බෝසත් මග වැඩි මහා යතිවරයාණෝ…!

Bosath maga

(අතිපූජ්‍ය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ සංක්ෂිප්ත චරිතාප්‍රදානය – ආත්ම ප්‍රත්‍යවේක්ෂණය ග්‍රන්ථයෙන් උපුටාගන්නා ලදී.)

 “මා සසුන මෙහි සුරැකෙන්නේ ය” යි සම්මා සම්බුදු සිරි විවරන ලද මේ සිරිලක සම්බුදු සසුන සවිමත් කරනු වස් පෙරුම් දම් පිරි මහා යුග පුරුෂයෝ වරින්වර පහළ වූහ. ඒ විසිතුරු සත්පුරුෂ මිණි පහන් පෙළෙහි තවත් එක් ජෝතිමත් මිණි පහනක් වැදගත් සාසනික සිදුවීම් රැසකට පසුබිම් වූ ඇසළ පුර පසළොස්වක් පෝ දිනක නිවී ගිය බව මෙහි ලා සනිටුහන් කරනුයේ සාතිශය සංවේගයෙනි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අනුබද්ධිත ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවෙහි සමුත්පාදක හා ප්‍රධාන අනුශාසක ශ්‍රී ආර්ය විලාස වංශාලංකාර සද්ධර්මවාගීශ්වරාචාර්ය පටිපත්ති සෝභන ගණපාමොක්ඛාචරිය, රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය, කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ බුදු වසින් 2547 ක් වැන්නෙහි ඇසළ මස පුර පසළොස්වක් පෝ දින හෙවත් ව්‍යවහාර වර්ෂ 2003 ජූලිමස 13 වන ඉරු දින රාත්‍රී 10.30 ට පමණ මනා සිහි නුවණින් යුතුව අපවත් වී වදාළ හ. එම ශ්‍රී දේශය පිළිබඳ ආදාහන පූජෝත්සවය ජූලි මස 20 වන ඉරිදා අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගනයේ දී සිදු කෙරෙයි. ඒ නිමිත්තෙන් ඒ මහා පුරුෂෝත්තමයාණන් වහන්සේගේ දිවි පවත ඉතා කෙටියෙන් සටහන් කිරීමට ය මේ මුල පුරනුයේ.

උපත

සූර, වීර, උදාර දූ පුතුන් රැසක් ලක් මවුනට දායාද කළ රුහුණු රට මාතර දිස්ත්‍රික්කයෙහි කඩවැද්දුව ගමෙහි ව්‍ය. ව. 1907 අප්‍රේල් මස 01 වෙනිදා උදේ 7.30 ට අප කථානායකයාණෝ මෙලොව උපත ලදහ. පී. දොන් පුංචි අප්පුහාමි සහ වික්‍රමරත්න දිසානායක හාමිනේ (කපුදූව හාමිනේ) යන පින්වත් දෙමාපියන්ගේ සතරවන බාලම දරුවාණන් ලෙසින් ජනිත වූ මේ කුල කුමරුවනට දොන් දිනේෂ් යන නම තබන ලදී.

මූලික අධ්‍යාපනය

පස් හැවිරිදි වියේදී යටියන ස්වභාෂා පාඨශාලාවට ඇතුළත් කරනු ලැබූ දිනේෂ් කුමරු දීප්තිමත් අනාගතයකට පෙර නිමිති පහළ කරවමින් පස් වසරක් ඉතා දක්ෂ ලෙස එහි මූලික අධ්‍යාපනය ලැබීය.

පාසලින් පන්සලට

මේ අතර පුංචි අප්පුහාමි පියතුමාණන්ගේ වැඩිමහලු සොයුරාණන් වූ එවකට යටවර ශ්‍රී වර්ධනාරාමාධිපතිව වැඩ විසූ ගරුතර කඩවැද්දුවේ සිරි සුගුණතිස්ස මහා ස්ථවිරයාණන් වහන්සේගේ උපස්ථානය පිණිස දස හැවිරිදි දිනේශ් කුමරුවාණන් යොමු කෙරුණේ උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ගරු පණ්ඩිතාචාර්ය කැකණදුරේ සිරි ආරියවිලාසාසභ ස්ථවිරයාණන් වහන්සේගේ මැදිහත් වීමෙනි. සුගුණතිස්ස මාහිමියන්ගේ නියමයෙන් ගරු කොත්මලේ සිරි සද්ධම්මවංස හිමිපාණන් වෙතින් දිනේශයෝ පාලි හා සංස්කෘත ඉගෙනීම ආරම්භ කළහ.

ඒ අතර ටික කලක් මාතර සිරිමංගල පිරිවෙනෙහි නැවතී සුපතළ මහා පඬි රුවනක් වූ ගරුතර පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ මාහිමිපාණන් වහන්සේගේ සෙවනෙහි සිප් සතර හැදෑරීමේ වාසනාව ද දිනේශ්හට හිමි විය.

