මහා සංඝරත්නයට ගරහන අඳ බාලයින්ට අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන්ගෙන් පිළිතුරු ලිපි පෙළක්..! – හත්වන ලිපිය –

Sangarathnaya 7

මහණකම කුමක් දැයි විනය නොදන්නා බොහෝ බෞද්ධයෝ වාහනයෙකින් යෑම ය, කුඩයක් ඉහලා යෑම ය, වහන් පයලා යෑමය, පිඟානෙක දානය වැලඳීම ය, හොඳ සිවුරක් පෙරවීම ය, බිම බලාගෙනම නොයෑම ය, සුරුට්ටුවක් සිගරැට්ටුවක් ඉරීම ය, තේ කෝපි බීම ය යනාදි සෑම කරුණක් ගැනම දුශ්ශීල වාදයෙන් භික්ෂූන්ට ගර්හා කොට බොහෝ පව් සිදු කරගනිති. ඒ තත්වයට අද බොහෝ දෙනා පැමිණ සිටින්නේ ද බොහෝ දෙනා භික්ෂූන් කෙරෙහි කලකිරී ඉන්නේ ද ඇතැම් කුහකයන් දෙසන බොරු බණ ඇසීමෙනි.
ගෘහස්ථ දුශ්ශීලයා ය. ශ්‍රමණ දුශ්ශීලයා යයි දුශ්ශීලයෝ දෙදෙනෙකි. “පඤ්ච ගහපති භයානි වෙරානි අප්පහාය දුස්සීලො ඉති වුච්චති. කතමානි පඤ්ච? පණාතිපාතං අදින්නාදානං කාමෙසු මිච්ඡාචාරං මුසාවදං සුරාමේරය මජ්ජපමාදට්ඨානං” යනුවෙන් ප්‍රාණඝාතාදි පඤ්ච දුශ්චරිතය නොහළ තැනැත්තා ‘දුශ්ශීලයා’ බව තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. ඒ දේශනයේ හැටියට පස්පව් නොහළ සෑමදෙනාම දුශ්ශීලයෝ ය. අපේ බෞද්ධයන් අතර දිනපතා පන්සිල් සමාදන් වන්නෝ ද ඇත. දවසට දෙතුන් වර පන්සිල් සමාදන් වන්නෝ ද ඇත. එහෙත් වුවමනා වූ විට ඔවුහු පස්පවින් කවරක් වුවත් කරති. එබැවින් ඔවුහු සිල්වතුන් නොව දුශ්ශීලයෝ ය. ඔවුන් ගේ සිල් ගැනීම සිකපද කීමක් පමණෙකි. සත්‍ය වශයෙන් සිල් ගැනුමත් නොවේ.

දුශ්ශීලයා ය යන්නෙහි තේරුම සිල් නැති තැනැත්තාය යනුයි. උපසම්පන්න භික්ෂුවක් ලෙහෙසියෙන් දුශ්ශීල නොවේ. උපසම්පදා ශීලයට බොහෝ සික පද ඇත්තේ ය. ඒ එක එක සිකපදයක්ම ශීලයෙකි. උපසම්පන්න භික්ෂුවකගෙන් සික පද එකක් දෙකක් නොව සියයක් දෙසියයක් කඩවුව ද තවත් දහස් ගණනක් සික පද ඉතිරිවී ඇති බැවින් උපසම්පන්න භික්ෂුව සිල්වත් ය.
පුථුජ්ජනස්ස සීලං පඤ්චහි කාරණෙහි භජ්ජති පාරාජිකා පජ්ජනෙන, සික්ඛාපච්චක්ඛානෙන, තිත්ථිය පක්ඛන්දනෙන, අරහත්තෙන, මරණෙන.
යනුවෙන් ‘මනෝරථපූරණී’ අටුවාවෙහි පෘථග්ජන උපසම්පන්න භික්ෂුවක ගේ ශීලය පාරාජිකාවට පැමිණීමය, උපසම්පදාව ප්‍රතික්ෂේප කිරීමය, තීර්ථක ශාසනයට යෑම ය. රහත් වීම ය. මරණයට පැමිණීම ය යන කරුණු පසින් බිඳෙන බව දක්වා තිබේ. උපසම්පදා ශීලය බිඳෙන කරුණු පසින් පළමු වන තුන්වන කරුණු වලින් ශීලය බිඳීම පරිහානියෙකි. සතර වන කරුණෙන් බිඳීම දියුණුවකි. පස්වන කරුණෙන් බිඳීම පරිහානියෙක් හෝ දියුණුවෙක් නොවේ. පෘථග්ජනයා ගේ ශීලය කුශල ශීලයෙකි. අර්හත්මාර්ගයෙන් කුශලාකුශලයන් ක්ෂය කරනු ලැබේ. රහත් වීමෙන් පෘථග්ජන ශීලය බිඳෙන්නේ එහෙයිනි. රහත් වීමෙන් පසු රහතුන් වහන්සේ අව්‍යාකෘත ශීලයෙහි පිහිටන්නාහ.

