තෑග්ගට සුදුසු වෙසක් සැරසිල්ල..!

525369_558890690821797_826212187_n

අද බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සේක් නම් වෙසක් සැරසිලිකාරයන්ට කෙබඳු බණක් වදාරද් ද?

සිංහල බෞද්ධයන් විසින් වර්ෂයක් පාසා වෙසක් උත්සව උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබේ. ජාතික සාමායික දෙපසින්ම විශේෂ සිද්ධි රැසක් සිහියට නංවන වෙසක් දිනයෙහි උත්සව පැවැත්විය යුතුම ය. අප මේ ලිපිය ලියන්නේ වෙසක් ඉතිහාසය දැක්වීමට හෝ උත්සව කරුවන්ගේ උනන්දුව පණපෙවීමට නොවෙයි. දැන් පවත්වාගෙන යන වෙසක් උත්සවයේ අංගෝපාංග වශයෙන් තහවුරු වී පවත්නා විවිධ ක්‍රියා, උත්සව පරමාර්ථයට හොබින්නේ ද යනු සිහි ගැන්වීමට වෙසක් බෞද්ධයන් නවතා ගැනීම අපේ අදහසයි. වෙසක් කාලයට පමණක් බොදු පුබුදුව දක්වන පිරිසක් මට පෙනෙනා හෙයිනි, වෙසක් බෞද්ධයන් යයි සඳහන් කෙළේ. බලවත් පරිශ්‍රමයකින් මහත් වියදමකින් ඔබ කරන භක්ති පූජාව අර්ථවාහී නොවේ නම් එය ප්‍රඥාගෝචර වන්නේ කෙසේ ද? මෙහි හිත යොදවනු මැනවි.ඇඳුම් කොතරම් අලංකාර වුවත් ශරීරයට නොගැළපේ නම් වැඩක් නැත. සිතුවම් කොතෙක් විසිතුරු වුවත් වස්තුවට නොසෑහේ නම් අස්ථානගත ය. රචනය කොතරම් සිලිටි වුවත් උපන්‍යයිතය නොවිසාද් නම් නිරර්ථක ය. වෙසක් උත්සවයේ පරමාර්ථය බුදුරජාණන් වහන්සේට භක්ති පුජා පැවැත්වීම යි. ඒ භක්ති පූජා උන්වහන්සේගේ චරිතයට උන්වහන්සේගේ අනුශාසනයට උචිත සේ පැවැත්වුවහොත් පමණි, ගෞරව සහගත වනුයේ. බුද්ධ චරිතයට බුද්ධානුශාසනයට නොගැළපෙන බහුවැඩ වලින් බුදුන් පුදන්නට යාම විචාරශුන්‍ය මෝඝ ප්‍රයත්නයක් කොට සැළකිය යුතුය. අද අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සේක් නම් මේ උත්සවාකාරයන්ට හොඳම බණක් දෙසනවා ඇත.

“මේ නැටුම් නටන්නෝ මා පුදන්නෝ නොවෙති”

