මහා සංඝරත්නයට ගරහන අඳ බාලයින්ට අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන්ගෙන් පිළිතුරු ලිපි පෙළක්..! – දෙවන ලිපිය –

Sangarathnaya 2

භික්ෂූන්ගේ අවගුණ කථාව මෙකල නිතර ඇසෙන්නකි. එය බොහෝ ගිහියන්ට ඉතා මිහිරකි. එබැවින් ගිහියෝ ඉතා ඕනෑකමින් එය අසති. පැවිද්දන් ගේ අගුණ දක්වන පුවත්පත් ආදිය මහත් රුචියෙන් කියවති. ඒ නිසා තවුසා ද විනය වර්ධන කාරයා ද දේශනා කාරයා ද භික්ෂූන් ගේ අගුණ වපුරති. ගිහියන් ගේ රුචිය දත් පත්‍ර සඟරා කාරයෝ ද පොත් කාරයෝ ද එයම කරති. එයින් දැන් බෞද්ධ ජනයාට භික්ෂූන් ගේ අගුණ හොඳටම පාඩම් වී තිබේ. මෙතරම් විශාල අන්දමට භික්ෂූන්ට ගර්හාකරන්නට රට වැසියා පටන් ගෙන තිබෙන්නේ භික්ෂූන්ගේ ම වරද නිසා යයි බොහෝ දෙනා සිතති. අප විසින් මේ ලිපිපෙල ලියන්නට අදහස් කළේ සම්බුද්ධ ජයන්තිය ළංවී බෞද්ධයන් ගේ ප්‍රබෝධයක් ඇතිවී තිබෙන මේ අවස්ථාවේ දී එහි නියම තතු බෞද්ද මහජනයාට අවබෝධ කරවීමේ අදහසිනි.

ගර්හා කිරීමට කරුණු සොයාගත නොහෙන කිසිම පුද්ගලයෙක් අතීතයෙහි ද නොවීය, දැනුදු නැත්තේ ය. හැමදෙනාම හොඳ හැටියට සලකන දෙයක් ද ලොව නැත. හැමදෙනාම නරක ලෙස සලකන දෙයක් ද ලොව නැත. ඒ නිසා භික්ෂුව කුමක් කළත් කුමක් කීවත් එය නරක ලෙස පිළිගන්නා අය භික්ෂුවට ගර්හා කරති. එබැවින් කෙසේ හැසුරුණත් භික්ෂුවට ගර්හාවෙන් මිදී නොවිසිය හැකිය. ලොවට වැඩ කරන්නෝ ද ශුද්ධ පුද්ගලයෝ ද විශේෂයෙන්ම ගැරහුම් ලැබීමෙන් නොමිදෙති. තමාගේ ධනයත් ඥානයත් වීර්යයත් සැපයත් පරාර්ථය සිදුකිරීමටම කැපකළ මහාත්මා ගාන්ධි තුමා ගැරහුම් ලැබුවා පමණක් නොව අනුන් අතින් මැරුම් ද කෑවේය. ක්‍රිස්තු තුමාට වූයේ ද ඒ ඉරණම ම ය.

ඒ ඒ රටවල වැඩ කරන සියලුම දේශපාලකයෝ ද එසේම ගැරහුම් ලබති. භික්ෂුව වනාහි ලොවට වැඩ කරන්නෙක් ද වේ. ශුද්ධ පුද්ගලයෙක් ද වේ. ඒ නිසා භික්ෂුවට කොයි ලෙසකින් වත් ගැරහීමෙන් මිදී නොවිසිය හැකිය. ගැරහීම් ලැබීම භික්ෂුත්වයේ අංගයකි. අතීතයේ බුද්ධ කාලයේ විසූ භික්ෂූන්ට ද මනුෂ්‍යයෝ බොහෝ නින්දා කළහ. බුද්ධ කාලයට පෙර විසූ පැවිද්දන්ට ද එසේම ගර්හා කළහ.

අප බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙන් බොහෝ ඉහත සුනෙත්ත, අරනේමි, කුද්දාල, හත්ථිපලා, ජෝතිපාල, අරක යන ශාස්තෘවරයෝ විසූහ. ඒ ශාස්තෘවරයෝ ද පැවිද්දෝ ය. ඒ ශාස්තෘවරයෝ බ්‍රහ්මලෝකෝත්පත්තියට හේතු වන ධර්මයක් දෙසූහ. ඒ ශාස්තෘවරයන් කෙරෙහි සිත පහදවා නොගෙන එතුමන්ට ගර්හාකොට බොහෝදෙනා අපායට ගිය බවත් අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ වදාරා තිබේ. එයින් පෙනෙනුයේ පැවිද්දන්ට ගර්හා කිරීම ලෝකයෙහි කවදත් පවත්නා දෙයක් බවය.

ගැරහුම් ලබන බව භික්ෂු ජීවිතයේ අංගයෙකි. ගර්හාවට බියවන කිපෙන කලබල වන තැනැත්තාට මහණකම නොකළ හැකිය. එබැවින් බුදුරජාණන් වහන්සේ විසින්,

නින්දාය නප්පවෙධෙය්‍ය
න උණ්ණමෙය්‍ය පසංසිතො භික්ඛු

යනුවෙන් භික්ෂුව විසින් නින්දාව නිසා නොසැලිය යුතු ය, ප්‍රශංසාවෙන් උඩඟු නොවිය යුතු යයි වදාරන ලදී. එක් රහතන් වහන්සේ කෙනකුන් විසින් ද මෙසේ වදාරන ලදී.

