ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ දිවි ගමනේ මතක සටහන් – 03

1004826_605580749486124_491001090_n
https://docs.google.com/file/d/0ByoNnbsemXfOSEFOWHVZMzluMnc/edit?usp=sharing
________________________________________________

* ඔබ වහන්සේ බිමතින් රිය පදවා ‍පොලිස් අත්අඩංගුවට පත්වූ බවට මෙකල චෝදනාවක් එල්ල වෙනවා?

ඒ සිද්ධිය වුණේ අද ඊයේ නොවේ. දෙදහසේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ දහතුන්වැනිදා රාත්‍රි එකට පමණ වූ සිද්ධියක්.

* එදා මොකද වුණේ

විශ්වවිද්‍යාලවල සිටින දක්ෂ හාමුදුරුවරු අවුරුද්දකට දෙතුන් දෙනා ගානේ කොරියාවට යවන වැඩපිළිවෙළක් තිබුණා. මේක ඇතුළේ ක්‍රියාත්මක වුණේ කුමන්ත්‍රණයක්. කොරියාවෙන් පැමිණි අය මහායාන භික්ෂූන් වහන්සේ වගේ පෙනී සිටියට ඔවුන් මූලධර්මවාදී ක්‍රිස්තියානි නිකායකට අයත් පිරිසක් බවට අපට දැන ගන්න ලැබුණා. මේ සිද්ධිය මට ආරංචි වුණාම මම තවත් භික්ෂූන් සිවුනමක් සමග මේ ගැන සාකච්ඡා කළා. එහිදී අප තීරණය කළා මේ කොරියන්කාරයෝ අල්ලාගන්න ඕනේ කියලා.
මේ වෙලාවේ මට බොහෝ හිතවත් හමුදා නිලධාරියකුත් මාව හමුවන්න පන්සලට ඇවිත් හිටියා. ඔහු නිවාඩුවට ගමට යන ගමන් අපේ පන්සලට එනවා. මොකද ඒ දවස්වල මම හමුදා කඳවුරුවල බෝධි පූජා පැවැත්වූ නිසා ඔවුන් මා සමග හිතවත්ව සිටියා. මේ සිද්ධිය වූ දවසේ පන්සලට ඇවිත් හිටිය හමුදා නිලධාරියාටත් මම අපේ ගමනට කතා කළා. ඔහුත් ආවා. අපි කොරියන්කාරයෝ සිටි තැනට ගියා.

* එතැනදී මොකද වුණේ?

අපි කොරියන් පිරිස සමග මුලින්ම කතා කළේ කොරියාවට යන බව හඟවමින්. ටික වේලාවකට පසු ඔවුන්ට තේරුණා අප ඇවිත් තියෙන්නේ කොරියාවට යන්න නොවේ ඔවුන් ගැන ඔත්තු බලන්න කියලා. ඔවුන් වහාම එහාට මෙහාට දුරකථන ඇමතුම් ගත්තා. ලොකු ප්‍රශ්නයක් වෙන්න යනවා කියලා අපට තේරුණු නිසා අප එතැනින් ගියා. අප ආවේ පටු පාරක. ‍පොඩි දුරක් යන විට ත්‍රිරෝද රියක් අපේ වාහනයේ හැප්පුණා. හොඳ වේලාවට ළඟපාත මුර‍පොළක් තිබුණා. ඔවුන් අපට ආරක්ෂාව දුන්නා. තුවාලකරුවන් රෝහලට ගෙන ගොස් අප ‍පොලීසියට ගොස් රිය අනතුර ගැන කටඋත්තර දුන්නා.

* එතකොට ඔබ වහන්සේ කොහොමද මේකට වැරදිකරු වුණේ?

වාහනය පැදවූ හමුදා නිලධාරියා මේකට ඉදිරිපත් වුණා නම් ඔහුට රාජකාරි වශයෙන් විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා. එතැනදී මට ලැබුණු උපදෙස් අනුව මම හමුදා නිලධාරියා වෙනුවෙන් පෙනී සිටියා. ඒනිසා උසාවි ගිහින් වරදකරු වුණේ මමයි. මේවාට කියන්නේ කැප කිරීම් කියලා. ජීවිතයේ සමහර අවස්ථාවලදී එවැනි කැපකිරීම් කරන්න වෙනවා. ඔය කතාව අල්ලාගෙන තමයි මට තවමත් මඩ ගහන්නේ.

* භික්ෂූන් වහන්සේගේ දේශපාලන සම්ප්‍රාප්තිය සිද්ධ වූයේ ජාතික හෙළ උරුමයෙන්. ඇයි එවැනි පක්ෂයක් ඔබ වහන්සේලා බිහි කළේ?

