අපේ පිනට පහළ වූ මහා සංඝපීතෘවරයාණෝ…!

ape pinatai
සමකාලීන මහා පඬිවරයකු රේරුකානේ චන්දවිමල නාහිමියන් දුටු අයුරු…!

(1993.07.20 දින කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී රේරුකානේ චන්දවිමල මහා නාහිමිපාණන්ගේ සේවය අගයමින් බුදුසරණ පත්‍රය විසින් පවත්වන ලද ධර්ම මහා සම්මන්ත්‍රණයේදී අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක හිමිපාණන් වහන්සේ කළ මුලසුනේ කථාවෙන් උපුටා ගන්නා ලද කොටස් කීපයකි.)

මේ බුද්ධ ශාසනයෙහි භික්ෂුන් වහන්සේ කෙනෙක් ශෝභන වන්නේ කරුණු දෙහෙකින්. ධර්ම ධරත්වය, අනෙක ශික්ෂාකාමී කම. එය අංග දෙකින් යුක්ත වූ භික්ෂූන් වහන්සේ ශාසනශෝභන කෙනෙක්..

මේ ශාසනය පැවතීමට ප්‍රධානම ආධාරකය දේශනා ධර්මය, ත්‍රිපිටක ධර්මය, පර්යාප්තිය. “පරියත්තිං විනා ධම්මෝ, න තිට්ඨති කුදාචනං” ධර්මය දැනගන්න ඕනෑ. ඉගෙන ගන්න ඕනෑ. එතකොටයි පිළිපදින්න පුළුවන්. පිළිපැදීමේ ප්‍රතිඵලය තමයි ප්‍රතිවේදය. එනිසා මූලාධාරය දේශනා ධර්මයයි. ඒ අතින් විශාරද දැනීමක් ඇතිකම ශාසනයට මහත් මෙහෙයක් කරන්න පුළුවන් කමක්.. ධර්මඥ කමක් ඇතිවුනොත් තමයි හොඳට උගන්වන්න පුළුවන්…!

දැන් රේරුකානේ චන්දවිමල මහා නායක ස්ථවිරයන් වහන්සේ ගැන මා කියන්නේ, ඔය කියන ගුණාංග වලින් උන් වහන්සේ සමන්විතයි. උන්වහන්සේ මහා විශාරද ඥානයක් ඇති කෙනෙක්. ඒ වගේම ඉතාම උසස් ප්‍රතිපත්ති පුරන ශ්‍රේෂ්ඨ, ශික්ෂාකාමී මහෝත්තම පඬිවරයෙක්. හොඳ ශික්ෂාකාමී මහා ස්ථවිරයාණන් වහන්සේ නමක්. ඔය අංග දෙකෙන් උන්වහන්සේ සම්පූර්ණයි.

ලංකාවේ ධර්මධර භික්ෂූන් වහන්සේ බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ වාගේම බොහෝම ශික්ෂාකාමී හාමුදුරුවරු තවමත් ඉන්නවා. බොහෝ දෙනා කෑකෝ ගැහුවට ඒ අතින් පිරිහෙනවා කියලා, මට නං තවම එහෙම එකක් දැනුනේ නැහැ. ටවුන්බදව ඔය දේශපාලන වැඩවලට බැහැපු කීප දෙනෙක් මොන මොනවත් කලබල කළාට.

… ශික්ෂාකාමියා මම ශික්ෂාකාමියා කිය කියා ඇවිදින්නේ නැහැ. ඒ වගේම ධර්මධරයා මම ධර්මධරයා කිය කියා ඇවිදින්නේ නැහැ. ළඟ ආශ්‍රයෙන් දැනගන්න පුළුවනි. ලංකාවේ අද ඉන්නා වූ ස්ථවිර භික්ෂූන් වහන්සේලා අතුරෙන් අග්‍රස්ථානයෙහි වැජඹෙන, ධර්මඥානය අතින් ඉතාම ශ්‍රේෂ්ඨ ස්ථානයක වැජඹෙන මහෝත්තමයෙක්..!