බහූහි සද්දා පච්චූහා ඛමිතබ්බා තපස්සිනා
න තෙන මංකු හොතබ්බා නහිතෙන කිළිස්සති
යො ච සද්ද පරිත්තාසී වනෙ වාතමිගො යථා
ලහු චිත්තොති තං ආහු නාස්ස සම්පජ්ජතෙ වතං

ගාථාවල තේරුම මෙසේ ය :-

“ලෝකයෙහි ඒ ඒ අයට විරුද්ධ ශබ්ද බොහෝ ය. පැවිද්දා විසින් ඒවා ඉවසිය යුතු ය. ඒවා නිසා දුර්මුඛ නොවිය යුතුය. ඒවා නිසා කිලිටි නොවන්නේ ය.”

“සුළඟින් හටගන්නා හඬට බිය වන වනයෙහි වෙසෙන වාත මෘගයා මෙන් හඬට බියවන භික්ෂුව නොමේරු සිත් ඇතියෙකැයි කියති. එවැනි භික්ෂුව ගේ පැවිද්ද සම්පූර්ණ නොවේ.”

පිරිසිදු බව හෙවත් සිල්වත් බව ගැරහුම් ලැබීමේ කරුණක් බව මතු දැක්වෙන කථාවෙන් දත යුතුය. එක් කලෙක අප මහ බෝසතාණන් වහන්සේ තවුස් පැවිද්දෙන් පැවිදිව එක් විලක් ඇසුරු කර ගෙන වනයෙහි විසූහ. දිනක් උන්වහන්සේ ශරීරය පිරිසිදු කරගනු පිණිස විලට බැස එහිවූ පියුමක සුවඳ ආඝ්‍රහණය කරමින් උන් සේක. එය දුටු එක් දෙව් දුවක් බෝසතාණන් සංවේගයට පමුණුවනු පිණිස “මේ මල් මගේ ය, මාගේ මල් වල සුවඳ ගන්නා වූ ඔබ සුවඳ සොරෙක” කියා බෝසතාණන් වහන්සේට ගර්හා කළාය. “මම තිගේ මල් නොගතිමි. එසේ වූ මට කුමට සුවඳ සොරෙකැයි කියන්නෙහි දැ”යි බෝසතාණෝ කීහ. එකෙණෙහි තවත් පුරුෂයෙක් ඒ විලට බැස නෙළුම් අල ගලවමින් මල් නෙලමින් හුන්නේ ය. බෝසතාණන් වහන්සේ ඔහු දැක, “තිගේ විල විනාශ කරන අර මිනිසාට තී කුමක් හෙයින් කිසිවක් නොකියන්නෙහි දැ”යි ඇසූහ. එයට දේවතා දුව දුන් පිළිතුර මෙසේ ය :-

ආකිණ්ණ ලුද්දො පුරසො ධාති චෙලං ව මක්ඛිතො
තස්මං මෙ වචනං නත්ථි තංච අරහාමි වත්තවෙ,
අනංගණස්ස පොස්සස නිච්චං සුචිගවෙසිනො,
වාළග්ගමත්තං පාපස්ස අබ්භාමත්තං ව ඛායති

“කෙලෙසුන්ගෙන් පිරුණු සන්තානය ඇති මේ මිනිසා දරුවන් ගේ සෙම් සොටු මළ මුත්‍රාදියෙන් කිලිටි වූ කිරි මවක ගේ හැඳි වතක් සේ කිලිටි ය. එබැවින් ඔහුට කියයුත්තක් නැත. කෙලෙස් අඩු වූ නිතර පිරිසිදු බව සොයන්නා වූ පුද්ගලයා ගේ කෙසගක් පමණ වරද ද ලොවට මහ වළාකුළක් සේ පෙනෙන්නේ ය. එබැවින් මම ඔබට කියමිය” යනු ඒ ගාථාවල අදහස ය.

මේ කථාවෙන් පෙනෙන්නේ ද වරද නැති පිරිසිදු පුද්ගලයා ගේ වරද ලෝකයට මහත්ව පෙනෙන බවය. පිරිසිදු බව හෙවත් සිල්වත් බව ගැරහුම් ලැබීමේ කරුණක් බව කියන ලද්දේ එහෙයිනි. ලෝකයෙහි ගර්හාවක් පැවතීමෙන් පිළිගන්ට තිබෙන්නේ භික්ෂුව ගේ පිරිසිදු බව ය. ලෝකයෙහි පවත්නා අගුණ ඝෝෂාව භික්ෂුව ගේ පාරිශුද්ධිය අඟවන ලකුණකි. ඒ නිසා අගුණ ඝෝෂය භික්ෂුවගේ ගුණ ඝෝෂය සැටියට ම සැලකිය යුතුය.

(අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් 1955 දී ‘ධර්ම විජය’ පත්‍රයට සපයන ලද ලිපි පෙළකි)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s