නිවන් මග වැඩි මහා යතිවරයාණෝ…!

484535_563251370385729_1217220948_n

(අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ ගුණ කඳ සිහිකිරීම උදෙසා පළ කරන ලද ‘අමාබින්දු’ නම් ග්‍රන්ථයෙන් උපුටාගන්නා ලද සටහන් පෙළකි.)

______________________________________________________
සර්වඥයන් වහන්සේ විසින් පන්සාළිස් වසරක් තුළ නොයෙක් තන්හි නොයෙක් ආකාරයෙන් දේශිත වූ ශ්‍රී සද්ධර්මය පැවැතියේ විසිරුණු මිණිරුවන් රැසක් ලෙසිනි. ප්‍රථම සංගායනාවේදී ඒ පර්යාප්ති ධර්මය එක්තැන් කොට මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහතුන් විසින් සැලසුම් කරනු ලැබීමේ අනුත්තර සිද්ධිය ඉතා පැහැදිලිය.

තුන්වන සංගායනාවේ ප්‍රමුඛ වූ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ බුදුසසුන රැකගැනීම සඳහා බඹලොවින් සැව මනුලොව පහළ වූ සේක් රහතුන්ගේ ආරාධනයෙනි.

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රනෙතෘ වූ අතිගරු මහෝපාද්‍යාය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ යුගයේ වැටීගෙන යන බුදු සසුන බේරාගැනීම සඳහා කිසිවකුගේත් ආරාධනාවක් නැතිව බඹලොවින් වැඩිසේක් වනැයි මා සලකන්නේ උන්වහන්සේගේ ධර්ම ජීවිතයේ ප්‍රාතිහාර්ය ස්වරූපය සිහිකරමිනි.

යෝගාශ්‍රම වැඩ පිළිවෙළ පටන්ගෙන ටික කලකට පසු උන්වහන්සේ මට එවූ ලිපියක මෙසේ සඳහන් විය. “ඔව් ! බුදු සසුන උදෙසා අපෙන් විය යුතු මෙහෙවර සපුරා ඉටු කිරීමටයි අපේ මේ ආරම්භය. මේ වෙනුවෙන් මගේ ජීවිතය ඕනෑම ගහක් යට කැප කිරීමට මා සූදානම්.” උන්වහන්සේගේ මේ උදාර සිත අන්තිම මෙහොත දක්වා සවාරෙන් සපිරුණේ විශේෂභාගීය තත්වයෙනි….

– අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංස නාහිමි –

_________________________________________________

….සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් සියවස් 25 ක් ගත වූ පසු ද, බුද්ධානුශාසනය නිවැරදිව පිළිපදිමින් ධර්මයේ ජීවමාන සංකේතයක් බවට පත්වූ අතිදුර්ලභ සත්පුරුෂයෙකු මේ මිහිපිට ජීවත් වූ බව දැන ගැනීම ධර්මකාමීන්ගේ අමන්දානන්දයට හේතුවක් වන අතර, බොහෝ දෙනකුන්ට ධර්ම මාර්ගය අනුගමනය කිරීම පිණිස අතිවිශාල ධෛර්යයක් ද වන්නේ ය….

– ‘අමා බින්දු’ ග්‍රන්ථයේ පසුබිම ඇතුලත් සංස්කාරක සටහනෙන් –
_______________________________________________________

… උන්වහන්සේගේ ඉල්ලීම පරිදි මම ද මීතිරිගල නිස්සරණ වනයෙහි දෙසුමකට පැමිණියෙමි. එහි තතු විමසා බලා අතිශයෙන් පැහැදුණෙමි. නිතර ළඟ ඇසුරක් නොවූවත් උන්වහන්සේ ඇසුරු කරන්නන් මගින් සියලු තතු හොඳින් දනිමි. මෑතෙක මෙරටැ වැඩ හුන් ගුණවෘධ තපෝවෘධ මහතෙරුන් අතරැ උන්වහන්සේ අග්‍රම තැන ගෙන සිටියහයි මගේ හැඟීමයි.

