සැබෑම ධර්ම යුද්ධයක් අරඹමු..!

තිසරණ සරණ ගිය සැබෑ බෞද්ධ ඔබටත්, තිසරණය වෙනුවට මහමෙව්නාව පමණක් සරණ ගිය පින්වතුන්ටත්, නිර්මල ථේරවාදී ධර්මයේ චිරස්ථිතිය උදෙසාම ඇරඹෙන ධර්ම යුද්ධයකට මෙත් සිතින් ආරාධනා..!

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රී සම්බෝධියේ පටන් හතලිස් පස් වසක් පුරාවට විනය, සූත්‍ර, අභිධර්මය වශයෙන් දෙව් මිනිසුන් හමුවේ සිදුකරනා ලද දේශනා, නිර්මල ථේරවාදී ත්‍රිපිටක ධර්මය ලෙස මෙතෙක් ආරක්ෂා වී පැවතගෙන ආ බව බෞද්ධ අප සැමගේ විශ්වාසයයි. සැරියුත්, මුගලන්, මහා කාශ්‍යප, ආනන්ද, උපාලි… ආදී වූ මහ රහතන් වහන්සේලා සම්මුඛයේ සිට සංඝායනාවන් හරහා එක්රැස් වෙමින්, පාරිශුද්ධව පැවතගෙන ආ ත්‍රිපිටක ධර්මය, බුද්ධ කාලයේ සිටම නොයෙක් අභියෝගයන්ට ලක්විය. එසේ එල්ලවූ බාධාවන් හමුවේත් නොනැසී සුරැකුනු දහම අද වන විට යලිත් දරුණු ව්‍යසනයන් රැසකට මුහුණ පාමින් සිටී.

මෑත කාලීනව අප රටේ දැවැන්ත බෞද්ධ ප්‍රබෝධයක් ඇතිකරමින් සුවිශාල සේවයක් සිදුකරනා, මහමෙව්නාව භාවනා අසපු සංකීර්ණය හරහා ද, ථේරවාද ත්‍රිපිටක ධර්මය විනාශ කරමින්, ධර්මයේ නාමයෙන් අධර්මය පැතිරවීමේ වැඩ පිළිවෙලක්, මාර බලවේගයන්ගේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන බව කණගාටුවෙන් වුවත් පෙන්වාදීමට සිදුව තිබේ.

84000 ක් වූ ධර්මස්කන්ධයෙන් ධර්මස්කන්ධ 42000 ක්ම අඩංගු වූද, සර්වඥයන් වහන්සේගේ ජින චක්‍රය බඳු වූද, පරම ගාම්භීර වූද, අති සූක්ෂම වූද, බුද්ධ භාෂිත අභිධර්ම පිටකය, මහමෙව්නා අසපුව හරහා මූලික බුද්ධ දේශනාවන්ට අයත් බුද්ධ භාෂිතයක් නොවේ යැයි සැක කරමින් බැහැර කර ඇති බව, පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේම පුවත්පත් ප්‍රකාශ, මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථාව හා උන්වහන්සේගේම වෙනත් ග්‍රන්ථයන්ගෙන් ද සාක්ෂි දක්වමින් “මහමෙව්නාව හරහා හමා එන මහාමේඝයට උතුම් වූ බුද්ධ භාෂිතය යටපත් කළ හැකි වේද?” යන ලිපිය හරහා අප විසින් පෙරදී හෙළිදරව් කරනා ලදී. එසේ අභිධර්මය ප්‍රතික්ෂේප කිරීම ඔස්සේ, සූත්‍ර පිටකයේ ඇති සූත්‍ර දේශනා විග්‍රහකිරීමේදී ද ත්‍රිපිටක සම්ප්‍රදායට පටහැනි නොයෙක් වැරදි අර්ථ නිරූපණයන් රැසක් අදවන විට සමාජ ගත වී ඇති බව පෙනේ.

http://www.facebook.com/photo.php?fbid=100841900103609&set=a.100583093462823.313.100005333970376&type=1&theater

මේ පිළිබඳ කථිකාවතක් ඇතිකිරීම හරහා අප බලාපොරොත්තු වූයේ, ඥාණානන්ද හිමියන් තුල මුල්බැසගෙන ඇති ථේරවාද සම්ප්‍රදායට පටහැනි මෙම දුර්මතය නිසා ධර්මයටත්, උන්වහන්සේටත්, මහමෙව්නාවට සම්බන්ධ අති විශාල බෞද්ධ සැදැහැවතුන් පිරිසකටත් සිදුවන හානිය පෙන්වාදීමත්, කෙසේ හෝ උන්වහන්සේ නිවැරදි ථේරවාදී දහම පිලිගන්නා තැනකට ගෙන ඒමත් ය. එසේම අවසානයේ සිදුවිය යුතු වන්නේ ථේරවාදී ත්‍රිපිටක ධර්මයට පටහැනිව පළවී ඇති ප්‍රකාශන නිවැරදි කරමින් සමාජය තුල පතුරවා ඇති අධර්ම මතයන්ද බැහැර කරවීමට කටයුතු කිරීමයි.