ප්‍රවෘජ්‍යා ලාභය

ගරු සුගුණතිස්ස මාහිපාණන් විසින් ගරු අරියවිලාස හිමිපාණන්ට දිනේෂ් පැවිදි කරනු පිණිස භාර දෙන ලදුව, ඇවැසි මූලික බණ දහම් ප්‍රගුණ කොට ගත් තුදුසු වියැති දිනේශයෝ ව්‍ය. ව. 1921 අගෝස්තු 21 වන දා උදේ සුභ මොහොතෙන් ගරු අරියවිලාස හිමිපාණන් වැඩ සිටි හොරණ පූර්වාරාමයේදී ගරුතර සුගුණතිස්ස මාහිමිපාණන්ගේ උපාධ්‍යායත්වයෙන් හා ගරු අරියවිලාස තෙරපාණන්ගේ ආචාර්යත්වයෙන් එවකට රාමඤ්ඤ නිකායේ අධිකරණ නායක ධූරය ඉසුලූ අතිගරු කෝදාගොඩ උපසේන මාහිමිපාණන් වහන්සේගේ පින්බර අතින් කඩවැද්දුවේ ජිනවංශ නමින් පැවිදි බිමට බැස ගත්හ.

පිරිවෙන් ඉගෙනුම

ගරු අරියවිලාස තෙරපාණෝ ජිනවංස තෙරණපාණෝ වැඩිදුර අධ්‍යාපනය සඳහා පසුකලක රාමඤ්ඤ නිකායේ අනුනායක පදවිය දැරූ ගරුතර රස්නකවැවේ සිරි සද්ධම්මවංස මාහිමිපාණන්ට භාර දුන්හ. ඒ අනුව අප කථානායකයාණෝ පළමුව පයාගල ධර්මගුප්ත පිරිවෙනෙහි ද දෙවනුව රස්නකවැවේ මාහිමිපාණන් විසින්ම ආරම්භ කරන ලද වැල්වත්තේ ධර්මෝදය පිරිවෙනෙහි ද ධර්ම ශාස්ත්‍ර අධ්‍යාපනය ලදහ. උන් වහන්සේගේ දක්ෂභාවය මොනොවට වටහාගත් රස්නකවැවේ මාහිමිපාණෝ ජිනවංස තෙරණපාණන් ශිෂ්‍ය ගුරුවරයකු ලෙස පත් කළහ.

උපසම්පදා ප්‍රතිලාභය

සාමණේර අවදියෙහිම දක්ෂ ධර්ම දේශකයකු ලෙස කීර්තියක් දිනාගත් ජිනවංස තෙරණපාණන්ට විසි වස් පිරුණෙන්, බුදු වසින් 2471 ඇසළ මස පුර විසේනිය ලත් කිවි දින හෙවත් ව්‍ය. ව. 1927 ජූලි මස 03 වන දින පස්වරු 3.05 ට මිරිස්සේ පොල්වතුමෝදර උදකුක්ඛේප සීමාවේදී එවකට රාමඤ්ඤ මහා නිකායෙහි මහානායක ධූරය ැරූ අතිගරු සිරි සද්ධම්මාචාර්ය මාතර ශ්‍රී ඥාණින්දාසභ මාහිමිපාණන්ගේ උපාධ්‍යායත්වයෙන් එතුමාණෝ අධිශීල සංඛ්‍යාත උපසම්පදා ප්‍රතිලාභය ලදහ.

නව ආශ්‍රමයක් ඇති කරලීම

ව්‍ය. ව. 1929 දී ගරුතර රස්නකවැවේ මාහිමිපාණන්ට ලැබුණු වස් ආරාධනාවක් අප කථානායක හිමිපාණන්ට පවරන ලදුව, නොර්ටන් බ්‍රිජ්හි අභිනව නිවෙසක වස් වැසූ උන් වහන්සේ එවකට ඒ පළාතේ බෞද්ධ ආශ්‍රමයක් නොමැති කමේ පාඩුව දැක, උග්‍ර කතෝලික ධනවතකු සතු ඉඩමකින් අක්කර දෙකක් ලබාගෙන එහි බෞද්ධ විහාරස්ථානයක් ගොඩ නැංවූයේ ස්වකීය අධිෂ්ඨානය හා සංවිධාන ශක්තිය විදහා දක්වමිනි.

ග්‍රන්ථාකර පිරිවෙන

ගරු අරියවිලාස මාහිමිපාණන්ගේ ධර්මාචාර්ය වූ ගරුතර කිතලගම සීලවිමල මාහිමිපාණන්ගේ අපවත්වීමෙන් අනතුරුව උන්වහන්සේ වැඩ සිටි තෙබුවන ගංගාරාමයට අරියවිලාස මාහිමිපාණන්ගේ නියමයෙන් වැඩම කළ අප ජිනවංස හිමිපාණෝ ව්‍ය. ව. 1932 දී ග්‍රන්ථාකර නමින් පිරිවෙනක් එහි ඇරඹුවේ ශිෂ්‍යයන් පස් දෙනෙකුගෙනි. දැඩි කැපවීමකින් යුක්තව එම පිරිවෙන දියුණු කර ගනිමින් පුරා වසර අටක්ම රජයේ හෝ වෙනත් ප්‍රබල ආයතනයක අනුග්‍රහයකින් තොරව උන්වහන්සේ එය පවත්වාගෙන ගියහ. පසුව ප්‍රදේශයේ මන්ත්‍රීවරයා වූ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ඇමතිතුමාගේ යෝජනාවකින් එය රජයේ ලියාපදිංචි කළ ද ඒ සඳහා රජයෙන් ලැබුණු ආධාර ගැන කිසිදු විමසීමක් නොකළහ.