අද මෙ හෙළදිවෙහි භාවනා මධ්‍යස්ථාන බොහෝ තැන ඇත. ඒ අතින් සස්නෙහි දියුණුවෙක් පෙනේ. භාවනානුයෝගී ගිහි පැවිදි පිරිස ද වසක් පාසා ගණනින් නැගෙත්. එය සුභ ලකුණෙකි. මේ යෝගාවචරයන් අතර මාර්ඵල ලාභීහු ද ඇතැයි සිතමි. අපවත් වූ ඥානාරාම හිමියන් ගැන මා සලකනුයේ අනාගාමී ඵලයට පැමිණි කෙනෙකු හැටියට ය….

– අතිපූජනීය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමි –
_____________________________________________

….එහෙයින් ඥානාරාම මාහිමියන් වහන්සේ දෙවියන් – බඹුන් විසින් පසස්නා ලබන පුරුෂොත්තමයෙකි.

පුජ්‍යපාද මාතර ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සිල්වත්කමින් උගත්කමින් ගුණවත්කමින් සම්බුදු සසුන බැබළවූ, සැදැහැවත් ජනතාවගේ මුදුන්මල්කඩක් සේ වැජඹුණු, විශාල පිරිසකට කමටහන් දෙමින් නිවන්මග පෙන්වූ, පුරුෂෝත්තමයෙකි.

බොහෝ කාලයක් භාවනානුයෝගීවැ වාසය කළ ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ තම පුණ්‍යවන්ත ජීවිතයෙන් පූර්ණ ප්‍රයෝජනය ගත් සංඝසෝභන මහතෙර නමකි. උන්වහන්සේ අජරාමර නිවන් සුවයෙන් සැනසෙත්වා!…

– අතිපූජනීය මඩිහේ පඤ්ඤාසීහ නාහිමි –
_______________________________________________

…විවිධ තරාතිරමේ ඇත්තන් මාහිමිපාණන් පිළිබඳව කතාබහ කරනු මට අසන්නට ලැබී ඇත. උගත් තෙරනමක් උන්වහන්සේ පිළිබඳ මෙසේ පැවසීය.

“ලොව අද සිටින ශ්‍රේෂ්ඨම උතුමන් අතර මුල්ම සංඛ්‍යාවට ගැණෙන උතුමෙකි, මාතර සිරි ඥාණාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නොඑසේ නම්, පළමු අංකයටම සැලකිය හැකි උදාර උතුමෙකි.”…

– අතිපූජනීය බේරතුඩුවේ ඤාණවිසුද්ධි නාහිමි –
_______________________________________________

…අවවාදයෙන් මෙන්ම ආදර්ශයෙන් ද ‘අප්පමාද පදය’ සිහි ගැන්වීම හා ‘නිස්සරණ’ අදහස මතුකරදීම, කර්මස්ථානාචාර්යයන් වහන්සේ කෙනෙකුන් හැටියට අප අතිපූජ්‍ය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ කළ කී දැයෙහි සාරාංශය හැටියට පිඬුකර දැක්විය හැකිය. දුර්ලභ කරුණු හය ඇතුළත් ‘සුගතෝවාදය’, උන්වහන්සේ යෝගාවචර පිරිසට කළ බොහෝ දේශනාවන්හි ‘මාතෘකාව’ මෙන්ම ‘පරිශිෂ්ටය’ ද විය. අවාසනාවකට මෙන් පටිගත කරගත නොහැකි වූ, උන්වහන්සේගේ අවසාන දේශනයේ සාරාංශය වූයේ ද එයයි. යෝගාවචර පිරිස සංවේගයෙන් ලොමු දැහැගැන්වු ඒ සිහිකටයුතු දේශනයේදී සත්පුරුෂ කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙහි අතිදුර්ලභ බව අවධාරණය කරමින් උන්වහන්සේ පළ කළ මේ වැකිය අනාවැකියක්ම විය :

“තවත් මේ වගේ අවස්ථාවක් ලැබේවිය කියලා බලාපොරොත්තු වෙන්න එපා…”

“දුල්ලභො සප්පුරිස – සංසෙවො”

– අතිපූජනීය කටුකුරුන්දේ ඥාණානන්ද නාහිමි –
_____________________________________________________

