මහා සංඝරත්නයට ගරහන අඳ බාලයින්ට අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන්ගෙන් පිළිතුරු ලිපි පෙළක්..! – අටවන ලිපිය – දුශ්ශීලයන් කිරීම

Sangarathnaya 8

විනය නම් කුමක්ද කියාවත් නොදන්නා ඇතැම් කුහකයෝ වාහනයකින් ගිය පමණින් සෙරෙප්පු දෙකක් කුඩයක් පාවිච්චි කළ පමණින් මුදලක් තිබුණු පමණින් පැහැපත් සිවුරක් පෙර වූ පමණින් පිඟානක දානය වැළඳූ පමණින් භික්ෂූන් දුශ්ශීලයන් කොට කථා කරමින් භික්ෂුත්වය කුමක්ද විනය කුමක් ද කියාවත් නොදන්නා බෞද්ධයන් භික්ෂූන් වහන්සේලා කෙරෙහි කලකිරවති. විනයවර්ධන කාරාදීන් පවසන මේ බොරු බණ වලට රැවටී භික්ෂූන්ට අපහාස කොට බොහෝ නූගත් ගිහියෝ අපාගත වෙති.

සිල්වත් ගුණවත් භික්ෂුවකට දුශ්ශීලයකැයි නිගා කිරීම සුළු කරුණක් නොව බරපතල පාපයෙකි. දුශ්ශීලයාය කියනුයේ පරිජි ඇවතට පැමිණි තැනැත්තාටය. පාරාජිකා නොවූ භික්ෂුවකට භික්ෂුවක් විසින් පාරාජිකාවෙන් චෝදනා කළහොත් ඒ භික්ෂුවට සංඝාදිසේසාපත්තියක් වේ. ගිහියකු විසින් කළහොත් ඔහුට බරපතල පාපයක් වේ. බොහෝ බෞද්ධයෝ භික්ෂූන් දුශ්ශීලයන් කිරීමට ඉතා සමත්තුය. භික්ෂුවක් හයියෙන් පාරේ ගියහොත් ඒ භික්ෂුව දුශ්ශීලයකු කරන්නට ඔවුනට එයත් ප්‍රමාණය. එහෙත් විනය ධරයන්ට නම් භික්ෂුවක් දුශ්ශීලයකු බව හෙවත් පරිජි ඇවතකට පැමිණියකු බව ප්‍රකාශ කිරීම පහසු කාර්යයක් නොවේ. අටුවා සහිත විනය පිටකය මැනවින් උගත් මහා විනය ධරයන්ට පවා අධිකරණයක් විනිශ්චය කොට භික්ෂුවක් දුශ්ශීලයකු කිරීම බරපතළ කරුණෙකි. මහා විනය ධරයෝ ද එයට බිය වෙති. යම්කිසි භික්ෂුවක් අතින් වරදක් සිදුවී එයින් කිනම් ඇවතක් වී දැයි දැන ගන්නා රිසියෙන් විනය ධරයකු වෙත පැමිණ විචාළහොත් එකල්හි විනය ධරයා විසින් පිළිපැදිය යුතු ආකාරය විනයෙහි දැක්වෙන්නේ මෙසේය.

ආපත්තිය ගැන විමසන්නට ආ භික්ෂුව කියන කරුණු හොඳින් අසා විනය හා සසඳා බලා එයින් ආපත්තියක් නොවේ නම් ඒ බව කිය යුතුය. ඒ කාරණයෙන් දේශනාගාමිනී ආපත්තියක් වේ නම් ඒ බව කිය යුතුය. උට්ඨාන ගාමිනී ආපත්තියක් වේ නම් ඒ බව කිය යුතුය. ඉදින් පාරාජිකාවක ලකුණු පෙනේ නම් පාරාජිකාපත්තියට පැමිණියේ යයි කියන්නට ඉක්මන් නොවී විනය ධරයාගේ ගුරුවරයකු ඇත්තේ නම් එහි ගොස් විචාරන්නටය කියා ඒ භික්ෂුව ගුරුවරයා වෙත යැවිය යුතුය. ඉදින් වරද කළ භික්ෂුව එහි ගොස් විචාරා අවුත් නුඹ වහන්සේගේ ගුරුවරයාගෙන් කාරණය ගැන විචාළෙමි. උන්වහන්සේ මට පිළියම් ඇත්තේය කීහ යි කියුවහොත් ඇවැත්නි එසේ නම් උන් වහන්සේ කී පරිදි කරවයි කිය යුතුය. ඉදින් විනය ධරයාගේ ගුරුවරයා ජීවත්ව නැත්තේ නම් එකට ඉගෙනගත් තවත් තෙරුන් වහන්සේ කෙනකුන් ඇත් නම් ඇවැත්නි අසවල් තැන අප හා එක්ව ඉගෙනගත් තෙරුන් වහන්සේ කෙනෙක් ඇතහ. උන්වහන්සේ විනය දන්නාහ. එහි ගොස් විචාරවයි කිය යුතුය.