රාජකීය පණ්ඩිත උපාධි ලාභය

ලාබාල වියෙහි සිටම ඉගෙනුමට දස්කම් පෑ අප හිමිපාණෝ ව්‍ය. ව. 1931 දී ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් ද ව්‍ය. ව. 1940 දී ප්‍රාචීන මධ්‍යම විභාගයෙන් ද ව්‍ය. ව. 1945දී ප්‍රාචීන අවසාන විභාගයෙන් ද ඉහළින්ම සමත්ව රාජකීය පණ්ඩිත උපාධිලාභයෙන් සම්මානිත ව. ව්‍ය. ව. 1946 දී එම විභාගය මෙහෙයවූ ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ ගරු සාමාජිකත්වය ද ලැබූහ. ඒ අතර ව්‍ය. ව.1934 දී පිරිවෙන් අවසාන පරීක්ෂණයෙන් ද ඉහළින්ම සමත් වූහ.

නව මඟකට යොමු වීම

ග්‍රන්ථාකර පිරිවෙනෙහි දියුණුවට මහත් සේ වෙහෙස වන අතරම විචිත්‍ර ධර්ම කථිකයකු ලෙස දිනූ කීර්තිය ඔස්සේ දිවයිනේ නන් දෙසින් ගලා ආ දම් දෙසුම් ඇරයුම් ද ඉටුකරමින් කාර්ය බහුල ජිවිතයක් ගත කළ අප මාහිමිපාණන්ගේ අනාගත ගමන් මඟ හෙළි පෙහෙළි කළ එක් සුවිශේෂී සිද්ධියක් ව්‍ය. ව. 1948 වෙසක් පුර පසළොස්වක පෝ දින සිදුවිය. මෙදින එක් විහාරස්ථානයක ධර්ම දේශනාවකට වැඩම කළ උන්වහන්සේ බණ මඩුවෙහි රැඳී සිටියේ අබල දුබල වූ කීප දෙනෙකුන් පමණක් බව දුටුවාහ. කරුණු විමසූ විට දැනගත හැකි වූයේ අන් සියලු දෙනම වෙසක් සැරසිලි නැරඹීමට නගරයට ගොස් සිටි බවකි. ලාංකික බෞද්ධයන්ගේ ආධ්‍යත්මික ශූන්‍යතාව පිළිබඳව මහත් සේ සංවේගයට පත්වූ අප මාහිමිපාණෝ ”තෑග්ගට සුදුසු වෙසක් සැරසිල්ලක්” මැයෙන් සිත් කාවදින නිබන්ධනයක් සකසා සිළුමිණ පත්‍රයට යැවූහ. එවකට ”සිළුමිණ” පතෙහි ප්‍රධාන කතෘත්වය දැරූ හික්කඩුවේ ලියනගේ මහතා මේ ලිපිය පිළිබඳ අතිශයින් පැහැදී ව්‍ය. ව. 1949 මැයි මස 01 වන ඉරිදා යෙදුණු ඊළඟ වෙසක් පසළොස්වක දින ”සිළුමිණ” පතෙහි මුල් පිටුවෙහිම එය පළ කොට තව තවත් එබඳු ලිපි සපයන මෙන් අප මාහිමිපාණන්ට ඇරයුම් කළේය. ඒ අනුව තත්කාලීන ශාසනික පරිහානිය හා නිවැරදි ශාසන පරමාර්ථයන් අලළා සැකසුණු සැදැහැති බොදු සිත් අවදි කරවන කාලෝචිත ලිපි පෙළක්ම ”සිළුමිණ” හා ”දිනමිණ” පත්‍රවල පළ කෙරුණි.

මේ අතර එකල ගුවන් විදුලි සේවයෙහි අධ්‍යක්ෂකවරයා ද අප මාහිමිපාණන්ගේ දේශනා විලාශය පිළිබඳව පැහැදී දිගින් දිගටම උන්වහන්සේට ගුවන් විදුලි ධර්ම දේශනා හා උදෑසන ”මෛත්‍රී චින්තා” සඳහා අවස්ථාව සලසා දුන්නේය. එක් පොසොන් පුර පෝ දිනෙක අප මාහිමිපාණන් අනුරාධපුරයේ රුවන්වැලි සෑ මළුවෙහි සිට සජීවීව පවත්වන ලද ගුවන් විදුලි දම් දෙසුම රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

මෙම සමයෙහි අප මාහිමිපාණන් වහන්සේගේ චින්තනයෙහි මෙන්ම ක්‍රියාකාරීත්වයෙහි ද ප්‍රබල වෙනසක් සිදුවෙමින් පැවතිණ. ධර්ම දේශනා හා පුවත්පත් ලිපි මගින් උන් වහන්සේ නිබඳවම අවධාරණය කළේ ශාසනික ප්‍රතිසංශෝධනයක් සිදුකිරීමට කාලය පැමිණ ඇති බවය. විචිත්‍ර පින්කම් උත්සව, ගොඩනැගිලි ඉදිකිරීම වැනි බාහිර ක්‍රියාකාරකම් පිළිබඳව උන්වහන්සේගේ උනන්දුව කෙමෙන් හීන විය.

