මහා සංඝරත්නයට ගරහන අඳ බාලයින්ට අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන්ගෙන් පිළිතුරු ලිපි පෙළක්..!- පළමුවන ලිපිය –

Sangarathnaya 1

සඟරුවන

බුද්ධරත්නය ධම්මරත්නය සංඝරත්නය යන මේ වස්තු තුන සත්වයනට මෙලොව පරලොව යහපත හා නිවන් සුවය ද ලබා ගැනීමට උපකාර වන මහත් වූ පිහිට තුනෙකි. ඒ රත්නත්‍රයේ පිහිට ලබන පින්වතාම නියම බෞද්ධයා ය. ගෙය වනාහි මිනිසාට අව්වෙන් වැස්සෙන් පින්නෙන් සුළඟින් සොරුන්ගෙන් සතුරන්ගෙන් වන්නා වූ කරදර වලින් මිදී සුවසේ විසීමට ඇත්තා වූ මහත් වූ පිහිටෙකි. එහෙත් මිනිසා ගෙය භජනය නොකොට ගෙයින් බැහැරව වෙසෙමින් ගෙය මාගේ පිහිටය ගෙය මට පිහිටවේවා යි කොතෙක් කියුවත් ඔහුට ගෙයින් පිහිටක් නොලැබේ.
එමෙන් මිනිසා රත්නත්‍රය භජනය නොකර රත්නත්‍රයෙන් බැහැරව වෙසෙමින් ‘බුද්ධං සරණං ගච්ඡාමි’ යනාදීන් මට රත්නත්‍රය පිහිටය, මට රත්නත්‍රය පිහිටවේවා යි කොතෙක් කියුව ද එයින් රත්නත්‍රයෙන් පිහිටක් නොලැබේ. එය නිෂ්ඵල වැඩෙකි. රත්නත්‍රයේ පිහිට ලබන්නට නම් රත්නත්‍රය භජනය කළ යුතුය. රත්නත්‍රයෙනුදු මිනිසාට ළඟින්ම පිහිට වන රත්නය සංඝරත්නය ය. රජකෙනකු ගෙන් පිහිටක් ලබනු කැමති තැනැත්තා විසින් පළමුවෙන් මැති ඇමති ආදි රජුට පහළින් ඉන්නවුන් භජනය කර ඔවුන් ගේ අනුසාරයෙන් රජු වෙත පැමිණ බලාපොරොත්තු වන දෙය ඉටුකර ගත යුතුවාක් මෙන් රත්නත්‍රයේ පිහිට ලබනු කැමති පින්වතා විසින් සංඝරත්නය ඇසුරු කොට සංඝරත්නයේ අනුසාරයෙන් ඉතිරි රත්නයන් ගේ පිහිට ද ලබා ගත යුතුය. සංඝරත්න ඇසුරු කළ හැකි වීමට ද බෞද්ධ ගිහියා සංඝරත්නය හැඳිනගත යුතු ය. සංඝරත්නයේ ගුණ දත යුතුය.

මෙකල බොහෝ බෞද්ධයෝ භික්ෂූන් නොහඳුනති. භික්ෂූන්ගේ ගුණ නොදනිති. මෙකල ඇතැම් බෞද්ධයන් භික්ෂූන් වහන්සේ හඳුනන්නේ හිස මුඩුකරගෙන කහ රෙදි හැඳ පොරවා ගෙත් කෙනකු සැටියට පමණෙකි. ඇතැමුන් හඳුනන්නේ අපේ දානයත් පාංසුකූලයත් ගන්නට ඉන්නා කෙනකු ලෙසය. ඇතැමුන් හඳුනන්නේ ලෙහෙසියෙන් ජීවත්වන්නට ක්‍රමයක් සාදාගෙන වෙසෙන්නකු ලෙසය. ඇතැමුන් හඳුනන්නේ අනුන්ගෙන් ලැබෙන දේ කාබී නිකම්ම නිදන කෙනෙකු ලෙසය. ඇතැමුත් හඳුනන්නේ රටට ජාතියට කිසිම වැඩක් නැති රටට බරක් වන පුද්ගලයෙකු ලෙසට ය. අද ඇතැම් බෞද්ධයන් තවුසන් පසුපස දුවන්නේත් විනයවර්ධන කාරයන් පස්සේ දුවන්නේත් භික්ෂූන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් නැත්තේත් භික්ෂූන් වහන්සේ භජනය නොකරන්නේත් ඒ නිසාය.

