උතුම් බුද්ධ භාෂිතයට එරෙහි මහමෙව්නාවේ අධර්මය – නමෝ බුද්ධාය..! – (2)

Namo Buddhaya_2
උතුම් ශ්‍රී සද්ධර්මයේ අන්තර්දහනය සිදු වන්නේ භාහිර සතර මහා භූතයන්ගේ බලපෑමෙන් නොව ශාසනය තුල පහළ වන හිස් තුච්ඡ පුරුෂයන් නිසා ය යන්න බුද්ධ දේශනාවයි. එම දේශනාවට අනුවම සද්ධර්මය වෙනුවට සද්ධර්මය වැනි එහෙත් සද්ධර්මය නොවන සද්ධර්ම ප්‍රතිරූපක දෑ දැන් දැන්ම පහල වනු දැකීම ධර්මකාමීන්ගේ ඉමහත් සංවේගයට හේතු වී ඇත. රහතන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් චිරාත් කාලයක් නිර්මලව පවත්වාගෙන ආ උතුම් බුද්ධභාෂිත ත්‍රිපිටක දේශනාවන් මහමෙව්නාව විසින් දිගින් දිගටම විකෘති ලෙස ප්‍රචාරය කර ලක්ෂ සංඛ්‍යාත බොදුනුවන් පිරිසක් මුලාවේ හෙලමින් සද්ධර්මය අතුරුදහන් කිරීමට වෙර දරණා බව අප ඇතුලු බොහෝ පිරිසක් විසින් පෙන්වා දුන්නද තවමත් ඒ සම්බන්ධව වගකිවයුත්තන්ගේ අවධානය යොමු නොවීම කනගාටුවකි.

මහමෙව්නා අසපු සංචිතයේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් විසින් මුල් කාලයේම තමන්ට අභිධර්මය සැක යැයි සඳහන් කරමින් තම බෝධිඥාන සභා ව්‍යවස්ථාවෙන් පවා ඉවත්කරන ලද අතර අසපුවල අභිධර්මය භාවිතයක්ද නොවුනි. මෑත කාලය තෙක්ම කිසිදු මත ප්‍රකාශයකින් තොරව අභිධර්මය සම්බන්ධව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරනා බව පෙනුනද මෙහි අප පෙන්වා දෙන සාධක සහිත කරුණු දැක්වීම් වලින් තහවුරු වනු ඇත්තේ, තවමත් මහමෙව්නාව තම දුර්මත ඉවතලා අභිධර්මය පිලිගැනීමට සූදානම් නොමැති බවකි.

මහමෙව්නාවාසී පූජ්‍ය අඹන්පොළ ඥානවිජය හිමියන් සහභාගී වන TNL රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වන ‘නමෝ බුද්ධාය’ වැඩසටහන තුලින් ථේරවාදයේ සම්භාවනීය ග්‍රන්ථ විවේචනය කරමින් බුද්ධ භාෂිත අභිධර්මය විකෘති කරනා අයුරු අප විසින් මීට පෙර ලිපියකින් හෙලි කරන ලදී.

https://www.facebook.com/photo.php?fbid=578706308840235&set=a.555112431199623.1073741827.555106631200203&type=1&theater

එසේම ථේරවාදයේ ප්‍රමුඛ අංගයන් වන සූත්‍ර ධර්ම, අභිධර්මය, අටුවා ආදිය වනසාලමින් සිදුකරනා ධර්ම හානිය තවදුරට දක්වමින් ධර්මානුකූල විවරණයක් මෙසේ ඉදිරිපත් කිරීම හරහා අප බලාපොරොත්තු වන්නේ මාරාවේශ වී සද්ධර්මය වනසනා සදහම් ප්‍රතිරූපක ගැන ජනතාව දැනුවත් කිරීම තුලින් එම මාර බලවේග පරාජය කොට සද්ධර්මය ඉස්මතු කිරීමයි.