දෙව් මිනිසුන්ගේ පුද පෙරහැර ලබන්නට, දෙවියන් මිනිසුන් නටවන්නට උන්වහන්සේ බුදු නොවූ වග අන්තිම පැයේදී පහදා වදාළ සේක. පිරිනිවන් ඇඳෙහි වැදහොත් බුදුරජාණන් වහන්සේට පූජා පිණිස දිව්‍යමය නැටුමක් පවත්වන්නට දෙව් නළු පිරිසක් පැමිණියහ. එයට අවකාශ දුන මැනවැ යි ආනන්ද ස්වාමින් වහන්සේ කළ යැදුම පිළිකෙව් කරමින් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. ආනන්දය! මෙහි නැටුම් නටන්නෝ මා පුදන්නෝ නොවෙති. ඉදින් යමෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් ආත්ම සංයමය කෙරේ නම් හෙතෙමේ ම මා පුදන්නේ වෙයි. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් කවර පිදුමක් අපේක්ෂිත වූ සේක් ද? යනු සක්සුදක් සේ මෙයින් පැහැදිළි වන්නේ ය.ලුණු නැති කුඩු කැවුම් සන්තෝෂයෙන් වළඳන්නට තරම් අල්පේච්ඡ වූ ද, ඉෂ්ටානිෂ්ට ආලම්බණයෙහි මැදහත් පැවතුමෙන් අත්‍යන්ත ශාන්ත වූ ද, බුදුරජාණන් වහන්සේ ස්වකීය ශ්‍රාවකයන්ට ආදර්ශයෙන් ද අනුශාසනයෙන්ද පහදා වදාළේ බාහිර ආටෝපයට නොරැවටී අධ්‍යාත්මික පාරිශුද්ධිය උපදවා ගන්නා ලෙසය. උන්වහන්සේ විසින් ප්‍රඥප්ත සියලු ශික්ෂාවෝ ඉන්ද්‍රිය සංයමයෙන් ආත්ම විජය සලසන්නාහු වෙති. ක්ලේශ ශමථය පිණිස එක එල්ලේ හේතු භූත ප්‍රතිපත්ති සංදර්ශක බුද්ධ ධර්මය, සම්‍යක් දර්ශනය පදනම කොට ඇත්තේ ය. තදානුගත වූවාහු බුද්ධ ප්‍රශස්ත වූහ. තදර්ථඝාතකයෝ බෞද්ධ සමාජයේ සාමාජිකත්වයට නුසුදුස්සෝ ය. එබන්දෝ බුදුරජාණන් වහන්සේගේ අන්ත නිග්‍රහයට ලක්වූවාහු වෙති.බුද්ධ කාලයෙහි ප්‍රත්‍යන්තවාසී එක් භික්ෂු නමක් අමාර්ග ප්‍රතිපත්ති හේතුවෙන් බුද්ධ නිග්‍රහයට ලක්වූ දහසක් දෙනාගෙන් කෙනෙකු වශයෙන් දැක්විය හැකිය. නිරතුරු මටසිළුටු වූ සිවුරු පිරිකරෙන් සැරසීගත් ඒ භික්ෂූන් මහත් පරිශ්‍රමයෙන් කෙළේ ස්වකීය ආරාමය දියුණු කිරීම ය. මේ සැරසුම් ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේගෙන් තුති පැසසුම් ලැබේ යයි ඒ භික්ෂුව කල්පනා කෙළේ ය. එහෙත් පැසසුම් වෙනුවට බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට කෙළේ මහත් සේ නින්දා කිරීමය. කටයුත්ත පසෙක ලා අකටයුත්තෙන් ක්ෂණ සම්පත්ති කාලය මකා දමන තුච්ඡ පුරුෂයෙකැයි අතිශයින් නිග්‍රහ කළ සේක. තමන්ගේ අගුණ ශිලය භික්ෂුවට හොඳින් වැටහිණ. අද බුදුරජාණන් වහන්සේ වැඩසිටින සේක් නම් අපේ වෙසක් සැරසිලි කාරයන්ට හොඳ බණක් දෙසනු ඇතැයි මා සඳහන් කළේ මෙවැනි පුවත් සිහියට නැගීමෙනි.

“ප්‍රතිපත්ති පූජාව පස්සට දැමීම”

බුදුරජාණනන් වහන්සේ වෙනුවෙන් විසිතුරු තොරණ් බැඳගෙන, මාලාකර්ම ලතාකර්ම ආදියෙන් ගේදොර මගදෙපස මොනවට සරසාගෙන, නා නා විසිතුරු පහන් පන්දම් දල්වා ගෙන වෙසක් පුජාව පවත්වන මේ භක්තිමතුන්ගේ සිත ඇතුළත ප්‍රතිපත්ති පූජාවෙන් ඇති වන සැරසිලි ප්‍රභාවත් ද? වෙසක් සැරසිලි බලමින් වෙසක් දින විනෝද චාරිකාවේ හැසිරෙන පින්වතුන් පුරන්නේ කවර ශීලයක් සමාධියක් දැයි නොදනිමි. අවුරුදු පතා මේ සැරසිලි පින්කම් වගා කරන්ට තෑගි බෝග දෙමින් ගුණ වනමින් පොහොර හෙළන්නෝ ද දක්නා ලැබෙත්.ගම්බද මිනිසුන් වෙසක් බැලීමට නගරයට ඇදී යාම නිසා වෙසක් දින විහාර පන්සල් අඳුරෙහි ය. කරන්නට වැඩක් නැති නිසා පිළිම ගෙහි දොර වසා දමා පන්සලේ හාමුදුරුවෝ ද වෙසක් බලන්නට නොව දායකයන් බලන්නට නගරයට වඩිති. එක් වෙසක් දිනක පිටිසරබද ප්‍රසිද්ධ ආරාමයක්හි ධර්මදේශනාවක් සඳහා ගිය මට එහි දක්නට ලැබුණේ බාගෙට පණ ගිය උපාසක උපාසිකාවන් හත් අට දෙනෙක් පමණකි. සෙස්සෝ වෙසක් බලන්නට බැහැර ගොස්ය. මේ සැරසිලි ප්‍රදර්ශනය කරන්නන්ගේ ද, සැරසිලි බලන්නන්ගේ ද, ඇතුළත වැඩෙන ගුණ දහම් මොනවා ද? ඊර්ෂ්‍යා – ක්‍රෝධ – මාන – මාත්සර්යාදී පාප චේතනා වඩවන නිස්සාර වැඩවලින් කරන භක්ති පූජාව බුදුරජාණන් වහන්සේට කිසිසේත් නො ගැළපේම ය.

