අභිධර්මය උගැන්මට පෙර…! (2 කොටස)

Padama 2

(අභිධර්ම පිටකයෙහි පළමුවන ප්‍රකරණය වූ “ධම්මසංගණී ප්‍රකරණය“ හෙවත් බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 41 වන ග්‍රන්ථයෙහි එන, අතිපූජනීය පණ්ඩිත කරගම්පිටිගොඩ සුමනසාර  නාහිමිපාණන් වහන්සේ විසින්, කාලාන්තරයක් තිස්සේ විතණ්ඩවාදීන් අභිධර්ම පිටකයට ඉදිරිපත් කරන ලද දුර්මත නිරාකරණය කරමින්, සම්පාදනය කරන ලද සංඥාපනය ඇසුරින් මෙම ලිපි මාලාව සකස් කර ඇත.)

අභිධර්මාර්ථ

‘අභිධර්ම’ යන පදයට විවිධ අර්ථ විවරණ අටුවාවන්හි එයි. අභිධර්මය යනු ‘නාමරූප පරිච්ඡේදය’ බව සමන්තපාසාදිකා විනය අටුවාවේ සඳහන් වේ. පපඤ්චසූදනී නම් වූ මජ්ජිම නිකාය අටුවාවට අනුව ‘විශිෂ්ට වූ ධර්මය’, ‘සත්තිස් බෝධිපාක්ෂික ධර්මය’ යන අර්ථයන් අභිධර්මය උදෙසා දැක්වේ. අංගුත්තර නිකාය අට්ඨකථාව වන මනෝරථපූරණීයට අනුව ‘උත්තම ධර්ම කථා’ අභිධර්මයයි.

අංගුත්තර නිකායේ දසක නිපාතයේ, නාථ වර්ගයේ, ප්‍රථම නාථ හා දුතිය නාථකරණ සූත්‍ර දේශනාවන්හි අභිවිනය හා අභිධර්මය යන පදයන් ඇතුලත් වේ. අටුවාවේ එම පදයන් පිලිබද වැඩි විස්තර එයි. ඊට අනුව ධර්ම, අභිධර්ම, විනය, අභිවිනය යනුවෙන් කොටස් හතරකි. ‘ධර්ම’ යනු සූත්‍ර පිටකය යි. ‘අභිධර්ම’ යනු ධම්මසංගණීප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතු කථා ප්‍රකරණය, පුග්ගලපඤ්ඤප්ති ප්‍රකරණය, කථා වත්ථු ප්‍රකරණය, යමක ප්‍රකරණය, පට්ඨාන ප්‍රකරණය යන සප්ත ප්‍රකරණයෝ ය. ‘විනය’ යනු පාරාජිකා පාළි හා පාචිත්තිය පාළි යන ග්‍රන්ථ දෙක ය. ‘අභිවිනය’ නම් චුල්ලවග්ග පාළි මහාවග්ග පාළි හා පරිවාර පාළි යන ග්‍රන්ථ තුනයි.

ආචාර්ය මතයන්ට අනුව අභිධර්ම ශබ්දය අර්ථවිවරණය කරනා අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමියන් විසින්, අත්ථසාලිනී නම් වූ ධම්මසංඝණී අට්ඨකථාවේදී ධර්මාතිරේක අර්ථයෙන් හා ධර්මවිශේෂාර්ථයෙන් අභිධර්ම නම් වන බවට අර්ථ විස්තර දක්වන ලදී.ඒ විග්‍රහයට අනුව; සූත්‍ර පිටකයේ පඤ්චස්කන්ධය ඒකදේශයකින් විභාග කරන ලද බවත්, අභිධර්මයේදී සුත්තන්තභාජනීය, අභිධම්මභාජනීය, පඤ්හපුච්ඡක යන ත්‍රිවිධ නය ඔස්සේ සියළු අර්ථ වලින් විභාග කරන ලද බවත් දක්වන ලදී. මේ ආකාරයටම දොළොස් ආයතන, අටළොස් ධාතු, චතුරාර්ය සත්‍ය, සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන, සතර සෘද්ධිපාද, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතර ධ්‍යාන, සතර බ්‍රහ්ම විහරණ, සිවුපිළිසිඹියා, ඥාන, ක්ලේශ, භූමි පරිච්ඡෙද යන මේවා අභිධර්මයේදී සියළු නය ක්‍රම ඔස්සේ විභාග කර දක්වන ලදී. මේ ආකාරයට සූත්‍රපිටකයට අතිරේක කොට විශිෂ්ට කොට බෙදා දක්වා ඇති බැවින් ධර්මාතිරේක, ධර්මවිශේෂ යන අර්ථයන්ගෙන් ද අභිධර්ම නම් වෙයි.