2013-05-16 දින විකාශය වූ ‘නමෝ බුද්ධාය’ වැඩසටහන සලකා බලමු.
http://www.youtube.com/watch?v=B-lGx6BGWAs

ධර්මයට අනුව විමසන්නෙකුට නම් මේ වැඩසටහන ගත යුත්තක් නැති තනිකරම අවුල් වියවුල් වලින් ගහන අධර්ම සාකච්ඡාවකි. ඥානවිජය හිමියන් විසින් මෙහිදී මජ්ජිම නිකායේ එන අනුපද සූත්‍රය උපයෝගී කොට ගනිමින් මහමෙව්නාව තුල ඇති අභිධර්ම විරෝධී, සූත්‍ර විරෝධී, අටුවා විරෝධී ථේරවාදයට පටහැනි අධර්ම මතයන් රැසක් ප්‍රකට කරයි. ජාත්‍යාන්ධයකු අලියකුගේ අඟපසඟ අතගා ඌට වැරදි අර්ථකථන සැපයූ පරිද්දෙන් ඥානවිජය හිමියන් ද තමන්ට හසුවන ආකාරයට අතපත ගාමින් ධර්මය විවරණය කරන්නට යෑමෙන් විකෘති වූ ප්‍රතිඵලයක් සමාජය හමුවේ තබයි.

මුල පටන් අභිධර්ම විරෝධී ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළ මහමෙව්නාව එල්ලවන විරෝධයන් හමුවේ මෙවැනි වැඩසටහන් තුලින් තමන් අභිධර්මය භාවිතා කරන බව පෙන්වීමට උත්සාහ කළද එම උත්සාහයන් හරහා තව තවත් ධර්ම විකෘතීන් රැසක් එලි දක්වන ලද්දේ ‘ආභිධම්මිකයා ම සැබෑ ධම්ම කථිකයකු වේ’ යන බුදු වදනට අනුව අභිධර්මය බැහැර කරන්නෙකුට නිවැරදිව සූත්‍ර ධර්මයන් පවා විග්‍රහ කල නොහැකි බව ද සනාථ කරමිනි.

කොතරම් අභිධර්ම කරුණු මගහැර යෑමට උත්සාහ කලද මහමෙව්නාවට ඒ සඳහා ප්‍රධාන බාධාවක් වී ඇත්තේ ථේරවාදය තුල ඉමහත් සම්භාවනාවට ලක්ව ඇති අටුවා ග්‍රන්ථ පෙළ ය. එබැවින් දෝ අටුවා ග්‍රන්ථයන් සූක්ෂම ලෙස බැහැර කිරීමට දරනා උත්සාහයක් මහමෙව්නාව හරහා ක්‍රියාත්මක වනු දැකිය හැකිය. ඒ කෙසේ වුවත් අටුවා ප්‍රතික්ෂේප කරනා බව එක එල්ලේ ප්‍රකාශ කිරීමෙන් තමන් ථේරවාදය තුල හිමිකරගෙන ඇති ස්ථානය අහිමි වේය යන බිය හේතුකොට ගෙන අටුවා සම්බන්ධ අවස්ථා මග හරිමින් විවිධ අත්තනෝමත ඉදිරිපත් කරමින් මේ හිමිවරුන් ගන්නා ව්‍යාජ උත්සාහය දෙස බැලීමේදී ඇතිවන්නේ මහත් වූ ධර්ම සංවේගයකි. අටුවා ග්‍රන්ථ විවරණයන් අංක දෙකට තැබිය යුතුය යැයි ප්‍රකාශ කරමින් ම ඒවායේ එන විවරණයන් උඩුයටිකුරු කරමින් බුද්ධ වචනයට විකෘති අර්ථකථන සපයන්නේ මහමෙව්නාවේ සකස් කෙරුණු අටුවාවකට අනුවදැයි විමසිය යුත්තකි..!

භාග්‍යවතුන් වහන්සේගේ සම්මුති දේශනාව ඇතුලත් සූත්‍ර පිටකයටත්, පරමාර්ථ දේශනාව ඇතුලත් අභිධර්ම පිටකයටත්, ආනා දේශනාව ඇතුලත් විනය පිටකයටත් ථේරවාදය තුල එකසේම ගෞරවණීය පිලිගැනීමක් ඇත. එමෙන්ම ත්‍රිපිටකයට බුද්ධ කාලයේ පටන් පැවති අර්ථ විවරණයන් ආචාර්ය වාදයන් හෙවත් අටුවා විවරණයන් මිහිඳු මහරතන් වහන්සේ විසින් ත්‍රිපිටකය සමගම මෙරට දී හෙළ බසින් සකස්කළ අතර ඒවා බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේ විසින් පාලියට පරිවර්තනය කරන ලදුව එදා පටන් ත්‍රිපිටකය සේම සම්භාවනාවෙන් සලකන ලදී. මහාවංසයේ එන පරිදි බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේගේ ආචාර්යවර රේවත මහ තෙරුන් වහන්සේ විසින් බුද්ධඝෝෂ තෙරනුවන්ව අටුවා පෙරළීමට යොමුකරවන්නේ මෙසේය.

