“අභිධර්මය උගැන්මට පෙර….” (3 කොටස)

Padama 3
___________________________________________________

(අභිධර්ම පිටකයෙහි පළමුවන ප්‍රකරණය වූ “ධම්මසංගණී ප්‍රකරණය“ හෙවත් බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 41 වන ග්‍රන්ථයෙහි එන, අතිපූජනීය පණ්ඩිත කරගම්පිටිගොඩ සුමනසාර නාහිමිපාණන් වහන්සේ විසින්, කාලාන්තරයක් තිස්සේ විතණ්ඩවාදීන් අභිධර්ම පිටකයට ඉදිරිපත් කරන ලද දුර්මත නිරාකරණය කරමින්, සම්පාදනය කරන ලද සංඥාපනය ඇසුරින් මෙම ලිපි මාලාව සකස් කර ඇත.)
___________________________________________________

– සම්භාවනා –

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේම අභිධර්මය මහත් සම්භාවනාවට පාත්‍ර විය. එදවස ‘ධම්මකථික’ යනු ආභිධර්මිකයනට යෙදුනු විශේෂ නාමයකි. ‘ධම්මකථික’ නමින් වෙනම ආචාර්ය ගණයක් ද විය. කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි පන්සීයක් අතවැසියන්ගෙන් සමන්විත ධම්මකථික ගණයත්, විනයධර ගණයත් අතර උපන් විනය පිළිබඳ මතභේදයක් නිසා බුදුරදුන් පාරිල්‍යෙය වනයට වැඩි බව ධම්මපදට්ඨ කථා කෝසම්බක වත්ථුවෙහි දැක්වේ. මහාගොසිංග සූත්‍රයෙහි දී සම්බුදුරදුන් විසින්ම ආභිධර්මිකයා ‘ධම්මකථික’ යැයි නම් කරන ලද්දේ ය.

කෙබඳු ස්වරූප ඇති මහණහු විසින් ගොසිංග සාලවනය හොබනේ ද? යනුවෙන් දම්සෙනෙවි සැරියුත් තෙරණුවන් විසින් විමසූ විට, මහමුගලන් තෙරණුවෝ :

” ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මෙසස්නෙහි මහණහු දෙදෙනෙක් අභිධර්ම කථා කෙරෙත් ද, ඔහු ඔවුනොවුන් පැන පුළුවුසිත් ද, ඔවුනොවුන් පැන පුළුවුස්නා ලදහු විසඳත් ද නො පසුබසිත් ද උන්ගේ දැහැමි කථාත් පවත්නී වේද, ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, මෙවන් මහණහු විසින් ගොසිංග සාලවනය හොබනේ යැ”යි අභිධර්මකථා කරන භික්ෂුව විසින් ගොසිංග සාලවනය බබලවන අයුරු දැක්විණ. මහමුගලන් තෙරණුවන්ගේ විසඳුම සැරියුත් තෙරණුවන් විසින් සම්බුදුරදුන් හමුවේ දැක්වූ විට බුදුරජාණන් වහන්සේ : “සාධු සාධු ශාරීපුත්‍රය, එය මුගලන්හු පැවැසූ සේ මැනැවැ. ශාරීපුත්‍රය, මොග්ගල්ලාන ධර්මකථිකයෙකි”යි වදාළහ. මෙහි සම්බුදුරදුන් විසින් අභිධර්ම කථා පසසමින් ‘ආභිධර්මිකයෝ මැ ධර්මකථිකය හ’ යි ද වදාරණ ලද්දේ වෙයි.

