මහා සංඝරත්නයට ගරහන අඳ බාලයින්ට අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන්ගෙන් පිළිතුරු ලිපි පෙළක්..! – අවසාන ලිපිය –

Sangarathnaya 11_Last

සර්පයා, ගින්න, රජ කුමරා සහ සිල්වත් භික්ෂුව සමග සෙල්ලමට යන්න එපා..!

දැන් පැමිණ ඇත්තේ කිසිවකුට හිස නොනමන ඔටුණු පළන් මහ රජවරුන් විසින් පවා ශක්‍රාදි දෙවියන් විසින් පවා දොහොත් මුදුන් දී වඳින උත්තමයන් වන භික්ෂූන් වහන්සේලාගේ හිසට පොලු පහර එල්ල කරන නපුරු කාලයෙකි. අප විසින් මෙය ලියන්නට සිතුයේ භික්ෂූන් වහන්සේලා රැක ගැනීමේ අදහසින්ම නොව බොහෝ අනිෂ්ට විපාක ගෙන දෙන භික්ෂූන් වහන්සේලාට පහරදීමේ මහා පාපය ගැන නොදැන මහ සපන් කමකැයි සිතා භික්ෂූන් වහන්සේලාට පහර දී ඒ පවින් මෙලොවත් පිරිහී මරණින් මතු අපායට යන පුද්ගලයන්ට එහි තතු පහදා දී ඔවුන් බේරා ගැනීම පිණිස ය.
භික්ෂූහු වනාහි සතුරු මිතුරු මැදහත් හැමදෙනා කෙරෙහි වෙනසක් නැතිව කරුණාව මෛත්‍රිය පවත්වන බණින්නහුට නොබණින පහර දෙන්නහුට පහර නොදෙන සතුරන්ට සතුරුකම් නොකරන පළිගැනීම නොකරන පරම ක්ෂාන්තියෙන් යුක්ත උත්තම පුද්ගලයෝ ය. කරුණා පිණ්ඩයෝ ය. මෛත්‍රී පුඤ්ජයෝ ය.

මහජනයාගෙන් ගරු බුහුමන් ලබමින් ප්‍රණීත ආහාර පාන ලබමින් පිරිසිදු ස්ථානවල හොඳ අසුන්වල වෙසෙමින් කයින් කිසි බර වැඩක් නොකොට වෙහෙසක් නැතිව ජීවත් වන්නාවූ භික්ෂූන් වහන්සේලා දක්නා කල්හි කිසි ධර්මයක් නොදත් උන් වහන්සේලාගේ ගුණ බිඳක්වත් නොදත් ඇතැමුන්ට උන්වහන්සේලා ගැන මහත් ඊර්ෂ්‍යාවක් ඇතිවේ. ඒ නිසා ඔවුහු මහ සපන්කමක් කරන ලීලාවෙන් පළිගන්න නොඑන භික්ෂූන් වහන්සේලාට නොයෙක් අයුරින අවමන් කරති. බණිති. භික්ෂූන් වහන්සේලා සතු වස්තූන් සොරා ගනිති. සඟසතු දේපලවලට අලාභහානි කරති.

ඒ පව්කම් වඩ වඩා කරන ඇතැම්හු ඒවායේ විපාක වශයෙන් මහ විපත්වලට පැමිණ අසරණ වී භික්ෂූන් වහන්සේලාගේ පිහිට සොයා පසු කලෙක විහාර ස්ථානවලට ද පැමිණෙති. පිළිවන් කාලයේ භික්ෂූන් වහන්සේට සතුරුකම් කොට පැමිණියා වූ එබඳු පුද්ගලයන් පන්නා නොදමා ඔවුන්ටත් භික්ෂූහු පිහිට වෙති. ඒ භික්ෂූන් වහන්සේගේ කරුණා මහිමය ය. මෛත්‍රී කරුණාදි මහා ගුණ ස්කන්ධයක් ඇති බැවින් භික්ෂූන් වහන්සේට පහර දීමෙන් අවමන් කිරීමෙන් අලාභහානි කිරීමෙන් සිදුන්නේ පරලාවෙහිදී පමණක් නොව මෙලොවදී ද නොයෙක් අනිෂ්ට විපාක ගෙනදෙන මහා පාපයකි. ඌරන් කුකුලන් එලුවන් ගවයන් මැරීමෙන් සිදුවන පාපයට වඩා අතිශයින් බලවත් පාපයකි. මාපියන්ට පහරදීමෙන් සිදුවන පාපය වැනි බරපතල පාපයෙකි.