“තුන් සංගායනාවට නගණ ලද බුද්ධ වචන ද ශාරිපුත්‍රාදී මහ තෙරුන් විසින් වදාරණ ලද කථාමාර්ගය ද මොනවට බලා, ප්‍රඥා මිහිඳු මහතෙරුන් විසින් සිංහල භාෂාවෙන් කරණ ලද ශුද්ධ වූ සිංහලාර්ථ කථා තොමෝ සිංහලයන් කෙරෙහි වැටෙයි. තෙපි එහි ගොස් ඒ අසා මාගධී නිරුක්තියට පෙරළව්.”

විශුද්ධි මාර්ගය රචනා කරමින් මහා විහාරවාසී මහා සංඝරත්නයේ පරීක්ෂාවන්ගෙන් සමර්ථවූ බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ, මහා සංඝරත්නයේ අවසරය ලැබ සකස්කළ අටුවාවන් ථෙරවාදය තුල පිලිගැනිමට ලක්වූ ආකාරය මහාවංශයේ මෙසේ දැක්වෙයි.

“එකල්හි උන්වහන්සේ මහා විහාර ලද දූරසඕකර ග්‍රන්ථාකර පිරිවෙණ වෙසෙමින් සියලු සිංහල අටුවා කථා සියල්ලන්ගේ මුල භාෂා වූ මාගධ නිරුක්තියෙන් පැවැත්තූ සේක. සර්වභාෂික ඒ තොමෝ හිත පිණිස වී සියලු ථේරිය ආචාරීහු එය පෙළ සෙයින් පිළි ගත්හු.”

මෙසේ ඉමහත් පිලිගැනීමට ලක්ව පැවතගෙන ආ අටුවා ග්‍රන්ථයන් සම්බන්ධව මහමෙව්නාවාසී ඥානවිජය හිමියන් වැඩසටහෙනේදී දක්වන අදහස් මෙබඳුය.

“… අපි ගත්තොත් දේශනාවල තියෙන මනෝමය ස්වභාවයන් හා සම්බන්ධ ධර්මතාවයන් රාශියක් එකතුකරල අටුවාවලදි ගණන් කරල එකතු කරගත්තු එකක් තමයි ඔය පනස්දෙක කියන්නේ.. “

“…එතන තියෙන්නෙ බුද්ධ දේශනාවෙ තියෙන ධම්ම කියන ස්වභාවය ඒ කියන්නෙ මානසික මනෝමය ධර්ම හා සම්බන්ධව තියෙන චෛතසික රාශියක් එකට එකතුකරල හදාගත්ත විස්තරයක් තමයි අටුවාවෙ තියෙන්නෙ. එතකොට දැන් ඒ තුල තියෙන්න පුලුවන් එකකට එකක් සමාන පුනුරුක්ති තියෙන්න පුලුවන් ඒක ඇතුලෙ… “

අභිධර්මය සම්බන්ධව තමන් තුල ඇති අනවබෝධය ප්‍රකට කරමින් මෙවැනි අධර්ම විවරණ රැසක් කරනා මහමෙව්නාවාසී හිමියන්, අටුවා යනු නොවැදගත්, වැරදි සහිත, බුද්ධ දේශනාවට එකග නොවන, පුනරුක්ති සහිත ග්‍රන්ථ පෙලක් යැයි මතයක් සමාජගත කිරීමට උත්සාහ ගන්නා බව පෙනේ.

