උතුම් බුද්ධ භාෂිතයට එරෙහි මහමෙව්නාවේ අධර්මය – නමෝ බුද්ධාය..!

Namo Buddhaya

අපගේ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් තම සර්වඥතාඥානයෙන් අවබෝධකරගත් මනාකොට දේශනා කරණ ලද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ පින් බිමේ අද දක්වාම නිර්මලව පැවතීම ඔබ අප සැම ලත් මහත් භාග්‍යයකි. උන්වහන්සේ බෝධිසත්වයකු ලෙස සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් ඇස්, ඉස්, මස්, ලේ දන් දෙමින් පාරමී පූරණය කොට කුසල් රැස්කරමින් ලබාගත් සර්වඥතාඥනයෙන් අවබෝධකොට ගත් ධර්මය යනු, අදත් ජීවමානව පවතින අපගේ ශාතෘන් වහන්සේ ද තම ගුරුතැන්හි තබාගත් අති උතුම් දෙයකි.

බුද්ධ කාලයේ පටන් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම උතුම් වූ ධර්මය සංගායනා කරමින් දිවිහිමියෙන් රැකගෙන පවත්වාගෙන එන ලද්දේ, ශාසනයෙන් ඵල ලැබීමට පිනැති සත්පුරුෂයන්ට දායාද පිණිසමය. එවන් දහමක් අපගේ ඇස් පනාපිට විනාශ කරමින් පවතිද්දීත් නිහඩව අඳගොලුබිහිරන් සේ සිටීම සැබෑ බෞද්ධයකුගේ යුතුකමක් නොවන බව ඔබත් විශ්වාස කරනු ඇතැයි සිතමි.

අවාසනාවන්ත කරුණු වනුයේ දහමේ නාමයෙන් ධර්මය තුලටම රිංගා සිටිමින් සමහර බෞද්ධ ආයතන හා භික්ෂූන් වහන්සේලා විසින්ම මෙසේ ධර්මය විනාශ කිරීමේ කාර්යභාරය වර්තමානයේදී ඉතා මැනවින් ඉටුකරමින් පැවතීමත් ඊට ඉතා විශාල සැදැහැවතුන් පිරිසක් මේ වනවිටත් හසුව එම ධර්ම විනාශයට දැන හෝ නොදැන හවුල්වෙමින් සිටීමත් ය. මීට එරෙහිව කිසිදු පියවරක් අදාල වගකිවයුතු පාර්ශවයන්ගෙන් නොගැනීම ද ගැටළුවකි.

84000ක් ධර්මස්කන්ධයක් වන ත්‍රිපිටක ධර්මයෙන් හරි අඩක්ම එනම් ධර්මස්කන්ධ 42000 ක් අඩංගු අභිධර්ම පිටකය, උතුම් බුද්ධ භාෂිතයක් නොවේ යැයි සැකකරමින් බැහැර කිරීමට මහමෙව්නා භාවනා අසපුව විසින් කටයුතු කරන බව අප විසින් මීට පෙර නොයෙක් විට ලිපි කිහිපයක් හරහාම සාක්ෂි සහිතව පෙන්වා දෙන ලදී. එසේ පෙන්වාදීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙතෙක් කලක් ප්‍රසිද්ධියේ අභිධර්මය සම්බන්ධව කතා නොකරමින් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ මහමෙව්නාව මෑත කාලයේ අවස්ථා කිහිපයකදීම අභිධර්මය සම්බන්ධයෙන් තමන්තුල ඇති මතයන් එලි දැක්වීමට උත්සාහගත් බව දැකගත හැකි විය.

TNL රූපවාහිනී සේවය ඔස්සේ සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 9.30 ට විකාශය වන ‘නමෝ බුද්ධාය’ වැඩසටන යනු මහමෙව්නාවෙ ප්‍රමුඛ වැඩසටහනක් මෙන්ම අද දිවයිනේ ජනප්‍රියම බෞද්ධ ආගමික රූපවාහිනී වැඩසටහනකි. එල්ලවූ විවේචන නිසාවෙන්ම, මෑතකදී විකාශය කරන ලද වැඩසටහන් කිහිපයකදීම අභිධර්මය සම්බන්ධ සාකච්ඡාවන් ගොඩනැගීමට උත්සාහ කලද එමගින් තවත් ධර්මය විකෘති කිරිමේ තත්වයක් දක්නට ලැබිණි. මේ වනවිට මහමෙව්නාවාසී පූජ්‍ය අඹන්පොළ ඥානවිජය හිමියන් විසින් මෙම වැඩසටහනේ දේශනා කටයුතු සිදුකරන අතර උන්වහන්සේ විසින් 2012-12-06 දින ‘නමෝ බුද්ධාය’ වැඩසටනේ පළකල ධර්ම විරෝධී අදහස් කිහිපයක් සම්බන්ධයෙන් ඔබගේ අවධානය මෙසේ යොමු කරවමු.

