අභිධර්මය උගැන්මට පෙර…! (1 කොටස)

Padama 1

(අභිධර්ම පිටකයෙහි පළමුවන ප්‍රකරණය වූ “ධම්මසංගණී ප්‍රකරණය“ හෙවත් බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 41 වන ග්‍රන්ථයෙහි එන, අතිපූජනීය පණ්ඩිත කරගම්පිටිගොඩ සුමනසාර  නාහිමිපාණන් වහන්සේ විසින්, කාලාන්තරයක් තිස්සේ විතණ්ඩවාදීන් අභිධර්ම පිටකයට ඉදිරිපත් කරන ලද දුර්මත නිරාකරණය කරමින්, සම්පාදනය කරන ලද සංඥාපනය ඇසුරින් මෙම ලිපි මාලාව සකස් කර ඇත.)

විජම්බණ

ශ්‍රීඝන සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බෝධියෙන් සයවැනි වර්ෂයේදී රජගහනුවර බිම්බිසාර මහරජු විසින් කරවන ලද වේළුවනාරාමයේ වැඩවසන කල, රජගහ නුවර සිටුතුමා විසින් ‘තමන් රහත්‘යැයි ප්‍රකාශ කරනා විවිධ දෘෂ්ටිවාදීන් පරීක්ෂා කිරීමට රියන් හැටක උණ දණ්ඩක රත් සඳුන් පාත්‍රයක් එල්ලා ‘රහතුන් සිටී නම් සෘද්ධියෙන් ගොස් ගනිත්වා“යි නුවර අඬබෙර ගැස්වීය.

දින හයක් ගොසිනුත් කිසිවෙකුත් ඉදිරිපත් නොවූයෙන් “ලොව සෘද්ධිමත් රහතුන් නැතැ“යි නුවර වැසියෝ කියන්නට විය. සත්වන දින ඒ නුවර පිඬුසිඟා වැඩි මහමුගලන් තෙරණුවන් හා පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන්ට මේ කරුණ ඇසීමෙන් පසු, මහමුගලන් තෙරණුවන්ගේ ඉල්ලීමට අනුව පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ සෘද්ධියෙන් ගොස් පාත්‍රය ගෙන ලොව සෘද්ධිමත් රහතුන් සිටින බව පෙන්වීය.

බුදුරජාණන් වහන්සේ ඒ පුවත අසා “භික්ෂූන් සෘද්ධිප්‍රාතිහාර්ය නොපෑ යුතු යැ“යි ශික්ෂා පදයක් පැනවූහ. “ශ්‍රාවකයන් විසින් නොකළ යුතු යැ“යි පනවන ලද්ද “බුදුරජාණන් වහන්සේ විසින්ද නො කරති“යි සිතූ තීර්ථකයෝ සෘද්ධි ප්‍රාතිහාර්ය කරන්න යැයි බුදුරදුන්ට අභියෝග කළේය. බිම්බිසාර රජු මේ බව දැන්වීමෙන් පසු වාදය පිළිගත් බුදුරජාණන් වහන්සේ ඊට සිව් මසකට පසු එළඹි ඇසළ පොහෝ දින සැවැත්නුරව ගන්ධබ්බ රුක් මුලදී යමාමහපෙළහර පා තීර්ථකයන්ගේ මානය මැඩලා සත්වන වස් විසීම සඳහා තව්තිසා දෙව්ලොවට වැඩියහ. ඒහි පරසතු රුක් මුල පාණ්ඩුකම්බල සෛලාසනයෙහි වැඩහිඳ මාතෘ දිව්‍ය රාජයා කායසාක්ෂි කොට ගෙන දස දහසක් සක්වළ දෙවියනට ‘කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්‍යාකතා ධම්මා’ ආදී වශයෙන් තුන්මසක් පුරා අභිධර්මය දේශනා කළ සේක.

එක් එක් දිනයෙහි පිණ්ඩපාතය සඳහා මිනිස් ලොවට වඩිනා බුදුරජාණන් වහන්සේ අනවතප්ත විල් තෙර දී උවටන් පිණිස තමන්වහන්සේ වෙත පැමිණි දම්සෙනවි සැරියුත් තෙරණුවන් අමතා; ‘ශාරීපුත්‍රයෙනි, අද මා විසින් මෙතෙක් දහම් දෙසන ලදැ’යි තෙරණුවන් හට ඒ දහම් නය වශයෙන් වදාරණ ලදී. සැරියුත් හිමියන් ඒ නය ගෙන එදා යහාමහපෙළහරට පැහැදී තමන් වහන්සේ වෙත පැවිදි වූ පන්සීයක් ශිෂ්‍ය භික්ෂූන් හට ඒ දහම්, සිය, දහස්, සුවහස් නයින් විභාග කොට උගන්වන ලදී.

මේ අයුරින් සම්බුදුරජාණන් වහන්සේ විසින් දෙවියන්ට දෙසූ අභිධර්මය වාචනාමාර්ගය මිනිස්ලොව දම්සෙනෙවි සැරියුත් මහරහත් තෙරණුවන් ප්‍රභව කොට පහළ විය. සම්බුදුරදුන් දෙසූ නය විභාග කොට දේශිත වන බැවින් එය බුද්ධවචනයෙහිම ලා ගැනෙයි. පළමු සංගායනාවේදී මහාකාශ්‍යප  මහරහතන් වහන්සේගේ විමසීම් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ විසින් විසඳන ලදුව පන්සීයක් මහරහතන් වහන්සේලා විසින් සංගීත වූ අභිධර්ම පිටකය දඹදිව ආචාර්ය පරම්පරා පිළිවෙලින් සැරියුත් තෙරණුවන් මුල් කොට, භද්දජී, සෝභිත, පියජාලී, පියපාල, පියදස්සී, කෝසියපුත්ත, සිග්ගව, සන්දේහ, මොග්ගලීපුත්තතිස්ස, සුදත්ත, ධම්මික, දාසක, සෝණක, රේවත යන මහ තෙරවරුන් විසින් තුන්වන සංඝායනා කාලය තෙක් වාචනා කොටගෙන එන ලදී. දෙවනපෑතිස් මහරජ දවස දඹදිව ධර්මාශෝක මහරජුන්ගේ පුත් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිවට ගෙන එන ලද එම දහම ලක්දිව ආචාර්ය පරපුර අතර වාචනාමාර්ගයෙන් පැවත, වළගම්බා මහරජුගේ දවස මාතුල ජනපදයෙහි අලුලෙන් හිදී ග්‍රන්ථාරූඪ කරන ලදුව මෙතෙක් නිර්මලව පවතින්නේ ය.

මේ සැකෙවින් දක්වන ලද්දේ අභිධර්මය පිළිබඳ ඉතිහාසය යි.

Advertisements

One thought on “අභිධර්මය උගැන්මට පෙර…! (1 කොටස)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s