මෙම වැඩසටහනේ බොහෝ තැන්වල අභිධර්මය යන වචනය පමණක් භාවිතා වුවත් වචනයෙන් ඔබ්බට ගොස් උතුම් ගම්භීර අභිධර්මය පිළිබඳ ධර්මානුකූල විවරණයක් කෙසේවත් සිදු නොවුනේ එසේ කිරීමට තරම් හැකියාවක් නොමැති නිසා විය යුතුය. නිවේදක මහතා විසින් අනුපද සූත්‍රයට අදාළව අභිධර්මය සම්බන්ධ කරුණු මතුකිරීමට උත්සාහ කළ ද ඥානවිජය හිමියන් ඒවායින් සියුම් ලෙස මගහැර යයි. එම තැන්වලදී ද අභිධර්මය යන වචනය පාවිච්චි නොකරන්නට තරම් සූක්ෂම වෙමින් ඒ සඳහා ‘ඒක’ ‘වෙනත් පරියායක්’ ආදි වචන භාවිතා කරමින්, අභිධර්ම කරුණු සූත්‍ර විවරණයට සම්බන්ධ නොකලයුතු බව පවසමින් ඥානවිජය හිමියන් මග හැර යන්නේ මෙසේය.

“…එතනදි අපිට ඒක පැහැදිලි කරගැනීම මං හිතන්නෑ මෙතනට ගොඩක් ගැලපෙයි කියල…”

“…ඒ නිසා අපි ඒකත් එක්ක ගලපන්නෙ නැතුව හුගක් හොදයි මෙතන තියෙන පිලිවෙලට ගත්තොත්…”

“…එතකොට දැන් ඒ ධර්මතාවයන් ඒ පරියායෙන් බුදුරජාණන් වහන්සේ එතන විස්තර කරල තියෙනව නං එතකොට දැන් අපි ඒකයි.. තවත් වෙනත් පරියායකින් විස්තර කරල තියෙන එකකුයි කවලකං කරගත්තොත් වෙන්නෙ අපිට ඒක පැටලෙනවා…”

“…මොකද දැන් අපි දැන් අර ඒක පුරුදුවෙලා අහල දැනගෙන තියෙන විදිහට එකපාරටම මේක බුදුරජාණන් වහන්සේගෙ දේශනාවක් තමයි මේ 52කට කරපු එක කියන එක අහල තියෙනව.. නමුත් හොයල බලනකොට ඒක අටුවාවෙන් එකතුකර ගත්ත එකක්.. එතකොට ඒ නිසා ඒක අනිවාර්යයෙන් කලයුතු කියල එකක් නැහැ..”

මේ ආදී අදහස් දැක්වීම් වලින් අභිධර්මය බැහැර කරමින්ම, මහමෙව්නාව අභිධර්මය බැහැර කරන බවක් ප්‍රේක්ෂකයින්ට නොපෙන්වා සිටීමට බලවත් උත්සාහයක් ගන්නා අතර විමසීමෙන් යුතුව වැඩසටහන දෙස බලන්නෙකුට නම් ඒ බව සැඟවිය හැකි කරුණක් නොවේ. මෙම වැඩසටහන අතුරතුරදී නිවේදක මහතා හා ඥානවිජය හිමියන් එක්ව අභිධර්මයට නව වචන ද හඳුන්වා දෙයි. අභිධර්මයේ එන ‘සබ්බ චිත්ත සාධාරණ චෛතසික’ යන පදය වරදවා ගන්නා නිවේදකයා විසින් ‘සබ්බ චිත්ත සාධාරණ සිත’ යනුවෙන් වැඩසටහන පුරා තැන් කිහිපයකදීම සඳහන් කරන්නේ අභිධර්මයේ කොතැනකවත් නොදැක්වෙන සිතකි. නිවේදක මහතා සිදුකරනා එම වරද නිවැරදි කරන්නට තරම්වත් ඥානවිජය හිමියන් සතුව ධර්ම දැනුමක් නොමැති සෙයක් නරඹන්නන්ට පෙනේ. එමෙන්ම උන්වහන්සේ විසින් ද ‘අන්‍ය සාධාරණ’ යනුවෙන් චෛතසික වර්ගයක්ද හදුන්වා දෙයි. මේ නම් අභිධර්මයේ එන ‘අන්‍ය සමාන’ චෛතසික පටලවා ගැනීමක් බව සිතිය හැක. දහම් පාසල් සිසුවකු පවා දන්නා අභිධර්මයේ මූලික කරුණු ගැන මේ ආකාරයේ අනවබෝධයන්ගෙන් යුතුව සාකච්ඡා කරන්නට යෑම ධර්මයට සිදුකරනා මහත් අගෞරවයක් බව දැන්වත් මහමෙව්නාවේ හිමිවරුන් වටහාගත යුතුය. උතුම් වූ ත්‍රිපිටක ධර්මය, ත්‍රිපිටකයටම ගැලපෙන පරිදිත් අටුවා ටීකාවන්ට ගැලපෙන පරිදිත් විවරණය කිරීමට මෙතෙක් කලක් වැඩ සිටි මහා සංඝරත්නයට හැකි වූයේ නම්, අලගද්ද පරියායයෙන් ධර්මය හසුරවමින් ධර්මයටත්, තම ශ්‍රාවකයන්ටත්, තමන්ටත් අවැඩ පිණිස කටයුතු කිරීම හැර දමා නිවැරදිව ධර්මය විවරණය කිරීමට මහමෙව්නාවට ඇති බාධාව කුමක්ද? ඒ මහරහතන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයටත් නොතිබුනු තරමේ මහා ප්‍රඥාවක් මේ හිමිවරුන්ට ඇතැයි අපට විශ්වාස කළ හැකිද?