ධර්මයේ නාමයෙන් වහ වහාම මේ දේවල් සිදුවිය යුතු වන්නේ, තවත් කලක් තවත් විශාල පිරිසක් අතරට මේ අධර්ම මත ව්‍යාප්ත වීම යනු, ඒවා මුලිනුපුටා දැමීමේ ඉඩ ප්‍රස්ථාව ක්‍රම ක්‍රමයෙන් ඇහිරීමක් වන නිසාය. සිදුවිය යුත්තේ එය වුවත්, අද මේ මොහොත දක්වා නම් එවැනි නිවැරදි වීමකට උන්වහන්සේ හෝ මහමෙව්නාවේ කිසිවෙක් හෝ සූදානම් බවක් පෙනෙන්නට වත් නැතිවීම කනගාටුවට කරුණකි. ඉදිරියටත් මෙම වැරදි සමගින්ම කටයුතු කිරීම යනු පිරිසිදු ථේරවාදයෙන් බැහැරව, මහායානය දෙසට මහමෙව්නාව තල්ලුකිරීමක් බවත්, වරද වරද ලෙස දැක ආයති සංවරයේ පිහිටා නිවැරදි වීම හැර වෙනත් විකල්පයකට ඉඩක් මේ වනවිට නම් ඉතිරිව නොමැති බවත් මහමෙව්නාවට අනුකම්පාවෙන්ම පෙන්වා දෙනු කැමැත්තෙමු.

අන්තර්ජාලය හරහා විශාල පිරිසක් දැනුවත් කිරීමට මේ වනවිට අපට හැකිවුවත්, අප විසින් මතුකල කරුණු වලට මේ දක්වාත් මහමෙව්නාව අසපුව සංකීර්ණයෙන් පැහැදිලි පිළිතුරක් නම් ලැබී නැත. තවදුරටත් මෙවැනි ධර්මවිරෝධී මත සමාජය තුල ව්‍යාප්ත වීම තුලින් සිදුවන හානිය නැවැත්වීමේ පිරිසිදු අරමුණින් යුක්තවම අප විසින් තවත් පියවරක් මෙසේ ඉදිරියට තබන්නෙමු.

2013-03-14 වන දින විකාශය වූ ‘නමෝ බුද්ධාය’ වැඩසටහන අවසානයේදී ඥාණානන්ද හිමියන් විසින් තම අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටියේ, අන්තර්ජාලය තුළ facebook වැනි මාධ්‍ය හරහා එල්ලවන කුමන ආකාරයක හෝ චෝදනාවක් හමුවේ කෝප නොගෙන, මෛත්‍රී සිතින්ම ඒවාට පිලිතුරු දෙමින් ධර්ම යුද්ධයක යෙදෙන ලෙසයි.

http://www.youtube.com/watch?v=8RLQD-gskgQ

ධර්මයේ නාමයෙන් අප විසින් මේ සිදුකරගෙන යන දැනුවත් කිරීම් තුල කිසිදු නින්දා අපහාසයක් හෝ ගැරහීමක් නොමැති බව ඔබ සියලු දෙනාටම පැහැදිලි ඇතැයි සිතමි. එහෙත් අපගේ මුල් හෙලිදරව්ව ඉදිරියේ කලබලයට පත් වූ මහමෙව්නාවේ ප්‍රබල අනුගාමිකයින් කිහිපදෙනෙක් තම ගුරු හිමියන්ගේ අවවාදයන් ද නොතකා, පහත්පෙළේ හැසිරිමක් පෙන්වමින් තමන් ද පිරිහෙලා ගනිමින් කටයුතු කර අවසානයේ නිරුත්තරව පළා යන ලදී. මෙවැනි අන්ධ භක්තික පිරිස් හට, බුද්ධ භාෂිත අභිධර්මය යනු නයාට අඳුකොල මෙනි. බුද්ධ භාෂිත ධර්මය ගැන සිදුකරනා දහම් සංවාදයන් හමුවේ, ඔවුන් තුල රාග දෝෂ මෝහ වැඩෙන්නට වීමත් ඉතා අවාසනාවන්ත තත්වයකි. ඥාණානන්ද හිමියන් තුල ඇති ධර්ම විරෝධී මත සමාජගත වීම හරහා, ගැඹුරු දහමක් යැයි අභිධර්මය ගැන ජනතාව තුල පෙර තිබූ මතය වෙනස් වී, අභිධර්මය දෑහැට පෙන්නන්ට බැරි මෙවන් පරපුරක් බිහිවෙමින් තිබීම නම් බරපතල තත්වයකි.

