සැප නින්දට කාලයක් නෑ…! නිදා උන්නොත් මරණය…!

awadiwanu

බුද්ධාගමය සමග උපන් බුද්ධාගමය සමග ජීවත් වන බුද්ධාගමය සමග මැරෙන ජාතියකි සිංහල ජාතිය..!

බුද්ධාගමයේ මරණය සිංහල ජාතියේ මරණය ය…!

මිනිසා සෙමින් මරණ පරංගි රෝගයත් ලාදුරු රෝගයත් බඳු නපුරු රෝග දෙකක් සිංහල ජාතියට වැළඳී තිබේ.

ඉන් එකක් නම්, ක්‍රිස්තියානි මිෂනාරි රෝගය ය. අනික ඉන්දියානු දෙමළ රෝගය ය. ප්‍රතිකාරයක් නොකළහොත් මේ රෝග දෙකින් එක එකක් ම ශතවර්ෂයකින් මොබ බුද්ධාගමයත් සිංහල ජාතියත් නැසීමට සමත් ය.

– ක්‍රිස්තියානි සිංහලයෝ –

අතීතයේ අප රටේ එක ද ක්‍රිස්තියානි කාරයෙක් නොවීය. දැන් ලක්ෂ සතකට වැඩි ගණනක් ක්‍රිස්තියානි කාරයෝ අප රටේ වෙසෙති. ඒ ගණනින් ලක්ෂ සයකට අධික සංඛ්‍යාවක් සිංහලයෝ ය. ඒ ක්‍රිස්තියානි සිංහලයන්ගෙන් කොටසක් මිෂනාරීන් විසින් උපායෙන් ක්‍රිස්තියානියට හරවා ගත් බෞද්ධයෝ ය. අනික් කොටස එසේ හරවා ගත් බෞද්ධයන්ගෙන් පැවතෙන්නෝ ය. අපේ සිංහල බෞද්ධයන්ගෙන් මෙතරම් විශාල සංඛ්‍යාවක් ක්‍රිස්තියානියට හසු වී යාම සිංහල බෞද්ධයන්ට වූ ඉමහත් පරාජයකි.
ක්‍රිස්තියානි පූජකයන් හට මේ තරම් තද පහරක් සිංහල ජාතියට ගසන්නට ලැබුණේ ආණ්ඩුව ක්‍රිස්තියානි වීමත් රජයේ බස පාදිලි බස වීමත් නිසා ය.

– ක්‍රිස්තියානි අධ්‍යාපනය –

දැන් අප රටේ අධ්‍යාපනයත් ක්‍රිස්තියානි කාරයන් අතේ ය. ආණ්ඩුකාර ධූරයේ පටන් රජයේ උසස් තනතුරුත් ඔවුන් අතේ ය. ධනයත් ඔවුන් අතේ ය. බෞද්ධයෝ දුප්පත්කමේ පරමාන්තයට පැමිණ සිටිති.

දැන් ඔවුන්ට ඇත්තේ කිරි පිහියත් කැත්තත් උදැල්ලත් ය. සර්වප්‍රකාරයන් බලයට පත්ව සිංහල බෞද්ධයාගේ කරට නැඟ සිටින පාදිලිවරු දැන් නා නා උපාය යොදා පෙරට වඩා පුළුල් අන්දමින් සිංහල බෞද්ධයන් ක්‍රිස්තියානියට හැරවීම කරගෙන යති. දිළිඳු කමින් පීඩිත වූ සිංහල බෞද්ධයෝ රක්ෂාව නිසා ද දරුවන්ට උගන්වා ගැනීම නිසා ද නොකැමැත්තෙන් වුවද ක්‍රිස්තියානියට හැරෙති.

පාදිලි කෙනකුන්ගෙන් ලියුමත් ගතහොත් රක්ෂාව ලැබිය හැකිය යන කතාව අද රටේ නොයෙක් තැනදී අසන්නට ලැබෙන්නකි. බෞද්ධ රටේ පාදිලි බලය වැඩී තිබෙන තරම එයින් ද වටහා ගත හැකිය.