තවදුරටත් එම වැඩසටහනේදී මහමෙව්නාවේ අභිධර්ම විරෝධී මතයන් තමන් තුල ඇති අභිධර්මය පිලිබඳ ඇති අනවබෝධය සමගින් ඥානවිජය හිමියන්ගේ දේශනාවෙන් මතු වන්නේ මේ ආකාරයට ය.

“…ඒ නිසා හොදම දේ තමයි අපි අහල දැනගන්න දේ මේක සැබෑ ලෙසින්ම ත්‍රිපිටක ගත බුද්ධ දේශනාවක මූලික විස්තරේද? නැත්තං ඒක පස්සෙ කාලීනව විකසනය වෙච්ච එකක්ද කියල තේරුම් ගනිමින් හොයමින් අධ්‍යයනයක යෙදෙනව නං අපිට ඒක ගොඩක් වැදගත්…”

“…අපි අර ඒ තියෙන රාශියම එකට එකතු කරගෙන අපි යම් පසුකාලීන පොතක මේ සියලු ඔක්කෝම ගුණධර්ම එකට එකතුකරගෙන සිතුවිලි වල ඇතිවන කුසල ස්වභාවයන් එකට එකතු කරගෙන මේ ඔක්කොම එකට වඩන්න ඕන කියල කිව්වොත් එතනම ධර්ම මාර්ගය අවහිර වන ස්වභාවයක් එන්න පුලුවන්…”

“…මගෑරීමක් වෙලා තියෙනවා.. ඉතිං ඒකයි අපි තේරුම්ගන්න ඕන එතකොට බුද්ධ දේශනාවෙ බුදුරජාණන් වහන්සේගෙ වචනෙ ඒ කෙරෙහි තියෙන ගරුත්වය අපිට අංක එකට එනවනං මං හිතන්නෙ අපි අනික් විවරණ අංක දෙකට දාල තිබ්බට වරදක් නැහැ…”

වැඩසටහනේ තැන් කිහිපයකදීම පසුකාලීන අභිධර්ම සංග්‍රහ ග්‍රන්ථත්, අටුවා විවරණයනුත් නිසා නිවන් මග ඇහිරී ඇතැයි උන්වහන්සේ චෝදනා කරනු ලබන්නේ මහමෙව්නා විවරණයන්ට එම සම්භාවනීය ග්‍රන්ථයන් එකග නොවන නිසා විය යුතුය. නමුත් එම ග්‍රන්ථයන් මෙතෙක් ථේරවාදය සමග සුරැකිව පැමිණියේ බුද්ධ භාෂිත අභිධර්ම පිටකයේ එන සප්තප්‍රකරණයන් ද ඇතුලත් ත්‍රිපිටක ධර්මයට අනුකූලවම සකස්වී ඇති බැවින් ය යන්නවත් වටහාගැනීමට තරම් නිරවුල් ධර්මඥානයක් උන්වහන්සේලා සතුව නොමැති බවක් පහත ප්‍රකාශ වලින් ද පෙනේ.

