ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ දිවි ගමනේ මතක සටහන් – 02

mathaka satahan 2
https://docs.google.com/file/d/0ByoNnbsemXfOaGtjNHFqb0FwRVU/edit?usp=sharing

(මෑත කාලයේ බිහිවූ ජාතික ව්‍යාපාරවල කැපී පෙනෙන භික්ෂු චරිතයක් වූයේ රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ය. ජාතික සංඝ සම්මේලනය, සිහළ උරුමය, ජාතික හෙළ උරුමය ඇතුළු ජාතික ව්‍යාපාර බිහිකිරීමෙහි ලා උන්වහන්සේ සුවිශේෂී කාර්යයක් ඉටු කළහ. මෙකල රටේ ඉමහත් ආන්දෝලනයට ලක්වූ බොදු බල සේනාවේද කැපීපෙනෙන චරිතය උන්වහන්සේය. මේ උන්වහන්සේගේ ජීවිතයේ මතක සටහන් පෙළක දෙවන කොටසය.) 

ජාතික ව්‍යාපාරවලට සම්බන්ධ වීමට පෙර ඔබවහන්සේ බෝධි පූජා පැවැත්වීමට ප්‍රසිද්ධියක් ඉසිලූ භික්ෂුවක්?

මම පැවිදි වූ මුල් දවසෙත් ධර්ම දේශනාවන් පැවැත්වූවා. මගේ බෝධි පූජාවලට මිනිස්සු ඒ කාලයේ සිටම කැමැතියි. අනූව දශකයේ මුල් කාලයේ ඉරාකය, කුවේටය ආක්‍රමණය කළ වේලාවේ අපේ ගම්වල හිටපු අයත් සේවය කළේ කුවේටයේ.

ඔවුන් ගැන වූ ආරංචියක් නැති නිසා අම්මලා දවස් හතේම බෝධි පූජා පවත්වන්න පන්සලට ආවා. මේ ආගමික වතාවත් කළේ මම. බෝධි පූජා පවත්වන විට කුවේට්වල සිටින අයගෙන් ලියුම් ලැබෙන්න පටන් ගත්තා. මේ නිසා මගේ බෝධි පූජා ගැන ඔවුන්ට තිබුණේ දැඩි විශ්වාසයක්.

පිරිත් කියන්න, පිරිත් පුරන්න, බෝධි පූජා පවත්වන්න මම සාමණේර කාලයේ සිටම දක්ෂයි. ඒක සංසාරෙන් එන වාසනා ගුණයක් වෙන්නැති. කෙසේ නමුදු ජාතික ව්‍යාපාරවලට ආවට පස්සේ මම ආගමික කටයුතු වලින් ඈත් වුණා. ඊට හේතුව වේලාවක් නැතිකමයි.
කෙසේ නමුත් ධර්ම දේශනා පවත්වලා ලැබූ දහම් පඬුරු මගේ පෞද්ගලික කටයුතුවලට යොදා ගත්තේ නෑ.

විදයෝදයේ ඉගෙන ගන්න කා‍ලේ මට ලැබූ සෑම පිරිකරක්ම දුන්නේ ත්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක් වූ ජනතාවට. ඒ කා‍ලේ අපත් එක්ක තර්ජනයට ලක්වූ ගම්මානවල තරුණ භික්ෂූන් කිහිපදෙනෙකු ඉගෙන ගත්තා. උන්වහන්සේලා තමයි තම ගම්වල තිබෙන ප්‍රශ්න අපට කියන්නේ. සති අන්තයේ අපි ලැබුණු පිරිකර එකතු කරගෙන බස් එකේ නැගලා අනුරාධපුරයේ ඈත ගම්වල දුෂ්කර පන්සල්වලට ගිහින් බෙදුවා.

පිරිවෙන් ගුරුවරයකු හා පරිවේණාධිපතිවරයකු ලෙස සේවය කළ ඔබ වහන්සේ දෙදහස් එකේදී ඉන් ඉවත් වූයේ ඇයි?

මගේ මුළු ජීවිත කාලයම ජාතික ව්‍යාපාර සඳහා කැප කරන්න මම තීරණයක් ගත් නිසා පිරිවෙන් කටයුතුවලින් ඉවත් වුණා.

එවැනි තීරණයක් ගැනීමට විශේෂ කාරණාවක් බලපෑවද?

ඒ කාලයේ රටේ තිබුණේ යහපත් තත්ත්වයක් නොවේ. ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක උත්සාහ ගත්තේ පැකේජය මගින් ෆෙඩරල් ක්‍රමයක් හඳුන්වාදී රට දෙකඩ කරන්න. තරුණ භික්ෂූන් වහන්සේලා ලෙස අප තීරණය කළා රට දෙකඩ කරන දේශපාලන යෝජනාවලියට විරුද්ධව පාරට බහින්න ඕනේ කියලා. පැකේජයට එරෙහිව හැඩිගල්‍ලේ විමලසාර හාමුදුරුවන් මාරාන්තික උපවාසයක් ආරම්භ කළ මොහොතේ උන්වහන්සේගේසහයට අප තීරණාත්මක ලෙස මැදිහත් වුණා.

