‘‘සුඛා සංඝස්ස සාමග්ගි’’

Kirama Nahimi

ජාතියක් ලෙස අද අපි නොයෙකුත් ව්‍යසනයන්ට මුහුණ දී සිටිමු. ඉන් වඩාත් භයංකර ලෙස මුහුණදීමට සිදුව ඇත්තේ බෞද්ධ ප‍්‍රජාවටය. ඊට සෘජු ලෙසම අපි වගකිව යුත්තෝ වෙමු.

සම්මා සම්බුද්ධ ශාසනයටත්, රටටත්, ජාතියටත් විවිධ ව්‍යසනයන් පැමිණ රටත්, දැයත්, සමයත් ගරා වැටී පිරිහුණු අවස්ථාවලදී එම දුෂ්කර තත්වයන්ගෙන් ගලවා යලිත් බුද්ධ ශාසනයත්, රටත්, ජාතියත් බැබලවීමට ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ පහල වූහ.

අද වන විට බුදු සසුනත්, සඟ සසුනත් ඉතාම අභාග්‍යසම්පන්න තත්වයකට පත්ව තිබේ. රටේ, ජාතියේ මාර්ගෝපදේශකයන්වූත් කුල දේවතාවන්වූත් භික්‍ෂූන් වහන්සේ අද ගුණයෙන් හා නුවණින් පිරිහී ඇත. එදා පාලකයන් වැරදි මග යනවිට එය නිවැරදි කරන්නට සංඝ නායකත්වයක් තිබුණි. අද සංඝයාට මග පෙන්වන නායකත්වයක් නැත. ශාසනික දේපල පොදු යහපතට යොදවන ක‍්‍රමයක් නැත. රුවල් බිඳුනු නෞකාවක් සේ ඉබාගාතේ ගමන් කරයි.

මෙම තත්වය වෙනස් කොට සංඝයාගේ ශක්තිය යළිත් ඇතිකර ගැනීමෙන් ලෝ සසුන් වැඩ වඩා තවත් යුගයකට තථාගත බුද්ධ වචනය ආරක්‍ෂා කොට තැබීම බොදු බල සේනාවේ අපේක්‍ෂාවයි.

අතීතයේ භික්‍ෂූන් වහන්සේ සෘජුව දේශපාලනයට දායක නොවුනද රටත්, දැයත්, සසුනත් අනතුරට පත්වූ විට ජනතාව සමඟ නැගී සිටියහ. අද සිදුව ඇත්තේ ඕනෑම පාලකයකුගේ රූකඩ බවට ඇතැම් නායක හිමිවරු පත්වීමයි. මේ තත්වය වෙනස් කළ හැක්කේ සංඝ සාමග‍්‍රියෙන්ම පමණි.

විශේෂයෙන් අද ඇතිවී තිබෙන ශාසනික පරිහානිය ඇතැම් කාලවල නොතිබුනා නොවේ. එවැනි අඳුරු යුගවලදී උදාර හැඟීම් ඇති අවංක පිරිස් එකතුව ඊට පිළියම් යෙදීය.

මෙම අභියෝගය තනි තනිව අත්තනෝමතිකව ජයගත හැකි නොවේ. සාමුහික හැඟීමෙන් වෙලී ගිය දැනුමෙන් හා අධ්‍යාත්මික ශක්තියෙන් පිරිපුන් අභියෝගවලට මුහුණ දිය හැකි පිරිසකගේ එකතුව ඊට අවශ්‍යය. භික්‍ෂුවගේ අධ්‍යාත්මික ශක්තිය, පෞරුෂය හා අනුහස යළිත් ගොඩ නැංවිය යුතුය. ඒ සඳහා නවීන දැනුමත්, ධර්මය පිළිබඳ වැටහීමත් ඇති භික්‍ෂු පරපුරක් බිහිකළ යුතුය.

අපගේ වෑයමෙන් අනාගත ලෝකයට ධර්මය සුරක්‍ෂිත කොට ඇත්තෙමු. පක්‍ෂ දේශපාලනයෙන් තොර වූ ජාතික වැඩපිළිවෙළක් මගින් නව ජාතික බොදු පුනරුද ව්‍යාපාරයක් බොදු බල සේනා තුලින් ගොඩනැංවීමටත් ඊට ශක්ති පමණින් නායකත්වය හා මග පෙන්වීමටත් තිර ලෙස අදිටන් කරගෙන සිටිමි.

කිසිකලෙක, කිසිලෙසක පක්‍ෂ දේශපාලනයට යොමුවීමට ඉඩ නොදී ශක්තිමත් සඟ බලයක් ගොඩනැංවීමෙන් විවිධ ආගමික මූලධර්මවාදීන්ගේ හා සසුන තුල සිටින කඳපනුවන්ගෙන් මෙය මුදාගෙන දියුණු දැයකට, උතුම් දහම මග සැකසීමටත් අලූත් අදීන අභීත භික්‍ෂු පරපුරක් ගොඩනැංවීමටත් කැපවෙමි.

ඒ සඳහා ඔබ වහන්සේලාගේත්, මෙහෙණි, උපාසක, උපාසිකා සැමගේත් සහය හා මග පෙන්වීමත් ආශිර්වාදයත් පතමි.

මේ වෑයම ස්ථිර ලෙසම සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්මත්, ආරක්‍ෂාවත් උදෙසාම වන අතර නිවහල් මානසිකත්වයකින් යුත් අපේ දේ අගයන දියුණු දැහැමි දැයක් ස්ථාපිත කිරීම සඳහා පමණමය

පූජ්‍ය කිරම විමලජෝති ස්ථවිර
බොදු බල සේනා ප‍්‍රධානී

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s