කරුණු එසේ හෙයින්, උතුම් වූ නිර්මල ත්‍රිපිටක ධර්මය රැකගැනීමේ පිවිතුරු අරමුණින් යුක්තව මෛත්‍රී සිතින් අරඹනා මේ ධර්ම යුද්ධයට සහභාගී වී, බෞද්ධ ඔබ සැමගේ යුතුකම ඉටුකිරීමට දැන් කාලය එළඹ ඇත.

තිසරණය වෙනුවට මහමෙව්නාව පමණක් සරණ ගොස් සිටිනා හිතවතුනි, ඥාණානන්ද හිමියන් පැවසූ පරිදිම තමන්ගේ ගුණ ධර්ම නොපිරිහෙලා ගනිමින්, ඔබලා වෙත එල්ලවී ඇති මේ අභියෝගය හා චෝදනා වලට මුහුණ දෙන්න…! නොබියව යුධ පෙරමුණට විත් තමන් පිළිගන්නා මතය වෙනුවෙන් සටන් වදින්න…! සෘජුව පිළිතුරු දෙන්න..! “සංවාද කිරීම කාලය කෑමකි”, “තර්කයෙන් ධර්මය වටහාගත නොහැක”, “වාදයෙන් රාග-දෝෂ-මෝහ වැඩේ” ආදී බොරු හේතු දක්වමින්, ඥාණානන්ද හිමියන්ද අනුමත කළ ධර්ම යුද්ධයෙන් පළා නොයන්න…!

එසේම, තිසරණ සරණ ගිය සැබෑ බෞද්ධයිනි, රහතන් වහන්සේලාගේ සිට මහසංඝරත්නය විසින් දිවිහිමියෙන් රැකගෙන ආ උතුම් වූ ධර්මරත්නය අඩංගු නිර්මල ථේරවාදී ත්‍රිපිටක ධර්මය සුරැකීමට යුධ පෙරමුණට විත් ඔබගේ යුතුකම ඉටුකිරීමට දැන් ඉතින් කාලයයි..! හැකි තරම් පිරිස් මේ ගැන දැනුවත් කර ඔබගේ දායකත්වය මේ සඳහා ලබාදෙන්න….!

දැන් ඉතින් යුධ භූමිය සූදානම්ය… දහම් ආයුධ වලින් සන්නද්ධව දෙපස බෙදී මේ සිදුකරනා ධර්ම යුද්ධය තුලින් අවසානයේ ලැබෙනා සැබෑ ජයග්‍රහණය වනුයේ නිර්මල ථේරවාදී ධර්මයේ චිරස්ථිතිය යි..! ඒ ජයග්‍රහණයේ හිමිකරුවන් වීමට අප සැමදෙනාම තම යුතුකම ඉටුකරමින් තිසරණය වෙනුවෙන් තම කුණු කය පූජාවෙන් දිවිහිමියෙන් සටන් වදිමු….!!!

Advertisements

14 thoughts on “සැබෑම ධර්ම යුද්ධයක් අරඹමු..!

    • අපූරු වීඩියෝවකි..! පරම ගම්භීර වූ බුද්ධභාෂිත අභිධර්මය ගැන සැක කිරීම යනු මෙහි දැක්වෙන්නා සේම කිඹුලාව සැක කර අනතුරට පත්වීමටත් වඩා භයානක දෙයක් බව මහමෙව්නාවේ අනුගාමිකයින් දැනගත යුතුය.

  1. Pingback: ධර්ම යුද්ධයකට මෙත් සිතින් ආරාධනා! – මහමෙව්නාව සැඟ වෙයිද? පිළිගනීද? | ධර්ම නිධාන

  2. සැබෑම ධර්ම යුද්ධයක් අරඹමු..!
    ——————————————————————————————
    තිසරණ සරණ ගිය සැබෑ බෞද්ධ ඔබටත්, තිසරණය වෙනුවට මහමෙව්නාව පමණක් සරණ ගිය පින්වතුන්ටත්, නිර්මල ථේරවාදී ධර්මයේ චිරස්ථිතිය උදෙසාම ඇරඹෙන ධර්ම යුද්ධයකට මෙත් සිතින් ආරාධනා..!