ආභිධර්මිකයා ම ධර්මකථික වීමට හේතු අර්ථකථාවෙහි මෙසේ දැක්වෙයි: “සූක්ෂම වූ චිත්තාන්තර, ස්කන්ධාන්තර, ධාත්වන්තර, ආයතනාන්තර, ධ්‍යානාවක්‍රාන්ති, ආලම්බනාවක්‍රාන්ති, අංගව්‍යවස්ථා, අලම්භනව්‍යවස්ථා, අංගසංක්‍රාන්ති, ආලම්බනසංක්‍රාන්ති, එකතෝවර්ධන, උභතෝවර්ධන යන මොවුන් ආභිධර්මිකයනට මැ ප්‍රකට වෙයි. ආභිධර්මික නොවූයේ ධර්මය කියතුදු මේ ස්වවාද යැ මේ පරවාද යැයි නොදනී” යයි.

අත්ථසාලිනී අටුවාවේ : “ආභිධර්මික මහණහු මැ ධර්මකථික නම් වෙති. සෙස්සෝ ධර්මකථා කියන්නාහු නමුදු යථාර්ථයෙන් ධර්මකථික නො වෙති. කවර හෙයින යත්: ඔහු ධර්මකථා කියන්නාහු කර්මාන්තර, විපාකාන්තර, රූපාරූප පරිච්ඡේද, ධර්මාන්තර ආලෝළන කොට කියති. ආභිධර්මිකයෝ ධර්මාන්තර නො අලළති. එහෙයින් ආභිධර්මික මහණ ධර්මය කියන්නේ වේවයි නොකියන්නේ වේවයි පිළිවිසි කල්හි පැන විසඳා නු යි මේ මැ ඒකාන්ත ධර්මකථික වේ” යයි ආභිධර්මික මහණ ම ධර්මකථික වන බව පැහැදිලි ලෙස දක්වන ලදී.

ලක්දිව බෞද්ධයන් අභිධර්මය කෙරෙහි දැක්වූයේ අසීමිත භක්තියකි. සම්භාවනාවකි. එහිදී මෙරට රජවරුන් පුරෝගාමී වූ ආකාරය ඉතිහාසයෙන් දැකිය හැකිය. ත්‍රිපිටක බුද්ධ වචනයෙහි නිපුණ වූ සිංහල රජදරුවෝ බොහෝ දෙනෙක් මෙරට පාලනය කළේය. බුදුදහම ව්‍යාප්ත කිරීමද ඔවුන්ගේ රාජ ධර්මයන්ගේ අංගයක් විය. දහම් දෙසන්නටත් ධර්මය රචනා කරන්නටත්, ධර්ම අධ්‍යාපනය සඳහාත් මෙරට රජවරු ඉදිරිපත් වූ අවස්ථා ඉතිහාසයේ එයි.

දුටුගැමුණු රජතුමා අනුරාධපුර ලෝවාමහාප්‍රාසාදයෙහි යටිමහ‍ලෙහි මහාසංඝයා මැද දහම් දෙසූ බවත්, මුගලන් රජු ධර්මභානකයනට අතිරේක පූජා කොට අට්ඨකථා සහිත තුන්පිටකය උගත් බවත් උගත් දහම් කවියට නගා රාත්‍රී ධර්මාවසානයේ නගරයට ඇතුන් පිට පුරුෂයන් යවා කියැවූ බවත්, දෙටුතිස් රජු යුද්ධයෙන් පැරදී සිරියෙන් ගෙල සිඳ සියදිවි නසාගන්නට පෙර ඇමති අත අගමෙහෙසියට පණිවිඩයක් යවමින් ‘පැවිදිවැ ආගම හදාරා අභිධර්මය කියා පින්පෙත් දෙව’ යි ඉල්ලූ බවත්, කාශ්‍යප රජු මිරිසවැටි වෙහෙරේ පහයක් කරවා එහි නාගසාලනිවාසී ‘මහාධම්මකථී’ නම් මහ තෙරුන් වැඩමකරවා අට්ඨකථා සහිත අභිධර්මය කියැවූ බවත්, නාගසාලිනියේ ද ආවාසයක් කරවා ‘මහානිඨිල’ ග්‍රාමය ද උන්වහන්සේට ප්‍රත්‍ය පිණිස පූජා කළ බවත් මහාවංශයේ සඳහන් වේ.