… ඉතින් උන්වහන්සේ ලියාපු ඒ අභිධර්මය පිළිබඳ, විනය පිළිබඳ, අනෙකුත් සූත්‍ර ධර්ම පිළිබඳ සංග්‍රහ මහා රාශියක් තියෙනවා. මේ පොත් ටික පමණක්, අනෙක් වෙන මොනම පොතක්වත් නැතුව, දහදොළොස් විටක් හොඳට කියවලා හිතට ගත්තොත් අන්න ඒ තැනැත්තා ත්‍රිපිටක පාළියේ, අටුවා – ටීකා නැතුවට, කොටින්ම උන්වහන්සේගේ පොත්ටික හොඳට හදාළොත්, ඉගෙන ගත්තොත් ඒ ඇත්තා ඉතාම හොඳ ධර්මඥයෙක්. ඒ තරම් වටිනා, වැදගත් පොත් ටිකක්, සමූහයක් වශයෙන් ගත්තාම වෙන කාගෙන්වත්, එක්කෙනෙක්ගෙන් ලියවිලා නෑ කියන එකයි, මගේ වැටහීම. නිස්සරණාධ්‍යාශයෙන්මයි උන්වහන්සේ පොත් ලීවේ. ලෝකයාට සේවයක් පිණිසමයි. ඒක නම් මා හොඳින්ම දන්නවා.

ගුණ අතිනුත් උන්වහන්සේ ඒ වගේමයි. මා දන්නවා බොහෝ සෙයින් ළඟ ආශ්‍රය කිරීමෙන්, කථා බහ කිරීමෙන්. යම් යම් ප්‍රශ්න පැන නැග්ගම උන්වහන්සේ ගණන් ගන්නේ නෑ. හැම දෙයක්ම ඉවසන්න පුළුවන් මහා ගුණවතෙක්.

කීර්ති ප්‍රශංසා ලැබීමේ බොහෝ දෙනා ගිජුයි. අපේ මහා නායක ස්ථවිරයන් වහන්සේ නම් ඒ අතේ කිසිම බලාපොරොත්තුවක් ඇති කෙනෙක් නොවෙයි.

අනාගත ලෝකයාට මහත් මෙහෙයක් සිද්ධ වෙනවා..! උන්වහන්සේ මේ බුද්ධ ශාසනය අවසානය දක්වාම මේ පොත්වල වැඩ ඉන්නවා. ඒ සමගම උන් වහන්සේගේ ගුණ සම්පත්තියත් සිහි කරන්නන් අනාගත කාලයේ පවා ඇති වෙනවා ඇති…!

_________________________________________________

(17 වසරක් නාහිමිපාණන් වහන්සේට උපස්ථාන කළ, පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද නාහිමියන් විසින් රචිත ‘රේරුකානේ චන්දවිමල මහ නාහිමිපාණෝ’ නම් වූ ලිපියෙන් උපුටා ගත් කොටස් කිහිපයක්)

… අප උන්වහන්සේ සමීපයට පැමිණ වැඩි දිනක් යන්නට මත්තෙන් අපට උන් වහන්සේ පිළිබඳ ඇති වූ අදහස් ප්‍රත්‍යක්ෂ ලෙස දකින්ට ලැබුණි. මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තියුණු නුවණින් යුක්ත වූ සේක. ඕනෑම සියුම් ගැඹුරු කාරණයක් පිළිබඳව විනිවිද යන නුවණක් උන් වහන්සේට තිබුණි. විශ්ව විද්‍යාලවල මහාචාර්යවරු පවා සමහර කරුණු ගැන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග සාකච්ඡා කරන විට උන් වහන්සේගේ දැනීම පිළිබඳව මවිතයට පත්වූහ. උන්වහන්සේ පුදුම විදිහේ ධාරණ ශක්තියකින් යුක්ත වූ සේක. යමක් එක් වරක් කියවූ පමණින් මතක සිටින ස්වභාවයක් එතුමන්ට පැවතුණි. අනූපස් වැනි වියේදී පවා ඒ ධාරණ ශක්තිය උන් වහන්සේ තුළින් විද්‍යමාන විය.