  3. මෙතන කිසිම මෙත් සිතකින් ලියපු දෙයක් පෙන්නේ නෑ.
    මෙහෙම යුද්ධ කරන්න බුදු රජාණන් වහන්සේ අනුමත කරලත් නෑ.
    ඇත්තටම මෙත් සිතක් තිබ්බා නම් භික්ෂුන් වහන්සේලාගේ ප්‍රශ්න උන්වහන්සේලා පුද්ගලිකව කතා කරලා විසඳන්න බලනවා ඉස්සල්ලම.
    ඒත් මෙතන කරන්නේ හැංගිලා ඉඳලා මද ගහන එක සහ ගිහියෝ දාලා වෙබ් අඩවි හදන් බොරුවට අභියෝග කිරීම.
    ඇත්තටම ගිහින් සාකච්ඡා කරලා බලන්න ඔය කියන විදිහට මෙත් සිතින් නම් කරන්නේ.

    • මෙහි ද්වේෂයෙන් යමක් ලියා ඇත්නම් පෙන්වා දෙන්න…!

      දීඝ නිකායේ එන බ්‍රහ්මජාල සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන්නේ මෙසේය.

      “මහණෙනි, අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියතොත්, එහි තොප විසින් ‘මේ කාරණයෙනුත් මෙය අභූතයෙකි. මේ කාරණයෙනුත් මෙය අසත්‍යයෙකි. මේ කියන දෝෂය අප කෙරෙහි නැත, මෙය අප කෙරෙහි අවිද්‍යමාන යැ’ යි නැති දොස් නැති සැටියට ම ලිහා ඉවත් කළ යුතු ය.”

      මේ අනුව පැහැදිලි වන්නේ, යමෙක් ධර්මයේ කොටසක් හෝ සැක කරමින් එය බැහැර කරන්නේ නම්, ඊට එරෙහිව අදහස් දක්වමින් එම දුර්මත ලිහා දැක්වීම බුදුහිමියන්ද අනුදැන වදාල බවයි. අප විසින් මේ සිදුකරගෙන යන්නේ එවන් වූ ධාර්මානුකූල වැඩපිලිවෙලකි. මේ අයුරින් උතුම් ශ්‍රී සද්ධර්මය නසනා දෙස නිහඩව බලා සිටින්නේ නම්, අප නියම බුද්ධ ශ්‍රාවකයන් නොවන්නේය. මහමෙව්නාවෙන් සිදුකරගෙන යන මේ ක්‍රියාවලිය තුල සෘජුව ම පහර වදින්නේ, භාග්‍යවතුන් වහන්සේගේ ජින චක්‍රයටය. අභියෝග කරන්නේ උන්වහන්සේගේ සර්වඥතා ඥානයට ය. ධර්මය සැක කිරීමෙන් ධර්මයටද පහර දුන්නා වේ. රහතන් වහන්සේලාගේ සිට පවත්වාගෙන හා සංඝායනා හා ථේරවාදී සම්ප්‍රදායන් සැක කිරීම යනු සංඝරත්නයට පහර දීමකි.

      අවසන් වරට කිරිබත්ගොඩ හිමියන් සහභාගී වූ ආසන්නතම නමෝ බුද්ධාය වැඩසටහනකදී උන්වහන්සේ තම අනුගාමික ධර්මකාමීන්ගෙන් ඉල්ලා සිටියේ ධර්ම යුද්ධයක යෙදෙනා ලෙසයි. අප මේ දහම් සංවාදය ධර්ම යුද්ධයක් නමින් ආරම්භ කරන ලද්දේ, ඒ ඔවුන්ට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමක්ද වශයෙනි.

      පුද්ගලිකව හමුවී සාකච්ඡා කිරීමට මෙ‍ය පුද්ගලික ප්‍රශ්නයක් ද නොවේ. බුද්ධ කාලයේ පටන් මෙතෙක් කලක් මහරහතන් වහන්සේලා ඇතුලු මහා සංඝරත්නය විසින් නිර්මල වූ ථේරවාදී සම්පූර්ණ ත්‍රිපිටකයම ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂාකොටගෙන එන ලදී. අප විසින් කරුණු සොයා බලා සාක්ෂි සහිතව පෙන්වා දෙන ලද්දේ, එසේ රැකගෙන පවත්වාගෙන ආ ධර්මස්කන්ධයෙන් හරි අඩක්ම අඩංගු අභිධර්ම පිටකයත්, සූත්‍ර පිටකයේ ඛුද්ධක නිකායට අයත් ග්‍රන්ථ 6ක් ද මහමෙව්නාව විසින් සැක කරමින් බැහැර කොට ඇති බවයි. මෙම දුර්මතය සමාජගත වීමෙන් කිරිබත්ගොඩ හිමියන්ට මෙන්ම, නිර්මල ධර්මයටත්, මහමෙව්නා මග යන බොහෝ පිරිසකටත් සිදුවන අනර්ථය කිව නොහැකි තරම්ය. එම අඥාන ක්‍රියාවේ බරපතල කම පෙන්වා දි ධර්මය සැකකරන්නන් ඉන් මුදවා ගැනීමට අවශ්‍ය පසුබිමක් නිර්මාණය කිරීමයි අපගේ අපේක්ෂාව වන්නේ..!

