හෙළ සඟ සසුනේ කේසර නාදය – මිගෙට්‌ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමි –

Migettuwatte himi

 

සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව සඳහා ජපකළ මහා මන්තරයක්‌ බඳු “පානදුරා වාදය” ගැන අප රටේ නොදන්නා අය අල්පය. එය සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාවට හා උන්නතියට ඉවහල් වූවා පමණක්‌ නොව හෙළ දැයේ අභිමානයටද හේතු වූවකි. ශාසන වංශකතාව අසිරිමත් කරමින් මේ අභිමානය අපට ලබාදුන්නේ බළපිටිය මිගෙට්‌ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමියන්ය. උන්වහන්සේගේ ශ්‍රී නාමය වසරකට වරක්‌ නොව නිතර නිතර සිහිපත් කළ යුතු උතුම් නාමයකි. මේ උන්වහන්සේගේ ගුණ මහිමයෙන් අල්ප මාත්‍රයක්‌ පමණි.

ගුණානන්ද හිරු උදා වූයේ මෙරට සම්බුද්ධ ශාසනය අන්තයටම අඳුරේ ගිලුණ අවිචාරවත් අවධියකය. ඒ බ්‍රිතාන්‍ය යටත්විජිතවාදී යුගයයි. වර්ෂ 1845 වන විට බුදුසසුන අන්තයටම පිරිහී තිබුණි. එවකට බුදු දහම ඇදහීම තබා ‘මේ අපේ රට’ යෑයි කියන්නට තරම් හෙළයන්ට නිදහසක්‌ නොතිබුණේය. බුදු දහම අභිබවා නැගී සිටියේ කිතු දහමයි.

එයට හේතුව කිතු දහම පැතිරවීමට ඉංග්‍රීසීන් විසින් අනුගමනය කළ උපායශීලී පිළිවෙත් හා බුදුදහමට එරෙහිව කළ ම්ලේච්ඡ ක්‍රියාවන්ය. සංඝයා වහන්සේලාට වධ හිංසා පැනවීම, වෙහෙර විහාර විනාශ කිරීම, සඟ සතු දේපළ කොල්ලකෑම හා මංසන්ධිවල සිටුවන ලද බෝ ගස්‌ කපා ගිනි බත් කිරීම මේ ම්ලේච්ඡ ක්‍රියාවන්ගෙන් සමහරකි.

බුදු දහම අතහැර කිතුදහම වැළඳ ගන්නා අයට නිලතල ගරු බුහුමන් පිදුමද ඉංග්‍රීසීන්ගේ පිළිවෙතක්‌ විය. මේ නිසා බෞද්ධයෝ කිතු දහම වැළඳ ගැනීමට යුහුසුලු වූහ. මෙකල කොළඹ වැනි නාගරික ප්‍රදේශවල සංඝයා වහන්සේ නමකට තබා ගිහියකුටවත් අතවරයකට ලක්‌ නොවී සැරිසැරීම මහත් අපහසු කාර්යයක්‌ විය. මේ අවාසනාවන්ත තත්ත්වයෙන් සම්බුද්ධ ශාසනය බේරා ගැනීමට අභීතව පෙරමුණ ගත්තේ ගුණානන්ද හිමියන්ය. ජාතික හා ආගමික හැඟීමෙන් ඔදවැඩී සිටි උන්වහන්සේ ගමේ සිට නගරයට වැඩියේ ශාසනික හටන දියත් කිරීමටයි. බළපිටිය ශ්‍රී සුභද්‍රාරාමයේ සිට කොටහේන දීපදුත්තාරාමයට වැඩම කරමින් උන්වහන්සේ ඇරැඹූ මුල්ම ශාසනික හටන වූයේ ඉංග්‍රීසින් විසින් කපා ගිනිබත් කරන ලද බෝගස්‌ වෙනුවට නැවත දෙගුණයක්‌ බෝගස්‌ සිටුවීමයි. ගිහි – පැවිදි දෙපක්‍ෂයේම සහභාගිත්වයෙන් බෝධිරාජ සමිතිය පිහිටුවා කොළඹ කොට්‌ටම්බාගස්‌ වීදියෙන් ජයග්‍රහණයේ අඩිතාලම දැමූ එම ශාසනික හටන බෞද්ධයන්ගේ පිබිදීමට හේතුවක්‌ විය. එහෙත් ඉංග්‍රීසි බුදුදහමට එරෙහිව ගෙන ගිය ක්‍රියාමාර්ග එතෙකින් නැවතුනේ නැත. උන්වහන්සේ ඉංග්‍රීසින් නිහඬ කිරීමට ‘ක්‍රිස්‌තියානි වාද මර්දනය’ නමැති ග්‍රන්ථය සම්පාදනය කළේ එයින් පසුවයි.