…සමාධියට තුඩු දෙන සේ සම්‍යක් ශීලයක් සමාදන්ව රැකීම හා ප්‍රඥාවට තුඩුදෙන ආකාරයට සමාධිය ප්‍රගුණ කිරීම, යෝගාවචර ජීවිතයකට උරුම වැඩ පිළිවෙළයි. එයම සාරයයි; සෙස්ස අසාරයයි. මාහිමිපාණන් වහන්සේ ක්‍රියාවත් කළ ආදර්ශය එයයි. ලොවට මතක්කර දුන් අවවාදයත් එයයි.

ගෙවී ගෙන යන සියවස ගැන සලකා බලන විට, පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ වශයෙන් තුන් ආකාර වූ මේ ශාසනයෙන් නිසි ලෙස වැඩ ගෙන, ත්‍රිවිධ ශාසනයටම නිසි ලෙස වැඩ සිද්ධ කොට, ශාසන ඉතිහාසයේ නම තැබුවන් අතර මා දුටු අතිපූජනීය සිරි ඤාණරාම මාහිමිපාණන් වහන්සේට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.

“සතං සමාගමො හොතු
යාව නිබ්බානපත්තියා”

– අතිපූජනීය උඩඊරියගම ධම්මජීව නාහිමි –
_____________________________________________________

(‘අමාබින්දු’ ග්‍රන්ථයට ‘මාදුටු මාහිමිපාණෝ’ යටතේ අතිපුජනීය නාඋයනේ අරියධම්ම නාහිමියන් සැපයූ ලිපිය)

ප්‍රථම දර්ශනය –

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දැකීමෙන් පමණක් කුල පුත්‍රයෝ දහසක් පැවිදි වී රහත් බවට පත්වූහ. තත් ශිෂ්‍ය චන්ද්‍රගුප්ත මහ රහතන් වහන්සේ දැකීමෙන් ද තත් ශිෂ්‍ය සුරියගුප්ත මහ රහතන් වහන්සේ දැකීමෙන් ද පැවිදි වී අර්හත්වයට පත්වූවන් දහස බැගිනි. මහා ධම්මරක්ඛිත මහ රහතන් වහන්සේ වනයේ ගසක් මුල සමවතට සමවැදී වැඩ සිටිද්දී කැලේ වල් ඇතකු කොළ අතු මිටියක් සොඬින් ගෙන පවන් සලනු දුටු දම්සෝ රජුගේ සොහොයුරු තිස්ස කුමාරයා ලක්ෂයක් දෙනා සමඟ එතුමන් වෙතම පැවිදි වී රහත් බවට පත් විය. සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැකීමෙන් පැහැදී ධර්මාශෝක මහ රජතුමා තෙරුවන් සරණ ගොස් සම්බුද්ධ ශාසනයට අනල්ප සංග්‍රහ කළේය. “සමණානඤ්ච දස්සනං – එතං මංගල මුත්තමං” යයි වදාරා ඇත්තේ එහෙයිනි.

මට වයස 14 පමණ කාලයේ දිනක අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ තවත් දෙනමක් සමඟ දම් දෙසුමක් පිණිස නාඋයන අරණ්‍යයේ සිට බඹරගස්වැව ගම්මානය බලා වඩිද්දී අපේ ගමේ බෝමැඩ ටික වේලාවක් නැවතී සිටි සේක. බෝමළුවේ ආසන පණවා වඩාහිඳුවා ගිලන්පස පිළිගන්වා බැතියෙන් වැඳ පුදා පසෙක සිටි පිරිස අතරෙහි මාත් සිටියේ ගරුතර ස්වාමීන් වහන්සේලාගේ දැකීමෙන් පහන්වූ විස්මිත මනසිනි.