      මෙය අපගේ පෞද්ගලික ජනප්‍රියත්වයක් සඳහා හෝ මහමෙව්නාවට මඩ ගැසීමේ අරමුණකින් කරන්නේ යැයි ඔබලා සිතන්නේ නම් එය එසේ නොවන බව කිව යුතුය. නිර්නාමික පෙනී සිටීමෙන් අපට අත්වන ජනප්‍රියත්වයේ ඵලය කිම..?

      නැවතත් ඉල්ලා සිටින්නේ මෙම ක්‍රියාවලියේදී අප විසින් ද්වේශ සහගතව කර ඇති එකදු ප්‍රකාශයක් හෝ ඇත්නම් පෙන්වා දෙන ලෙසයි…!

      • අනුන්ට ඊර්ෂ්‍යා කරන්න කුහකකම් කරන්න ගියොත් කර්මානුරූපව මතු ආත්ම වල තමන්ට ලැබෙන දේ ගැන හිතල වත් ඔය වගේ පහත් විදියට මහමෙව්නාව හෙලා දකින්න එපා.

      • ධර්මානුකූලව මහමෙව්නාවේ අධර්මය පෙන්වාදීම කොහොමද පහත් වැඩක් වෙන්නෙ ?

    • අප මේ දහම් සංවාදය ආරම්භ කලේ, නිර්මල ථේරවාදී ධර්මය යටපත් කරමින් ද, ඒ බව තම අනුගාමිකයින්ගෙන් හා සමාජයෙන් සැඟවීමට උත්සාහ ගනිමින් ද මහමෙව්නාව විසින් ගෙනයන අනර්ථකාරී වැඩපිලිවෙල සමාජයට පෙන්වාදීමේ අරමුණිනි.

      මෑතකදී පැවති ‘නමෝ බුද්ධාය’ වැඩසටහනකදී කිරිබත්ගොඩ හිමියන් තම අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටියේ ධර්ම යුද්ධයක් සිදුකරනා ලෙසයි. අපද උන්වහන්සේගේ ඒ ඉල්ලීමට අනුව ක්‍රියාත්මක වීමට මහමෙව්නා අනුගාමිකයින්ට ඉඩකඩ විවරකිරීමේ අරමුණින් හා පෙර සඳහන් කල පරිදි ධර්මයට සිදුකරනා හානිය සමාජයට පෙන්වාදීමේ අරමුණින් මෙසේ ධර්ම යුද්ධයක් යන වචනය භාවිතා කරමින් මේ සංවාදය ආරම්භ කරනා ලදී. එසේ හෙයින් ධර්මය යුද්ධයක් කිරීමෙන් පිරිහෙන්නේ යැයි කියන්නා මුලින්ම චෝදනා කරන්නේ කිරිබත්ගොඩ හිමියන්ටය.

      මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාවේ දැක්වෙන පරිදි භාග්‍යවතුන් වහන්සේ විසින් පවිටු මාරයා හමුවේ පෙර වදාරණ ලද්දක් උපුටා දක්වමි.

      “පවිටු මරුව, යම්තාක් මාගේ භික්ෂූහු ව්‍යක්ත වූ විනීත වූ විශාරද වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ ධර්මානුධර්මපතිපන්න වූ සාමීචිප්‍රතිපන්න වූ අනුධර්මචාරී වූ ශ්‍රාවකයෝ නො වන්නාහු ද, ස්වකීය ආචාර්යවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවෘත කොට නො දක්වන්නාහු ද, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මැඩලා ප්‍රාතිහාර්ය සහිත (නෛර්යානික කොට) දහම් නො දෙසන්නාහු ද, ඒ තාක් නොපිරිනිවෙන්නෙමි’ යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මේ ආකාරයටම එහිදී භික්ෂූණී, උපාසක, උපාසිකා ඇතුලු සිව්වණක් පිරිසටම අදාලව ඉහත කරුණුම දක්වා ඇත. එසේ හෙයින් නිර්වානගාමී ධර්මයට එරෙහි පරප්‍රවාද මැඩලීම වනාහි බුද්ධානුශාසනාව අනුවම සිදුකරනා මහා කුසල කර්මයකි.