මේ සඳහා මහෝපකාරී වූයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ තිබූ නිපුණත්වය හා බයිබලය කියවාලත් පූර්ණ අවබෝධයයි. කිතු දහම හා බුදුදහම තුලනාත්මකව සංසන්දනය කිරීමෙන් උන්වහන්සේ තර්ක ඥනය මැනවින් ලබාගත්තේය.

“හැකිනම් අප හා වාද කොට බුදු දහම ජයගනුවයි·” කියමින් කතෝලික පූජකවරු ගුණානන්ද හිමියන්ට අභියෝග කළහ. අභියෝගයට මුහුණ දුන් උන්වහන්සේ ඔවුන් හා වාද පහක්‌ පැවැත්වූ බව ඉතිහාසයේ සඳහන්ය.

එයින් වර්ෂ 1865 දී පවත්වන ලද ‘වරාගොඩ වාදය’ මුල්ම වාදයයි. එය බැප්ටිස්‌ මිෂනාරීවරුන් සමග පවත්වන ලද්දකි. එයින් පසු 1866 හුනුපොල නිලමේ ප්‍රමුඛ මිෂනාරීන් සමග ‘උදම්මිට වාදය’ 1871 දී හා බැප්ටිස්‌ හා වැස්‌ලියන් සමාගම් දෙක සමග ‘ගම්පොල වාදයත්’ එම වසරේදීම ‘බද්දේගම වාදයත්’ ජයගෙන ඇත. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ වර්ෂ 1873 අගෝස්‌තු 26, 27 දෙදින පානදුරේදී පැවැත්වූ පානදුරාවාදයයි. මෙය පවත්වන ලද්දේ බෞද්ධ අබෞද්ධ අතිවිශාල ජනකායක්‌ මධ්‍යයේය. කුපිත වූ ප්‍රතිවාදීන් මැද එක ලේ බිඳුවක්‌වත් නොසොල්වා උන්වහන්සේ මේ මහා වාදය ජය ගෙන ඇත.

ධර්ම පුස්‌තකයත් වමතේ රඳවාගෙන දකුණේ දබරැඟිල්ල ප්‍රතිවාදීන්ට එල්ල කරමින් කේසර සිංහයකු මෙන් උන්වහන්සේ නැගූ හඬ අප රට පමණක්‌ නොව මුළු ලෝකයටම ගිගුම් දුන්නේය. මේ නිසා උන්වහන්සේ මහා වාදීභසිංහයෙක්‌ වූහ. පානදුරාවාදය සම්බුද්ධ ශාසනයේ උන්නතියට හේතු වූවා පමණක්‌ නොව හෙළ දැයේ අභිමානයටද බොහෝ සෙයින් ඉවහල් විය.