අග කෙළවර වැඩසිටි ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන් නෙත් හැර පිරිස දෙස බලා සිටි අතර මැද සිටි ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන් නෙත් පියාගන සිටි බව පෙනිණි. එහෙත් අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ උඩුකය ඉදුව තබා ගෙන බඹයක් පමණ පෙනෙන සේ තබාගත් නෙත් ඇතිව වැඩ සිටි සේක. ගැඹුරු දැනුමක් කෙසේවත් නොතිබුණු මට මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ මැදුම් පිළිවෙතෙහි පිහිටි උතුමන් වහන්සේ යයි වැටහී ගියේ, කවදා හරි මමත් මැදුම් පිළිවෙත පුරන පැවිද්දෙක් වෙම්වායි යටි හිතේ පැතුමක් සහිතව ය. ඉන් වසර සතරකට පමණ පසු පූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේම ශ්‍රී හස්තයෙන් මගේ කරේ සිවුරු පටි බඳිනා ලදුව උතුම් පැවිදි බිමට පත්වීමේ භාග්‍යය මටත් උදාවූයේ පළමු දර්ශනයේ අනුහසිනි. අතිගරු පූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ අන්තිම හුස්ම ටික තෙක්ම මැදුම් පිළිවෙතෙහි පිහිටා කටයුතු කළ බව මාහිමිපාණන් වහන්සේ කෙරෙන් දැක ගත්තෙමි.

සුවිසද දහම් නැණ –

මා පැවිදි වීමට ආසන්න දිනක ගල්දූවේදී අතිපූජනීය කඩවැද්දුව පණ්ඩිත මාහිමිපාණන් වහන්සේ සඟ පිරිස මැද අතිගරු පූජනීය මහෝපාධ්‍යය මාහිමිපාණන් වහන්සේගේන් දහම් පැනයක් විමසූ සේක. “අවසර ස්වාමීන් වහන්ස, ගිරිමානන්ද සූත්‍රයේ ‘කම්ම සමුට්ඨානා ආබාධා’ කියා කර්මයෙන් හටගන්නා ආබාධ ගැන වෙනමම දේශනා කොට ඇති බැවින් සෙසු ආබාධ – ලෙඩරෝගවලට කර්ම සම්බන්ධයක් තිබේද?” යනු ඒ පැනයයි. “මුළු පඤ්චස්කන්ධයම කර්ම නිර්මාණයක්. කවර හේතුවකින් රෝගයක් – ආබාධයක් හැදුනත් දුක්ඛ වේදනාව කර්මය හේතු කොට, කර්මය නිදාන කොට ඇති වෙනවා” යයි නොපැකිල නිකුත් කළ පිළිතුරෙන්, තීක්ෂණ වූත් තීරණාත්මක වූත් ගම්භීර ධර්ම ඥානයෙන් මහෝපාධ්‍යාය මාහිපාණන් වහන්සේ පරිපූර්ණ බව දැක ගතිමි.

සෘජු ඉරියාපථය –

අතිගරු පුජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ සෑම ඉරියව්වක්ම සෘජු ය. සර්වඥයන් වහන්සේ අනුගමනය කරන ස්ථිර අධිෂ්ඨානයක් ඇති මහ සඟ පියාණන් වහන්සේ නමක් වශයන් සෘජු වූ ඉරියාපථය තේජස්වී ලෙස පැවැත්වූ සේක. පුටුවේ වැඩිවී ලිවීමේ යෙදුනේ උඩුකය ඉදුව තබාගෙන ය. පර්යංකයෙන් වැඩි වූ සේක් උඩුකය ඉදුව තබාගෙන ය. එසේ භාවනාවේ යෙදෙන කිසි විටෙකත් අන්‍යයන්ට සේ කිරා වැටීමක් සිදු නොවීය. පැයක් පමණ වාඩිවී පොත් බැලීම, ලිවීම, භාවනා ආදියක යෙදී සිට ථීන – මිද්ධ විනෝදනය පිණිසත් සෞඛ්‍ය පිණිසත් අනිවාර්යයෙන් සක්මන් කරන සේක්, සෘජුව පිහිටුවාගත් උඩුකය ඇතිවම ය. සයනගත ඉරියව්ව පවා බොහෝ සේ සෘජුව ම පැවැත්වූ සේක. දීර්ඝකාලීන භාවිත සන්තානයක ආකල්ප සම්පත් එසේම වනු ඒකාන්තය.