මහාවංශයේ එන තවත් ඓතිහාසික සිද්ධියක් මෙසේය. සලමෙවන් අබා රජ හෙවත් පස්වන කසුප් රජු මිරිසවැටි වෙහෙරේ දී නුවර වැසියන් හා භික්ෂූන් පිරිවරා විචිත්‍ර මණ්ඩපයක හිද විජම්බණ දෙසා අනතුරුව විජම්පෙළ රන්පත්හි ලියවා ධර්මසංගණී පෙළ නන් රුවනින් සාදා නුවර මැද ධම්මචක්ක ගෘහයක් කරවා එහි තබා පෙරහැර කරවන ලදී. තම පුතුහට ‘සක්කසේනාපති’ නම් තනතුර දී පෙරහැර කරවීමට යෙදවීය. අවුරුදු පතා නුවර සරසවා සර්වාභරණයෙන් සැදි සේනා පිරිවරා ඇතුපිට හිඳි රජු විසින් ධම්මංඝනිය වඩාගෙන වීථි සංචාරය කොට තමන් කරවූ මිරිසවැටි විහාරයට පමුණුවා එහි ධාතුඝරයේ විචිත්‍රමණ්ඩපයක තබා පුදපෙරහැර පැවැත්වීය. පස්වන කසුප් රජුගේ අභයගිරි සෙල්ලිපියෙන්ද මහාවංශයේ එම පුවත සනාථ වන අතර රජු විසින් අභිධර්ම ග්‍රන්ථයක්ද සම්පාදනය කළ බව වැඩිදුරටත් එහි සඳහන් වේ.

මහාවංශයේ සඳහන් ආකාරයට, මිහිඳු රජු සිත්ථගාමවාසී ‘දහම්මිත් ‘ තෙරුන් පුදා උන්වහන්සේ ලවා අභිධර්ම වර්ණනාවක් කරවීය. එමෙන්ම අරණ්‍යවාසී ‘දාඨානාග’ තෙරුන් ලවා අභිධර්මය උගත්තේ ය. එයට ගෙවීම් සිදුකල ආකාරය මිහින්තලා පුවරු ලිපියෙහි දැක්වේ. ඊට අනුව විනය පිටකය උග්නවන භික්ෂුවක් හට වසග් පසක් ද සූත්‍රාන්ත පිටකය කියන මහණක්හට වසග් සතක් ද අභිධර්මපිටකය කියන මහණක් හට වසග් දොළසක් ද ගෙවිය යුතු බව දැක්වෙයි. විනය පිටකයත් සූත්‍රපිටකයත් දෙකම සඳහා කල ගෙවීමට සමාන වටිනාකමක් අභිධර්ම පිටකය සඳහා පමණක් ගෙවීමෙන් අභිධර්මය කෙරෙහි මහත් සම්භාවනාවක් එකල දැක්වූ බව පැහැදිලි වෙයි.

මහා විජයබාහු රජ දිනපතා උදෑසන විවේකීව ධර්මාගාරයට වැදී ධර්මසංගණිය පරිවර්තනය කළ බවක් මහාවංසයේ එයි.

මේ ආකාරයට අභිධර්මපිටකයට එකල ලක්දිව තිබූ පිලිගැනීම අතිමහත් බව පෙනේ. එයින්ද ධම්මසංගණීප්‍රකරණය සුවිශේෂි වෙයි. ‘ධම්මසංඝණීගෙහ’ නමින් වෙනම ගෘහයක් ද එහි ආරක්ෂාවට ‘සක්කසේනාපති’ නමින් වෙනම සෙනවි ධූරයක්ද එකල පැවතීමත්, වාර්ෂික පූජෝත්සව පෙරහැරක් පවත්වා මහරජු විසින්ම ධම්මසංගණිය වඩාගෙන යෑමෙන්ද ඒ උතුම් අභිධර්මයට සිදුකරනා ලද ඉමහත් සම්භාවනාවන්ගේ තරම ප්‍රකට කරයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s