මෙම වැඩසටහන පුරාවටම ඥානවිජය හිමියන් විසින් සිදුකරනා දහමට එකඟ නොවන ප්‍රකාශ ගණනාවකි. අභිධර්මය ඉගෙනීම යොමුවන ආධුනිකයින්ගේ පහසුව පිණිස අනුරුද්ධ ආචාර්යපාදයන් වහන්සේ විසින් රචනා කරන ලද සම්භාවනීය ග්‍රන්ථයක් වන ‘අභිධර්මාර්ථ සංග්‍රහය’ ග්‍රන්ථය විවේචනය කරමින් එහි දහමට නොගැලපෙන තැන් ඇතිබව හඟවමින් කටයුතු කරන ඥානවිජය හිමියන් අභිධර්මයේ එන පරමාර්ථ ධර්මයන් සම්බන්ධයෙන්ද වැරදි විග්‍රහයන් ඉදිරිපත් කරයි. මේවා පසුකාලීන ග්‍රන්ථයන් බව පවසමින් අභිධර්මධරයින් අතර මහත් සම්භාවනාවට පත්ව ඇති, එමෙන්ම අභිධර්ම ප්‍රකරණ ග්‍රන්ථවලට අනුකූලවම ලියැවී ඇති, අටුවා වලටද ගැළපෙන ‘අභිධර්මාර්ථ සංග්‍රහය’ හෙලා දකින්නේ, උන්වහන්සේ තුල අභිධර්මය සම්බන්ධයෙන් ඇති අනවබෝධය නිසා බව පෙනේ.

අභිධර්මාර්ථ සංග්‍රහයේ ඇති වැදගත්කම දැක්වීමට අතිපූජනීය ආභිධම්මික රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේගේ ‘අභිධර්මයේ මූලික කරුණු’ ග්‍රන්ථයේ සංඥාපනයෙන් උපුටාගත් කොටසක් පහත දක්වමි.

“අභිධර්ම ප්‍රකරණවලට බැස ගෙන ඒවා උගත හැකිවීමට පළමුවෙන් කොටින් අභිධර්මය උගත යුතුය. එසේ නොකොට සප්ත ප්‍රකරණයට අයත් පොත්වලින්ම අභිධර්මය උගෙනීම දුෂ්කරය. එබැවින් අභිධර්ම පිටකයට බැස ගැනීමට බලාපොරොත්තු වන්නවුන්ට පටන් ගැනීමේදී උගෙනීමට පෞරාණික ධර්මධරයන් වහන්සේලා විසින් අභිධර්ම ග්‍රන්ථ නිපදවා තිබේ. අභිධර්මාර්ථ සංග්‍රහය, අභිධර්මාවතාරය, නාමරූප පරිච්ඡේදය, පරමාර්ථ විනිශ්චය, නාමරූප සමාසය යන මේ පොත් ඒ සඳහා විරචිත ඒවාය. ඒ පොත් වලින් අභිධර්මය උගන්නවුන් අතර වඩා ප්‍රසිද්ධියට පැමිණ තිබෙන්නේ ‘අභිධර්මාර්ථ සංග්‍රහය’ ය. අන් සියල්ලටම වඩා උගෙනීමට හොඳ පොත සැටියට පිළිගෙන තිබෙන්නේ ද එය ය. එබැවින් සන්න ටීකාදි පරිවාර ග්‍රන්ථ රාශියක් එයට තිබේ. ඒ පමණ පරිවාර ග්‍රන්ථ ඇති අන්‍ය බෞද්ධ ග්‍රන්ථයක් නැති තරම්ය. මෑත කාලයේ දී අභිධර්මය උගෙනීම සඳහා හෙළබසින් පිළියෙළ කර තිබෙන ග්‍රන්ථ රාශියක් ද ඇත්තේ ය. ඒවා කර තිබෙන්නේ ද ‘අභිධර්මාර්ථ සංග්‍රහය’ අනුව ම ය. එබැවින් ඒවා ද අභිධර්මාර්ථ සංග්‍රහයේ පරිවාර ග්‍රන්ථ සැටියට ම සැලකිය හැකිය.”