පාරාජිකාවට පැමිණි පැවිද්දාට දුශ්ශීලයෙකැයි කිය යුත්තේ පරිජි ඇවතට පැමිණීමෙන් පසු එය සඟවා ගෙන උපසම්පන්න භික්ෂුවක් ලෙස පෙනී සිටිය හොත් ය. පරිජි වීමෙන් පසු සාමණේර ශීලය සමාදන් වුවහොත් එතැන් පටන් හේ සිල්වත් ය. කරුණු මෙසේ හෙයින් පාරාජිකාවට පැමිණ නැති සියලුම භික්ෂූන් වහන්සේලා අන් කිනම් ඇවැතකට පැමිණ සිටියත් උපසම්පදා ශීලය ඇති බැවින් උන්වහන්සේලා සිල්වත්හු ය. සිල්වත්නට දුශ්ශීලැයි කීම ආක්‍රෝශයකි. එය මහා පාපයකි. එයින් සුකරමුඛප්‍රේත පූතිමුඛප්‍රේතාදීනට මෙන් නපුරු විපාක අනාගතයෙහි ඇති විය හැක.

බුද්ධ කාලයෙහි කීටාගිරියෙහි විසූ අස්සජී පුනබ්බසුක යන භික්ෂූන් දෙනම තරමට ඖධාරික වැඩ කරන භික්ෂුවක් ගැන මෙකල කවර රටකින්වත් අසන්නට නැත. ඒ භික්ෂූහු ස්ත්‍රීන් හා එක භාජනයෙහි අහර ගත්හ. එක භාජනයෙහි පැන් පූහ. එක පැදුරෙහි එක යහනෙහි නිදා ගත්හ. ස්ත්‍රීන් හා නැටීම ද ගී කීම ද කළහ. විකාලයෙහි අහර ගත්හ. සුරාපානය කළහ. සූදුව පන්දු ගැනීම ආදී ක්‍රීඩාවල යෙදුණාහ. ඇතුන් අසුන් පිට ගියහ. ඒ සතුන් හා තරඟයට දිවූහ. මල්ලවපොර ඇල්ලූහ. නාටිකාවන්ට රඟ දැක්වීමට තමන්ගේ සඟල සිවුරු බිම එලා දුන්හ. තවත් නොයෙක් ඖදාරික වැඩ කළහ. එහෙත් විනය පොතෙහි ඒ භික්ෂූන්ට ද දුශ්ශීල යන පදය යොදා නැත. ඒ භික්ෂූන් ගැන විනය පොතෙහි සඳහන් වන්නේ ‘තෙන ඛො පන සමයෙන අස්සජි පුනබ්බසුකා නාම කීටාගිරිස්මිං ආවාසිකා හොන්ති අලජ්ජිනෙ පාපභික්ඛු’ කියා ය. එපමණ ඖදාරික ක්‍රියා කළ අයටත් ව්‍යවහාර කර නැති ‘දුශ්ශීල’ යන වචනය රියකින් යෑම වහන් පය ලා යෑම කුඩයක් ඉසලා යෑම මුදලක් තබාගෙන සිටීම යන සුලු කරුණෙකින් කීම කොතරම් බරපතල අයුත්තක් ද?
විනයෙහි භික්ෂුවට දුශ්ශීල යන වචනය යොදා ඇති තැනක් දක්නට ඇත්තේ පාතිමොක්ඛ ඨපනක්ඛන්ධකයෙහි පමණෙකි. ‘අද්දසා ඛො මහා මොග්ගල්ලනො තං පුග්ගලං දුස්සීලං පාප ධම්මං’ යනු පාතිමොක්ඛ ඨපනක්ඛන්ධකයෙහි දුශ්ශීල වචනය ගෙන ඇති පාඨය ය. එහි ඒ වචනය යොදා ඇත්තේ විනය කර්මවලට ගැනීමට නුසුදුසු පාරාජිකාවට පත් භික්ෂුවක් සඳහා ය. පාරාජිකා නොවූ භික්ෂුවකට විනයෙහි කොතැනකවත් දුශ්ශීල ව්‍යවහාරය කර නැත.

