සිදුහත් බෝසතාණන් වහන්සේගේ සත්ව කරුණාව..!

Bosath karunawa

හංසයා ඇරැබ නඩුව

දවසෙක බෝසතාණෝ තමන්ගේ කෙළිමඬලෙහි සිට එන්නාහු තමා ඉදිරියෙහි කිසිවක් වැටුණා දැක දිවැ ගොස් බැලූහ. ඒ අත හැන්දෙක ඊයක් ඇනී බිමැ වැටුණු හංසයෙකි. බෝසතාණන් වහන්සේ වහාම ඊය ගළවා දමා ඌ රැගෙන රජගෙය දෙසට ගියහ. දෙව්දත් කුමරු තමා විද හෙලූ ‘හංසයා කොහි දැ?’යි සොයා එනුයේ සිදුහත් කුමරුන් අතෙහි ඉඳිනු දැක ‘ඔය හංසයා මගෙයි, මා ඊයෙන් විද බිම හෙලු එකා’යි කියා ඌ ඉල්ලීය. බෝසතාණෝ ඌ නොදීම ගෙන ගියහ. උගේ තුවාලයට බෙහෙත් කළහ.

දෙව්දත් කුමරු ගොස් සුදොවුන් රජුට නඩුව පැමිණිලි කෙළේ ය. රජ පුත් කුමරු කැඳවා ප්‍රශ්න කෙළේ ය. තමාට හමු වූ ඒ අසරණ සතා සුවපත් කොට මුදාහරිනු මිස ඌට හිංසා පීඩා කරන්නකුට නොදෙමි’යි බෝසතාණෝ කීහ.

‘මතු රටේ පාලයට බාරගන්නට සිටින මේ දරුවන් කුඩා වියේ සිටම නීතියට අනුව සිටින්නට පුරුදු වියැ යුතු යැ’යි සිතූ රජතුමා ‘නුඹ නඩුව රාජ සභාවට පැමිණිලි කරන්න’යි දෙව්දත් කුමරුට කීය. හේ එසේ පැමිණිලි කෙළේ ය. රජතුමා රාජ සභාව කැඳවා ‘මේ මා පුතාත් බෑනණුවනුත් අතර නැංග ආරවුල විසඳා තීන්දුව දෙන්නැ’යි නියෝග කෙළේ ය.

රාජ සභාව රැස්විය. කුමරුවන් දෙදෙනා ම කැඳවා නඩුව විනිශ්චය කෙළේ ය. ‘දෙව්දත් කුමරුවාණන් විසින් විද බිමැ හෙලූ බැවින් ඒ හංසයා ඒ කුමරුනට ම අයිති ය. එ බැවින් දෙව්දත් කුමරුනට හංසයා බාර දියැ යුතු යැ’යි එක්කෙනෙකු හැර අනිත් සියලු සහාසදයෝ තීන්දු කළහ. එවිට සිද්ධාර්ථ කුමාරයෝ නැගී සිට ‘අහසේ නිදහසේ පියාහඹා ඇවිදින කිසිදු පක්ෂියෙක්‍ මිනිසුනට අයත් නැත. උන් පෙළීමට ද කිසිවෙකුට අයිතියෙක් නැත. එ බැවින් උන් පිළිබඳ අයිතිකම් පැවැසීම වියරුවෙකැයි’ පවසා ‘ජීවියකු අයත්වතොත් අයත් වනුයේ උගේ දිවි නසන්නාට ද? නැත හොත් දිවි රකින්නාට දැ?’යි ප්‍රශ්න කළහ. බෝසතාණන් ඉදිරිපත් කළ යුක්තිය ඇසූ සභාව ගොළු විය. මද වේලාවකින් පසු එක් මහළු සහාසදයෙක් නැගිට ‘ජීවියකු අයත් වන්නේ උගේ ජීවිතය රකින්නාට මිස නසන්නාට නොවේ යැ’යි කීය. කාටත් කාරණය අවබෝධ විය. ‘හංසයා දිවි ඇති බැවින් සිදුහත් කුමරුනට අයිති යැ’යි සියල්ලන්ගේ තීන්දුව විය. නඩුවෙන් පැරැදුණු දෙව්දත් කුමරු කෝපයෙනුත් ලජ්ජාවෙනුත් සභා ශාලායෙන් බැස තමා ගේ නිවාසය කරා ගියේ ය. බෝසතාණෝ ද නික්ම ගිය හ. කීප දිනක් සාත්තු කොට, සුවපත් වූ හංසයා මුදාහැරියා හ.

කුමාරවරුන් හා ඈත ගමන් අත්හැරීම

දවසෙක නෑ රජ කුමරුවෝ කිහිප දෙනෙක් අවුත් සිද්ධාර්ථ කුමාරයාණන් ද කැඳවා ගෙන ඇවිදින්නට ගියහ. කුමරුවන් සඳහා පිළියෙල කොට තුබුණු කෙළි බිම ද ඉක් මැ ඈත වන පෙදෙසකට ඔහු ගියහ. එහි ඈත මෑත දිව හැවිදුනා ගෝන මුව ආදී සතුන් බලමින් සතුටු වූහ. සමහර කුමාරවරු ඔවුන් ලුබුහුබැඳ යන්නාහු ඔවුන් විද මැරූහ. සිද්ධාර්ථ කුමරුවාණෝ එය දැක, ‘අනේ! තමන් ගේ දුක මිනිස් බසින් කියන්නට නොහැකි, ගොළුවන් රැසක් බඳු වූ මේ අසරණ සතුනට මෙහෙම හිරිහැර කරන්නේ ඔවුන් මොන වරදක් කළාට ද? කැලේ හැදෙන වල් පැලෑටි කමින් තමන් ගේ පාඩුවේ නිදැල්ලේ ජීවත් වන මේ අසරණ සත්නට හිංසා කරන්නේ ඇයි ද?’ කියා කලකිරී වහාම එහි නොසිට ආපසු මාලිගාවට ම ආහ. එයින් පසු ඔවුන් හා ඇවිදින්නට නො ගියහ.

ලා බාල වියෙහි සිට ම සිදුහත් කුමරාණන්ගේ ජීවිතයෙහි කරුණාව, මෛත්‍රිය, ක්ෂාන්තිය (ඉවසීම) පරෝපකාරය, සමානාත්මතාව යන ආදී ශ්‍රේෂ්ඨ ගුණයෝ පිළිඹිබු ව පැවැත්තාහ. බෝසතාණන් ගේ ගති පැවැතුම් ඇසූ දුටු හැම දෙනා ම ඔහු කෙරෙහි මහත් ආදරයත් ගෞරවයත් දැක් වූහ. බෝසතාණන් ගේ කීර්තිය හැම තැනම පැතිර ගියේ ය.

(අති පූජනීය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන්ගේ ‘ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය’ ග්‍රන්ථයෙනි)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s