ප්‍රතිපත්ති ගරුකත්වය –

1963 අප්‍රේල් 8 දා සිට මාස දෙකක් පමණ අතිපූජනීය මෝහපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගෙන් කමටහන් ගෙන මැල්ලගල යෝගාරාම මධ්‍යස්ථානයේදී විවේකව කමටහන් වැඩුවෙමි. දිනපතා කමටහන් කියා දුන් මාහිමිපාණන් වහන්සේ අවශ්‍ය උපදෙස් නොඅඩුව සලසා දෙමින් විවේකය ද සුරක්ෂිත කළ සේක. මැයි මස මුල් සතියේදී ගල්දූවේ ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ ප්‍රධානතම දායිකා මාතාව ස්වර්ගස්ථ වූ බැවින් එම අවසාන ආගමික කටයුතු සඳහා වැඩම කරවාගෙන ඒමට වාහනයක් ද මැල්ලගලට යවා තිබියදීත්, “අරියධම්ම නමගේ කමටහන් වැඩීමේ කටයුත්තට ස්වල්පයක් හෝ පාඩුවක් වෙනවා ඇතැ”යි ඒ ගමනට නොවැඩි සේක. පසු දිනක ඒ බව මාහට මතක් කළ විට හැඟී ගියේ කොපමණ භාරදූර වැඩක් වුවත් ප්‍රතිපත්තියට මුල්තැන දීම මාහිමිපාණන් වහන්සේගේ ස්ථිර පිළිගැනීමක් බවය. මෙසේ ප්‍රතිපත්ති ගරුකත්වයෙන් මාහිමිපාණන් වහන්සේ දැක ගත්තෙමි.

හමුවට පැමිණියවුන් දැහැමින් සතුටු කිරීම –

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙන සැමදෙනා සම්පහංසනය කිරීම බුද්ධ චරිතයේ විශේෂ ලක්ෂණයෙකි. අතිගරු පූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ වෙත පැමිණෙන කවුරුත් ආපසු යන්නේ නිවුණු – සැනසුණු, ප්‍රීතියෙන් – සතුටෙන් පිරී ඉතිරී ගිය, සතුටු මුහුණෙනි. හේතුව, පූජනීය මාහිමිපාණන් වහන්සේ ඉතා සුළු මොහොතක් තුළ කථා කරතත් මෛත්‍රියෙන් – කරුණාවෙන් පිරීගත් දැහැමි වදනින් සංග්‍රහ කිරීමය. ඒ උතුම් මෛත්‍රී වචී කර්මය තුළින් මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ දැක ගත්තේ ඔද වැඩීගත් ප්‍රසන්නතාවෙනි.

සමාධිගත දේශනා විලාසය –

1963 වර්ෂයේ අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සඟ පිරිස නව නමක් ගෝතම තපෝවනයේ වස් එළඹී වැඩ සිටියහ. තපෝ වනාධිපති ස්වාමීන් වහන්සේ හෘදයාබාධයකින් සුව වූ අළුත බැවින් වෛද්‍ය උපදේශ අනුව ධර්මදේශනා සඳහා වෙහෙස නොවූ අතර සතිපතා ඉරුදින ධර්මදේශනාව පැවරුණේ අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේටය. තෙසැත්තැ ඤාණ මාතෘකාවෙන් පැවැත්වෙන පැයකට සීමිත වූ එම ධර්ම දේශනයට සවන් දීම පිණිස විශාල පිරිසක් පැමිණි අතර, වස් එළඹ සිටි සඟ පිරිස ද බොහෝ සෙයින් සහභාගි විය. තෙසැත්තෑ ඤාණ පාඩම් කරගත් මම ද අනිවාර්යයෙන්ම නිතිපතා බණට සවන් දුන්නේ ඉමහත් ගෞරවයෙනි. අතිගරු පූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ධර්ම දේශනාව පවත්වන පැය ගතවනු දැනෙන්නේ විනාඩි කීපයක් මෙනි. භාවනාවෙකින් ලැබිය යුතු චිත්ත සමාධිය එම ධර්ම දේශනාවෙන් ලැබෙනුයේ නිරායාසයෙනි. එක වචනයක් නොපැටලී, ඉක්මන් ද නොවී පමා ද නොවී, මුතු වැලක් – මැණික් වැලක් අමුණන්නා සේ දහම් කරුණු නිවැරදිව පැහැදිලිව ඉදිරිපත් කරමින් පැවැත්වෙන එම දේශනාවට සවන් දීමේදී අවබෝධයත් සමඟ සිත වහා සමාධිගත විය. එනිසා තව-තවත් බණ ඇසීමේ අභිලාසය දියුණු තිබුණු වීමෙන් තුන් මාසය පුරා අසීමිත සතුටක් විඳ ගත්තෙමි.