“ධම්මානන්ද මම ගාථාවල් අමාරුවෙන් කවදාවත් පාඩම් කරල නෑ. මට යමක් එක් වරක් කිව්වාම පාඩම් හිටිනවා. මට පාඩම් තියෙන ප්‍රමාණය නම් කොච්චරද කියල මමවත් දන්නෙ නෑ” යි උන්වහන්සේ අප සමග පැවසූහ. ත්‍රිපිටක ධර්මය පිළිබඳව උන් වහන්සේට තිබුණේ නිවැරදි නිරවුල් පිරිසිදු උසස් දැනුමකි. “ධම්මානන්ද.. මට මේ ධර්මය ගැන හොඳ දැනුමක් ඇති කර ගන්න පුළුවන් වුණේ යම් යම් කාරණයක් හොඳින් වැටහෙන තුරු කොච්චර කාලයක් ගත වුණත් කල්පනා කිරීම අපේ සිරිත නිසයි. සමහර ධර්ම කාරණා වැටහෙන්න බොහෝ කල් ගත වී තියෙනවා” යැයි තමන් වහන්සේ ගේ දහම් දැනුම ඇති කරගත් හැටි වදාළහ. “මම ඉගෙනීම කළේ පොත් ලිවීමේ අදහසින් වත් අනුන්ට බණ කීමේ අදහසින්වත් නොවේ. අපේ සම්මෝහය දුරු කර ගැනීමටයි” ඒ උන් වහන්සේ ඉගෙනීමේ පරමාර්ථය ප්‍රකාශ කළ සැටියි.

… “ලෝකයේ සිටින ලොකුම පොහොසතාත් මමයි. ලොකුම දුප්පතාත් මමයි” යනුවෙන් තවත් දිනක උන්වහන්සේ අමුතු විදියේ ප්‍රකාශනයක් කළ සේක. “දුප්පත්කම කියන්නේ සෑහීමකට පත් නොවීමයි. තවත් ආකාරයකින් කියනවා නම් සෙවීම, ඇති නොවීමයි. ලද දෙයකින් සතුටු වී, සෙවීම ඇති වී සිටින නිසා ලෝකයේ ලොකුම පොහොසතා මමයි කියා මං හිතනවා. අපි හිඟන්නෙක් ගැන හිතල බලමු. ඒ හිඟන්නාට තියෙන පොල් කටුව, හැරමිටිය වුනත්, මගේ හැරමිටිය, මගේ පොල් කටුව කියා ඔහු විසින් සිතින් අල්ලා ගෙනයි ඉන්නේ. ඒ නිසා ඒ හිඟන්නා යමක් ඇති කෙනෙක් නේද? මට අයිතිව තිබෙන මේ කිසිවක් මම හිතින් අල්ලාගෙන නැති නිසා කිසිවක් නැති කෙනෙක් හා සමානයි. ඒ නිසා ලෝකයේ සිටින දුප්පතාත් මමයි කියා මං හිතනවා” යැයි උන්වහන්සේ තමන් වහන්සේ ගැන කළ ඒ ප්‍රකාශය තේරුම් කර දුන්සේක. ධර්මානුකූල මේ උදාර චින්තාව කොතරම් අගනේද? මෙයින් උන්වහන්සේගේ මානසික දියුණුව මනාකොට පිළිබිඹු නොවන්නේද?

ඒ උතුමෝ හැබෑවටම නිහතමානී වූහ. “මට මේ ලැබි ඇති උපාධි තනතුරු මහා නායක කම් කිසිම දෙයක් අපි ඉල්ලලා ලබා ගත්ත ඒවා නොවෙයි. ඒවා ගැන වචනයක් වත් කියලා නෑ. ඒවා මට ඉබේම ලැබුණු දේවල්. ඒවා ලැබෙන්න ඉස්සරත්, දැනුත්.. මගේ තත්වය එකයි” යනුවෙන් තවත් දිනක ප්‍රකාශ කළ සේක.