අතිපූජනීය රේරුකානේ නාහිමියන් සඳහන් කළ පරිද්දෙන්ම ථේරවාද සම්ප්‍රදාය තුල සුවිශේෂී තැනක් හිමි මෙවන් ග්‍රන්ථයක් තමන්තුල ඇති අනවබෝධය නිසාම හෙලා දැකීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි. ඊට අමතරව මෙම වැඩසටහන පුරාවටම ඥානවිජය හිමියන් විසින් අභිධර්මයේ එන මූලික කරුණු සම්බන්ධ වැරදි විවරණයන් ඉදිරිපත් කරමින් ධර්මයට විකෘති අර්ථ කථනයන් දෙනුයේ ඊට සහභාගී වන නිවේදක මහතාගේ ද සහයෝගය ලබාගනිමිනි. අභිධර්මයේ විග්‍රහයනට අනුව මරණාසන්න අවස්ථාවක සිතේ ක්‍රියාකාරීත්වය ගැන නිවේදක මහතා විමසන කරුණකදී ඥානවිජය හිමියන් පවසන්නේ, ඉතා ක්ෂණික මරණයකදි ඔය ආකාරයට පිළිවෙලකට චිත්ත නියාම ක්‍රියාත්මක වීමට ඉඩකඩක් නොමැති බවයි. සෑම විටම පරමාර්ථ විග්‍රහයට වඩා ත්‍රිපිටකය ඇසුරෙන් අප කරුණු විග්‍රහකරගත යුතුයැයි පවසමින්, ධර්ම කරුණු තව තවත් අවුල් ලෙස සමාජගත කරන්නේ බොහෝ ශ්‍රාවක පිරිසක් නොමග යවමින් වීම සංවේග දායකය. තවත් විටෙක සතර පරමාර්ථ වලට වඩා චතුරාර්ය සත්‍යයට අනුව සිතිය යුතුයැයි පවසන්නේ, සතර පරමාර්ථයන් ද චතුරාර්ය සත්‍යයට ගලපා පෙන්විය හැකිබව නොදන්නා නිසා විය හැක. ත්‍රිපිටක ධර්මයට අනුකූලවත් අතීතයේ රහතන් වහන්සේලාගේ සිට පැවත ආ අටුවාවලට එකගවත් සිදුකර ඇති ධර්ම විග්‍රහයන් උන්වහන්සේ විසින් පසෙකට දමමින්, බුද්ධ වචනයට මෙසේ නව අර්ථකථන සපයන්නේ, එදා වැඩ සිටි මහරහතන් වහන්සේලාට ද අභියෝග කරමින් දැයි විටෙක සිතෙනා තරම් ය.

බුදුරජාණන් වහන්සේ විසින් මහා ගෝසිංග සූත්‍ර දේශනාවේදී, මහා මුගලන් තෙරණුවන් අරභයා, ‘සැබෑ ධම්ම කථිකයා නම් ආභිධම්මිකයා’ යනුවෙන් දේශනා කරන ලද්දේ, සූත්‍ර පමණක් උගෙන ධර්මය දේශනා කරනා භික්ෂුව මේ ආකාරයට ධර්මය අවුල් සහගතව දේශනාකරන බව දැක්වීම සඳහා ය. ගෝසිංග සූත්‍ර අටුවාවේ මේ බව තවත් විස්තර කරමින් අභිධර්මය නොදන්නා දේශකයා ධර්මය අවුල් කරමින් දේශනා කරන බව සඳහන් වන්නේ මෙසේය.

