මහා සංඝරත්නයට ගරහන අඳ බාලයින්ට අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන්ගෙන් පිළිතුරු ලිපි පෙළක්..! – දහවන ලිපිය – ප්‍රත්‍යය පරිභෝගය

1006285_594798930564306_1372477454_n

හොඳ ගෙවල්වල විසීමෙන් හොඳ බඩු පරිභෝග කිරීමෙන් තෘෂ්ණාව වැඩෙනවා ය. ඒ නිසා අපට මිස නිවන් සොයන භික්ෂූන්ට ඒවා හොඳ නැත. භික්ෂූන් වහන්සේ විසින් සියල්ල හැර වල් වැදිය යුතු යයි කියමින් ඇතමෙක් ලොව මුළා කෙරෙති. ඇතමකු එසේ කරන්නේ භික්ෂූන් වහන්සේගේ සුවසේ විසීම නොඉවසිය හැකි බව වූ ඊර්ෂ්‍යාව නිසාය. ඇතමකු එසේ කරන්නේ තමන්ගෙන් යමක් දෙන්නට වේය යන බිය නිසා ය.

වාසස්ථාන හා පරිභෝග භාණ්ඩ ජීවත්වීම සඳහා මනුෂ්‍යයාට නැතිවම බැරිය. එබැවින් හොඳ වාසස්ථාන හොඳ භාණ්ඩ පරිභෝග කරන තැනැත්තාටත් නරක භාණ්ඩ නරක වාසස්ථාන පරිභෝග කරන තැනැත්තාටත් ඒවා ගැන තෘෂ්ණාව ඇති වේ. තෘෂ්ණාව නැති කිරීමේ උපාය හොඳ භාණ්ඩ වර්ජනය කිරීම නොවේ. ආගම ධර්මය නොදන්නෝ වාසස්ථානාදිය නිසා තෘෂ්ණාව ඇතිවීම ගැන කතා කරතත් වාසස්ථානාදිය සම්බන්ධයෙන් ඇති වන කෙලෙස් බොහෝය. ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන් තොරව ප්‍රත්‍යය පරිභෝග කරතහොත් හොඳ වාසස්ථානයක් ඇති තැනැත්තාට එය නිසාත් නරක වාසස්ථානයක් ඇති තැනැත්තාට එය නිසාත් බොහෝ කෙලෙස් ඇතිවේ.

හොඳ ගෙයක් හොඳ පන්සලක් ඇති තැනැත්තාට මේ ගෙය හොඳය ලස්සනය කියා එය ආස්වාදනය කරන තෘෂ්ණාව ඇතිවේ. එවැනි ගෙවල් නැති අන්‍යයන් පහත් කොට හොඳ ගෙය නිසා තමා උසස් කොට සලකන මානය ද අන්‍යයන්ටත් එවැනි ගෙවල් ඇති වෙනවාට හා තමාගේ ගෙයින් අන්‍යයන්ට ප්‍රයෝජන වෙනවාට නොකැමැති බව වූ මාත්සර්යය ද අන්‍යයන් එවැනි ගෙවල්වල වාසය කරනවාට නොකැමති බව වූ ඊර්ෂ්‍යාවද තමාගේ ගෙය පහත් කොට කථා කරන දූෂණය කරන අය ගැන ද්වේෂය ද මෝහය ද තවත් කෙලෙස් ද හොඳ ගෙය නිසා හොඳ පන්සල් නිසා ඇතිවේ. නරක ගෙයි වෙසෙන තැනැත්තාටත් ඇති වන්නේ මය. අපිරිසිදු අවලස්සන නරක ගෙයි වාසය කරන්නහුට ගෙය නරකය කියා නිතර දොම්නස ද ඇති වේ.