මේ අතර 2500 බුද්ධ ජයන්තිය ළඟා වන්නට වූයේ රට තුළ ඉමහත් බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරලමිනි. දූරදර්ශී ඥානයෙන් හෙබි අප මාහිමිපාණෝ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ද සලසමින් බුද්ධ ජයන්තිය සැමරීමේ උසස්ම ආකාරය නම් සිල්වත් ගුණවත් සඟ පිරිසක් බිහි කිරීම සඳහා අත්තිවාරමක් දැමීම බව පසක් කොට ගත්හ. උන්වහන්සේගේ දේශන – ලේඛන සියල්ල මේ අරමුණ වෙත ඒකරාශි වන්නට විය.

අප මාහිමිපාණන් වහන්සේගේ ලියුම් කියුම් තුළින් ප්‍රබුද්ධ වූ ගිහි – පැවිදි සත්පුරුෂයෝ රැසක් උන්වහන්සේ වටා රොක් වන්නට වූහ. ඒ අතුරින් එක් සුධීවරයකු වූ බෝමිරියේ ඩී. ඊ. සෙනෙවිරත්න මහතා උන්වහන්සේ තම නිවෙසට වඩමවාගෙන දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට, පිළිවෙත් සරු සඟ පිරිසක් බිහිකරලීමේ වැඩ පිළිවෙළක් දියත් කරන මෙන් අප මාහිමිපාණන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කොට, ඒ සඳහා අවශ්‍ය පරිදි ආශ්‍රමයක් තම වියදමින් ඉදිකර දෙන බවට ප්‍රතිඥාවක් ද දුන්නේය. එහෙත් එතුමාගේ අකල් මරණය හේතුවෙන් ඒ අනුග්‍රහය නොලැබී ගිය ද, යෝගාශ්‍රම සංස්ථාවේ ආරම්භය පිළිබඳ පවිත්‍ර සංකල්පය එදා මුල් බැස ගත්තේය.

කලණ මිතුරු එකතුවක්

යෝගාශ්‍රම වැඩ පිළිවෙළක් ඇරඹීමේ ශුද්ධ ප්‍රාර්ථනය මුදුන්පත් කර ගැනීමට දැඩි කැපවීමකින් එකලාව ක්‍රියාත්මක වූ අප මාහිමිපාණන් වහන්සේ මෙම ශාසනික ව්‍යාපාරයේ මුලසුන ඉසිලීමට සුදුසු වැඩිහිටි තෙර නමක් සොයා ගැනීමට උත්සුක වූහ. මේ සුවිසල් වගකීම දැරීමට එකම සුදුස්සා නම්, එවකට දේවගොඩ විජයාරාමාධිපතිව විවේකීව වැඩ සිටි, ත්‍රිපිටක ධර්ම හා භාෂා ශාස්ත්‍ර පිළිබඳ හසළ දැනුමකින් පිරිපුන්ව, යටපත්ව ගිය පෞරාණික භාවනා ක්‍රම නැවත මතු කර ගැනීමට බලවත් උනන්දුවෙන් ක්‍රියාත්මක වූ, අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ බව අප මාහිමිපාණන් වහන්සේ තීරණය කළහ. මුලදී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ බව අප මාහිමිපාණන් වහන්සේ තීරණය කළහ. මුලදී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ භාරදූර කාර්ය භාර ගැනීමට මැලි වූයේ, උන්වහන්සේ විවේකීවම විසීමට බෙහෙවින් ප්‍රිය කළ නිසාය. එහෙත් පසුව අප මාහිමිපාණන් වහන්සේගේ හද පණ ගන්වන අව්‍යාජ කරුණු දැක්වීම තුළින් ඔදවත් වී, ”මේ ශාසනික කටයුත්ත වෙනුවෙන් ඕනෑම ගහක් – ගලක් යට මගේ ජීවිතය කැප කිරීමට මම සූදානම්” යයි අභීතව පවසමින් ජීවිත පරිත්‍යාග කරමින් අප මාහිමිපාණන් වහන්සේ හා එක් වූ මේ මහා සත්පුරුෂයාණන් ව්‍ය. ව. 1992 අප්‍රේල් මස 30 දා අවසන් සුසුම හෙළන තෙක්ම ඒ ප්‍රතිඥාව එලෙසින්ම ඉටු කරමින් අප මාහිමිපාණන් වහන්සේට ඉමහත් පිටුබලයක් වූයේ, පෙර සසරේදී ද මෙසේ එක්වම සසුන්ව යෙදී සිටි බවට තහවුරු කරන සේය. (”අධික ග්‍රීෂ්මය පවතින විටෙකදී සිසිල් සෙවන දෙන මහා ගසක් මෙන් ඥානාරාම ස්වාමීන් වහන්සේ අපට සෙවන දුන් මහා සත්පුරුෂ උත්තමයෙකි” යි අප මාහිමිපාණන් වහන්සේ අපවත් වීමට දෙදිනකට පෙර පැවසූ හ.)