දුශ්ශීලයෝ ය, දුශ්ශීලයෝ යැයි සිල්වත් භික්ෂූන්ට අපහාස කරන බොහෝදෙනා පස් පවෙන් නොවැළකුණු ගෘහස්ථ දුශ්ශීලයෝ ය. ගෘහස්ථ දුශ්ශීලයාට වඩා බොහෝ කරුණු වලින් ශ්‍රමණ දුශ්ශීලයා උසස් ය. ගෘහස්ථ දුශ්ශීලයාට වඩා ශ්‍රමණ දුශ්ශීලයා කෙරෙහි ගුණ දශයක් ඇති බව මිලින්ද ප්‍රශ්නයෙහි දක්වා ඇත්තේ ය. ඒ මෙසේ ය :-

කතමෙ දස ගුණා සමණ දුස්සීලස්ස ගිහිදුස්සීලතො විසෙසෙන අතිරෙකා? ඉධ මහා රාජ, සමණ දුස්සීලො බුද්ධෙ සගාරවො හොති, ධම්මෙ සගාරවො හොති. සංඝෙ සගාරවො හොති, සබ්‍රහ්මචාරිසු සගාරවො හොති, උද්දෙස පරිපුච්ඡාය වායමති සවණ බහුලො හොති භින්න සීලොපි මහාරාජ දුස්සීලො පරිසගතො අකප්පං උපට්ඨපෙති, ගරහභයා කායිකං වාචසිකං රක්ඛති, පධානාභිමුඛස්ස හොති චිත්තං, භික්ඛු සාමඤ්ඤං උපගතො හොති කරොන්තොපි මහාරාජ සමණ දුස්සීලො පාපං පටිච්ඡන්න ආචරති, යථා මහාරාජ, ඉත්ථි සපතිකා නිලීයිත්වා රහස්සෙ නෙව පාපමාචරති, එම මෙව ඛො මහාරාජ කරොන්තා’පි සමණදුස්සීලො පාපං පටිච්ඡන්නං ආචරති. ඉමෙ ඛො මහා රාජ, දසගුණා සමණදුස්සීලස්ස ගිහි දුස්සීලතො විසෙසෙන අතිරෙකා.

‘බුදුනට ගරුකරන බව ය, ධර්මයට ගරු කරන බව ය, සඟනට ගරු කරන බව ය, සබ්‍රහ්මචාරීන්ට ගරු කරන බව ය, ධර්මය උගෙනීම් පිළිවිසීම් දෙකට වීර්යය කරන බව ය, බොහෝ කොට බණ අසන බව ය, බිඳුණු සිල් ඇත්තහුද පිරිසක් අතරට ගිය කල්හි ශ්‍රමණාකල්පය ඇතිව හැසිරෙන බව ය, ගර්හාවට බියෙන් කය වචන දෙක රක්නා බව ය, සිත ප්‍රධානයට අභිමුඛ කොට තැබීම ය, හැසිරීම භික්ෂුවකට සමාන වන බව ය. පව් කරතත් රහසින් කරන බව ය’ යන මේ කරුණු දසය ගෘහස්ථ දුශ්ශීලයාට අතිරේක වශයෙන් ශ්‍රමණ දුශ්හීලයා කෙරෙහි ඇති ගුණයෝ ය.

රහසින් පව් කරන තැනැත්තා ප්‍රසිද්ධ වශයෙන් පව් කරන්නවුන් සේ බොහෝ කොට පව් නොකරයි. නිතර පව් නොකරයි. එයින් ඔහුට පව් අඩුවේ. රහසින් පව් කරන බව ප්‍රසිද්ධියේ නොකරන බව ගුණයක් වශයෙන් කියනුයේ එහෙයිනි.

(අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් 1955 දී ‘ධර්ම විජය’ පත්‍රයට සපයන ලද ලිපි පෙළකි)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s