ආනන්තරික සමාධි ඤාණය තෙක් අනුපිළිවෙළින් ඤාණ දේශනාව පූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පැවැත්වූ අතර, එතැන් සිට තෙසැත්තෑ ඥාණ නිමාව තෙක් දේශනාව මාහට පැවරුණි. පූජනීය මොහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ විසිතුරු ඤාණ දේශනා ආභාෂයෙන් සිත පිරීගත් බැවින් සාර්ථකව දේශනා පන්තිය නිමවා, මහෝපාධ්‍යාය මාහිපාණන් වහන්සේ වෙත ගුරු භක්තියෙන් ආශිර්වාද කෙළෙමි.

නොසිස් වචන හා ගැඹුරු ඇතුළත –

1962 අප්‍රේල් 1 දා නිමලව සිට මහියංගනය බලා අසූනමක් තරම් විශාල සඟ පිරිසක් සමඟ වඩින ගමනක් විය. ගල්දූව, නිමලව සහ මහියංගනය යන ස්ථාන තුනක පිළිවෙළින් පැවැති විශේෂ පින්කමෙක අවසාන දිනයයි. අතිගරු පුජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ නිමලවදී උදරාබාධයකින් දැඩි සේ ගිලන්ව සිටත් මේ ගමනට සහභාගි වූ සේක් දැඩි අධිෂ්ඨානයෙනි. යන ගමනේදී කතරගම කිරිවෙහෙර වැඳීමට ද යා යුතු විය. වේලාව ප්‍රවේශම් කළ යුතු බැවින් සඟ පිරිස මැණික් ගඟ ළඟ බසයෙන් බැස නොපමාව කිරි වෙහෙරට පිටත් විය. මාහිමිපාණන් වහන්සේ ද ශාරීරික දුබලතාවෙන්ම ඉතා හෙමින් කිරි වෙහෙර වෙත පිය නැඟූ සේක.

එහෙත් සඟ පිරිස බොහෝ දුරට ඈත් විය. කිරි වෙහෙර සමීපයේ කුඩා අවන්හලක් ඉදිරිපිටදී සැදැහැවතකුගේ කාරුණික ඇරයුමකින් ගිලන්පස ටිකක් පිළිගැනීමට නැවතී හැරී බැලූ මාහිමිපණන් වහන්සේගේ සමීපයේ සිටියේ මා පමණකි. වැඳුම් පිඳුම් කටයුතු නිමවා මහියංගනයට වැඩම කරවා, එහි නියමිත සාරාණීය පින්කම නිමවා ආපසු දනවුකන්දට වැඩම කළ මාහිමිපාණන් වහන්සේ බෝසත් ගුණ ඇති රණමුණි මවුපිය දෙපල සමඟ ගමන් තතු විස්තර කරද්දී කතරගමදී ගිය දුෂ්කර ගමන ගැන සඳහන් කළ සේක. කිරි වෙහෙරට වඩින ගමනේදී සියලු සඟ පිරිස ඈත් වූ අතර තමන් තනි වූ බව සිතා බොහෝ දුර ගමන් ගත් බවත්, නැවතී හැරී බලද්දී මා පමණක් පසු පස ආරක්ෂාවට සිටිය බවත්, කවදා හෝ තමන් වහන්සේගේ අවසාන මොහොතේ අරියධම්ම පිහිට වන බවත් ප්‍රකාශ කළ සේක. එය සැබැවින්ම නොසිස් වචනයක් වූයේ, 30 වසරකට පසු ’92 අප්‍රේල් 30 දා අපවත් වන මොහොතේ ද අනිවාර්යයෙන්ම ප්‍රියශීලී සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ නොකඩවා පුරා පැය හයක් පිරිත් සජ්ඣායනා කරමින් උපස්ථාන කිරීමේ භාග්‍යය මටත් ලැබුණු බැවිනි.