නැති එදිරිවාදිකම් ඇතිකර ගන්නෝ…!

කපටිකම් බෙදාගෙන වෙසක් සැරසිලි කරන්නට ගොස් කැති පොලු හටන් කරගත් ගම්මානයක් ගැනත්, දෙපිල බෙදී වෙසක් සැරසිලි කිරීමෙන් ජන්මාන්තර එදිරිවාදිකම් හදාගත් කඩවීදියක් ගැනත් මම දනිමි. පිවිතුරු හැඟුමෙන් නියම තේරුමෙන් නිසි පරිදි වෙසක් පූජාවට බසින්නේ නම් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් පිළිබඳ නොමිහිරි වේදනා විඳින්නට නොලැබෙනවා ඇත. මායා සහගත බොරු පෙන්වීම් වලින් බෞද්ධ පරමාර්ථය වැළලී යන්නේ ය. අපේ ධර්මානුශාසකයන් – සමාජ ශෝධකයන් මේ ඇන්නෑ වැඩට ආවඩනු දැක්ම වඩාත් සංවේගජනක ය. බුද්ධානුශාසනයට ගැළපෙන සේ වෙසක් උත්සව සැළැස්ම ඉදිකර ගත යුතුය. ඇතුළත ඇවිලගත් ගෙයක් පිටතින් සුණු පිරියම් කරන්නාක් මෙන්, සන්නිපාත රෝගියෙකු ආයිත්තමින් සරසන්නාක් මෙන් කරන බාහිර සැරසිල්ලෙන් වැඩක් නැත. කෙලෙස් ගිනි නිවන – කෙලෙස් ලෙඩ සංසිඳුවන වැඩ වලින්ම වෙසක් උත්සවය අර්ථානුගත කළ යුතුය.ගි‍ලානෝපස්ථානය – අනාථ සංග්‍රහය ආදී කරුණා සිත වැඩෙන වැඩවලින් හා පෙහෙවස් සමාදානයෙන්, බුද්ධානුස්සති ආදී භාවනාවක යෙදී විවේකව සිටීම වැනි නුවණ මෝරන පිළිවෙතින් වෙසක් රසය විඳගන්නට කල්පනා කරන්නේ නම් මැනවි. දහස් ගණන් වියදම් කිරීමෙන් මහත් වෑයමෙන් කරන බාහිර සැරසිල්ලට වඩා, කිසි වියදමක් වැඩි මහන්සියක් නැතිව ගුණදම් වගාවෙන් කෙරෙන ආධ්‍යාත්මික සැරසිල්ල උතුම් වන්නේ ය.

තෑග්ගට සුදුසු වෙසක් සැරසිල්ල නම් ආත්ම විමුක්තිය ආත්ම විජය සලසාලන ආධ්‍යාත්මික සැරසිල්ල බැව් එක්වන් සිහිකට යුත්තේ ය.

නැණ පහනින් වෙසක් සිත පහන් වේවා!
__________________________________________________

“සත්පුරුෂයන් උද්යෝගිමත් කළ ඓතිහාසික ලිපිය”

ශ්‍රි බුද්ධ වර්ෂ 2493 වෙසක් පොහෝ දින (1949 මැයි 1) සිළුමිණ පත්‍රයේ ප්‍රධාන පිටුවේ පළවූ “තෑග්ගට සුදුසු වෙසක් සැරසිල්ල” බුදුරජාණන් වහන්සේ මනාව හඳුනාගත් බුද්ධාංකුරයන් වහන්සේ නමකගේ බෝධි චින්තනයෙන් සැපයුණු ඓතිහාසික ලිපියකි.