ඒ කා‍ලේ එජාපයේ මෙන්ම චන්ද්‍රිකාගේ පාලනයේ තිබුණේ බෞද්ධ විරෝධී රැල්ලක්. මම සිංහල බෞද්ධ කියලා කියන්න මිනිස්සු ලැජ්ජ වුණා. සිංහල බෞද්ධකමට රටේ තැනක් තිබුණේ නෑ. සුදු නෙළුම, තවලම වගේ ව්‍යාපෘති ගෙනාපු දේශපාලනඥයන් තමයි මේ රටේ සිංහල බෞද්ධකම නැති කිරීමේ කොන්ත්‍රාත්තුව භාර අරන් හිටියේ. මේවාට ඉඩදෙන්න අප ලෑස්ති වුණේ නෑ. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි හෙළ උරුමය බිහි වුණේ.

හෙළ උරුමය ගොඩනගන්න අප බොහෝ කැපවීම් කළා. කැස්බෑවේ පැවැති විශේෂ බොදු සමුළුවකදී තමයි මුල් වරට භික්ෂූන් වහන්සේලා දේශපාලනයට එනවා කියලා ප්‍රසිද්ධ කළේ. සිංහල බෞද්ධකම වෙනුවෙන් අප භික්ෂූන් වහන්සේලා නව නමක් පාර්ලිමේන්තුවට යැව්වා. චන්ද්‍රිකාගේ සිංහල බෞද්ධ විරෝධි වැඩපිළිවෙළට ඇයට හිමි ලොකුම හිසරදය වූයේ අපියි.

* ඇයි ඔබ වහන්සේ පාර්ලිමේන්තුවට නොගියේ?

මම හෙළ උරුමයේ මධ්‍යම කාරක සභිකයකු හා පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ලෙසත් කටයුතු කළා. කොළඹින් තුන්වැනියා හැටියට මට පාර්ලිමේන්තු යාමට අවස්ථාවක් තිබුණත් මට පාර්ලිමේන්තු යාමට කලබලයක් තිබුණේ නෑ. ඒ වෙලාවේ පක්ෂය තීරණය කළේ කොළඹින් ආසන තුනක් ලැබුණොත් මුලින්ම උඩුවේ ධම්මාලෝක හාමුදුරුවොත් දෙවැනියට කොට‍පොළ අමරකිත්ති හාමුදුරුවොත් පත්කරලා තෙවැනියාට පත්කරන හාමුදුරුවෝ පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් තීරණය කරනවා කියලා.

* නමුත් තුන්වැනියාට පත්වුණේ කතළුවේ රතනසීහ හාමුදුරුවෝ?

ඒ වෙලාවේ මන්ත්‍රී ධුරයට මගේ නම යෝජනා වුණා. නමුත් මම කීවේ රජවත්තේ වප්ප හාමුදුරුවෝ තමයි මන්ත්‍රී ධුරයට පත්වෙන්න ඕනේ කියලා. කෙසේ නමුදු මේ සිද්ධියේදී අකාරාදිය පිළිවෙළ අනුව තෙවැනියාට සිටි කතළුවේ රතනසීහ හිමියන් ඉල්ලා අස්වන්න කැමැතිවූයේ නෑ.

* කෙසේ නමුදු රතනසීහ හාමුදුරුවෝ මේ ප්‍රශ්නය උද්ගත වූ අවස්ථාවේදී අතුරුදන් වුණා?

ජනතා විමුක්ති පෙරමුණ තමයි උන්වහන්සේ පානදුරේ හිරකරන් හිටියේ. ඔවුන් චන්ද්‍රිකා එක්ක පරිවාසයක් ගහන් හිටියේ. මේ වැඩේ නිසා අප මහත් අපහසුතාවකට පත්වුණා. මේ අතරේ රනිලුත් චන්ද්‍රිකාත් අපට පහර පිට පහර ගැහුවා. පාර්ලිමේන්තුවට භික්ෂූන් වහන්සේ ගිය දවසේ මැති ඇමැතිවරුන් උන්වහන්සේට ශාරීරිකව හිංසා කළ ඒවා අපට මතකයි.

මේ ප්‍රශ්න තිබෙන වෙලාවේ තමයි මම කතළුවේ රතනසීහ හාමුදුරුවෝ සොයා ගත්තේ. ජවිපේ කාරයෝ හතළිහක ආරක්ෂාවක් යටතේ රඳවා ගෙන සිටි තැනට බය නැතිව ගිහින් උන්වහන්සේ බේරා ගෙන නැවත පක්ෂයට මන්ත්‍රීකම අරන් දුන්නේ මමයි. ඒ නිසා තමයි අක්මීමන දයාරතන හාමුදුරුවන්ට මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට හැකිවුණේ.