      එසේ බලන විටද අප විසින් මේ සිදුකරනුයේ බුදුහිමියන් අනුදැන වදාල දෙයකි. මහමෙව්නාවට සම්බන්ධ පිරිස් විසින්, බුදුන් වදාල ධර්මය ප්‍රතික්ෂේප කරමින්, ආචාර්යවාද ප්‍රතික්ෂේප කරමින්, ධර්මය සගවමින්, නොයෙක් දුර්මත එක් කරමින් සිදුකරගෙන යන මහා විනාශයේ බරපතලකම දන්නා කිසිවෙකුත් මින් ඉදිරියට එම විනාශයට හවුල් නොවේ යැයි මම සිතමි. උන්වහන්සේලාගේ සිල්වත්කම සම්බන්ධයෙන් අපිට ගැටළුවක් නැත. එසේ වුවත් මෙම දුර්මතයන් දිගින් දිගටම සමාජගත වීම හරහා ඊට දායකවන්නන්ට සිදුවන පාපය නම් ප්‍රමාණ කොට දැක්විය නොහැකිය.

  4. මහමෙව්නාව රැකීමට යැයි කියා මහමෙව්නාවේ ප්‍රතිරූපය විනාශ කරනා අඳබාල පින්වතුන් විසින් මාගේ ‘රට වෙනුවෙන්’ profile එක හා මෙම දැනුවත් කිරීම් වලට මා යොදාගත් තවත් facebook profile කිහිපයක්ම බ්ලොක් කර ඇත. මෙවැනි මෝඩයින් සිටිනා තාක් කිරිබත්ගොඩ හිමියන් ප්‍රමුඛ මහමෙව්නාව නිවැරදි මගට නොඑනා බවනම් සක් සුදක් සේ පැහැදිලිය.

    ධර්ම යුද්ධයේ පරාජය හමුවේ ත්‍රස්තවාදී උපක්‍රම තෝරාගත් ඔවුන්ට කීමට ඇත්තේ, ඔබලා තෝරා ගත් උපක්‍රම හරහා ළඟා කරගෙන ඇත්තේ ඔබලාගේම විනාශය බවයි. මරාගෙන මැරෙන ත්‍රස්තවාදී උපක්‍රම තෝරාගැනීමෙන් මරණාසන්නවී ඇත්තේ සතුරා නොව ඔබම බවයි.

    මෙමගින් සිදුවූයේ සුදු සලුවකින් වසා සිටි ඔබලාගේ නිරුවත තව තවත් සමාජයට හෙලි වීමයි. දැන්වත් සර්ඥයන් වහන්සේටත්, උන්වහන්සේගේ ධර්මයටත් සිදුකරනා මේ අභියෝගය කිරීම වහා නවතා දමන්න.. එසේ නොවුනහොත් එය ඔබලාට බොහෝ කලක් දුක් පිණිස, අහිත පිණිස හේතු වන බව නම් ඒකාන්තය.

    අප විසින් ‘රට වෙනුවෙන්’profile එකෙන් දැමූ කමෙන්ට් කිසිවක් දැන් පෙනෙන්නේ නැති බැවින් චතුර දොලහඅමුණ (කාව්‍ය) ඇතුලු පින්වතුන් මහත් උද්දාමයකට පත්ව ඇතිවාට සැක නැත. එහෙත් ඔවුන් ඒ තෘප්තිමත් වනුයේ බුදුහිමියන් ගේ විශිෂඨ වූ ශ්‍රී සද්ධර්ම මතුකිරීමට දිවාරෑ වෙහෙසෙමින් අප විසින් දැමූ කමෙන්ට් මකා දැමීමෙනි. ඒ නයින් බුදුදහම යටපත් කිරීම ඔවුන්ගේ තෘප්තිය බවට වී ඇත. බලන්න අන්ධ භක්තියක මහත..! ඔවුන්ට අනුකම්පා කරනු හැර අප වෙන කුමක් කරන්නද..?

    අවසාන වශයෙන් කිරිබත්ගොඩ හිමියන් ප්‍රමුඛ මහමෙව්නාවෙන් අප ඉල්ලා සිටින්නේ මෙවැනි අධබාලයින් සටන එවනවා වෙනුවට, තමන්ගේ මතය ගැන විශ්වාස නම් පැහැදිලිවම මෙම දහම් මණ්ඩපයේ ඒ සඳහා කරුණු දක්වන ලෙසයි. නැතහොත් වහාම ප්‍රසිද්ධ දේශනයකදී තමන් වහන්සේ තුල අභිධර්මය සම්බන්ධයෙන් ඇති විශ්වාසයන් හෙලි කොට සමාජය තුල මහමෙව්නාව ගැන ඇති සැක සංකා දුරුකරන ලෙසයි…!

