මහා සංඝරත්නයට ගරහන අඳ බාලයින්ට අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන්ගෙන් පිළිතුරු ලිපි පෙළක්..! – හයවන ලිපිය –

Sangarathnaya 6

කුශලය අකුශලය යි කියනුයේ ඒ ඒ ක්‍රියා සිදුකිරීම් වශයෙන් සත්ව සන්තානයෙහි පහළවන සිත්වලටය. ‘ද්වත්තිංසෙව හි ආපත්ති සමුට්ඨාපක චිත්තානි අට්ඨ කාමවචර කුසලානි, ද්වාදස අකුසලානි, දසකාමාවචර ක්‍රියා චිත්තානි කුසලතො ච කිරියතො ච ද්වෙ අභිඤ්ඤා චිත්තානීති’ යනුවෙන් කාමාවචර කුසල් සිත් අය, අකුසල් සිත් දොළොසය, කාමාවචර කිරියසිත් දශය ය, අභිඥා දෙසිතය යි ඇවැත් සිදුකිරීම් වශයෙන් උපදනා සිත් දෙතිසක් ඇති බව සමන්තපාසාදිකාවෙහි දක්වා තිබේ. හැම ඇවතක්ම පාපයක් නොවන බව එයින් තේරුම්ගත යුතුය.

ධර්මදානය දෙමිය කියා සැදැහැයෙන් භික්ෂුවක් පුරුෂයකු නැති තැනක ස්ත්‍රීන්ට පමණක් දහම් දෙසුවහොත් පචිති ඇවැත් වේ. තුනුරුවන් පුදන්නට ය කියා මල් නෙළුවහොත් පචිති ඇවැත් වේ. විහාරමලුව බෝමලුව සෑමලුව පිරිසිදු කරන්නට ය කියා තණ ඉවත් කළහොත් පචිති ඇවැත් වේ. ඒ ඇවැත් සියල්ලට භික්ෂුව පැමිණෙනුයේ කුශල චිත්තයෙනි. සුරාපානාදියෙන් ඇවැතට පැමිණෙන්නේ අකුශල චිත්තයෙනි. ඇවැතක් වූයේ ය කියා ධර්ම දේශනාදියෙන් කවරාකාරයකින් වත් පාපයක් නොවේ.

කුශලය අනෙකකි. ඇවැත අනෙකකි. පාපයත් අනෙකකි. ඒ නිසා ඇවැත් දෙසාගත් කල්හි ඇවැත් නැති වේ. ඇවැත් දෙසීමෙන් කුශලා ‘කුශල දෙක නැති නොවේ. ඒවා ඉතිරි වේ. ඇවැතක් වූයේ ය කියා ධර්ම දේශනාදි කුශලයන්ගෙන් අනිෂ්ට විපායක් නොලැබේ. එයින් ලැබෙන්නේ ඉෂ්ට විපාකයක් ම ය. ඇවැතක් වූයේ ය කියා ධර්ම දේශනාමය කුශලයෙන් භික්ෂුව අපායට යන්නේ යයි කියතොත් එය ධර්ම විරෝධි කියමනකි.

අපායට යන්නට ඇවතක්ම වුවමනා නැත. සියලුම පව්වලට ඇවැත් ඇත්තේ ද නැත. පෙර එක් භික්ෂුවක් සිවුරකට ඇලුම් කරමින් සිට කාලක්‍රියා කොට ඒ සිවුරෙහිම උකුණෙක්ව උපන්නේ ය. සිවුරට ඇලුම් කිරීමෙන් ඒ භික්ෂුවට සිදුවූ කිසිම ඇවැතක් නැත. එහෙත් ලෝභය නමැති පාපය නිසා භික්ෂුව තිරිසන් අපායෙහි උපන. කරුණු මෙසේ හෙයින් ඇවතක් වූ පමණින් එය පාපයක් නොවන බවත් හැම පාපයකටම ඇවැත් නැති බවත් දත යුතුය.

පින් පව් දෙක ගිහි පැවිදි සැමටම සාධාරණ ය. යමක් පව් නම් එය ගිහියා කළත් පැවිද්දා කළත් පව ම ය. පින ද එසේ ම ය. පව කුඩා මහත් වීමට ද ගිහි පැවිදි බව කරුණක් නොවේ. පැවිද්දකු මෛථුන සේවනය කළහොත් පරිජි ඇවතට පැමිණේ. ගිහියකු එය කළහොත් ඔහුට ඇවතක් නම් නැත. එහෙත් එයින් යම් පාපයක් වේ නම් එය දෙදෙනාටම සමය. පරිජි ඇවතින් භික්ෂුවට වන්නේ පව මහත්වීමක් නොව බුදුන් වහන්සේගේ නියමය පරිදි උපසම්පදාවට අහිමි වීම ය. පාරාජිකාවෙන්ම මිස අනෙක් ඇවතකින් භික්ෂුවට එය සිදු නොවේ. පාපය ගිහි පැවිදි කාටත් සමව තිබිය දී භික්ෂූන්ගේ වරද මහත් කොට දැක්වීමෙහි තේරුමක් නැත. ප්‍රාණඝාතාදි පංචදුශ්චරිතයෙහි ගැලී සිටීමෙන් පරම දුශ්ශීල වූ ඇතැම් ගිහියන් විසින් භික්ෂුවකගේ කුඩා වරදක් ගැන කථා කිරීම නම් දෙපතුල පටන් හිස දක්වා මුළු සිරුරෙහි අසූචි තවරා ගෙන ඉන්න කෙනකු විසින් මඩ පෑගී ඇති කෙනකුගේ අපවිත්‍රතාව ගැන කථා කිරීම බඳු හාස්‍යෝත්පාදක ක්‍රියාවෙකි.

(අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් 1955 දී ‘ධර්ම විජය’ පත්‍රයට සපයන ලද ලිපි පෙළකි)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s