* ඔබවහන්සේ හෙළ උරුමයෙන් ඉවත් වුණේ ඇයි?

මතවාදී අරගලයක් නිසා. මම හෙළ උරුමයෙන් ඉවත් වුණා මම යෝජනා කළා භික්ෂූන් වහන්සේලා යළිත් වරක් පාර්ලිමේන්තු නොයා යුතුයි කියලා. ඒ වගේම භික්ෂූන් පළාත් සභා, ප්‍රාදේශීය සභාවලට තරග නොකළ යුතුයි කියන මතයේ මා හිටියා. මම කීවේ ජාතික සංඝ සම්මේලනය ලෙස භික්ෂූන් කටයුතු කරමින් හෙළ උරුමය ගිහියන්ට භාර දෙන්න ඕනේ කියලා. නමුත් ඊට ඉඩක් ලැබුණේ නෑ.

භික්ෂූන් වහන්සේලා දෙතුන් නමක් මගේ යෝජනාවට අකමැති වුණා. මමත් පක්ෂයේ කටයුතු වලින් ඈත් වුණා. පක්ෂ දේශපාලනයෙන් මිදිලා නිදහසේ සිටින විට මට නොයෙකුත් මඩ ප්‍රහාර එල්ල වුණා. මම යූඑන්පී කාරයෙක් කීවා. හෙළ උරුමයේ අයත් මාව නිර්දය ලෙස විවේචනයට ලක්කරලා තිබුණා. මේවායෙන් මා බොහෝ සේ කලකිරුණා. මම හිත හදා ගත්තේ තලාව ප්‍රදේශයේ ආබාධිත ආයතනයකට ගොස් ස්වේච්ඡා සේවකයකු ලෙස වැඩ කරලා.

* දෙදහස් හතරේ ඔබවහන්සේ කීවානේ මහින්ද රාජපක්ෂ අගමැති වෙන්න ඕනේ කියලා?

නුගේගොඩ පැවැති රැස්වීමකදී තමයි මා ඒ කතාව කීවේ. ඒ කාලයේ මහින්ද රාජපක්ෂට චන්ද්‍රිකා එක පිට එක පහර ගහන කාලයක්. ජනතා විමුක්ති පෙරමුණේ ඉඳලා අද ආණ්ඩුවට එකතු වූ වැඩි හරියක් එදා හිටියේ ලක්ෂමන් කදිර්ගාමර් අගමැති කරන්න ඕනේ කියලා. මහින්ද රාජපක්ෂට විපක්ෂ නායක ධුරය දෙන්නත් මේ අය කැමැති වුණේ නෑ. නමුත් හෙළ උරුමය ලෙස අප එදා දැඩි තීරණයක හිටියා මහින්ද රාජපක්ෂ අගමැති කරන්න ඕනේ කියලා. චන්ද්‍රිකා අපට ජාතික රූපවාහිනියෙන් මඩ ගහනකොට භික්ෂූන් වහන්සේලාට මේ වගේ අපහාස කරන්න එපා කියලා කියන්න මම තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා බුලර්ස් පාරේ ගෙදරට ගිහින් මුණගැහුණේ. ඒ වෙලාවේ එතුමා අපට උපකාර කළා. මේ ප්‍රශ්නයට මැදිහත් වුණා.

* දේශපාලනයෙන් ඈත් වුණා කීවත් ඔබ වහන්සේ සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මොහොතේ ඔහුට උපකාර කළා නේද?

සරත් ෆොන්සේකා මහත්තයා ඡන්දය ඉල්ලන්න ඉස්සර වෙලා මම රනිල් වික්‍රමසිංහ මහත්තයා සමගත් කතා කළා. මොකද විමල් වීරවංශ , චම්පික රණවක මහත්වරු රනිල් පල්ලියේ අතක් තියලා දිගින් දිගටම පහර ගහන කොට මා කල්පනා කළා හතළිස් හත් ලක්ෂයක් ඡන්දය දීපු පක්ෂයට මේ මොකද වෙන්නේ කියලා. මහා බෞද්ධ නායකයන්, ජාතික වීරයන් හිටපු පක්ෂයක් පල්ලියටම තල්ලු කරන්නේ නැතිව හරි පැත්තට හරවා ගන්න මා රනිල් සමග කතා කළා.

ලක්ෂ්මන් සෙනවිරත්න , මලික් සමරවික්‍රම, සෙනරත් කපුකොටුව, තිස්ස අත්තනායක යන අයත් එක්ක මම පක්ෂයට බෞද්ධ බලයක් එකතු කරගන්න කතා කළා. නමුත් එම වැඩපිළිවෙළ කරන්න රනිල්ට ඕනෑ කමක් තිබුණේ නෑ. මට යූ.එන්.පී. කාරයෙක් වෙන්න ඕනකමක් තිබුණේ නෑ.