සංඝරත්නය වනාහි ශීල සමාධි ප්‍රඥා මෛත්‍රී කරුණාදි අනන්ත ගුණවලින් යුත් මහා පුද්ගල සමූහයකි. එදින පැවිදි වූ සාමණේර නමගේ පටන් සිවුරු හැඳ පොරවා ගත් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් පෙනී සිටින සෑමදෙනාම සාමාන්‍යයෙන් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට අයත් ය.

‘ඒක භික්ඛුසමිම්පිහි අගාරවෙ කතෙ සංඝෙ අගාරවො කතො හොති’ යනුවෙන් දැක්වෙන පරිදි සංඝරත්නයට අයත් එක් භික්ෂුවකට වුවද අගෞරව කිරීම සංඝරත්නයටම අගෞරව කිරීමකි. භික්ෂුවකට එක් සාමණේර නමකට වුවද පහරදීම සංඝරත්නයටම පහර දීමකි. අපහාස කිරීම අලාභහානි කිරීම සංඝරත්නයටම අපහාස කිරීමකි. අලාභහානි කිරීමකි. රජුන් විසින් දෙවියන් විසින් පවා ගරු බුහුමන් කරන භික්ෂූන් වහන්සේ නමකට පහරදීම ආනන්තර්ය අකුශල කර්මයන්ට පමණක් දෙවෙනි වන මහා පාපකර්මයෙකි. ආනන්තර්ය කර්ම යයි කියනුයේ පොළොව පුරා භික්ෂූන් වහන්සේලා වඩාහිඳුවා මහදන් දුන්නත් තථාගතයන් වහන්සේගේ සිවුරු කොණ අල්ලාගෙන සිටියත් බේරීමට නොහැකි මරණින් මතු ඒකාන්තයෙන් අපායට යන්තට සිදුවන මහ පව්කම් පසකට ය. එනම් මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුකෙනකුගේ දේහයෙහි ලේ මතු කිරීම, සංඝයා භේද කිරීම යන පව්කම් පස ය. මේවායින් සංඝභේද කර්මය පැවිද්දකුට මිස ගිහියකුට කළ නොහෙන පාප කර්මයෙකි.

භික්ෂූන් වහන්සේලාට පහරදීමේ කරදර කිරීමේ පාපය දෙවන ජාතියේ විපාක දීම නියත කර්මයක් නුවූව ද එය කළ අයට බොහෝ සෙයින් සිදුවන්නේ මරණින් මතු අපායෙහි ඉපදීමට ය. මැරෙන පුද්ගලයාට දෙවන ජාතියේ උපත බොහෝ සෙයින් සිදුවන්නේ මරණාසන්නයේ සිහි වූ කර්මය අනුවය. ලෝකයා විසින් ගරු බුමුහන් කරන රජුන් විසින් දෙවියන් විසින් ගරු බුහුමන් කරන සඟරුවනට අයත් කෙනකුට පහරදීමත් වෙනත් අපරාධයක් කිරීමත් බරපතල කරුණෙකි. එය කළ තැනැත්තාට අමතක නොවන මුලු ජීවිත කාලයේම මතක තිබෙන කරුණක් වේ. එබැවින් කොතෙක් පින් කර ඇතත් ඔහුට මරණාසන්නයේ ඒ පාපය සිහි වේ. එයින් කළ පින් යටපත් වී ඔහුට අපායෙහි ඉපදීමට සිදුවේ.

අන්‍යයන්ට අපරාධ නොකරන කරුණා මෛත්‍රියෙන් වෙසෙන සත්පුරුෂයන් වන භික්ෂූන් වහන්සේලාට අපරාධ කරන්නවුන්ට ඒ නිසා මෙලොවදීම සිදුවන විපත් දසයක් තථාගතයන් වහන්සේ විසින් ‘වේදනං ඵරුසං ජානිං සරීරස්ස ච භෙදනං’ යනාදීන් වදාරා ඇත්තේ ය.