“…ඒව හොය හොය ඉන්න ගත්තොත් එහෙම ඉතිං අපේ කාලයත් අපතෙ යනවා.. අපරාදෙ ධර්මය අවබෝධ කරන්න බොහොම ලේසියෙන් ලැබුනු සමහර පාරවල් ගොඩක් අපි මගහැර මගහැර හිතාගන්නවත් බැරි පාරවල් හොය හොය යන ස්වභාවයක් තියෙනව. ඉතින් ඒ නිසා තමයි ඔය අටුවා යුගයෙන් පස්සෙ ධර්මය අවබෝධ කල මාර්ගඵල ලාභීන් නැතිවෙලාම ගියේ..ඉතිං ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ ත්‍රිපිටකයේ මුල් ස්වභාවයන් අංක එකට අරගෙන අපි ඒ ස්වභාවයන් අධ්‍යයනය කරලා ත්‍රිපිටකය තුලින්ම අපි මේ දේවල් පැහැදිලි කරගත්තොත්.. ඒකට උපකාරී වන ගොඩාක් ධර්මතාවයන් පසුකාලීන විස්තරවල තියෙනවා.. නමුත් සමහර අත්තනෝමති සහ සමහර ඇතැම් නොගැලපෙන ආචාර්ය වාද බුද්ධ දේශනාවට ගැලපෙන්නෙ නැත්තං ඒව පසෙකින් තියල අපිට පුලුවන් මේක පිලිවෙලකට ත්‍රිපිටකයට අනුරූපවම කරගෙන යන්න…”

“…ඒකත් එක්ක ගලපපු සෑම කාලෙකම.. ඒකට මුල්තැන දුන්නු සෑම කාලෙකම මාර්ගඵල ලාභීන් බිහි වුනා. ඒකයි ඉතිහාසය වංශකථා ඕනෑම දෙයක් අධ්‍යයනය කරල කෙනෙකුට බලන්න පුලුවන්.. ත්‍රිපිටකයට තියෙන තැන නැතිවෙලා පසුකාලීන විවරණ අංක එකට ආපු කාලෙන් පස්සෙ තමයි මේ පරිහානියට පත්වෙන්න පටන් ගත්තෙ…”

මේ ආකාරයේ අවුල් සහගත ධර්ම ඥානයක් තුලින් තමන්ගේ මතය පමණක් නිවැරදිය යන මිත්‍යා දෘෂ්ටියෙන් යුතුව බොහෝ ජනයා අඳුරේ හෙළමින් මහමෙව්නාව සිදුකරගෙන යන අධර්ම ප්‍රචාරයන් හරහා නිර්වානාවබෝධයක් කරා ගමන්කල හැකි වේ දැයි, තිසරණය වෙනුවට මහමෙව්නාව සරණ ගියවුන් දැන්වත් විමසා බැලිය යුතුය.

සූත්‍ර පිටකයේ සාමාන්‍යයෙන් බොහෝ තැන්වල එන පරිදි ධ්‍යානයකදී ප්‍රකටවන ධ්‍යානාංග වලට අමතර නාම ධර්ම කිහිපයක් මෙම සූත්‍ර දේශනාවේ දැක්වෙයි. බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයට පමණක් දෙවැනි වන මහා ප්‍රඥාවකින් හෙබි සැරියුත් මහ රහතන් වහන්සේට විෂය වන උන්වහන්සේ අනුපද විදර්ශනාවට ලක්කරනා චෛතසික ධර්මයන් පිලිබඳ මෙහි බුදුරදුන් විසින් දේශනා කරනු ලබන අතර එම සූත්‍ර ධර්මය වරදවා විග්‍රහ කරමින් ඥානවිජය හිමියන් විසින් බුදුරදුන්ටත්, බුද්ධ වචනයටත්, සාරිපුත්‍ර මහරහතන් වහන්සේටත් බලවත් නිග්‍රහයක් සිදුකරනු ලබන බව මෙසේ පෙන්වා දෙන්නෙමු.