ඒ කා‍ලේ කවුද ඔබේ වීරයෝ?

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ තමයි මගේ පූර්වාදර්ශී චරිතය. උන්වහන්සේගේ කතා ශෛලිය වාදීපසිංහ ගතියට අප බොහෝ ආදරය කළා. මා උන්වහන්සේගේ රැස්වීම් බලන්න නොවරදවාම ගියා. අතුරලියේ රතන හාමුදුරුවෝ හා චම්පික රණවක මහත්තයාත් මගේ වීරයෝ වුණා. ඔවුන් දෙදෙනා සමග මට අනූනවයේ සිට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. එම ඇසුරෙන් අප බොහෝ දේ ඉගෙන ගත්තා.

ඔය කා‍ලේ නේද පැකේජයට එරෙහිව භික්ෂූන් වහන්සේ පාර්ලිමේන්තුව දක්වා පාගමනකුත් සූදානම් කළේ?

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ තමයි ඊට නායකත්වය දුන්නේ. එම පාගමන අපේ ජාතික සටන්වල තීරණාත්මක අවස්ථාවක්. එම පැකේජය පරාජය කළේ භික්ෂූන් වහන්සේ දිවි නොතකා කළ සටන නිසා. මට මතකයි මහින්ද රාජපක්ෂ මහත්තයාත් පාර්ලිමේන්තුවේ සිට අපේ සහයට ආවා.

ඔබ වහන්සේ දේශපාලන කටයුතුවලට මැදිහත් වන්නේ මොන කා‍ලේද?

සිහළ උරුමය ගොඩනැගීමේදී තමයි මම මුලින්ම දේශපාලන කටයුතුවලට මැදිහත් වුණේ. අපට සිහළ උරුමය ගැන විශාල බලා‍පොරොත්තුවක් තිබුණා. මට මතකයි රාජගිරියේ පන්ස‍ලේ ඉඳලා මම ලවුඩ්ස්පීකරයක් බැඳගෙන මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි, රත්න දීප ජන්ම භූමි වැනි ගීත ප්‍රචාරය කරමින් ගියා. ඒ වෙලාවේ සමහරු කීවා අපට පිස්සු කියලා. ජාතිවාදීන් කියලා නින්දා කළා. නමුත් අප නින්දා අපහාසවලට නොබියව මුහුණු දෙමින් කෝට්ටේ ආසනයට සියයට පහක ඡන්ද ප්‍රතිශතයක් අරන් දුන්නා. එම ඡන්ද ප්‍රතිශතය නිසා තමයි අපට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකු පවා පත්කර ගැනීමට අවස්ථාව ලැබුණේ.

නමුත් අභ්‍යන්තර ප්‍රශ්න හේතුවෙන් සිහළ උරුමය කැඩී වෙන් වුණා.

ඒ වෙලාවේ අප මහත් කලකිරීමට පත් වුණා. අප හිතුවා කවදාවත් දේශපාලන පක්ෂවලට බැඳිලා වැඩ කරන්නේ නෑ කියලා. මේ කාලයේ අතුරලියේ රතන හාමුදුරුවෝ ගාල්ලේ ඇල්පිටියේ ‍පොරෝගම සදහම් සෙවණ කියලා මධ්‍යස්ථානයක් ආරම්භ කළා. ඒකෙදී අපි ජාතික වැඩ කිරීම පිළිබඳ මනා පුහුණුවක් ලැබුවා පක්ෂ දේශපාලනයෙන් තොරව වැඩ කරන්නේ කොහොමද කියලා.

ජාතික සංඝ සම්මේලනය බිහි වූයේ කොහොමද?

‍පොරෝගම පැවැති සාකච්ඡාවේදී අප තීරණය කළා ජාතික සංඝ සම්මේලනය පිහිටුවන්න. එම තීරණයෙන් පසුව සංඝ සම්මේලනයට නායකයකු හෙව්වා. අපට ඒ කා‍ලේ වාහන තිබුණේ නෑ. මමත් හැඩිගල්‍ලේ විමලසාර හාමුදුරුවෝත් විශාල වාර ගණනක් බස් එකෙන් රත්නපුරේ ගැටහැත්තට ගිහින් එල්ලාවල මේධානන්ද හාමුදුරුවන් මුණ ගැහිලා සංවිධානයේ නායකත්වය ගන්න කියලා ආරාධනා කළා.

ඔබ වහන්සේටත් සංඝ සම්මේලනයේ තනතුරත් තිබුණද? 