– හොඳම උපාය –

පල්ලියෙන් හා පාදිලිවරුන්ගෙන් ක්‍රිස්තියානි ජනයා වෙන්කර දැමීම ක්‍රිස්තියානිය නැති කිරීමේ හොඳම උපාය ය. පන්සලෙන් හා භික්ෂූන් වහන්සේගෙන් බෞද්ධ ජනයා වෙන්කර තැබීම බුද්ධාගම වැනසීමේ හොඳම උපාය ය. දැන් ඒ උපාය ක්‍රියාවෙහි යොදා පෙර පන්සල් වල පැවති අධ්‍යාපනය නැතිකර සිංහල බෞද්ධයෝ පන්සලෙන් හා භික්ෂූන් වහන්සේගෙන් වෙන් කරනු ලැබ සිටිති. එබැවින් අද ලක්ෂ ගණනක් බෞද්ධයෝ නමින් පමණක් බෞද්ධව ක්‍රිස්තියානියට ද නොගොස් වැට උඩ හිඳිති. මිෂනාරී ඇම කැවුණු විගස වැට උඩ ඉන්නා ඒ බෞද්ධයෝ ද ක්‍රිස්තියානියට හැරෙනු නොඅනුමානය.

– සිද්ධස්ථාන මත කුරුසිය –

මිනිසකුට ලක්ෂයක් හම්බ කිරීම දීර්ඝ කාලයක් ගතවන අමාරු වැඩකි. ලක්ෂය ලැබූ තැනැත්තාට දෙලක්ෂය කර ගැනීමට වැඩි කලක් නුවුවමනා ය. එසේම දෙලක්ෂය පන් ලක්ෂය කිරීමටත් පන් ලක්ෂය දශ ලක්ෂය කිරීමටත් දශ ලක්ෂය කෝටිය කිරීමටත් දිගු කාලයක් වුවමනා නැත.

එමෙන් දැනට ලක්ෂ හයක් පමණ බෞද්ධයන් ක්‍රිස්තියානියට හරවා ගැනිමට ජන බලයෙන් ද ධන බලයෙන් ද රජයේ බලයෙන් ද පරම බලයට පැමිණ සිටින පාදිලි වරුන්ට ඉතිරි බෞද්ධ ජනතාව ද දුබල කොට ක්‍රිස්තියානියට හරවා ඉවර කරන්නට වැඩි කලක් වුවමනා නැත. මිෂනාරි රෝගයට ඔරොත්තු දෙන සැටියට බෞද්ධ ජනතාව සංවිධාන නුවුවහොත් 2600 වන විට මේ ලක්බිමේ බුද්ධාගමයේ ඇටසැකිල්ල වූ ගල් ගොඩවල් පමණක් දැකිය හැකි වනු ඇත. ඒවා මත ද ක්‍රිස්තියානි කාරයන්ගේ කුරුසිය නැග සිටිනු ඇත.

– සංවිධානයට කාලය යි මේ..! –

නායක හාමුදුරුවනි, පරිවේණාධිපති වරුනි, තරුණ භික්ෂුවරුනි, පැමිණෙන විපත ඉතා භයානක ය. දැන් ඔබතුමන්ලාට සැප නින්දට කාලය නොවේ. බෞද්ධ ජන නායකයෙනි! බෞද්ධයෙනි! දැන් නින්දට කාලය නොවේ. වහ වහා සංවිධානය වනු මැනවි. නිදා සිටියහොත් බුද්ධාගමයේත් සිංහල ජාතියේත් මරණය නියත ය.

බුද්ධ ජයන්තියේත් එක්තරා බලයක් ඇත්තේ ය. ඒ බව දැනට පවත්නා බෞද්ධ ප්‍රබෝධයෙන් පෙනේ. එහෙත් බුද්ධ ජයන්තිය වෙනුවෙන් අප විසින් දැනට කරගෙන යන වැඩ, මුල් පණුවන් කමින් තිබෙන ගසක අතුපතර සැරසීමක් වැනි ය. එබැවින් ඒවායින් ඒ වේලාවට බුද්ධාගමයේ බැබලීමක් වීම මුත් අනාගතයට රැකීමක් නොවේ. මේ අවස්ථාවේදී අප විසින් ප්‍රධාන වශයෙන් කල්පනා කළ යුත්තේ බුද්ධාගමය මැරෙන්නට නොදී රැක ගැනීම ගැන ය.

