මහා සංඝරත්නයට ගරහන අඳ බාලයින්ට අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන්ගෙන් පිළිතුරු ලිපි පෙළක්..! – තෙවන ලිපිය –

Sangarathnaya 3
පෘථග්ජන භික්ෂුව ලෝකයා විසින් ගරු බුහුමන් කළ යුත්තකු වන්නේ සියලු පවින් වැළකී සියලු ඇවැත් වලින් මිදී රහතන් වහන්සේ කෙනකු සේ කල් යවන්නකු නිසා නොව ගිහියන් බැඳී සිටින බොහෝ බන්ධන රාශියක් සිඳ දමා, ගිහියන් ලබන බොහෝ සැප හැර දමා, ගිහියන් කරන පව්කම් වලින් බොහෝවක් සම්පූර්ණයෙන්ම හැර දමා බුදුසස්නට වැද වැඩිදුරටත් පව්කම් නැති කිරීමටත් පින්කම් වැඩිකිරීමටත් උත්සාහ කරමින් ලෝ සසුන් දෙකටත් වැඩ කිරීමට තමාගේ සම්පූර්ණ ජීවිත කාලයම ගත කරන්නකු වන බැවිනි.

පැවිදි වන්නෝ නොයෙක් අදහස් වලින් පැවිදි වෙති. කවර අදහසකින් පැවිදි වුව ද පැවිදි වීමෙන් ඒ තැනැත්තා කලින් සිටියාට වඩා ගුණවතකු වීම නම් ඒකාන්ත ය. පැවිදි වූ තැනැත්තා සර්වාකාරයෙන් සිවු පිරිසිදු සීලය රකින්නකු නොවතුදු මිනී මැරීම, ගවයන් ඌරන් කුකුලන් මැරීම, ගෙවල් බිඳීම, මං පැහැරීම, ස්ත්‍රීන් පැහැර ගෙන යාම, සුරාපානය යනාදි ගිහියන් කරන බොහෝ පව්කම් නොකරන්නේ වේ. මිනී මැරීමය, හරක් මැරීමය යන දෙකම කරන්නකු මිනී මැරීම නවත්වා හරක් මැරීමෙහි පමණක් පිහිටියේ ද එයින් ඔහු ගුණවතකු වූ බව කිව යුතුය. මිනී මැරීම හැර දැමීම ඔහුගේ ගුණය ය. පැවිදිව ගිහියන් කරන පව්කම් බොහෝවක් හැර දැමූ තැනැත්තා එයින් ගුණවතෙක් නොවේ ද? වේ මය.

නුවණැත්තා වූ ඇතමෙක් දහම් අසා සසර කලකිරී නිවන් පසක් කරගන්නා අටියෙන් පැවිදිව නෑමිතුරන් කෙරෙහි ද ලෝකයා කෙරෙහි ද අපේක්ෂාව හැර ජනයා කෙරෙන් ඈත්ව විවේකස්ථානයන්ට වී භාවනා කෙරෙති. ඒ පින්වත්හු ද එයින් පූජ්‍යයෝ වෙති. ඇතමෙක් හැකි පමණින් ගුන දම් පුරමින් ලෝසසුන් වැඩ කරමින් තමන්ගේ ජීවිත කාලය ගෙවා අනාගතයේ දී නිවන් දක්නා බලාපොරොත්තුවෙන් පැවිදි වෙති. අද රටේ ඇති භික්ෂූන්ගෙන් වැඩිදෙනා ඒ අදහසින් පැවිදි වූවෝ ය.

නගර ග්‍රාමයන්හි විහාරස්ථානවල වෙසෙන ඒ භික්ෂූන් නොයෙක් දුක් කරදර විඳිමින් නොයෙක් විට සෑහෙන ආහාරයකුදු නොලබමින් බුදු දහම රකිති. දහම් පොත්පත් රකිති. දහම් පොත් පත් මුද්‍රණය කරවති. අභිනව ග්‍රන්ථ සම්පාදනය කරති. ධර්මය හා භාෂා ශාස්ත්‍රය උගන්වති. විහාරස්ථාන ආරක්ෂා කරති. දියුණු කරති. දහම් දෙසීම් ආදියෙන් මහජනයා සුමග යවති. බොහෝ දුර බැහැර වුවද යමින් දුකසේ ගිහියන් ගේ අගමික කටයුතු සිදුකර දෙති. අද බුද්ධාගම පවත්නේ එසේ කරන්නා වූ ඒ භික්ෂූන් වහන්සේලාගේ ධෛර්යය නිසාය. නොඑසේ නම් අද බණ පොතක් නැත. බුද්ධාගමක් නැත. නොයෙක් විට ජාතික විපත් වලදී ඉදිරිපත්ව රට ජාතිය රැකගත්තෝ ද උන්වහන්සේලා ම ය. සිංහල භාෂාව හා අපේ පැරණි ශාස්ත්‍ර රැකී ඇත්තේ ද උන්වහන්සේලා නිසා ම ය.

බොහෝ දෙනකුන් ධනය සැපයීමටත් අඹුදරුවන් පෝෂණය කිරීමටත් පස්කම් සැප විඳීමටත් නොයෙක් අපරාධ කිරීමටත් තමන්ගේ සම්පූර්ණ කාලය ගත කරන මේ ලෝකයෙහි බුදු දහම රැකීමට බුදු සසුන රැකීමට තමන්ගේ සම්පූර්ණ කාලය කැපකර තිබීම වූ මේ එක කාරණයමත් භික්ෂූන් වහන්සේ ගේ මහා ගුණයෙකි. ධනය සැපයීමටත් අඹුදරුවන් පෝෂණය කිරීමටත් ඉන්ද්‍රියයන් පිණවීමටත් තමන්ගේ සම්පූර්ණ ජීවිත කාලය ගෙවන බොහෝ ගිහියෝ භික්ෂූන් වහන්සේ විසින් තමන්ගේ සම්පූර්ණ කාලය යොදා ආරක්ෂා කරගෙන ඇති බුද්ධාගමයෙන් තමන්ට වුවමනා වූ විට ප්‍රයෝජන ද ලබමින් එය රැකදෙන භික්ෂූන් වහන්සේට ගර්හා ද කරති. එය කොතරම් නොමනා ක්‍රියාවක්ද?

තාපසයන් තපස්කම් කරන්නේත් නියම භික්ෂුන් වහන්සේට පහර දෙන්නේත් විනය වර්ධනකාරයෝ යයි කියන අවිනීතයන් මහාසංඝයා වහන්සේට පහර දෙන්නේත් භික්ෂූන් වහන්සේලා විසින් ආරක්ෂා කරගෙන ඇති බුදු දහමෙන් අතනින් මෙතනින් අවුලාගත් බණපද ටිකකිනි. එකම ධර්මපදය සත්පුරුෂයා අතට පැමිණි කල්හි ලොවට සෙත සලසන උතුම් දෙයක් ද අසත්පුරුෂයා අතට පැමිණි කල්හි අනුන්ට පහර දෙන ආයුධයක් ද වේ. තවුසන් අතට විනයවර්ධන කාරයන් අතට පැමිණ ඇති ධර්ම පද කඩු කිනිසි වී තිබේ.

(අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් 1955 දී ‘ධර්ම විජය’ පත්‍රයට සපයන ලද ලිපි පෙළකි)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s