාගේ ජීවිතයට පියාගේ මෙකී සමාජ බලය, ධන බලය හා පවුල් බලය බෙහෙවින් බලපෑ බව පෙනේ. ඔහු නොනැමෙනසුලු එඩිතර සිත් ඇත්තෙකු වූයේත්, ඉංග්‍රීසීන් සමඟ පවා නිර්භයව ගැටුණේත් මේ නිසා යැයි කිව හැකිය. ධර්මපාලතුමාගේ මව වූ මල්ලිකා හේවාවිතාරණ අතිශය කාරුණික කාන්තාවක් බවත්, දයාවෙන් තෙත් වූ හදවතක් තිබූ තැනැත්තියක බවත් කියැවේ. ඉතාම ත්‍යාගවන්ත වූ ඇය දැකීමට, දිනපතා ආහාරපාන හා රෙදිපිළි ලබාගැනීමට සිඟන ගැහැනුන් පැමිණි බවත් ඇය නිර්ලෝභීව ඔවුන්ට උදවු උපකාර කළ බවත් ඔහු කියා තිබේ.

ධර්මපාලතුමාගේ ජාතික ආගමික ව්‍යාපාරයට මේ මවුපිය දෙපළගෙන් ඉතසිතින් ආශිර්වාදයද, අනුග්‍රහයද ලැබුණු අතර, පියාගේ දොන් කරෝලිස් සමාගමෙන් මාසික දීමනාවක්ද ලැබුණි. සිංහල බෞද්ධයා කර්තෘ ධූරය දරන කාලයේ ධර්මපාලතුමා සිය කාර්යාලය පවත්වා ගෙන ගොස් ඇත්තේ දොන් කරෝලිස් සාප්පුවේය. පැවිදි වෙන තුරුම සමාගමේ කොටස්කරුවෙක්ව සිටි ඔහුට හේවාවිතාරණ බූදලයෙන් මුදලින් රු. 1,20,000ක්ද, රු. 2,35,000ක් වටිනා ඉඩකඩම්ද හිමිවූ බව කියැවේ. මේ ඉඩකඩම් අතර අක්කර 1,200ක් වූ මාවරැල්ල වත්තෙන් කොටසක්ද, වැලිගම මැණික් ව්තතෙන් කොටසක්ද, හිනිදුම මහාබෝධි වත්තද වූ බව ධර්මපාල මුනුබුරු රාජිව් හේවාවිතාරණ කියයි.

(සමුද්‍ර වෙත්තසිංහ මහතාගේ ‘දැදුරු කළ සියපත’ ග්‍රන්ථයෙනි)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s