ඒ අතරම මැල්ලගල යෝගාරාමාධිපතිව වැඩ විසූ ප්‍රතිපත්තිගරුක මහ තෙර නමක් වූ අතිපූජ්‍ය අස්මඬලේ රතනපාල මාහිමිපාණන් වහන්සේ, තදීය ශිෂ්‍ය ගරු කෙහෙල්පන්නල සුමන ස්වාමීන් වහන්සේ, නාරම්මල රුවන්ගිරිකන්ද ආරණ්‍ය සේනාසනයෙහි දිගු කලක් තපෝගුණධාරීව වැඩ සිටි අතිපූජ්‍ය විදර්ශනාචාර්ය මාතලේ සීලරක්ඛිත මාහිමිපාණන් වහන්සේ වැනි තත්කාලීන සිල්වත් ගුණවත් මහ තෙරුන් වහන්සේලා ද අප මාහිමිපාණන් වහන්සේගේ උදාර වැඩ පිළිවෙළටඑක් වූහ.

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව ස්ථාපිත වීම

මෙම කල්‍යාණ මිත්‍ර සමාගමයෙන් වඩාත් ධෛර්යමත් වූ අප මාහිමිපාණන් වහන්සේ තමන් වහන්සේම ආරම්භ කොට එකුන් විසි වසක් තුළ දැඩි පරිශ්‍රමයෙන් වැඩිදියුණු කළ ග්‍රන්ථාකර පිරිවෙනත් එහි ගෝල බාලයන් හා දායක පිරිසත් හැරපියා තදීය කිංකර ශිෂ්‍ය, පසුකලක ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ අතිරේක විංශත් වාර්ගික කාරක සංඝ සභාවේ ප්‍රථම සභාපති ධූරයට පත්වූ ගරුතර ගැටමාන්නේ විමලවංස තෙරුන් වහන්සේ ද සමඟ, තුන් සිවුර, පාත්‍රය හා තල් අතු කුඩය පමණක් ගෙන ආරණ්‍යවාසී ජීවිතයකට මුල පුරමින් දෙවන අභිනිෂ්ක්‍රමණයක යෙදුණේ සම්බුදු සසුන සුරකින පිළිවෙත් සරු යෝගාවචර සඟ පිරිසක් බිහි කරලීමේ මහාර්ඝ චේතනාවෙනි.

ව්‍ය. ව. 1951 මාර්තු මස 25 දා වැල්ලවත්තේ ධර්මෝදය පිරිවෙනෙහි පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගත් යෝගාංකුරයන් 12 දෙනෙකුන් ඒ ඒ තැන්වලදී සුදුසු පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව එම වස ජූනි මස 18 වෙනිදාට යෙදුණු පොසොන් පුර පසළොස්වක් පෝ දින අම්බලන්ගොඩ දෙල්දූව ආරණ්‍ය සේනාසනයේදී අතිගරු රස්නකවැවේ ශ්‍රී සද්ධර්මවංශ අනුනායක මාහිමිපාණන් වහන්සේ වෙතින් උතුම් සසුන් පැවිද්ද ලබාගැනීමෙන් ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව ආරම්භ කෙරුණි.

මෙතැන් සිට යෝගාශ්‍රම සංස්ථාවේ අභිවෘද්ධිය උදෙසා අප්‍රතිහත ධෛර්යයෙන් හා පූර්ණ කැපවීමෙන් ක්‍රියාත්මක වූ අප මාහිමිපාණන් වහන්සේ තමනට මුහුණ පෑමට වූ සියලු බාධක දුෂ්කරතා අභිභවනය කළේ සංග්‍රාමගත මහා හස්ති රාජයකු පරිද්දෙනි. අව්, වැසි, පිනි හා වෙහෙස නොතකා සැතපුම් සියදහස් ගණන් වඩිමින්, ඇතමුන්ගේ ඇණුම් බැනුම් අපහාස ඉවසමින් ස්ථානෝචිත ප්‍රඥාවෙන් සියලු ගැටලු-බාධක සමනය කරමින්, ස්වකීය ලේඛන හා දේශනා මගින් සියල්ලන්ගේ සිත් දිනා ගනිමින්, උන්වහන්සේ ගෙන ගිය ඒ යෝධ ව්‍යායාමය කෙමෙන් මල් – ඵල දරන්නට විය. දිවයිනේ නන් දෙස අරණ්‍ය සේනාසන, විවේක සේනාසන බිහි වෙමින්, සිය ගණන් සැදැහැවත් කුල දරුවන් පැවිදි වෙමින්, දහස් ගණන්, දායක කාරකාදීන් එක් රොක් වෙමින්, අතු පතර විහිදුණු ශක්තිමත් මහා රුකක් සේ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව ස්ථාපිත විය. ස්වකීය උපසම්පදා හා පරිපාලන කටයුතු ස්වාධීනව කරගෙන යාමට මහා නිකායෙන් අවසර ලැබුණි. පරිපාලන කටයුතු පහසු කරලීම සඳහා අතිරේක විංශත් වාර්ගික කාරක සංඝ සභාවක් ද පත් කෙරුණි. නිස්සරණාධ්‍යාශය මතු කරලන කතිකාවතක් හා දින චරියාවක් ද සම්මත කෙරුණි. ධර්ම විනය අධ්‍යාපනය හා භාවනා පුහුණුව සඳහා ඒ ඒ සෙනසුන් සම්මත කොට ගන්නා ලදී. වාර්ෂික ත්‍රිපිටක ධර්ම පරීක්ෂණයක් පවත්වා ඉන් සමත් වූවනට සහතික හා ත්‍යාග ප්‍රදානය කෙරිණි.

