මහා සංඝරත්නයට ගරහන අඳ බාලයින්ට අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන්ගෙන් පිළිතුරු ලිපි පෙළක්..! – නමවන ලිපිය – ශීලය මැනීම

Sangarathnaya 9

නගරග්‍රාමවල සැප පහසුකම් ඇති හොඳ පන්සල් වල ආවාස වල විසීමත් හොඳ ඇඳ පුටු කොට්ට මෙට්ට ඇතිරිලි පිඟන් කෝප්ප ආදී භාණ්ඩ පරිභෝග කිරිමත් දුශ්ශීල කමේ අංගයක් කොට දක්වමින් ඇතැම්හු නූගත් ජනයා මුළා කරවමින් ඔවුන් භික්ෂූන් වහන්සේ කෙරෙහි කලකිරවති. ඔවුන්ගේ කීම්වලට රැවටුණු ඇතැම් නූගත් බෞද්ධයෝ බොහෝ වෙහෙස ගෙන බෞද්ධයන්ගේ හැම ආගමික කටයුත්තක්ම කරදෙමින් බුදු සස්නේ පැවැත්මටත් රටේ ජාතියේ දියුණුවටත් තමන්ගේ මුළු කාලය ගත කරමින් ගමේ පන්සලේ වෙසෙන භික්ෂූන් වහන්සේට බඩගින්නේ ඉන්නට හැර දුර බැහැර ආරණ්‍යවලට සිව් පසය ගෙන යති. කාහට වුවද දන් දීම හොඳය. එහෙත් සමීපයේ වෙසෙන භික්ෂූන් වහන්සේට නිග්‍රහ කරමින් දුර බැහැර ඉන්නවුන්ට දන් ගෙන යාම නම් පැසසිය යුතු ක්‍රියාවක් නොවේ.

වාසය කරන ස්ථාන වලින් හා පරිභෝග කරන භාණ්ඩ වලිනුත් යන එන කථා කරන සැටියෙනුත් කෙනකුගේ ශීලාදි ගුණ මනින්නට යාම අනුවණ කමෙකි. නගරග්‍රාම වල සැප පහසුකම් ඇති වාසස්ථාන වල වෙසෙන උසස් භාණ්ඩ පරිභෝග කරන භික්ෂූන් අතර ද සිල් ඇති නැති දෙපක්ෂයම ඇති විය හැකිය. වන මැද ගුහා වල ගස්මුල අතුපැල් වල වෙසෙන දුර්වර්ණ චීවරයන් දරන දඬුමැසි ආදියෙහි නිදන භික්ෂූන් අතරත් සිල් ඇති නැති දෙපක්ෂයම ඇතිවිය හැකිය. අනුන්ගේ සිල් සෙවීම පහසු වැඩක් නොවේ. එබැවින් තථාගතයන් වහන්සේ කොසොල් රජතුමාට මෙසේ වදාළ සේක.

න වණ්ණ රූපෙන නරො සුජානො
න විස්සසෙ ඉත්තර දස්සනෙන
සුසඤ්ඤතානඤ්හි වියඤ්ජනෙන
අසඤ්ඤතා ලොකමිමං චරන්තී

පැහැයෙන් හෝ සටහනින් මිනිසා හැඳින ගැනීම පහසු නැත. මඳකලක් දැකීම් මාත්‍රයෙන් කෙනෙක් විශ්වාස නොකළ යුතුය. හික්මුණු තැනැත්තන්ගේ, සිල්වතුන්ගේ වේශයෙන් මේ ලෝකයෙහි නොහික්මුණු අය ද හැසිරෙතිය යනු එහි තේරුම යි. යම් කිසිවකුගේ තතු නිවැරදි ලෙස දත හැකි වන්නේ කලක් ළඟින් ආශ්‍රය කිරීමෙන් ය. එයින් ද අන්‍යයන්ගේ තතු දත හැකි වන්නේ විමසිල්ලෙන් ඉන්නා නුවණැතියන්ට පමණෙකි. එබැවින් තතාගතයන් වහන්සේ විසින් ‘සංවාසෙන ඛො මහාරාජ සීලං වෙදිතබ්බං තඤච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං මනසිකරොතා නො අමනසිකරොතා පඤ්ඤවතා නො දුප්පඤේඤන’ යි කොසොල් මහ රජතුමාට වදාරණ ලද්දේ ය.

හොඳ පන්සල් වල විසීමෙනුත් හොඳ බඩු පරිභෝග කිරීමෙනුත් භික්ෂූහු දුශ්ශීල වෙත්නම් ජේතවනාරාම පූර්වරාමාදි මහා විහාර තථාගතයන් වහන්සේ නොපිළිගන්නා සේක. අනේපිඬු මහ සිටුතුමා විසින් ජේතවනාරාමය කරවන ලද්දේ සිවුපනස් කෙළක් ධනය වියදම් කිරීමෙනි. විශාඛා මහා උපාසිකාව පූර්වාරාම විහාරය කරවන ලද්දේ සත්විසි කෙළක් ධනය වියදම් කිරීමෙනි. එවැනි විහාර අද කිසිම රටක කිසිම භික්ෂුවකට නැත. බුද්ධ කාලයෙහි දඹදිව ඒ ඒ රටවල විසූ රජුන් විසින් හා සිටුවරයන් විසින් කරවා සඟනට පුදන ලද තවත් බොහෝ විහාරයෝ වූහ. ඒවායේ ඉතා වටිනා පරිභෝග භාණ්ඩයෝ ද වූහ. එකල විහාර වල තුබූ පරිභෝග භාණ්වල තතු මේ කතාවෙන් තේරුම් ගත හැකිය.