එබඳු කෙනකුන් නැති නම් තමා උගත් අතවැසියකු ඇති නම් වරද කළ භික්ෂුව එහි යැවිය යුතුය. එහි ගොස් විචාරා අවුත් ඒ අතවැසියා පාරාජිකාවක ලකුණු පෙනේය කීයේ නම් එකවරම පාරාජිකාපත්තියට පැමිණියෙහි යයි නොකියා ඇවැත්නි විවේකස්ථානයකට එළඹ සිල් පිරිසිදු කරගෙන ද්වතිංසාකාරය සජ්ඣායනා කරන්න යයි කිය යුතුය. ඉදින් ඒ භික්ෂුව පිරිජි ඇවැතට පැමිණ නැති නම් සිත එකඟ වී ඔහුට පහසුවෙන් ඒ භාවනාව කරගෙන යාහැකි වෙයි. ඉදින් පරිජි ඇවතට පැමිණ ඇත්තේ නම් ඔහුගේ සිත එකඟ නොවෙයි. කියන ලද පරිදි දින ගණනක් ද්වතිංසාකාරය සජ්ඣායනා කොට නැවත විනය ධරයා වෙත පැමිණියහොත් තොරතුරු විචාරා සිත එකඟ වන බව සංස්කාරයන් හොඳින් වැටහෙන බව කියුවහොත් ඇවැත්නි එසේ නම් ඒ භාවනාව නොනවත්වා කරගෙන යා යුතු යයි විනයධරයා විසින් කිය යුතුය. ඉදින් ඒ භික්ෂුව සිත එකඟ නොවන බව සංස්කාරයන් නොවැටහෙන බව කියුවහොත් ඇවැත්නි තමා අතින් වරදක් වී නම් ඒ බව තමා දන්නේය. ඒ ගැන අපට පිහිටවිය හැකි බවක් නැත. යුෂ්මතාට පිහිට යුෂ්මතා විසින්ම සොයාගත යුතුය යි කිය යුතුය. විනය ඉතා සියුම් නය ක්‍රම ඇති දේශනයෙකි. විනයේ සැටියට සියුම් ලෙස පිරිජි ඇවතට පැමිණීම ද නොපැමිණීම ද වේ. එබැවින් ඇවැත් විනිශ්චය කිරීම පරෙස්සමින් කළ යුතුය.

ආපත්ති දස්සනුස්සාහො
න කාතබ්බො කුදාචනං
පස්සිස්සාමි අනාපත්ති
මිතිකයිරාථ මානසං

පස්සිත්වා’පි ච ආපත්තිං
අවත්වාච පුනප්පුනං
විමංසිත්වා’ථ විඤ්ඤූහි
සංසන්දෙත්වා ච තං වදෙ

යනුවෙන් “ඇවැත් විනිශ්චය කරන විනයධරයා විසින් කිසි කලෙක ඇවතක් දැකීමට උත්සාහ නොකළ යුතුය. සිදුවූ කරුණෙන් ආපත්තියක් නැති බව දකිනු කැමති සිතම ඇතිකර ගත යුතුය. ඇවතක් දැක ද ඒ බව නොකියා නැවත නැවත විමසා තවත් නුවණැතියන් හා සසඳාම ඇවත කිය යුතුය” යි විනයෙහි දැක්වේ. මේ විනයයෙහි පාරාජිකාව විනිශ්චය කළ යුතු සැටි දක්වා ඇති ආකාරය ය.

විනයෙහි ඇති සියුම් බවත් නුවණැතියන් විසින් පරිජි ඇවත විනිශ්චය කරන සැටිත් මේ කථාවෙන් දත යුතුය. භාතිය රජතුමාගේ කාලයෙහි රුවන්වැලි මහසෑයෙහි මහා පූජාවක් පවත්වන දිනයක එක් භික්ෂුවක් සත්රියන් කහපාට වස්ත්‍රයක් කරෙහි ලාගෙන රුවන්වැලි සෑමලුවට පිවිසියේ ය, එකෙණෙහිම වාගේ රජතුමා ද චෛත්‍ය වන්දනාවට පැමිණියේ ය. එයින් සෑමළුවෙහි ජනයා තදවන්නට විය. ඒ මැදට අසුවූ භික්ෂුවට කර තුබූ වස්ත්‍රය වැටුණු බව නොදැනුනේ ය. මලුවෙන් බැහැර දී ඒ භික්ෂුව තමාගේ වස්ත්‍රය නැතිවූ බව දැනී මෙතරම් ජනයා තදබද වන තැනකදී වැටුණු දෙයක් කෙසේ ලැබිය හැකිදැයි සිතා වස්ත්‍රය ගැන බලාපොරොත්තුව හැර ගියේය. පසුව එහි ගිය භික්ෂුවක් ඒ වස්ත්‍රය දැක සොර සිතින් ගෙන පසුව තමා අතින් සිදුවූ වරද ගැන සිත කලකිරී සිවුරු හැර යන්නට සිතා කාරණය විනයධරයන් ගෙන් විචාරා පිරිසිදු කරගෙනම යමියි සිතා චූලසුමන තෙරුන් වහන්සේ කරා ගොස් සිදුවූ දෙය කියා ඒ භික්ෂුවගේ කුකුස විචාළේය.