අනුපද සූත්‍රයේ එන සැරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රථම,දෙවන, තෙවන ධ්‍යාන ක්‍රියා චිත්තයන්ගේ ඇති චෛතසික ධර්ම කිහිපය සම්බන්ධව අටුවාවේ එන පරමාර්ථ විග්‍රහය අතහැර විස්තර කරන්නට යන ඥානවිජය හිමියන් එම සිත්වල සුඛය සමගින්ම උපේක්ෂාව යෙදෙන්නේ කෙසේදැයි හරියාකාරව විස්තර කිරීමට අපොහොසත් වෙයි. නිවේදකයාගේ විමසීමේදී එම උපේක්ෂාව රහතන් වහන්සේ නමක් තුල පමණක් ඇති විශේෂ වූ උපේක්ෂාවකැයි කියමින් වරදවා විග්‍රහ කරයි. අභිධර්මයේ පරමාර්ථ විග්‍රහයට අනුව, මැදහත් ආකාරයෙන් අරමුණු ගැනීම ලක්ෂණ කොට ඇති සෑම සෝබන සිතකම යෙදෙන තත්‍රමජ්ජත්තතා නම් වූ චෛතසිකය මෙහි උපේක්ෂාව යනුවෙන් දක්වා ඇති බව අභිධර්මය හෙලා දකිනා මේ හිමිවරුන් කෙසේනම් දැන ගන්නද? දැන ගත්තද කෙසේ නම් අභිධර්ම විරෝධය අටුවා විරෝධය සිත්හි දරාගනිමින් ඒ බව ප්‍රකාශ කරන්නද?

මහ තෙරවරුන් විසින් රචිත අභිධර්ම සංග්‍රහ ග්‍රන්ථයන් මෙන්ම අටුවා විවරණයන්ද පසුකාලීන යැයි බැහැර කරනා මහමෙව්නා හිමිවරුන් හට අප යෝජනා කරන්නේ, ත්‍රිපිටකගත බුද්ධ දේශිත අභිධර්ම පිටකයේ, ධම්මසංගණීප්පකරණයේ චිත්තොත්පාද කාණ්ඩයේ එන රූපී අරූපී ධ්‍යාන චිත්තයන්ගේ යෙදෙන චෛතසික ධර්මයන් මොනවාදැයි විමසා බලා හෝ තමත්තුල ඇති මේ අධර්ම මත ඉවත්කරගැනීමට කටයුතු කරනා ලෙසයි. එහෙත් අභිධර්මය උගන්නා ආධුනිකයින්ගේ සුඛාවබෝධය පිණිස මහතෙරවරුන් විසින් ත්‍රිපිටකයට අනුකූලවම සංග්‍රහකරන ලද මූලික ග්‍රන්ථයන්වත් නිවැරදිව පරිශීලනය කිරීමට ශක්‍යතාවක් නොමැති වූවෝ පරම ගම්භීර බුද්ධ භාෂිත අභිධර්මය අඩංගු පෙළ ධර්මයන් කෙසේ විවරණය කරගනී දැයි අපට සිතාගන්නටත් අපහසුය.

නමෝ බුද්ධාය වැඩසටහනේ නිවේදකයා මතුකරන තවත් පැනයක් වන්නේ නේවසංඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානය තුල චෛතසික ඇතිද යන්නයි. ඥානවිජය හිමියන්ගේ පිලිතුර වන්නේ එම ධ්‍යානය තුල චෛතසික ඇත්තේත් නැති නැත්තේත් නැති බවයි. මේ නම් අමාරාවික්ඛේපවාදී මක්ඛලීගෝසාලගේ ආකාරයේ පිලිතුරු සැපයීමකි. වචනාර්ථයෙන් ඔබ්බට ගොස් ධර්මානුකූල විවරණයක් පැහැදිලිවම සැපයිය හැකිව තිබියදී, මේ ආකාරයේ ලිස්සායෑම් දකිනා ධර්මධරයින්ට කුමක් සිතෙනු ඇත්ද? තමන් දැක්වූ එම අදහසට පරස්පරව යමින් තවත් තැනකදී උන්වහන්සේ පවසන්නේ නේවසංඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන සිත තුල සංඥාවක් නැති බවයි.

නේවසංඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන සිත යනු චෛතසික 30ක් යෙදෙනා සියුම් ධ්‍යාන සිතකි. එහි චෛතසික ධර්මයන් ඉතාමත් සූක්ෂමව පවතින අතර මුල් අරූපී ධ්‍යාන සිත්වල තරම් ඕලාරික නොවූ සියුම් සංඥාවක් මෙහි යෙදෙන බව අභිධර්මයට අනුව පැහැදිලිවම පෙන්වාදිය හැක. එසේ තිබියදී මෙවන් පැනයෑම් මගහැර යෑම් හා විකෘතීන් කරමින් තව කොපමණ කලක් මේ හිමිවරුන් ධර්මය වනසනු ඇත්ද? රටේ ජනප්‍රියතම රූපවාහිනී වැඩසටහනක් හරහා මෙවන් අධර්ම ප්‍රචාරයන් කිරීමට තව දුරටත් ඉඩදිය යුතුද? සදහම් ප්‍රචාරය මුවාවෙන් මේ වනසන්නේ නිර්වානගාමී උතුම් බුද්ධ වචනය නොවේද? මෙයින් නිග්‍රහ කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට නොවේද?

තවත් තැනකදී නිවේදක මහතා විසින් ජීවිතීන්ද්‍රිය යනු රූපී දෙයක්ද අරූපී දෙයක් ද යන පැනය විමසයි. එහිදී නිරුත්තර වන ඥානවිජය හිමියන් පවසන්නේ ජීවිතීන්ද්‍රිය යනු අරූපී හෝ රූපී වශයෙන් දැක්විය නොහැකි දෙයක් බවයි. නාම රූප වලට අයත් නොවන දෙයක් නිවනින් මෙපිට ඇතැයි කරනා මේ අධර්ම විග්‍රහයට එකගවිය හැක්කේ කාට ද?

මේ ආකාරයට තමනුත් මුලාවේ වැටෙමින් ලක්ෂ ගණනක් සැදැහැවත් බෞද්ධ ජනයා අඳුරේ හෙලීමට ඉඩ හැර අඳගොලු බිහිරන් සේ තවදුරටත් නොසිට ධර්මය රැකගැනීම උදෙසා, මාරවේශ වූ සද්ධර්ම ප්‍රතිරූපකයන්ගේ පරප්‍රවාද මඩිමින් පෙරට ඒම මහා සංඝරත්නය ප්‍රමුඛ සිව්වනක් පිරිසගේම වගකීම හා කාර්යභාරය බවත් මෙහිදී ඔබට පෙන්වා දෙන්නෙමු. ඉතා කඩිනමින් මේ අධර්ම ප්‍රචාරයන් නවතා දැමීමට මහමෙව්නාව කටයුතු නොකරන්නේ නම් දැන්වත් අදාල වගකිවයුතු ශාසනභාරධාරී නාහිමිවරුන් මෙන්ම බෞද්ධ කටයුතු භාර අදාල බලධාරීන් ද එක්ව මේ අධර්ම ප්‍රචාරයන් වහාම නවතා දැමීමට ධර්මයේ නාමයෙන් කටයුතු කල යුතු බවත්, ඉතා සීඝ්‍රයෙන් මහමෙව්නාවේ අධර්ම ව්‍යාප්තිය බලවත් වෙමින් යන බැවිනි අදාල පියවරක් ගැනීම කුමන කරුණක් නිසාවත් තව තවත් ප්‍රමාද නොකල යුතු බවත් අප විශ්වාස කරන්නෙමු.

එසේ නොකර මේ අවස්ථාවේ නිහඩව සිටින්නේ නම්, ඇස්පනාපිට සිදුවෙමින් පවතින සද්ධර්ම අන්තර්දහනයට හේතුවන සද්ධර්ම ප්‍රතිරූපක සමාජගත වෙමින් දහම වනසනා දෙස බලමින් ‘අනේ අපොයි’ කියමින් හූල්ලනවා හැර වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමේ අන්කිසිදු අවස්ථාවක් ඉදිරියේදී ඔබ අපට නොඑලඹෙනු ඇත..!

චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං!
චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ දේසනං!
චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාවකං!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s