… මහාචාර්ය ජයන්ත කැලේගම මහතා අපේ මහ නා සමිඳුන් බැලීමට පැමිණියේය. “මම යක්කඩුවේ නායක හාමුදුරුවන් ළඟට ගිහිල්ලා ඇහුවා, නායක හාමුදුරුවනේ, බුද්ධාගම ගැන අවබෝධයක් ලබාගන්න මොන පොත් ද කියවන්න ඕනෑ කියලා. ‘මහත්තයෝ පොත් නම් තියෙනවා. කියන්න බයයි, සමහර පොත් කියෙව්වම මිත්‍යාදෘෂ්ටිය ඇතිවෙනවා. රේරුකානේ චන්දවිමල නායක හාමුදුරුවන්ගේ පොත් කියවන්න. එතකොට බුදු දහම නිවැරදිව දැනගන්න පුළුවන්’ කියල උන්වහන්සේ කීවා. ඒ ගමන්ම වල්පොල රාහුල හාමුදුරුවෝ හමුවෙන්නත් ගියා. උන්වහන්සේගෙනුත් ඒ ප්‍රශ්නයම ඇහුවාම උන්වහන්සේත් ඒ උත්තරයම දුන්නා. ඉතිං මට හිතුනා මේ තරම් පඬිවරු වර්ණනා කරපු නිසා නායක හාමුදුරුවොත් දැකලා ඒ පොත් ටිකත් අරන් යන්න. තව ටික දවසකින් පිටරට යන්න බලාපොරොත්තු වෙනවා. එහිදී මට කියවන්න පුළුවන් වෙයි.” ඒ මහාචාර්ය තුමා පැවසීය.

අපවත්වී වදාළ අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නායක මාහිමිපාණන් වහන්සේ නිස්සරණාධ්‍යාශයෙන් ලියූ ඒ අගනා දහම් පොත්පත් කියවා බුදු දහමෙහි නිවැරදි දැනුම ලබාගෙන, දුර්ලභ වටිනා මනුෂ්‍ය ජීවිතය ආලෝකමත් කර ගන්නා ලෙස ශාසනාලයෙන් දැනුම් දෙමු. එය උන්වහන්සේට කරන උපරිම පූජාවයි. ගෞරවයයි.

_________________________________________________

(මහනාහිමියන් අපවත්වී වසරක් පිරීම නිමිත්තෙන් 1998 වසරේ ජූනි මාසයේ පැවති ගුණ සමරු දේශනා මාලාවේදී, සද්ධර්ම කීර්ති ශ්‍රී, ත්‍රිපිටකාචාර්ය, පණ්ඩිත ශාස්ත්‍රවේදී පූජ්‍ය දිවියාගහ යසස්සි නාහිමියන් විසින් පැවැත්වූ ධර්ම දේශනාවෙන් උපුටා ගත් කොටසක්)

… රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කියන්නේ මේ ප්‍රදේශයට විතරක් අයිති නායක හාමුදුරු කෙනෙක් නෙමෙයි. මේ රටට පමණක් සේවය කරපු මහා නායක හාමුදුරු කෙනෙක් නොවෙයි. දහම් පිපාසාවෙන් පෙලෙන මුලු ලෝක සත්වයාටම ඒ ධර්මය බෙද බෙදා දෙමින් කිසිම භික්ෂූන් වහන්සේ නමකට කරන්නට බැරි තරම් මහඟු සේවාවක් සිද්ධ කරමිනුයි ඒ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩ හිටියේ.

… මේ පින්වතුන්ම හිතා බලන්න කල්පනා කරල බලන්න තම තමන්ගේ හදවතට තට්ටු කරලා, මොන තරම් තමන්ගේ ජීවිතය සකස් කර ගන්නට අපවත් වී වදාළ මහා නායක හාමුදුරුවන්ගේ අනුශාසනා, ඒ වැදගත් ධර්ම ග්‍රන්ථ හේතු වුණාද කියලා. එවැනි අද්විතීය මහඟු සේවාවක් සිද්ධ කර කර හිටපු ශ්‍රේෂ්ඨතම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වූ රේරුකානේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගුණ සදා මා හිතනවා බෞද්ධ ලෝ වැසියන්ගේ හදවත් වල තැන්පත් වෙලා තියෙනවා.