මෙසේ ගිහි පැවිදි දෙපක්ෂය ඔවුනොවුන් නොහඳුනන තරමට ඈත් වූයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ ගේ හෝ ගිහි බෞද්ධයාගේ වරදින් නොව අන් කරුණෙකිනි. මෙරට ආක්‍රමණය කළ ඉංග්‍රීසිහු සිංහලයන් ජාතික හැඟීමක් නැති, ආගමික හැඟීමක් නැති, උදාර අදහස් නැති, තමන්ගේ ජාතිය පිළිකුල් කරන, තමන්ගේ ජාතියට සතුරු, තමන්ගේ ආගමට සතුරු, යුරෝපයට ගැතිකම් කරන, අභිවාදනය කරන පිරිසක් කළ පසු පහසුවෙන්ම තමන් යටතේ තබාගත හැකිවන බව දැන, එය සිදුකිරීම සඳහා ක්‍රිස්තියානි පූජකයන් මේ රටට ගොඩ බැස්සූහ. භික්ෂූන් වහන්සේ අත තුබූ අධ්‍යාපනය හැරගෙන පාදිලිවරුන්ට එය හිමි කරන ලද්දේ ය. මිෂනාරීහු රජයේ අනුබලය ලබමින් අධ්‍යාපනය තමන් අතට ගෙන ඒ මගින් සිංහල සිරිත විරිත ඇඳුම පැළඳුම පහත් කොට සිතන, සිංහල ජාතිය සිංහල බස පහත් කොට සිතන, යුරෝපයට අභිවාදනය කරන, සිංහල බසට සිංහල ජාතියට බුද්ධාගමට භික්ෂූන් වහන්සේට සතුරු, ඉංග්‍රීසියෙන් අඳින පළඳින කන බොන කතා කරන කළු ඉංග්‍රීසිකාර පිරිසක් මේ රටේ ඇති කළහ. රජයේ උසස්ම තනතුරු ද ඔවුනට හිමි කරන ලද්දේ ය. ඒ මගින් සිංහලයන් පෙළමින් බුද්ධාගම මරමින් ඔව්හු මහා ධනස්කන්ධයක් ද රැස් කරගත්හ.

භික්ෂූන් වහන්සේ ඔවුනට කෝලමක් විය. ඔවුන්ගේ සහායෙන් ලක්දිව ගම්වල ද පාසැල් පිහිටුවා සිංහල දරුවනට ඒවාට යන ලෙස බලකොට පන්සල් අධ්‍යාපනය සහමුලින්ම නැතිකර දැමූහ. භික්ෂූන් වහන්සේ තනි වූහ. ගිහි පැවිදි සම්බන්ධය එයින් දිනෙන් දිනම නැතිවී ගොස් අන්තිමට ගිහි පැවිදි දෙපක්ෂය ඔවුනොවුන් නාඳුනන අය වූහ. කල්යෑමෙන් භික්ෂූන් වහන්සේගෙන් ප්‍රයෝජනයක් නොලබන්නා වූ බෞද්ධයනට භික්ෂුව එපා විය. භික්ෂුවට ද ගිහියා එපා විය. එයින් භික්ෂූහු ගිහියා ගැන තැබූ බලාපොරොත්තු විශ්වාසය හැර දමා තුමූ ම ධනය සපයා ජීවත් වන්නට පටන් ගත්හ. එයින් භික්ෂූහු ද ශාසන ප්‍රතිපත්තියෙන් හා දැන උගත්කමින් ද පිරිහෙන්නට වූහ. පිරිහෙත් පිරිහෙත්ම භික්ෂුව වඩ වඩා ගිහියන්ට එපා විය. ගිහියෝ නොයෙක් තැන භික්ෂූන්ට දුශ්ශීලයෝ යයි ගර්හා කරන්නට වූහ. එයින් ගිහි පැවිදි දෙපක්ෂය හොඳටම භේද වූහ. ගිහියෝ ද ඔවුනොවුන් භේද වුහ. මිෂනාරී ගැටය සර්වාකාරයෙන් සාර්ථක විය. බෞද්ධයෝ දැන් පරාජිත පක්ෂය වී සිටිති.

මේ රටේ පෙර විසූ සිංහලයෝ රජකුට මෙන් දෙවියකුට මෙන් භික්ෂුවට ගරු කළෝ ය. භික්ෂූන් වහන්සේ ගේ අවවාදයට අනුශාසනයට ඇහුම්කන් දුන්හ. එයින් මේ දිවයින ධර්මද්වීපයක් විය. අද ගිහියාගේ බලාපොරොත්තුව භික්ෂුව ඔහුගේ අණට කීකරුව ගිහියා කියන සැටියට විසිය යුතුය කියා ය. එබැවින් අද භික්ෂුවට අවවාද කරන්නට අනුශාසනය කරන්නට එන ගිහියන් මිස භික්ෂූන්ගේ අනුශාසනය ලැබීමට භික්ෂූන් වෙත එන ගිහියන් දුලබ වී තිබේ. අද පවත්නා වූ මේ තත්වය ඉතා භයානකය. මෙය ඉදිරියටත් මෙසේම පැවතුන හොත් අපේ මුතුන් මිත්තන් විසින් ජීවිතය සේ උතුම්කොට පවත්වාගෙන ආ බුද්ධාගම ශතවර්ෂයක් ගතවන්නටත් කලින් මේ රටින් අතුරුදන් වනු ඇත. මුලු සිංහල ජාතියම මා දැලකට අසුවන මසුන් රැසක් සේ මිෂනාරී දැලට හසුවී ඔවුන්ට ගොදුරු වනු ඇත.

(අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් 1955 දී ධර්ම විජය පත්‍රයට සපයන ලද ලිපි පෙළකි)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s