– පාදිලි බස –

පාදිලිවරුන් හට බුද්ධාගම මරන්නට බොහෝ උපකාර වූයේ රජයේ බස ය. පාදිලි බස රජයේ බස වී තුබුණහොත් බුද්ධාගම රැකගැනීම අති දුෂ්කර ය. එබැවින් බුද්ධාගම රැක ගැනීමේ මුල් පියවර වශයෙන් අපට කරන්නට තිබෙන්නේ රජයේ බස ලංකාවේ වැඩිදෙනා ව්‍යවහාර කරන සිංහල බස කර ගැනීමත් පන්සල් වලින් උදුරා ගත් අධ්‍යාපනය නැවත ලබාගෙන ඉඩ ඇති හැම පන්සලක ම පාසලක් ඇති කිරීමත් ය.

ඉංග්‍රීසි ආණ්ඩුව තුබුණා නම් මැරෙන්නට නොදී බුද්ධාගමය රැකගන්නවා නොඅනුමානය. ඔවුන් එසේ කරන්නේ අපට ඇති ආදරයක් නිසා නොව රට භේද කර තැබීමට ඔවුන් කැමති නිසා ය.

අපේ වර්තමාන ආණ්ඩුව සිංහල ජාතියට හා බුද්ධාගමට කුමක් කෙරේ ද යන බව තීරණය කර ගත හැකි වන්නේ රාජ්‍ය භාෂා ප්‍රශ්නය විසඳන සැටියෙනි.

අපේ ආණ්ඩුවෙන් හැටපන් ලක්ෂයක් පමණ ඉන්නා සිංහලයන්ගේ බසත් නව ලක්ෂයක් පමණ වන ලංකා දෙමළුන්ගේ බසත් සමතන්හි තැබුවහොත් එය දුටුගැමුණු රජ කාලයේදී දහස් ගණනින් දස දහස් ගණනින් සිංහල ජීවිත පුදා සිංහල ලේ වගුරුවා දෙමළුන්ගෙන් බේරාගත් මේ රට නැවතත් දෙමළුන්ට පාවා දීමකි. එය කෙරුණහොත් සිංහල ජාතියේ ආයුෂය හොඳටම කෙටිවනු ඇත.

– රෝග දෙක –

ඉහත කී රෝග දෙකින් සිංහල ජාතියක් බුද්ධාගමත් බේරා ගන්නට නම් මේ කාලයේදීම ඒ ගැන ක්‍රියා කළ යුතුය. තවත් අවුරුදු විස්සක් තිහක් ගතවුවහොත් ඒ රෝග වලින් බේරා ගත නොහෙන අන්දමට සිංහල ජාතිය දුබල වනු ඇත. බුද්ධාගමයත් සිංහල ජාතියත් මැරෙන්න අරිනවාද බේරා ගන්නවාද යන්න දැන්ම ම තීරණය කරගත යුතු කරුණකි.
අතීතයේ නොයෙක්වර මෙබඳු උවදුරු වලින් සිංහල ජාතිය බේරාගෙන තිබෙන්නේ පැවිදි පක්ෂය ඉදිරිපත් වීමෙනි. සංවිධානය වුවහොත් මේ උවදුරු දෙකින්ම රට බේරා ගැනීමේ ශක්තිය පැවිදි පක්ෂයට ඇත්තේ ය. ඒ ශක්තිය ක්‍රියාවේ යෙදිය හැකි වීමට පැවිදි පක්ෂයට ඇත්තේ එක්සත් වීම පමණකි.

මුළු රටේම සිටින භික්ෂූන් වහන්සේලා එක්සත් වී එක බසකට එක අණකට ක්‍රියා කරන්නට පටන් ගතහොත් සංඝ බලයෙන් මෙහි නොකළ හැකි දෙයක් නැත. මහා සංඝයා වහන්සේ දැනට ඉන්නා සැටියටම තම තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය පමණක් බලමින් නිකාය වශයෙන් හා තවත් ක්‍රම වලිනුත් බෙදී උදාසීනව විසුවහොත් සංඝ රත්නයත් සමගම සිංහල ජාතිය ශත වර්ෂයක් තුළදී වඳවී යන්නට බැරි නැත.

මේ ගැන මහා සංඝයා වහන්සේ ද බෞද්ධ ගිහි පින්වත්හු ද කල්පනා කරත්වා..!

_______________________________________________

(අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන් 1955-01-18 දින ‘ජාතිය’ පුවත්පතට සැපයූ ලිපියකි)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s