වර්තමානයෙහි සේනාසන 125 ක පමණ වැඩ වසන දහසක් පමණ සඟ පිරිසකින් සමන්විත වන යෝගාශ්‍රම සංස්ථාව, මින් දෙවසරකට පෙර පනස් වසරක ස්වර්ණ ජයන්තිය සමරන අවස්ථාව සියැසින් දුටු අප මාහිමිපාණන් වහන්සේ සම්බුදු සසුන සුරැකීමට තමන් වහන්සේ ගත් මහා උත්සාහය ඒකාන්තයෙන්ම සඵලවත් වී ඇතැයි අමන්දානන්දයට පත්වන්නට ඇති බවට කිසිදු සැකයක් නැත.

බුද්ධ භූමි වන්දනාව

අතිගරු මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ යෝගාශ්‍රමීය සඟ පිරිසක් සමඟ ව්‍ය. ව. 1960 දී අප මාහිමිපාණන් වහන්සේ යෙදුණු දඹදිව ශුද්ධ භූමි වන්දනාව ද මෙහිදී සනිටුහන් කිරීම සුදුසු වනු ඇත.

සම්මාන ප්‍රදාන

අප මාහිමිපාණන් වහන්සේ ගරු නම්බු සම්මාන පිළිබඳ අපේක්ෂාවන් එක හෙළා බැහැර කළ ද, උන් වහන්සේගේ උදාර ශාසන මෙහෙවර අගය කිරීම් වස් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් ”ශ්‍රී ආර්යවිලාස වංශාලංකාර සද්ධර්මවාගීශ්වරාචාර්ය” යන ගෞරව නාමය සහිතව අතිගරු මහෝපාධ්‍යාය පදවියෙන් ද, සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවෙන් ”පටිපත්ති සෝභන ගණපාමොක්ඛාචරිය” යන ගෞරව නාමයෙන් ද පුදන ලදහ. එහෙත් රාමඤ්ඤ නිකායේ උසස්තම පදවියක් හිස් වූ විටෙක ඒ සඳහා ඉදිරිපත් වන්නැයි කරන ලද ආයාචනයන් උන්වහන්සේ සුහදව ප්‍රතික්ෂේප කළහ.

නිත්‍ය වාසය

යෝගාශ්‍රම සංස්ථාව ආරම්භයේදී විවිධ අරණ්‍ය සේනාසනවල වරින් වර වැඩ සිටි අප මාහිමිපාණන් වහන්සේ පසු කලෙක අම්බලන්ගොඩ ගල්දූවේ ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානය ස්වකීය නිත්‍ය වාසය සඳහා තෝරාගත්හ. එනිසාම මෙම සෙනසුන යෝගාශ්‍රම සංස්ථාවේ මූලස්ථානය ලෙසින් ද සම්මත විය.

කලක් යෝගාශ්‍රමීය සේනාසන මුළුල්ලෙහිම වඩිමින් ඒ ඒ තැන්වල වැඩි දියුණුවට කටයුතු කරමින් මහත් සේ වෙහෙසුණු අප මාහිමිපාණන් වහන්සේ තම වීරෝදාර ශාසනික ව්‍යයාමයේ මිහිරි ඵල සැනසිලි සුවයෙන් විඳිමින් ගල්දූව මධ්‍යස්ථානයෙහිම විවේකී සුවයෙන් වැඩ සිටියහ.

අවසන් සමය

ජීවිතයේ අවසාන භාගයේදී මහළු විය හේතුවෙන් ශරීරය දුර්වල වුවද මාහිමිපාණන් වහන්සේගේ සිත වඩ වඩාත් ශක්තිමත් වූ බවක් දක්නට ලැබුණි. ස්වකීය අතිජාත ශිෂ්‍ය රත්නය වන අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ, ගරුතර කහගොල්ලේ සෝමවංස ස්ථවිරයාණන් වහන්සේ ප්‍රධාන බොහෝ පැවිදි සිසුන්ගේ ද විශේෂඥ වෛද්‍ය කීර්ති ගුණසේකර මහතා ප්‍රමුඛ භක්තිමත් වෛද්‍යවරුනගේ ද නම් වශයෙන් මෙහි සඳහන් කළ නොහැකි තරම් බොහෝ වූ සැදැහැති උපාසක – උපාසිකාවන්ගේ ද අනේකාකාර උපස්ථානයන් නොමඳව ලබාගැනුමට තරම් අප මාහිමිපාණන් වහන්සේ භාග්‍ය සම්පන්න වූහ. විවිධ ආබාධ නිසා කීපවරක්ම උන්වහන්සේ රෝහල්ගත කෙරුණු අතර ඒ හැම විටකදීම ඒ හැම තැනකදීම උන්වහන්සේට ඉහළම මට්ටමේ උපස්ථාන සැලසුණේ මාහිමිපාණන් වහන්සේගේ පුණ්‍ය භාග්‍යය නිසාමය.