    චතුර ඇතුලු පින්වතුන්ට කිව යුතු වන්නේ, අපගේ කමෙන්ට් ඇතුලු සියල්ල save කොටගෙන ඇති බැවින් තවදුරටත් අඳබාලයින් මෙන් හැසිරෙමින් තම තත්වය පහත හෙලා ගනිමින් මහමෙව්නාවද පහලට ඇද දැමීම දැන්වත් නතර කරන ලෙසයි..!

    අපගේ ‘රටවෙනුවෙන්’ Profile එක බ්ලොක් කිරීමට පෙර අවසානයේ දැමූ කමෙන්ට් එක මෙහි පල කරනුයේ.. මෙතැනට එන බොහෝ දෙනාගේ දැනගැන්ම පිණිසය…!
    ____________________________________________________

    මහමෙව්නාව පමණක් සරණ ගිය බෞද්ධයින්ට කිරිබත්ගොඩ හිමියන් හැර අන් සරණක් නැති බව පෙනේ. ඔලුවෙන් හිටගෙන සිටීමෙන් කෙලෙස් ප්‍රහානය වේ යැයි උන්වහන්සේ කීවද මේ අඳබාලයින් එසේ ඉදීමට සූදානම්ය.

    විරුද්ධ මතවාද හමුවේ කුපිතව හැසිරෙන තම අනුගාමිකයන්ට උන්වහන්සේ අවවාද කලේ “facebook එකේ comment එකක්වත් දාන්න එපා.. තරහ ඇතිවෙන විදිහට. දාන්න… සුවපත් වෙත්වා කියලා” යනුවෙනි. පෙරදී දරුණු ලෙස හැසිරුණු මහමෙව්නා ප්‍රධාන අනුගාමිකයෙකු වන චතුර දොලහඅමුණ පින්වතා ඇතුල් කිහිප දෙනෙක්ම එසේ, සුවපත් වෙත්වා, නමෝ බුද්ධාය, වැනි වදන් යොදමින්, තම ලොකු ස්වාමීන් වහන්සේගේ අවවාදය පිලිපැදීමේ මුවාවෙන් ප්‍රශ්න වලින් පැන යන අයුරු පසුගිය දින කිහිපයේම දුටුවෙමු. අහෝ.. මුලාවක තරම…! මෙසේ comment වලින් පමණක් මෛත්‍රීය ප්‍රගුණ කරන මොවුන් ක්‍රියාවෙන් හැසිරෙන්නේ නම් ඊට ගැලපෙන අයුරින් නොවේ. නිර්මල ධර්මය වෙනුවෙන් අප නගනා හඩ යටපත් කිරීමට හැකි සෑම දෙයක්ම සිදුකිරීමට මොවුන් උත්සාහ ගන්නා බව පෙනේ. ආරම්භයේ පටන්ම මාගේ profile හත් අට වතාවක්ම බ්ලොක් කිරීමට උත්සාහ ගන්නා ලද අතර, අද දහවල් සුළු කාලයකට ‘තිසරණයට..’ profile එක බ්ලොක් කර තිබුනි. මොවුන් මේවා කරන්නේ මෛත්‍රී සිතකින් ද යැයි නොදනිමි. ලොකු ස්වාමීන් වහන්සේව රකිමින් උන්වහන්සේ සිදුකරනා වැරදි නොදකිමින් ඒවා පෙන්වා දීමටද ඉඩකඩ වසා දමමින් මොවුන් විරුද්ධ වන්නේ බුදුරජානන් වහන්සේට බවත්, එහි පාපය බරපතල එකක් බවත් මොවුන් මොහොතකට හෝ සිතනවා නම්..! මෙවන් අන්ධ භක්තිකයන් අප මීට පෙර දැක ඇත්තේ අන්‍යාගමිකයන් අතරය.. එහෙත් අද…?

    මෙම දහම් සංවාදයට හා අප විසින් පළ කල “මහමෙව්නාව හරහා හමා එන මහාමේඝයට..” යන ලිපියේ දී, කාව්‍ය නම් කාන්තා profile එකක් පෙරට දමා පිලිතුරු දීමට පැමිණි චතුර පින්වතා අවසානයේ පිලිතුරු නොමැතිව මග හැර ගියේය. ලොකු ස්වාමීන් වහන්සේගේ අවවාදය අනුව, සුවපත්වේවා යැයි කියා හෝ කමෙන්ට් එකක්වත් මෙහි දැමීමට කිසිවෙකුත් දැන් නම් ඉතිරිව නැති හැඩය…!