වැස්සෙන් සුළඟින් පින්නෙන් මැසි මදුරුවන්ගෙන් මීයන්ගෙන් කරදර ඇතිවන කල්හි ද දොම්නස හා හොඳ ගෙවල් ගැන තණ්හාව ද ඇතිවේ. හීනමානය, සක්කාය දෘෂ්ටිය, මෝහය, ඊර්ෂ්‍යාව ආදී තවත් බොහෝ කෙලෙස් ද නරක ගෙය නිසා ඇති වේ. මෙසේ හොඳ ගෙයි සුව පහසු ඇතිව වාසය කරන්නාටත් නරක ගෙයි දුකින් වාසය කරන්නාටත් වෙනසක් නැතිව ගෙය නිසා බොහෝ කෙලෙස් ඇති වන බැවින් හොඳ ගෙවල් හොඳ භාණ්ඩ වර්ජනය කිරීමෙන් සත්වයාට ශුද්ධියක් ලැබෙන බවක් තථාගතයන් වහන්සේ නොවදාළ සේක. මේ සස්නෙහි ඇතැම් භික්ෂූන් වනගත වන්නේ නගර ග්‍රාමවල විසීමෙන් කෙලෙස් මැඩෙනවාටත් දුශ්ශීල වනවාටත් බියෙන් නොව විවේකය ලබනු පිණිසය. උමතුකම මෝඩකම ආදී තවත් කරුණු නිසා වනගත වන්නෝ ද නැත්තාහු නොවෙති.

සේනාසනාදි ප්‍රත්‍යය සම්බන්ධයෙන් හටගත හැකි කෙලෙස් නැති කරගැනීමට බුදුන් වහන්සේ විසින් දක්වා ඇති උපාය හොඳ දේ ප්‍රතික්ෂේප කිරීම නොව ප්‍රත්‍යෙව්ක්ෂා ඥානය ඇතිකර ගැනුම ය. බුදුන් වහන්සේගේ උපදෙස් අනුව ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් ප්‍රත්‍යය පරිභෝග කරන්නාවූ භික්ෂුවට හොඳ ගෙයි විසීමෙන් වන කෙලෙස් ද නොවේ. නරක ගෙයි විසීමෙන් වන කෙලෙස් ද නොවේ. ප්‍රත්‍යවේක්ෂාව වනාහි ප්‍රයෝජන ප්‍රත්‍යවේක්ෂාව ය, ප්‍රතික්කූල මනස්කාරය, ධාතු මනස්කාරයයි ත්‍රිවිධ වේ.

ශීත නැතිකර ගනු පිණිස උෂ්ණ නැතිකර ගනු පිණිස මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් අව්වෙන් සුළඟින් පත් වෑ ගෝනුසු ආදි සතුන්ගෙන් වන පීඩා නැතිකර ගැනීම පිණිස සෘතු විපර්යාසයෙන් ඇතිවන පීඩා නැති කර ගැනීම පිණිස මේ සෙනසුන පරිභෝග කරමියි සැලකීම මෙනෙහි කිරීම ප්‍රයෝජන ප්‍රත්‍යවේක්ෂාව ය.

ශරීරයේ තැන් තැන් වලින් ලේ ගලන සැරව ගලන කුෂ්ට රෝගියකු ගිලන් හලක වාසය කරන්නාක් මෙන් ඩහදිය ආදි කුණපයන් වැගිරෙන ශරීරයක් ඇති මම මේ සෙනසුනෙහි වෙසෙමිය, එයින් පවිත්‍ර වූ මේ සෙනසුන ද අපවිත්‍ර වන්නේ ය යනාදීන් සැලකුම ප්‍රතික්කූල මනසිකාරය ය.

මේ සෙනසුන ධාතු සමූහයක් ය. මේ ශරීරයත් ධාතු සමුහයක් ය. ධාතු සමූහයක් වූ සෙනසුන භික්ෂුව ගේ ශරීරය වූ ධාතු සමූහය තමා තුළ තිබෙන බව නොදන්නේ ය. මේ ශරීරයත් තමා සෙනසුනෙහි තිබෙන බව නොදන්නේ ය. සෙනසුන ශරීරය නොහඳුනන්නේ ය. ශරීරය සෙනසුන නොහඳුනන්නේ ය යනාදීන ප්‍රතිවේක්ෂා කිරීම ධාතු මනස්කාරය යි.