අපවත්වීමට දෙදිනකට පෙර එනම් ජූලි මස 11 වන දින සන්ධ්‍යාවේදී තමනට උපස්ථාන කළ සිසු දරු පිරිස අමතා පැය 2 1/2 ක් පමණ එක දිගට කථා කරමින් මාහිමිපාණන් වහන්සේ ආශ්චර්යමත් ප්‍රාතිහාර්යයක යෙදුණාහ. දින දෙකකට වඩා තමන් වහන්සේ ජීවත් නොවන බවත්, දැන් මෙතන දෙවියන් එක්රොක්ව සිටින බවත්, තමන් වහන්සේ ගැන කම්පා නොවිය යුතු බවත්, ආත්ම ප්‍රත්‍යවේක්ෂණය තුළින් තමන් වහන්සේගේ සිත ශක්තිමත් කරගෙන සිටින බවත්, තමන් වහන්සේට කිසිම බැඳීමක් – විශේෂ ඕනෑකමක් නැති බවත්, තමන් වහන්සේ මේ සිසු දරුවනට පියකු වූ බවත්, මේ දරු පිරිස සමඟ එකට නිවන දක්වා යාම තමන් වහන්සේගේ එකම පැතුම බවත්, වදාළ මාහිමිපාණන් වහන්සේ තමන් වහන්සේ සතු සියලු දේ සඟ සතු කොට, තමන් වහන්සේට උපස්ථාන කළ හැමට පින් දුන්හ. තමන් වහන්සේගේ ජීවන තොරතුරු රැසක් ද හෙළි කළ මාහිමිපාණන් වහන්සේ මේ තමන් වහන්සේගේ අවසාන අවවාදය බවත්, එය හොඳින් අසා පිළිපදින ලෙසත් දන්වා, ”මේ ශාසන ප්‍රතිපදාව සමගි සම්පන්නව දිගටම කරගෙන යන්නැ”යි වදාළහ.

ජූලි මස 13 දා අපවත් වීමට ටික වේලාවකට පෙර එදින පෝය හා පක්ෂය විමසා, පසළොස්වක පෝ දින නිසා ආපත්ති දේශනා කොටගෙන, සංඝයාගේ පාමොක් උදෙසීම සඳහා ස්වකීය ඡන්ද පාරිසුද්ධිය ද දුන්නේ මනා සිහි නුවණින් යුතුව ය.

ඒ ඇසළ පුර පසළොස්වක දින රාත්‍රීයේදී බුද්ධ ශාසනය බබුළුවා ලූ මහා පහනක් නිවී ගියේය. වර්තමානයෙහි සුපේශල ශික්ෂාකාමී මහ සඟරුවන නමැති මල් ගොන්නෙහි එක් සුවඳවත් මලක් මිලාන විය. සිය ගණන් සැදැහැති කුල දරුවනට උත්තම ශාසනික ප්‍රවෘජ්‍යාව දායාද කළ පින්බර දෝතක් සඳහටම අකර්මණ්‍ය විය. සුවහසක් හදවත් පුබුදු කළ හඬක් නිහඬ විය. සුවහසක් සිත් ඔදවත් කළ අසිරිමත් ලේඛන ශෛලියකට නැවතීමේ තිත වැටුණි. දහස් ගණන් ගිහි – පැවිදි සිසුනට දයාබර සත්පුරුෂ පියතුමෙක් අහිමි විය.

එසේ වතුදු අතිගරු මාහිමිපාණන් වහන්සේගේ නිර්මල – අව්‍යාජ – චාම් ආදර්ශ සම්පන්න දිවි පෙවෙත මෙනෙහි කොට අපට සතුටු විය හැකිය. එහෙයින් මාහිමිපාණන් වහන්සේ දිවමන් කල නිතොර වදාළ පරිද්දෙන් ”දෙයක් නැහැ” යි අපිදු සිත් සනසා ගනිමු.

අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත, මහා කල්‍යාණ මිත්‍ර අතිගරු පූජනීය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන මහෝපාධ්‍යාය ස්වාමීන්දෝත්තමාණන් වහන්සේගේ ශ්‍රී දේහය පාමුල පසඟ පිහිටුවා වැඳ නමස්කාර කොට අපි මෙසේ පතමු.

”මහා ස්වාමීන්දෝත්තමයාණන් වහන්ස, නැවත නැවත අප අතර ඉපිද අප හැමට මහා කල්‍යාණ මිත්‍රයෙක් වන සේක්වා! සුවසේ බුද්ධ කාරක ධර්ම සපුරාගෙන අසංඛ්‍යෙය සංඛ්‍යාත ලෝක සත්වයනට අමා මහා නිවන් දොරටු විවර කිරීමට පරමෝත්තම සම්මා සම්බුද්ධත්වයම අධිගමනය කරත්වා!”