_________________________________________________

(මහනාහිමියන් අපවත්වී වසරක් පිරීම නිමිත්තෙන් 1998 වසරේ ජූනි මාසයේ පැවති ගුණ සමරු දේශනා මාලාවේදී, ශාස්ත්‍රපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් විසින් පැවැත්වූ ධර්ම දේශනාවෙන් උපුටා ගත් කොටසක්)

… මහා නායක හාමුදුරුවො වෙනුවෙන් සතියක් නොවේ, මාසයක් නොවේ, අවුරුද්දක් පින්කම් කළත් මදි. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මෑත කාලයේ ඔය තරමට මේ රටේ ගිහි පැවිදි සැමදෙනාම එක වගේම ගරු කළ උතුමන් දෙන්නෙක් වැඩ හිටිය. එයින් එක නමක් අපේ රේරුකානේ චන්දවිමල මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අනික් හාමුදුරුවො මේ දිනවල බලවත් සේ රෝගාතුරව වැඩ සිටින අතිගරු බලංගොඩ ආනන්ද මෛත්‍රී මහා නායක හාමුදුරුවො. උන් වහන්සේලා දෙනම පිළිබඳව මේ රටේ මිනිස්සු කල්පනා කළේ උන් වහන්සේලා මතු බුදුවන උතුමන් හැටියට. මහ රහතුන් හැටියට.

… මහා නායක හාමුදුරුවො තරමට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සාමාන්‍ය මනුෂ්‍යයා අතරට ගෙන ගිය හාමුදුරු කෙනෙක් පිළිබඳව මෑත කාලයේ හිතන්න බෑ. ඒ ලියාපු පොතපත පිළිබඳව අගේ කළා පසුගිය දා. මොන තරම් වටිනා අර ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටිය, ආනන්ද හාමුදුරුවන්ට කියනවනෙ ධර්ම භාණ්ඩාගාරික කියලා. ඒ වගේ මෑත කාලයේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරයක්. ධර්මය පිළිබඳ මොන තරම් දැනුම් සම්භාරයක් මහා නායක හාමුදුරුවො ළඟ තිබුණ ද කියල කියවන කොට අපට වැටහෙනවා.

_________________________________________________

(මහනාහිමියන් අපවත්වී වසරක් පිරීම නිමිත්තෙන් 1998 වසරේ ජූනි මාසයේ පැවති ගුණ සමරු දේශනා මාලාවේදී, ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය, සාසනධජ, මහා කම්මට්ඨානාචාර්ය පූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන් විසින් පැවැත්වූ ධර්ම දේශනාවෙන් උපුටා ගත් කොටසක්)

… විශේෂයෙන්ම අපවත් වී වදාළ අතිපූජනීය මහානායක මාහිමියන් වහන්සේව මාස තුනක කාලය මම සමීපචාරීව ආශ්‍රය කරල තියනවා. ඒ කියන්නෙ 1963 දී වස්සාන කාලෙ සති පතා එමින් ඒ මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් මා ලබාගෙන තියනවා. ඒ කාලය තුළ උන්වහන්සේ “සූවිසිමහාගුණ” ග්‍රන්ථය ලියමින් හිටි කාලයයි. ඒ කාලෙ උන්වහන්සේ ඒ කටයුතු තිබියදීත් ඒ අපට කරුණාවෙන් මෛත්‍රියෙන් පැය ගාණක්ම අනුග්‍රහ දැක්වූවා. ඒ සඳහා අපට ඉතාම සුහදව උපකාර වූයේ පූජනීය අතුරුගිරියේ පණ්ඩිත ඤාණවිමල ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ මග පෙන්වීම අනුව අපට මේ අවස්ථාව සළසා දීම ගැන එදා පටන් හැමදාම අපි නමස්කාර පූර්වකවම සිහි කරනවා. අපි බොහෝ සෙයින් අභිධර්ම පාඩම් උගන්වන වෙලාවෙ, ඒ වගේම භාවනා පන්ති පවත්වන වේලාවෙ ඒ අපවත් වී වදාළ මාහිමිපාණන් වහන්සේ ජීවත්ව සිටියදීත්, මේ අපවත් වුණාට පස්සෙත් හැමදාම පින්පෙත් පමුණුවනවා. ඒ නිසා උන්වහන්සේ අපේ සිතේ කවදාවත් අමතක වෙන්නේ නෑ. අපි ප්‍රාර්ථනා කරන්නෙ මේ ජීවිතේ නෙවෙයි.. නිවන් දක්නා ජාති දක්වාම ඒ මාහිමිපාණන් වහන්සේලාගේ කල්‍යාණ මිත්‍ර හෙවන අපට ලැබේවා කියන ප්‍රාර්ථනාවයි.