සුපේශල ශික්ෂාකාමී සංඝ පීතෘන් වහන්සේලා සහ දහස් ගණන් සත්පුරුෂ බෞද්ධ මහජනතාව මින් උද්යෝගිමත් වූයේ අරුණෝදයේ ළහිරු පහසින් පිපීයන පියුම් පෙළක් මෙනි.

2500 සම්බුද්ධ ජයන්ති සමය උදාවත්ම, ශාසන ප්‍රතිපත්ති හා මඟ ඵල නිවන් වසා පැවති විමති අඳුර නසා, අදත් මඟ ඵල නිවන් රස විඳිය හැක්කේ මෙසේ යයි, සම්බුද්ධ ශාසනය නගා සිටුවීමේ ප්‍රණීතාධ්‍යාශයෙන් සමාරබ්ධ “ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව” මෙම ඓතිහාසික ලිපියේ ප්‍රතිඵලයකි.

පණසකට අධික අරණ්‍ය සේනාසන, විවේක සේනාසන හා දෙසීයකට අධික සුප්‍රතිපන්න යෝගාවචර බුද්ධ පුත්‍රයන් වහන්සේලා ද දස දහස් ගණන් බෞද්ධ මහජනතාව ද “තෑග්ගට සුදුසු වෙසක් සැරසිල්ල” අර්ථානුගත කරමින් පරම ප්‍රතිපත්ති පූජාවෙන් බුද්ධ පූජා කරන්නේ මේ ලිපියෙන් පටන් ගත් ශාසන සංග්‍රාමයේ මහිමයෙනි.

දෙවියන් සහිත සමස්ත සත්පුරුෂ ලෝකයාගේ අකලංක මෛත්‍රී ආශිර්වාදයට පාත්‍රවන “යථාවාදී තථාකාරී” තථාගතයන් වහන්සේට අනුව පවතින යථොක්ත බුද්ධාංකුර අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංශ මහා ස්වාමින්ද්‍රෝත්තමයාණන් වහන්සේගේ සකල සංකල්පනා සමෘද්ධ වී ඒකාන්තයෙන් බුදු බවම ලැබේවා!

ප්‍රභින්න ප්‍රතිසම්භිදා ප්‍රාප්ත මහාරහන්ත ධම්මදින්න මහරහතුන් වහන්සේ ප්‍රධාන දස දහස් ගණන් මහරහතුන් වහන්සේ වැඩ සිටි තලගුරු වෙහෙර අද ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රථම අරණ්‍ය සේනාසනයකි.

වයෝවෘද්ධ තපෝවෘද්ධ ගුණවෘද්ධ ඥානවෘද්ධ සම්භාවනීය විදර්ශනාචාර්ය පුස්සැල්ලේ ධම්මතිලක මහෝපාධ්‍යාය ස්වාමින්ද්‍රෝත්තමයාණන් වහන්සේ ශාසන ප්‍රතිපත්ති ප්‍රදීපස්ථම්භය වඩ වඩා බබුළුවමින් පුරා පස්විසි වසරක් තුළ නිමලව අරණ්‍ය සේනාසනය ගුණ නුවණින් ප්‍රභාවත් කරමින් වැඩ සිටිති.

අසූවිය ඉක්ම සිටි අතිගරු මාහිමිපාණන් වහන්සේට සෙත් පිණිස කෘතවේදී මහ සඟ පිරිස හා දයාබර දායක සත්පුරුෂ මණ්ඩලය පේළි වී 2520 / 1977-2-16, 17 දිනයන්හි නිමලව අරණ්‍යයේදී පවත්වනු ලබන ප්‍රණීත පුණ්‍ය පූජෝත්සවය සිහිගැන්වීම සඳහා මෙම ඓතිහාසික ලිපිය ජය කේතුවක් වේවා!

අතිගරු මාහිමිපාණන් වහන්සේට දීර්ඝායුඃ ශ්‍රී ශාන්ති වේවා!

“සතං සමාගමො හොතු – යාවනිබ්බාන පත්තියා”

මෙයට, සුවච
අරියධම්ම

(2520.02.17 / 1977)

__________________________________________________

(2600 සම්බුද්ධත්ව ජයන්තිය සහ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවා වසර 60ක් සපිරිම නිමිත්තෙන් නිකුත් කරන ලද “ආත්ම ප්‍රත්‍යවේක්ෂණය” නම් ග්‍රන්ථයෙන් මෙම ලිපි උපුටා ගන්නා ලදී.)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s