1) තුන්දොස් කිපීම් වස විස ශරීරගතවීම් ආහාරය අපථ්‍යවීම් වැටීම් සැපීම් ආදියෙන් ශරීරයේ ඒ ඒ තැන්වල බෝ කල් පවත්නා සමහර විට මරණය තෙක් පවත්නා දරුණු වේදනා හට ගැනීම එක් විපතෙකි.

2) බෝකල් වෙහෙසී දුකින් සපයා ගත් වස්තුව සොරුන් ගැනීම් ගින්නට හසුවීම් ආදියෙන් විනාශ වී යාම එක් විපතෙකි.

3) වැටීම් ගැටීම් ආදියෙන් අත් පා ආදි කුඩා මහත් ශරීරාවයවයන් සිඳීයාම එක් විපතෙකි.

4) කොරවීම් කුදු ගැසීම් අන්ධ වීම් බිහිරි වීම් පිළිකා අපස්මාර ඇදීම දියවැඩියාව නපුරු වන කුෂ්ට ක්ෂය රෝග නපුරු උණ යනාදිය එක් විපතෙකි.

5) තුන් දොස් කිපීම් භූත කෝපාදියෙන් උමතු වීම එක් විපතෙකි.

6) වස්තුව පැහැර ගැනීම් ගමෙන් රටෙන් නෙරපීම් තනතුරෙන් පහ කිරීම් බන්ධනාගාරගත කිරීම් ආදී වශයෙන් රජුන්ගෙන් දුක් කරදර ලැබීම එක් විපතෙකි.

7) තමා විසින් නොකළ නොසිතූ අපරාධ කෙළේය කියා චෝදනා ලැබීම එක් විපතෙකි.

 තමාට පිහිට වීමට සමත් හිතවත් නෑයින් පිරිහී යාම, නැතිවී යාම එක් විපතෙකි.

9) බොහෝ දුක් ගෙන බොහෝ වෙහෙසී සපයාගෙන තුබූ වස්තූන් දිරායාම් සතුන් කෑම් ආදියෙන් විනාශ වීම එක් විපතෙකි.

10) වාසය කරන ගෙවල් වරින් වර ගිනි ගැනීම එක් විපතෙකි.

භික්ෂූන් වහන්සේලාට කරදර කිරීමේ පවින් උන්වහන්සේලා සතු වස්තු සඟසතු සොරකම් කිරීමේ පවින් නපුරු රෝග වැළඳී බොහෝ කල් දුක් විඳ අකාලයේ මිය ගියා වූ ද නොමළා වූ වාසය කළ නොහැකි වී ගම හැර ගියා වූ ද කෝලාහල වලින් තුවාල ලැබුවාවු ද උමතු වූ ද සර්පයන් දෂ්ට කරනු ලැබුවා වූ ද ටික දෙනකුන් ගැන අපිදු දැන ගතිමු. විපතට පත් වූ ඒ අය නම් ඒ කාරණය දැන නොගන්නට ඇතැයි සිතමු.

භූජංගමං පාවකංඤ්ච
ඛත්තියඤ්ච යසස්සිනං
භික්ඛුං ච සීල සම්පන්නං
සම්ම දෙව සමාචරෙ

‘සර්පයා සමගත් ගින්න සමගත් යසස් ඇති රජ කුමරුවා සමගත් සිල්වත් භික්ෂුව සමගත් හොඳින් හැසිරිය යුතුය. සෙල්ලමට නොයා යුතුය’ යනු එහි අදහස ය. සිල්වත් භික්ෂුවය කියනුයේ බණින්නහුට නොබණින කෝලාහලයට එන්නවුන් හා කෝලාහලයට නොයන පහර දෙන්නහුට පහර නොදෙන ඉවසන ස්වභාවය ඇති භික්ෂුව ය. එබඳු භික්ෂුවට අවමන් කිරීමෙන් වන විපත සර්පයන්ගෙන් ගින්නෙන් රජ කුමරුන්ගෙන් වන විපතට වඩා ඉතා මහත් ය. එවැනි භික්ෂුවගේ ශීලතේජස ඉතා තියුණු ය. ඉතා බලවත් ය. ඒ භික්ෂූන් වහන්සේට අවමන් කළ තැනැත්තන්ගේ දරු මුණුපුරන්ට පවා ඒ අපලය ඇතිවන බව තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. පරෙස්සම් වෙත්වා..!

(අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් ‘රිවි රැස’ පුවත් පතට සපයන ලද ලිපියකි)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s