පූර්වාරාමයෙහි විශාඛා මහා උපාසිකාව විසින් කරවන ලද දහසක් කාමර ඇති මහා ප්‍රාසාදයෙහි බුමුතුරුණක් වශයෙන් අතුරා ඒ පින්කමට සහභාගි වනු කැමති සැදැහැවත් උපාසිකාවක් දහසක් අගනා වස්ත්‍රයක් ගෙනැවිත් එය අතුරන්නට සුදුසු තැනක් දක්වන ලෙස විශාඛා මහා උපාසිකාවට කීය. එකල්හි විශාඛා මහා උපාසිකාව එය අතුරන්නට තැනක් ඒ පහයෙහි නැතය යි කියුවහොත් වස්තුය ගෙන ආ උපාසිකාවට දොම්නසක් ඇති විය හැකි බැවින් එසේ නොකියා පහයට වැද සුදුසු තැනක් බලා අතුරන්නය යි ඇයටම කීවාය. ඕ තොමෝ පහයට පිවිස ඇවිද බලන්නී තමා ගෙන ආ වස්ත්‍රයට පහත් වස්ත්‍රයක් තබා සමාන වස්ත්‍රයකුදු පහයේ කොතැනකවත් නොදැක එලන්නට තැනක් නොලැබ පහයෙන් බැහැරව මේ පින්කමට සහභාගි වන්නට නොලබමි යි හඬමින් උන්නාය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ හඬන්නා වූ ඒ උපාසිකාව දැක කරුණු විමසා ඇය කෙරෙහි අනුකම්පාවෙන් භික්ෂුන් වහන්සේ පය සෝදන තැනටත් පහයේ පඩි පෙළටත් අතර පාපිස්නක් කොට ඒ වස්ත්‍රය එලන පරිදි ඇයට උපදෙස් දුන්හ. ඕ තොමෝ එසේ කොට පින්කමට සහභාගි වී සිත් සිත සතුටු කර ගත්තාය.

රනින් කළ ආවාසයක වුවද විසීමෙන් භික්ෂුවකට වන ඇවතක් නැත. වාසස්ථාන වලින් භික්ෂූන්ට විනයෙහි තහනම් කර ඇත්තේ අන් කිසිවක් නොගෙන සම්පූර්ණයෙන් මැටියෙන් කළ ගෙය පමණෙකි. කුම්භකාර ශිල්පයෙහි දක්ෂ වූ ධනිය තෙරුන් වහන්සේ උන් වහන්සේට විසීම පිණිස සම්පූර්ණයෙන් මැටියෙන් ගෙයක් කොට වළන් පුලුස්සන්නාක් මෙන් පුලුස්සා ගත්තේය. බුදුරජාණන් වහන්සේ ඒ කුටිය බිඳ හෙළන ලෙස භික්ෂූන්ට අණ කොට එබඳු කුටි තහනම් කරන ලද්දේ ගින්නෙන් දවා කුටිය ශක්තිමත් කිරීමේ දී බොහෝ කුඩා සතුන් විනාශ විය හැකි බැවිනි.

අනුජානාමි භික්ඛවෙ ඨපෙත්වා පහරණිං සබ්බං ලොහභණ්ඩං, ඨපෙත්වා ආසන්දිං පල්ලංකං දාරුපත්තං දාරුපාදුකං සබ්බං දාරු භණ්ඩං, ඨපෙත්වා කතකඤච කුම්භකාරිකඤ්ච සබ්බං මත්තිකා භණ්ඩං

යනුවෙන් කඩු කිණිසි ආදි ආයුධ – ලෝහයෙන් කළ සියලු බඩු හා පමණට වඩා උස් අසුනත් පයෙහි ව්‍යාලරූප පිහිටවා කළ අසුනත් ලී පාත්‍රයත් ලී සෙරෙප්පුවත් හැර සියලු ලී බඩු ද, කතක නම් වූ මැටියෙන් තනන පාපිස්ස, මැටියෙන්ම කළ ගෙය ය යන මේවා හැර සියලු මැටි බඩු ද භික්ෂූන් වහන්සේට තථාගතයන් වහන්සේ අනුදැන වදාළ සේක. මෙසේ තථාගතයන් වහන්සේ විසින් සැප පහසුකම් ඇති වාසස්ථානත් භාණ්ඩත් භික්ෂූන්ට අනුදැන වදාරා ඇත. හොඳ ආවාසයක විසීමෙන් ද ඇඳ පුටු කොට්ට මෙට්ට ආදි හොඳ බඩු පරිභෝග කිරීමෙන් ද පිඟන් කෝප්ප පරිභෝග කිරීමෙන් ද භික්ෂු ශීලයට වන කිසිම හානියක් නැත. කරුණු මෙසේ හෙයින් පාත්‍රෙයහි මිස පිඟානෙහි දන් වළඳන භික්ෂූහු දුශ්ශීලයෝ ය; හොඳ ඇඳ පුටු ලස්සන කොට්ට මෙට්ට ඇතිරිලි ආදිය පරිභෝග කරන භික්ෂූහු දුශ්ශීලයෝ ය යි ඇතමුන් කරන දේශනය සම්පූර්ණයෙන්ම බොරු බණක් බව දත යුතුය.

(අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් 1955 දී ‘ධර්ම විජය’ පත්‍රයට සපයන ලද ලිපි පෙළකි)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s