    මෙය අපහාසයක් යැයි කිසිවෙකුටත් හිතෙන්නට පුලුවන… අප සිදුකරන්නේ අපහාසයක් නොවේ..! බුදු දහමේ වටිනාකම ඉදිරියේ තම අන්ධ බාල බව ප්‍රදර්ශනය කරමින් මකු බවට පැමිණ සිටින මහමෙව්නා බෞද්ධයින් පිරිසකගේ සත්‍යය ඔබ හමුවේ තැබීමක් පමණකි…! ඉදියේදීවත් නිවැරදි මගට පැමිණීමට කිසිදු සූදානමක්වත් මොවුන් ගෙන් නොපෙනෙන නිසා සිදුකරනා ලද හෙලිදරව්වකි..!
    __________________________________________________

    මෙවැනි බාධක හමුවේ නිර්මල ධර්මය මතුකිරීමේ අපගේ වැයම නොනවත්වන බවත්, තව තවත් ශක්තිමත්ව දිවි හිමියෙන් ඉදිරියට ගෙන යන බවත්, නිර්මල ධර්මයේ චිරස්ථිතිය පතනා සැබෑ බෞද්ධ පින්වත් සහෘදයින් වෙත මතක් කර දෙමු. නිර්මල ධර්මයේ ජයග්‍රහණය අපගේ මෙන්ම ඔබගේද අපේක්ෂාව බව අපි දනිමු..!

    ඒ සඳහා තව තවත් පිරිස් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඔබගේ සහයෝග ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමි.

  5. ශාසනයේ චිරස්ථිතිය උදෙසාම මෙත් සිතින් අප ඇරඹි ධර්ම යුද්ධය මේ වනවිට ඉතා සාර්ථක අයුරින් බොහෝ මාර බාධක මධ්‍යයේ වුවත් ඉදිරියටම ඇදෙමින් පවතී. ආරම්භයේදීම අප හා සංවාදයට එළඹි කාව්‍යා පින්වතිය විසින් මතුකල කරුණු වලට අප ලබාදුන් පිලිතුරු මේ වනවිට ඔබට දක්නට නැත. ඒ අප කමෙන්ට් කල ‘rata wenuwen’ profile එකත්, ඊට අමතරව අප භාවිතා කල profile ගණනාවකුත් මහමෙව්නා පින්වතුන් පිරිසක් විසින් මේ වනවිට block කර ඇති නිසාය.

    තම මතය වෙනුවෙන් පෙනී සිටිමින් ධර්ම යුද්ධයට සම්බන්ධ වූ ඔවුන් පරාජය හමුවේ තෝරාගත්තේ, අප පෙන්වා දුන් වරද පිලිගැනීම වෙනුවට සිය දිවි නසාගැනීමේ ත්‍රස්තවාදී උපක්‍රමයකි. අපට හානි කිරීමේ අරමුණින් භාවිතා කල එම උපක්‍රමයෙන් ඔවුන් බරපතල තුවාල සහිතව සිටි තැනින් තවත් දුර්වල වූ බව පෙනේ. අපගේ profile block කර ඔවුන්ගේ පරාජය සැගවීමට ඔවුන් ගත් උත්සාහය නිරර්ථක බව පෙන්වීමටත්, පිලිතුරු නොමැතිව සැඟව සිටිනා මහමෙව්නා පින්වතුන් පිරිසකගේ නිර්ලජ්ජිත ස්වභාවය හා ධර්මයට ඔවුන් කරනා හානිය හොඳින්ම පැහැදිලි කිරීමේ අරමුණිනුත් අප විසින් සුරැකිව තබාගත් එම කමෙන්ට් සියල්ල මෙහි දක්වමි. ධර්මය හමුවේ අධර්මය පරාජය වූ අයුරු, සියල්ලෝම විමසා බලා සත්‍යය වටහා ගනිත්වා…!

    නිර්මල ධර්මය ලොව බැබලේවා..!

    අදාල දහම් සංවාදයේ සියලු කමෙන්ට් අඩංගු පිටු 12 ක pdf ගොනුව…!
    http://www.pdfonlinereader.com/WebPdf2/editor.html

    (මෙහි ඇත්තේ අපගේ කමෙන්ට් රහිතව දිස්වන සංවාදයට අදාල පෝස්ට් එකයි)

  6. මෙතන ධර්ම යුද්ධය කියන දේ බොහෝ දෙනා තේරුම් අරන් තියෙන්නේ වැරදියටයි.අන්න එකයි මෙතන තියෙන ගැටලුව.අතින් පයින් කරනා දෙයක් නෙවි.බුද්ධියෙන් කල යුතු දෙයක්.බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙන්නේ “මාගේ ධර්මය තර්ක කිරීමටවත් අටුවා ටීකා ලිවීමටවත් නොව බුද්ධියෙන් විමසා අවබෝධ කරගැනිමටයි” කියලා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s