මෙසේ ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් සෙනසුන් පරිභොග කරන භික්ෂුවට හොඳ ආසාව හොඳ බඩු නිසා ඇති විය හැකි කෙලෙස් නරක ආසාව නරක බඩු නිසා ඇතිවිය හැකි කෙලෙස් ද ඇති නොවේ.

සෙනසුන සම්බන්ධයෙන් පමණක් නොව වස්තු හා ආහාර සම්බන්ධයෙන් ද බොහෝ කෙලෙස් ඇති වේ. වර්ණවත් වූ වටිනා චීවරය පරිභෝග කරන්නහුට මෙය ලස්සනය හොඳය කියා සිවුර ගැන තෘෂ්ණාවත් මාන දෘෂ්ටි ආදියත් ඇති වේ. කසට පැහැ ඇති දළ සිවුරු පරිභෝග කරන්නහුටත් මගේ සිවුරය කියා එය ගැන තණ්හාවත් මෙබඳු සිවුරු පොරවන මම විශේෂ පුද්ගලයෙක්මිය යන මානයත් දෘෂ්ටි ආදියත් ඒ සිවුර නිසා ඇති වෙයි. ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් චීවර පරිභෝගය කරන භික්ෂුවට හොඳ සිවුර නිසාත් ඇතිවන කෙලෙස් ඇති නොවේ. හොඳ සිවුරු වර්ජනය කෙලෙස් නැතිකර ගැනීමේ උපාය නොවේ.

ආහාරයත් බොහෝ කෙලෙස් බොහෝ පව් කරන්නකි. ආහාර වළඳන භාජනය නිසා කෙලෙසුන් ගෙන් ශුද්ධියක් නොලැබේ. පිඟානක් අයත් කරගෙන ඉන්නා තැනැත්තාට මගේ පිඟානය මේ පිඟාන ලස්සනය හොඳය යානාදීන් පිඟාන පිළිබඳ තණ්හාව ඇති වේ. පාත්‍රයත් අයත් කරගෙන ඉන්නා මාගේ පාත්‍රය ය හොඳය යනාදීන් පාත්‍රය ගැන තණ්හාව ඇති වේ. පිඟානට වඩා පාත්‍රය වටිනා දෙයක් බැවින් ඒ ගැන ඇතිවන තෘෂ්ණාව පිඟාන ගැන ඇතිවන තෘෂ්ණාවට වඩා දැඩි විය හැකිය. පාත්‍රය පරිභෝග කරන්නහුට අත්තුක්කංසනයත් වැඩියෙන් ඇතිවිය හැකිය. එබැවින් පාත්‍රය නිසා අමුතු ශුද්ධියක් නොලැබිය හැකි බව කිය යුතුය. ආහාරය සම්බන්ධයෙන් හටගන්නා කෙලෙස් වළඳන භාජනය නිසා නැති වන්නේ නොවේ. පාත්‍රයෙහි ආහාර ගන්නා වූ ද පත් කොළයෙහි ආහාර ගන්නා වු ද වළං කබලෙහි ආහාර ගන්නා වූ ද පිඟානෙහි ආහාර ගන්නා වූ ද රන් රිදී තැටිවල ආහාර ගන්නා වූ සැමටම ආහාරය සම්බන්ධයෙන් හටගන්නා කෙලෙස් වෙනසක් නැතිව ඇති වේ. ඒ කෙලෙස් නැතිකර ගැනීමට ඇත්තා වූ එකම උපාය භාජනය වෙනස් කිරීම නොව ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් ආහාර වැළඳීමය. තථාගතයන් වහන්සේගේ උපදෙස් අනුව ප්‍රත්‍යෙවේක්ෂා ඥානයෙන් යුක්තව කෙබඳු බඳුනක ආහාර වැළඳුව ද ආහාරය නිසාහට ගන්නා වූ තෘෂණාමානාදි ක්ලේශයෝ නූපදිති. භාජනය වෙනස් කිරීමෙන් හෝ ප්‍රණීතාහාර වර්ජනයෙන් හෝ ශුද්ධියක් සෙවීම අනුවණ කමෙකි.

(අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් 1955 දී ‘ධර්ම විජය’ පත්‍රයට සපයන ලද ලිපි පෙළකි)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s