_____________________________________________

ආත්ම ප්‍රත්‍යවේක්ෂණය

බෝසතාණන් වහන්සේ බුදුවීම දක්වා බෝධි චිත්තය විසිතුරු කර ගත්තේ පාරමී සිත එළිය කර ගත්තේ ආත්ම ප්‍රත්‍යවේක්ෂණයෙනි. බුද්ධ භූමිය නමින් පැහැදිළි වන උට්ඨාන උම්මග්ග – අවත්ථාන – හිතචරියා යන කරුණු නිශ්චය කරගෙන බෝධි කාරක ධර්මයන් සම්පූර්ණ කළ උන්වහන්සේ කිසි කළෙකත් බුදුවන තුරු බුදුකමේ වැඩ අඩු කෙලේ නැත. දැන් ඇත කියා සෑහීමට පත්වූයේ නැත. කරදර බාධක පීඩාවන් නිසා පසු බැස්සේ නැත.
 ආචාරශීලී තත්වය එනම් පාරමී සිත් එළිය නොනිවා රැක ගැනීම, උපදවාගත් බෝධි කාරක ශක්තිය පිරිහෙන්නට නොදී පරිස්සම් වීම බෝසත් පැවැත්මේ නොවෙනස් ලක්ෂණය වේ. බාහිර දෙය ලොකුවට ගත් සාමාන්‍ය ලෝකයා ධර්මය නොතකා බාහිර ආමිස දෙයටම දඟලන නමුත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වය උදෙසා සියල්ල පරිත්‍යාග කළ සේක. මෙසේ ආත්ම ප්‍රත්‍යවේක්ෂණයෙන් ජීවිත පැවැත්මේ ඇතුළ බල බලා මිහිර විඳ විඳ ශාන්ති පෙරහැර පෑ බුදුරජාණන් වහන්සේ අපට සරණයි! උන්වහන්සේ සිහි කරමින්, උන්වහන්සේ වැඩිය ශාන්ති මාර්ගයේ සැනසුම් කණුව ලැබෙනතුරු නොනැවති යාම අපේ ප්‍රාර්ථනාවත් අධිෂ්ඨානයත් විය යුතුය.
 තවත් අවුරුද්දක් ගෙවී ගියේය. මේ කාල සම්මුති ඇති වන්නේ ජීවිත කාර්ය අවධි නියමයන් වශයෙනි. කාලය ගෙවී යන්නේ අපත් ගෙවා ගෙනය. අපය කීවේ සියලු සංස්කාරකයන්ය. කාලය ගෙවෙද්දී නොගෙවී ඉතිරිවන කිසිම සංඛාරයක් නැත. මේ නා නා භාවය ගැන අප දුක් විය යුතු නෙවේ. මෙය අනිවාර්ය සර්වත්‍රව්‍යාජි තත්වයක් හෙයිනි. මෙය නියම විධියෙන් දැක ගැනීමට එළියක් නොලැබීම නිසා අප මෙතෙක් කල් දුක්වීමු. අද අපට ඒ එළිය ලැබී තිබේ. ඒ බුදු එළියයි, අපේ ජීවිත ගමනේ සෑම පියවරක්ම නොගෙවෙන මහිමයට හරවා ගත යුත්තේ බුදු එළියෙනි. මේ ආධ්‍යාත්ම දර්ශනයෙන් ගෙවී ගිය අවුරුද්දේ නොගෙවෙන මහිමය දකිමින් ඉදිරි ගමනේ උනන්දුව වඩා ගැන්ම සුදුසුය. දුබලකම්හි ආයති සංවරයද, ආත්ම ප්‍රත්‍යෙව්ක්ෂණයෙහි ආනිසංස ඵලයකි.
 අපේ යෝගාශ්‍රම වැඩ පටන්ගෙන අවුරුදු විස්සක් පිරී තිබේ. පුරා අවුරුදු විස්සක් අතර නෑර අපි මහා සටනක යෙදුනෙමු. ඒ බුදු සසුන රැක ගැනීමේ ශාන්ති සටනය. දුක් ගමනක් වූ දිර්ඝ සංසාර ගමන ගැන සළකන විට, දුක් ඉවර කර ගැනීමේ අවුරුදු විස්සක ධර්ම ගමන සැනසිලි ප්‍රාතිහාර්යයක් හැටියට සිතට දැනී යන්නේය. මෙය පුංචි දෙයක් නොවෙයි. ලොකු සපන්කමෙකි. කිසි ආමිස බලපොරොත්තුවක් නැතිව නිරාමිස ධර්ම ප්‍රාර්ථනාවෙන්ම පත්ව ඇති මේ සසුන් පෙරහැර ආපසු බලා සැනසෙන්නට සුදුසුව ඇත. මෙයට එක්වූ ගිහි-පැවිදි පින්වත් මණ්ඩලය මට දැනෙන්නේ මැණික් වැළක් ලෙසිනි. මැණික් එක්තැන් වුනාම මැණිකෙන් මැණික පැහැගැන්වී බැබැළීම දියුණු වන්නේය. අපේ සත්පුරුෂ එකතුවත් බැබැළුනේ එලෙසිනි. ඒ ධර්ම ප්‍රීතිය විඳගැනීමටත් ඉදිරියේ සසුන් වැඩ සඳහා වැඩි උනන්දුවක් හදා ගැනීමටත් ප්‍රීති පුණ්‍යෝත්සවයක් පැවැත්වීමටත් නියම කරගෙන තිබේ. මෙය ධර්ම මංගලයක්ම වේවා!

මාහිමිගේ ලිපි ගොනුවෙනි.

======================================

මේ අජර, අමර ජීවිත වාසනාව යාව නිබ්බාණ වේවා!

අපි අපේම ජීවිත භාවනාවට නගමින් අපේම විසිතුරු පෙරහැර දකිමින් සතුටු වෙමු. සැනසෙමු.

නොනැවතී ඉදිරියටම යමු. නිවන් දක්වා යමු.

======================================

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s