එනිසා සම්බුද්ධ ශාසනයෙහි උදාර ධර්ම සේවයක්, ඒ කියන්නෙ බුද්ධ ජයන්ති කාලයෙහි එක එක ආකාරයේ ශාසන දියුණුවේ කටයුතු රටේ ඇති වුණා. එයින් මේ ළදරුවන්ට පවා තේරුම් ගන්න පුළුවන් වන හැටියට ලිඛිතව, දහම් පොත් පත් මගින් ධර්ම දේශනාවන් හෙවත් ධර්මානුශාසනාවන් කළ උතුමන් අතරත් පළවෙනි තැන ලැබෙන්නේ මහා නායක මාහිමිපාණන් වහන්සේට. උන්වහන්සේගේ ධර්ම පොත් පත් කියවල සැනසුණු ජනතාව අනන්තයි. අද ලංකාවෙ කවුරු හරි දහම් සාකච්ඡාවක් කළොත් ඒ ඇත්තන්ගෙන් දැනගන්ඩ පුළුවන් මේ රේරුකානේ ස්වාමීන් වහන්සේගේ පොත් මං කියවල තියනවයි කියලා. ඒ විදියට හැමදෙනාගේම අවබෝධයට උන්වහන්සේ දොර ඇරල දීල තියෙනවා. ඒ නිසා උන්වහන්සේ විශාල ජනතාවකගේ දහම් ඇස ආලෝකමත් කළ, දහම් ඇස පෑදූ ශාස්තෘන් වහන්සේ නමක් තරමට අපි ගෞරවයෙන් සිහි කරන්නට ඕනෑ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනෑ නිවන් දකිනා තුරු ඒ විධියේ ධර්ම ඥාණය ඇති, ප්‍රතිපත්ති ගරුක කල්‍යාණ මිත්‍ර උත්තමයන්ම දකින්නටත් ලැබේවා! අහන්නටත් ලැබේවා! ආශ්‍රය කරන්නටත් ලැබේවා! අනුගමනය කරන්නත් ලැබේවා! එවැනි උතුමන්ගේ හෙවනේම අපටත් නිවන් මග යන්න ලැබේවා! කියල අපි ප්‍රාර්ථනා කර ගන්නට ඕනෑ.

සම්බුද්ධ ශාසන භාරධාරීව සිට වර්ෂයකට පෙර අපවත් වී වදාළ සාහිත්‍ය චක්‍රවර්තී, ආභිධම්මික අතිපූජනීය රෙරුකානේ චන්දවිමලාභිධාන, ශ්‍රී ලංකා ස්වේජින් මහා නිකායේ මහා නායක මාහිමිපාණන් වහ්නසේට මේ කුශල සම්භාර ධර්මය අත්පත්ව, ඒ මාහිමියන් වහන්සේට භවයක් පාසා සුගති සංඛ්‍යාත සම්පත් සිද්ධව, භවයක් පාසා සුවසේ බෝධිසම්භාර මුදුන්පත්ව, මතු අනාගතයේ පැතූ පරිද්දෙන් උතුම් ලොව්තුරා බුදුබව අත්වේවා කියල අපි ගෞරවයෙන් පිං පමුණුවමු…!

_________________________________________________

(මෙම ලිපියේ අඩංගු සියලුම කරුණු උපුටා ගන්නා ලද්දේ ‘මෙකල නිවුණු ඇත්තෝ’ ග්‍රන්ථයෙනි)

රේරුකානේ මහ නාහිමියන්ගේ සියලුම ග්‍රන්ථ නොමිලේ බාගත කරගැනීමට හා වැඩි විස්තර සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න..!

http://www.rerukanemahanahimi.lk/

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s