අභිධර්ම පර්යාය

පිටක වශයෙන් ගත් විට අභිධර්ම පිටකය එකක් වන නමුත්, දේසනා අනුව පරමාර්ථ බහුල කොට දේශිත වන බැවින් ‘පරමාර්ථ දේශනා’ ලෙසත්, මම මාගේ යැයි සංඥා ඇති සත්වයන් මෙහි දී ධර්මානුරූපව පෙන්වා ඇති බැවින් ‘යථාධම්මසාසන’ ලෙසත්, රාගාදියට ප්‍රතිපක්ෂ වූ නාමරූප පරිච්ඡේදය දක්වන ලද බැවින් ‘නාමරූපපරිච්ඡේද කථා’ ලෙසත් හැඳින්වේ.

කෘත්‍ය

අධි ශීල, අධි චිත්ත, අධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂා අතුරෙන්, අභිධර්මය ‘අධි ප්‍රඥා ශික්ෂා’ කොටසට අයත් වේ. වීතික්කම, පරියුට්ඨාන, අනුශය යන ත්‍රිවිධ ක්ලේෂ ප්‍රහානයන් අතුරින් අභිධර්ම පිටකයෙහි ලා ‘අනුශය ප්‍රහාණය’ ගැනෙයි. තදංග, විෂ්කම්භණ, සමුච්ඡේද ප්‍රහාණයන් අතුරෙන් ‘සමුච්ඡේද ප්‍රහාණය’ ද, දුශ්චරිත, තෘෂ්ණා, දෘෂ්ටි සංක්ලේශයන් අතුරෙන් ‘දෘෂ්ටි සංක්ලේශ ප්‍රහාණය’ ද අභිධර්මයෙහි ලා ගැනෙයි.

සම්පත්

සම්පත් අර්ථයෙන් ගත්විට විනයෙහි සුපිළිපන් භික්ෂුව ශීල සම්පත්තිය නිසා ත්‍රිවිද්‍යාවට පැමිණීමෙන් ද, සූත්‍රාන්තයෙහි සුපිළිපන් භික්ෂුව සමාධි සම්පත් නිසා ෂඩ් අභිඥාවට පැමිණීමෙන් ද, අභිධර්මයෙහි සුපිළිපන් භික්ෂුව ප්‍රඥා සම්පත් නිසා සිව්පිළිසිඹියාවට පැමිණීමෙන්ද අර්හත්වයට පත් වේ.

අංග

තවද මේ අභිධර්මය දීඝ, මජ්ජිම, සංයුක්ත, අංගුත්තර, ඛුද්දක යන පස් නිකායන් අතුරෙන් ඛුද්දක නිකායෙහි ඇතුලත් වේ. සුත්ත, ග්‍යෙය, ව්‍යෙයාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවවිධ ශාසනාංගයන් අතුරෙන් ව්‍යෙයාකරණාංගයෙහි ඇතුලත් වේ.

පිටක වශයෙන් වෙන් කිරීමේදී සූත්‍රාන්ත පිටකයෙහි අන්තර්ගත ග්‍රන්ථ ‘නිකාය’, ‘ආගම’ යන නම් වලින්ද, විනය පිටකයෙහි ග්‍රන්ථයෝ ‘පාළි’ නමින්ද, අභිධර්ම පිටකයෙහි අන්තර්ග ග්‍රන්ථයන් ‘ප්‍රකරණ’ නමින්ද විශේෂයෙන් හඳුන්වනු ලබයි.

ප්‍රකරණ ශබ්දාර්ථ

පාළියෙහි ‘පකරණ’ ශබ්දය දෝෂ, කාරණ, ප්‍රස්තාව, ග්‍රන්ථ විශේෂ යන අර්ථයන් සඳහා යෙදේ. අභිධර්ම පිටකයේදී ප්‍රකරණ යන්නෙන් අර්ථ ගැන්වෙනුයේ ‘ග්‍රන්ථ විශේෂ’ යන්නයි. ජාතක අටුවා ගැටපදයෙහි එන පරිදි, නොයෙක් ප්‍රභේදයන්ගෙන් බෙදා දැක්වූ අර්ථයෝ ධම්මසංගණී ආදී ග්‍රන්ථාකාරයෙන් දක්වන බැවින් ප්‍රකරණ නමින් හඳුන්වන ලදැයි සඳහන් වේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s