නමුත් මේ පක්ෂයේ තිබෙන සිංහල බෞද්ධ ජනපදනම රැක ගන්න අපට ඕනෑකමක් තිබුණා. රනිල්ට එහෙම ඕනෑකමක් තිබුණේ නෑ.

මේ අතරේ තමයි සරත් ෆොන්සේකා මහත්තයා කරළියට එන්නේ. එතුමා කැලණි පන්සලට ගිය වෙලාවේ ඒ ප්‍රදේශයේ දේශපාලනඥයන් කළ අඩන්තේට්ටම් දැක්කාම මට මහා දුකක් හිතුණා. මොනවා වුණත් එතුමා යුද වීරයෙක්. යුද්ධය පැවැති කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ගෝඨාභය මහත්තයා මෙන්ම සරත් ෆොන්සේකා කියන්නේ අපේ වීරයෝ. මේ තුන්දෙනා ලිග්ගල් තුන වගේ. අපේ ජීවිතේට දැක්ක මහා වීරයෝ.

සරත් ෆොන්සේකා මහත්තයාට පිරිත් නූල් කෑල්ලක් වත් ගැට ගහන්න කවුරුවත් නෑ කියපු වෙලාවේ මට එතුමා කෙරෙහි තිබෙන ගෞරවය නිසා මම තීරණය කළා අධිෂ්ඨාන පූජාවල් දෙකක් කරන්න. එක රාජපක්ෂවරුන්ට එරෙහිව යාමක් නොවේ. මගේ යුද වීරයා වෙනුවෙන් කළ දෙයක්. නමුත් මම එතුමාගේ මැතිවරණ වේදිකාවට නැග්ගේ නෑ.
විහාර මහාදේවී උද්‍යානයේ හා කැලණිය රජ මහා විහාරයේ තමයි එම පූජා දෙක පැවැත්වූයේ.

* වර්තමානයේ ඔබ වහන්සේ ගේ දේශපාලනය කුමක්ද?

මම කරන්නේ නිර්දේශපාලනයක්. මම අතීතයේ දී හැම කාලයකදීම උත්සාහ කළේ සිංහල බෞද්ධයාගේ අයිතීන් ආරක්ෂා කරගන්න. ඔවුන්ගේ අයිතිවාසිකම් රැක ගන්න ශක්තිමත් සමාජ බලවේගයක් ගොඩ නගා ගන්න. පක්ෂ දේශපාලනයෙන් තොර බොදු බලසේනාව අප ගොඩනැගුවේ ඒ අරමුණ වෙනුවෙන්.

* ඔබ වහන්සේ ජාතික ව්‍යාපාරවල සිටි භික්ෂුවක් නමුත් බොදු බල සේනා නායකත්වයට කිරම විමලජෝති හාමුදුරුවෝ පත්කර ගැණුනේ කොහොමද?

කිරම විමලජෝති හාමුදුරුවෝ මහා ශාස්ත්‍රීය සේවයක් කළ උත්තමයෙක්. ඇමැතිවරයකුට කරන්න බැරි වැඩ උන්වහන්සේ කළා. අප තමයි උන්වහන්සේට මේකට ආරාධනා කළේ. මොකද පක්ෂ දේශපාලනයෙන් පාරාජිකා නොවුණ භික්ෂුවක් අපේ සංවිධානයේ නායකත්වයට ඕනෑ වුණා. නමුත් උන්වහන්සේ මුලින්ම අපේ යෝජනාවට කැමැති වුණේ නෑ. විසිපස් වතාවක් විතර ගිහින් තමයි උන්වහන්සේගේ විශ්වාසය දිනාගෙන මේ වැඩපිළවෙළට සම්බන්ධ කර ගත්තේ.

* ඔබ වහන්සේ හැප්පුණේ මේ රටේ නායකයන් සමග. දැන් කුඩුකාරයන්ට එරෙහිව සටන් කරනවා. මෙවැනි දේවල් කරන විට තර්ජන ආවේ නැද්ද?

මම ඕනෑම දෙයකට මුහුණ දෙන්න ලෑස්ති අයෙක්. හැබැයි තුණුරුවන්ගේ සරණ හැර මගේ ආරක්ෂාවට වෙන කිසිවක් නෑ. මම උදේට පන්සලෙන් එළියට බහින්නේ තුණුරුවන්ට ජීවිතය පූජා කරලයි. ඒ නිසා මට බය කියන දේ දැනෙන්නේ නෑ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s