ගම්භීරතම ආධ්‍යාත්මයක් ඇතිව විසූ අතිගරු පූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ පුරා මාසයක් පමණ ගිලන්ව සිටි නමුත් කිසි විටෙක කම්පා නොවූහ. කෙඳිරියක් නැත. දැඩි වේදනාවක් පැවැති නමුත් කඳුලක් වැගුරුනේ ද නැත. හැඬීමක් නැත. නොඉවසිලිමත් වචනයක් නැත. “පරජිණ්ණ මිදං රූපං – රෝග නිඩ්ඪ පභංගුරං”, “රූපං අනිච්චං, වේදනා අනිච්චා, සඤ්ඤ අනිච්චා, සංඛරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චං” යනාදි බුද්ධ වචනයක්ම ප්‍රකාශ කළ සේක. හිතවත් දායක පිනැතියකු වේදනාව ගැන ඇසූ විට, “මේ දුක ගැන භය වීමට අවශ්‍ය නැත. මේවා අවබෝධ කළ යුතු දේ” යයි ප්‍රකාශ කළහ. ඒකාන්තයෙන් උතුම් අධිගමයක් ලබා සිටි බව සත්‍යයකි.

අපවත් වීමට විනාඩි 15 පමණ කලින්, සීතලව පැවැති දේහය උණුසුම් බවට පත්විය. රන්වන් පාටින් අමුතුම දිස්නයක් වැටිණ. උපස්ථායක පිරිසට පින්දීමක් වැනි දෙයක් විනාඩි 10 තරම් කාලයක් කියවූහ. නොනවරදවාම මෛත්‍රී බ්‍රහ්ම විහාර ධ්‍යානයට සිත පැමිණියා යයි සිතමි. එදින පහළ වූ ප්‍රසන්න භාවය දින අටකින් ආදාහනය කරන තුරු සම්පූර්ණයෙන් වෙනස් නොවී පැවතීම ද ආශ්චර්යයෙකි.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ චරිතාපදානය අනුව අල්පේච්ඡතා – සන්තුෂ්ඨිතා – සුභරතා – පවිවේකතා – විරියාරම්භතාදී අසීමිත ගුණස්කන්ධයෙන් පරිපූර්ණ වූ සන්තාන ඇති අතිපූජනීය මාතර සිරි ඥාණරාමාභිධාන මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ මා විසින් දක්නා ලද්දේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැනි අතිශ්‍රේෂ්ඨ වු අතිඋත්තම වූ කල්‍යාණ මිත්‍ර සංඝ පීතෘන් වහන්සේ නමක් වශයෙනි.

“සතං සමාගමො හොතු
යාව නිබ්බාන පත්තියා”

“කායෙන වාචා චිත්තෙන
පමාදෙන මයා කතං
අචිචයං ඛම මෙ භන්තෙ
උපජ්ඣාය වරුත්තම”

=========================================

ත්‍රිවිධ ශාසනය වැඩූ යෝගී භික්ෂුවකගේ ස්මාරකයේ මෙසේ සඳහන් විය යුතුය.

“අගණීය නිජමත්ථං සාමිස වාපි සාත
පරිතුලිය පසත්ථං සාසනත්ථං චිනන්තො
තදනුවිහිත වා යො සබ්බකම්මං දයා වා
නිහිත විතිහ ජඤ්ඤා තස්ස භික්ඛුස්ස භස්මං”

“ස්වාර්ථයට වඩා උසස් ශාසනාර්ථය ගරු කොට සිදුකිරීමෙන් විඩා පත්වැ එයින් සුසුම් හෙලූ යෝගී භික්ෂු නමකගේ භෂ්මාවශේෂය මෙහි ඇත.”

=========================================

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s