විනයේ සැටියට පාදයක් අගනා අන්සතු වස්තුවක් සොර සිතින් ගත් භික්ෂුව පාරාජිකා වේ. එබඳු වැඩක් තමා විසින් කළබව කියන භික්ෂුවට කියන්නට ඇත්තේ එයින් පාරාජිකා වූ බවය. එහෙත් විනය ධරයෝ එසේ කිරිමට ඉක්මන් නොවෙති. කුමකින් වුවද ඇවතක් නොවන සැටියක් ඇත ද කියා සෙවීම නියම විනය ධරයාගේ ස්වභාවය ය. එබැවින් චූලසුමන තෙරුන් වහන්සේ ඇවැත්නි, ඉදින් සිවුර අයිතිකාර භික්ෂුව සොයාගෙන ආවහොත් පිහිටක් වන්නට ඉඩ ඇතය යි කීහ. ඒ භික්ෂුව ඉතා අමාරුවෙන් සිවුරෙහි අයිතිකාර භික්ෂුව සොයා චූලසුමන තෙරුන් වහන්සේ වෙත කැඳවාගෙන ගියේය. එකල්හි තෙරුන් වහන්සේ මේ වස්තුය යුෂ්මතාගේ දැයි අසා, එසේය කී කල්හි වස්ත්‍රය නැතිවූ සැටි විචාළහ. අයිතිකාර භික්ෂුව රුවන්වැලි සෑ මලුවෙහි වැටුණ බවත් ඒ ගැන බලාපොරොත්තුව හැර ගිය බවත් කීය. යම්කිසි වස්තුවක් ගැන හිමියා බලාපොරොත්තු හළේ නම් එයින් ඒ දෙය අස්වාමික වස්තුවක් වේ. අස්වාමික වස්තුවක් සොර සිතින් ගත්තේ ද එයින් පරිජි ඇවතට නොපැමිණේ. එබැවින් තෙරුන් වහන්සේ ඇවැත්නි යුෂ්මතා ගෙන තිබෙන්නේ අස්වාමික වස්තුවෙක. එයින් දුකුළා ඇවැතක් මිස පරිජි ඇවතක් නැතය යි අධිකරණය විනිශ්චය කළහ. ඉදින් මොඩයකුගෙන් ඒ ගැන විනිශ්චයක් ලබාගන්නට ගියා නම් වන්නේ පාරාජිකා නොවීම, පාරාජිකා වූයෙමියි සිතා සිවුරු හැර යන්නට ය.

විනය ධරයන්ට පාරාජිකාපත්තියක් විනිශ්චය කිරීම බරපතළ වැඩකි. වරද කළ තැනැත්තාගෙන් බොහෝ කරුණු ඇසිය යුතුය. අදින්නාදනයක් පිළිබඳ ඇවතක් නම් ගත් බඩුවේ වටිනාකම සෙවිය යුතුය. සාක්ෂ්‍ය ඇසිය යුතුය. තවත් විනයධරයන් හා සාකච්ඡා කළ යුතුය. එහෙත් විනය කුමක් ද කියාවත් නොදන්නා විනයවර්ධන කාරයන්ටත් තවුසන්ටත් භික්ෂුවක් පාරාජිකාවට පැමිණවීමට කළ වරදක් වුවමනාත් නැත. සාක්ෂ්‍ය වුවමනාත් නැත. වරද කළ තැනැත්තා දකින්ට වුවමනාත් නැත. සිකපද වුවමනාත් නැත. අටුවාව ටීකාව ථෙරවාදය වුවමනාත් නැත. කවදාවත් දැකලාවත් නැති භික්ෂූන් පාරාජිකාවට පැමිණවීමට ඔව්හු සමර්ථය. මෙය කොතරම් හාස්කමක්ද? ඔවුන් විසින් අද ලංකාවේ තුන් නිකායේම එකම පැවිද්දකුටවත් මහණකම නැත යයි සියලුම භික්ෂූන් පාරාජිකාවට පමුණුවා තිබේ. මේවාට රැවටෙන මෝඩ බෞද්ධයන්ට මහා සංඝයා වහන්සේ අනුකම්පා කරන සේක්වා!

(අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් 1955 දී ‘ධර්ම විජය’ පත්‍රයට සපයන ලද ලිපි පෙළකි)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s