මහා සංඝරත්නයට ගරහන අඳ බාලයින්ට අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන්ගෙන් පිළිතුරු ලිපි පෙළක්..! – සිව්වන ලිපිය –

Sangarathnaya 4
තථාගතයන් වහන්සේ චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ඉතා දුක් ගෙන ලොව්තුරා බුදු බවට පැමිණ මේ බුදු සස්න පිහිටුවා වදාළේ, සත්වයන් අපායට හෙලීමට මඟක් සාදා තබනු පිණි නොව, දෙවියන් සහිත ලෝකයාගේ යහපත පිණිස ය. මේ ශාසනයේ මාර්ගයෙන් ලෝකයාට අපායෙන් බේරීම පිණිස ය. දෙවි මිනිස් සැප ලැබීම පිණිස ය. සසර දුකින් මිදී නිවන් පුරයට පැමිණෙනු පිණිස ය. තථාගතයන් වහන්සේ විසින් පනවා ඇති සිකපද ඉතා බොහෝ ය. ඒවායේ ගණන පවා සෙවීම දුෂ්කර ය. ගණනක් නැති සික පද ඇති උපසම්පදා ශීලය, පොහෝ දිනයෙහි පමණක් ගිහියන් අටසිල් රකින්නාක් මෙන් කලාතුරකින් දවසක පමණක් රකිනවා නම් කෙනකුට එක සිකපදයකුදු නොකැඩෙන සැටියට අමාරුවෙන් වුව ද එය රැකිය හැකිය. සම්පූර්ණ ජීවිත කාලයම මහණකම කරන්නකුට නොකැඩෙන පරිදි ඒ සිකපද සියල්ල කවරාකාරයකින්වත් නොරැකිය හැකිය.

ඇතමුන් කියන සැටියට සිකපද කඩන භික්ෂූහු එයින් අපායට යෙත් නම් ඔවුනට දන් දෙන ගිහියන් එයින් අපායට යෙත් නම් බුදුසස්නක් පිහිටවීම් වශයෙන් තථාගතයන් වහන්සේ විසින් කර තිබෙන්නේ ලොවට මහා අපරාධයෙකි. ගණනික් ප්‍රමාණයක් දැක්විය නොහෙන තරම් විශාල ජනසමූහයකට අපායට යාමේ මඟක් සාදා තැබීමකි. අතීතානාගත වර්තමාන යන කාලත්‍රයෙහි සියල්ල දැන ගැනීමට සමත් තථාගතයන් වහන්සේ මෙතෙක් සිකපද සමූහයක් භික්ෂූන්ට සම්පූර්ණයෙන් රැකිය නොහෙන බව නොදන්නා සේක් ද? දන්නා සේක් ම ය. සම්පූර්ණයෙන් සිකපද රැකිය නුහුණු භික්ෂූහු අපායට යෙත් නම් බොහෝ සිකපද පනවා භික්ෂූන්ට අපායට යන්නට සිදුවන පරිදි මේ සසුන බුදුන් වහන්සේ නොපිහිටුවන සේක. උන් වහන්සේ මේ ශාසනය පිහිටුවා ඇත්තේ බොහෝ සිකපද පනවා ඇත්තේ රැකිය හැකි පමණක් සිකපද රැකීම නිශ්ඵල නොවන නිසාය.

කඩ වුවහොත් මහණකම සම්පූර්ණයෙන් නැතිවන, මහණකමෙන් පිහිටක් නොලැබිය හැකි වන සිකපද ඇත්තේ සතරක් පමණෙකි. ‘සතර පාරාජිකා’ ය යි කියනුයේ ඒ සිකපද සතරය. ඒ සිකපද සතර රක්නා තුරු භික්ෂුවට භික්ෂු භාවය හෙවත් උපසම්පදා ශීලය තිබේ. එයින් ඒ භික්ෂුව දුශ්ශීලයකු නොව සිල්වතෙකි. අනිකුත් සිකපද කොතෙක් බිඳුණේ ද එයින් පැවිද්ද නිෂ්ඵල නොවේ. ඒ බව ‘අංගුත්තර නිකාය’ තික නිපාතයෙහි එන මේ තථාගත දේශනයෙන් දත යුතු ය.

“ඉධ භික්ඛවෙ භික්ඛු සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස්මිං මත්තසො කාරී, පඤ්ඤාය මත්තසො කාරි, සො යානි තානි ඛුද්දානු ඛුද්දකානි සික්ඛාපදානි තානි ආපජ්ජතිපි වුට්ඨාතිපි, තං කිස්ස හේතු? නහිමත්ථ භික්ඛවෙ අභබ්බතා වුත්තා, යානි ච ඛො තානි සික්ඛාපදානි ආදි බ්‍රහ්මචරියකානි බ්‍රහ්මචරිය සාරුප්පානි, තත්ථ ධුවසිලී ච හොති ඨිතසීලී ච සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, සො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාත ධම්මො නියතො සම්බොධි පරායනො”

මෙහි අදහස ‘සතර පාරාජිකාවෙන් වැලකීම වූ ආදි බ්‍රහ්ම චරියක ශීලයෙහි ස්ථිරව පිහිටීමෙන් සිල්වත් වන්නා වූ කුඩා වූ ද ඉතා කුඩා වූ ද ඇවැත්වලට නැවත නැවත පැමිණෙමින් ඇවැත් දෙසීම් ආදියෙන් නැවත නැවත පිරිසිදුවන්නා වූ ද භික්ෂුව එක්තරා ප්‍රමාණයකින් සමාධිය හා ප්‍රඥාව දියුණු කෙළේ වේ නම් එයින් සංයෝජනත්‍රයක් ප්‍රහාණය කොට මතු කිසි කලෙක අපායට නොයන අර්හත්වයට පැමිණීමෙහි නියත පුද්ගලයෙක් වන්නේ ය. කුඩා වූ ද ඉතා කුඩා වූ ද ඇවැත්වලට පැමිණීමෙන් මඟපල ලැබීමට අභව්‍යභාවයක් නොකියනු ලැබේ ය, යනුයි.

(අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් 1955 දී ‘ධර්ම විජය’ පත්‍රයට සපයන ලද ලිපි පෙළකි)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s