මම නියෝජ්‍ය ‍ලේකම් ධුරයට පත් වුණා. අතුරලියේ රතන හාමුදුරුවෝ තමයි ‍ලේකම් අකුරටියේ නන්ද, කොට‍පොළ අමරකීර්ති, නාගොඩ අමරවංශ ආදී වශයෙන් රටම පිළිගත් භික්ෂූන් වහන්සේලා අපේ අනුශාසක මණ්ඩලයේ හිටියේ. භික්ෂුන් වහන්සේ එකතු කරගෙන අප බොහෝ වැඩ කළා.

පල්ලිවලට පහරදුන් බවට ඔබ වහන්සේට චෝදනා එල්ල වුණෙත් ඔය කාලයේ නේද…?

ගංගොඩවිල සෝම හාමුදුරුවෝ කලඑළි බැස්සේ අන්‍යාගම්කරණයට එරෙහි වෙමින්. මටත් ඔය කා‍ලේ අන්‍යාගම්කරණය ගැන බොහෝ අත්දැකීම් තිබුණා. අපේ පන්සල පිහිටි රාජගිරියේත් එවැනි සිද්ධි වුණා. මම විශ්වවිද්‍යාලයේ ගත කරන කාලයෙත් එවැනි සිද්ධීන් දුටුවා. විශේෂයෙන් කොරියාවෙන් පැමිණි පිරිසක් ගැන. වැඩිදුර අධ්‍යාපනය ලැබිමට කොරියාවට රැගෙන යනවා කියලා ඇතැම් භික්ෂූන් වහන්සේට සල්ලි හා කාන්තාවන් දී උන්වහන්සේලා සිවුරු හැරවන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් තිබුණා. අප මේවාට එරෙහිව ප්‍රතිචාර දැක්වුවා. ගහ බැණ ගත්තා. මේවාට එරෙහිව අප බොදු සමුළු කියන සංකල්පය පටන් ගත්තා. ඒක මගේ අදහසක් නිර්මාණයක් එය අතිශයෙන්ම ජනප්‍රිය වුණා.
අන්‍යාගම්කරණය ගැන ගමක ප්‍රශ්නයක් වුණත් මා එතැනට ගිහින් බොදු සමුළු පවත්වලා කරුණු කාරණා තේරුම් කර දුන්නා. එල්ලාවල හාමුදුරුවෝ රතන හාමුදුරුවෝ උපකාර කළා. එවැනි තැන්වලදී ප්‍රශ්න ඇතිවුණා. බුදු පිළිම කුඩු කරන අයට සාකච්ඡා විසඳුම් තේරෙන්නේ නැති නිසා පහරදීලා හරි මේවා නතර කළ යුතු බවට දැඩි ස්ථාවරයක මා හිටියා. එවැනි තැන්වලදී වූ ප්‍රශ්න නිසා මට එරෙහිව නඩු හබ ගණනක් වැටුණා. තවමත් ඒ නඩු විභාග වෙනවා.

වැලන්ටයින් දිනයට එරෙහිව ඔබ වහන්සේ විහාරමහාදේවි උද්‍යානයේ තරුණ තරුණියන්ගේ සමුළුවක් පැවැත්වූයේ ඇයි?

ඒක තමයි ජාතික සංඝ සම්මේලනයේ වැඩපිළිවෙළේ උච්චතම අවස්ථාව. වැලන්ටයින් කියන්නේ මිත්‍යාවක්. මින් තරුණ තරුණියන් ගලවා ගන්න තමයි අපි මෙය සංවිධානය කළේ.2004 පෙබරවාරි 14 වැනිදා අප තරුණ තරුණියන් 50,000කට වැඩි පිරිසක් විහාරමහාදේවි උද්‍යානයට කැඳවා ගැනීමට සමත්වුණා. අප මෙය නම් කළේ අමාවැස්ස කියලා. ඒක මුළු රටම වෙනස් කළ වැඩසටහනක්. අප වටා ජනතාව ඒකරාශි වන විට පාලකයන් පවා භීතියට පත්වුණා.

අමාවැස්ස ද භික්ෂූන් දේශපාලනයට පැමිණීමට මාවත විවෘත කළේ?

එදා අමාවැස්සට ආපු සෙනඟ කන්දරාව දැකලා රතන හාමුදුරුවෝ චම්පික මහත්තයා කීවා දැන් තමයි හොඳ වේලාව දේශපාලනයට එන්න කියලා. ඔවුන් මගෙන් ඉල්ලීමක් කළා අප දේශපාලනයට එනවා කියලා ප්‍රකාශ කරන්නද කියලා.නමුත් මා මෙන්ම අමාවැස්සේ වැඩි බරක් ඉටු කළ වැලිමඩ ශාන්ත හාමුදුරුවෝ කීවා මේ වෙලාවේ ඒක කරන්න එපා. මොකද පක්ෂ විපක්ෂ භේදයකින් තොරව තමයි මේ වැඩේ කළේ කියලා.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s