ඇමරිකාවේ හෙන්රි ඕල්කට් තුමා ලංකාවට පැමිණ බුදු දහම වැළඳ ගත්තේද ගුණානන්ද ගුණ මහිමයෙන් ඔද වැඩුණු සිතිනි. එපමණක්‌ නොව එතුමන් විසින් අරඹන ලද බෞද්ධ අධ්‍යාපනයේ මාර්ග උපදේශකවරයාණන් වූයේත් ගුණානන්ද හාමුදුරුවන්ය. මෙයට උපහාරයක්‌ ලෙසින් ‘ගුණානනන්ද’ නමින් බෞද්ධ විදුහලක්‌ ආරම්භ කිරීමට ඕල්කට්‌තුමා අදහස්‌ කළත් ගුණානන්ද හිමියන් එම විදුහලට ආනන්ද විදුහල යෑයි නම් කර ඇත. උන්වහන්සේ එසේ කරන ලද්දේ බුදුන්වහන්සේගේ ධර්ම භාණ්‌ඩාගාරික අනඳ තෙරුන්ට පූජෝපහාරයක්‌ වශයෙන් යැයි කියවේ. අද එය කොළඹ ආනන්ද විදුහලයි.

ශාසනයෙන් ඔද වැඩුණ අප මාහිමියන්ගේ අවසාන ශාසනික මෙහෙය ‘අභයගිරි යුද්ධය’ නමින් හැඳින්වේ. අභයගිරි විහාරයේ නිධන්කර ඇතැයි සැලකුණ ත්‍රිපිටක ග්‍රන්ථ ගැනීම සඳහා එම විහාරය කැණීමට අර ඇඳි අවස්‌ථාවේ එයට එරෙහිව නැගී සිටියේද උන්වහන්සේමය. ගුණානන්ද හිමියන් අභයගිරි චෛත්‍යාකාර සමිතිය පිහිටුවා කළ උද්ඝෝෂණය නිසා ඉංග්‍රීසීන්ගේ තැත ව්‍යර්ථ විය.

මේ හැම ශාසනික සටනකදීම උන්වහන්සේට ගිහි පැවිදි දෙපක්‍ෂයෙන්ම පූර්ණ සහයෝගය ලැබිණි. උන්වහන්සේ සමග සටනේ පෙරමුණට ආ පැවිදි උතුමන් අතර හික්‌කඩුවේ ශ්‍රී සුමංගල, පානදුරේ ශ්‍රී ගුණරතන, වැලිගම ශ්‍රීසුමංගල, රන්දොඹේ ශ්‍රී ධම්මාලංකාර හා වස්‌කඩුවේ ශ්‍රී සුභූති යන නායක හිමිවරුන් මුල් තැනක්‌ ගනී. මෙවන් අයුරින් මහා ආගමික මෙහෙවරක්‌ කරමින් ජාතියේ වීරත්වයට පත්වූ උන්වහන්සේ 1890 සැප් 21 දින අපවත්වූ සේක. එදා ප්‍රචලිත පුවත්පත වූ ‘ලක්‌මිණි පහන’ පත්‍රයේ මෙසේ පළවී තිබිණි.

“මුන්වහන්සේගේ අපවත්වීම අප ජීවිතයේදී අප පත්‍රයේ කිසි කලකත් පලකර ප්‍රසිද්ධ කරන්නට නොලැබේවායි නිතර ප්‍රාර්ථනා කර සිටි නමුත් සිදුවූයේ නොසිතන ලද්දක්‌ය.”

එයින්ම ගුණානන්ද හිමියන් කෙරේ එදා හෙළයන් කෙතරම් භක්‌ති ප්‍රණාමයක්‌ තිබුණද යන්න අපට පැහැදිලිවේ.

අපිද උන්වහන්සේට වැඳ නමස්‌කාර කරමු..!

(උපුටා ගැනීම – http://www.divaina.com/2011/09/19/feature02.html)

පංච මහා වාද ග්‍රන්ථය downlad කර ගන්න – http://www.ogatharana.org/page5.php

පානදුරා වාදය ග්‍රන්ථය downlad කර ගන්න –
https://docs.google.com/file/d/0ByoNnbsemXfOdVdRd2NvTFNobDg/edit?usp=sharing
________________________________________

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s