“සුඛුමං පන චිත්තන්තරං ඛන්ධන්තරං ධාතන්තරං ආයතනන්තරං ඣානොක්කන්තිකං ආරම්මණොක්කන්තිකං අංගවවත්ථානං ආරම්මණවවත්ථානං අංගසංකන්තං ආරම්මණසංකන්තං එකතො වඩ්ඪනං උභතො වඩ්ඪනන්ති ආභිධම්මික ධම්මකථිකස්සෙව පාකටං, අනභිධම්මිකො හි ධම්මං කථෙන්තො අයං සකවාදො අයං පරවාදොති න ජානාති. සකවාදං දීපෙස්සාමිති පරවාදං දීපෙති. පරවාදං දීපෙස්සාමීති සකවාදං දීපෙති. ධම්මන්තරං විසංවාදෙති. ආභිධම්මිකො සකවාදං සකවාදනියාමෙනෙව පරවාදං පරවාදනියාමෙනෙව දීපෙති. ධම්මන්තරං න විසංවාදෙති.” 

ධම්මසංගනී අටුවාවේ,“ආභිධම්මික භික්ඛුයෙව කිර ධම්මකථිකා නාම අවසේසා ධම්මකථං කථෙන්තාපි න ධම්මකථිකා.” යනුවෙන් “ආභිධම්මික භික්ෂූහුම ධර්ම කථිකයෝ ය. සෙස්සෝ බණ කියන්නාහුද ධර්මකථිකයෝ නොවෙති”යි කියා ඇත්තේ ද මෙය මය.

ඉහත සඳහන් කළ 2012-12-06 දින ‘නමෝ බුද්ධාය’ වැඩසටනට අමතරව ඊට පසුද උන්වහන්සේ විසින් අභිධර්මය සම්බන්ධ වැඩසටහන් කිහිපයක්ම සිදුකළ අතර ඒවාද එමෙන්ම අවුල් සහගත අධර්ම විස්තර වලින් ගහණ ය. වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ඔස්සේ මෙසේ දිගින් දිගටම ධර්මය අවුල් කරමින් වැඩසටහන් විකාශය වීම සම්බන්ධයෙන් කිසිවෙකුගේ හෝ අවධානය මෙතෙක් යොමුවී නොමැති බව පෙනේ. වර්තමානයේ ජනප්‍රිය මෙවන් බෞද්ධ වැඩසටහන් හරහා ධර්ම විකෘති කරමින් අධර්මය පැතිරවීම හරහා නිර්මල දහමට වදිනා පහර සුලුපටු නොවේ. මෙය ඉදිරියටත් දිගින් දිගටම සිදුවීමට ඉඩහැරියහොත්, එමගින් සාමාන්‍ය බෞද්ධ ජනතාව තුල අධර්ම මත මුල්බැස ගැනීමෙන් ධර්මය අධර්මය තෝරා බේරාගත නොහැකි සමාජයක් ගොඩනැගීමෙන් නිර්වාණගාමී අති උතුම් ධර්මය යටපත්වීම ඉතාම මෑතකදීම සිදුවනු නොඅනුමානය. අපගේ මෙම ලිපිය හරහා උත්සාහ දරන්නේ ඒ සබන්ධව ඔබ දැනුවත් කරමින් මෙම අධර්ම වැඩසටහන් වලට එරෙහි සමාජ මතයක් ගොඩනැගීම හරහා වගකිව යුත්තන්ගේ අවධානය යොමු කරවීමයි. ඒ තුලින් නිර්මල ධර්මය තවත් චිරාත් කාලයක් ලෝ සතුනට දෙලොව වැඩ සලසමින් පැවතීමට අවශ්‍ය පසුබිම සැකසේවායි අපි ප්‍රාර්ථනා කරමු..!

(මහමෙව්නාවාසී හිමිවරුන් සම්බන්ධව කිසිදු ද්වේශයක් අප සිත්හි නොමැති බවත්, උන්වහන්සේලා මේ ධර්ම හානිය තුලින් සිදුකරගන්නා මහා අකුසල් රැසත්, බොහෝ පිරිසක් අධර්ම මාර්ගයකට යොමුකිරීමෙන් නිවන් මග ඇහැරීමත් ගැන සංවේගයෙන්, සද්ධර්මයේ චිරස්ථිතිය උදෙසා මෙත් සිතින් සිදුකරනා දැනුවත් කිරීමක් පමණක් බවත් සලකන්න.)

ධර්මයේ නාමයෙන් සියළු අධර්මවාදීන් දහම් මගටම යොමු වේවා..!!!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s